නිදන් සොරුන්ගෙන් වැනසුණු මාරියක්කුලම බෞද්ධ නටබුන් – Mariyakkulama Buddhist Ruins in Nilaveli

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 2.00 out of 5)
Loading...
නිදන් සොරුන්ගෙන් වැනසුණු මාරියක්කුලම බෞද්ධ නටබුන් අතර ශෛලමය නිදන් මන්ජුසාවක් - Mariyakkulama Buddhist Ruins in Nilaveli
නිදන් සොරුන්ගෙන් වැනසුණු මාරියක්කුලම බෞද්ධ නටබුන් අතර ශෛලමය නිදන් මන්ජුසාවක් – Mariyakkulama Buddhist Ruins in Nilaveli
Lakmal K. Baduge
By Lakmal K. Baduge

පවතින පෑවිල්ල නිසා මදක් කෘෂව ගියද සිය සුන්දරත්වය මදකින් ‍හෝ අඩුකර නොගත් මාරියක්කුලම් වැව අසල පිහිටි මනරම් කදුගැටයකි. වැව් ඉස්මත්තේ අනුරාධපුර යුගයට අයත් බවට සැලකෙන මුළුමණින්ම ගඩොලු පමණක් යොදා සෑදු පැරණි වෙහෙරකි.

නිධන් සෙවිමේ අරමුණින් අවස්ථා කිහිපයකදිම අනවසර කැණීම් සිදුකර වරින් වර හාරා විනාශ ‍කරන ලද මෙම දා ගැබ සහිත පිං බිම නටඹුන් වැව නමින් ගැමියන් හදුන්වති.

පැරණි පුදබිම කලක් කොටි ත්‍රස්තයන්ගේද නිවහනක්ව තිබු බව මහ වන මැද වැව ආශ්‍රිතව ජිවත්වන ගොපල්ලන් කියති මහ වනයේ කුඩා කදුගැටයක ගල්කුළු ආශ්‍රිතව ඉදිවුණ මේ මහා පිංබිම මේ වනවිට පුරාවිද්‍යා නිලධාරින්ගේ අවධානය යොමු නොවිම නිසා විනාශවී යමින් තිබෙන අයුරු එහි ගිය මාහට පසක් විය.

ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර රජමහ වෙහෙරට බටහිරට වන්නට මහ වන මැද ගොපල්ලන් නටඹුන් වැව යැයි හදුන්වන වැව් ඉස්මත්තේ පිහිටි ශිලා ලිපි සහිත කටාරම් කොටන ලද පැරණි ලෙන් සංකීර්ණය හා දා ගැබක නටඹුන් වනයෙන් වැසි යමින් තිබේ.

කොටින්ගේ පාලන සමයෙහි මෙම ලෙන් සංකීර්ණය තාවකාලික ලැගුම්පලක් ලෙස භාවිතා කල බවත් ලෙන් සංකීර්ණයට සැතපුමක් පමණ උතුරින් ප්‍රධාන කොටි කදවුර පිහිටා තිබු බව වෙල්ගම් වෙහෙර ගැමියෝ කියති.

මෙම පැරණි පුදබිම වඩා හොදින් නිරික්ෂණය කලවිට වෙල්ගම් වෙහෙර ප්‍රදේශයේ ගම්මුන් පැවැසු දෑ සත්‍ය බව පසක් වේ. පැරණි ලෙන් පිරිසිදු කර මැටි හා පැරණි ගල් තබා බිත්ති සකස් කර භාවිතා කර ඇති අයුරින් මෙම ස්ථානය කලක් කොටින්ගේ වාසස්ථානයක් බවට පත්ව තිබු බව පෙනි යයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ස්ථානය සොයා ගන්නා අවස්ථාවෙහි කදු ගැටය පාමුල වැව් බැම්මට මීටර් සියයක් පමණ උතුරට වන්නට පිහිටි පැරණි දා ගැබෙහි ගර්භය හාරා අනවසර කැණීමක් කර තිබු බව පුරාවිද්‍යා පාලන වාර්ථාවන්හි සදහන්වේ. 2010 වසරේදී අන්‍යාගමිකයන් පිරිසක් විසින් මෙම පුදබිමෙහි පිහිටි දා ගැබ හාරා විනාශ කර එහි තිබු නිධන් වස්තු ගොඩ ගනිමින් සිටියදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි. (ඡායාරූප – අත් අඩංගුවට ගත් නිධන් හොරු සතුව තිබු කරඩුව හා කෝව )

අනුරාධපුර යුගයට අයත් බවට සැලකෙන මෙම දා ගැබ මුලුමනින්ම ගඩොල් යොදා ගෙන නිර්මාණය කරන ලද්දක් බව පෙනි යයි. දා ගැබෙහි ඉහල කොටසෙහි ගර්භය දක්වා අඩි 15 ක් පමණ තිරස් ලෙස පළමුව හාරා ඇති නිධන් හොරුන් ඉන් පසුව ගර්භයෙහි මැද කොටසේ සිරස්ව අඩි 30 ක් පමණ ගැඹුරැති වලක් හාරා විශාල ගඩොලු ප්‍රමාණයක් ඉවත් කර තිබේ.

මෙසේ නිධන් හොරුන් විසින් වනසා ඇති මෙම දා ගැබෙහි විෂ්කම්භය වට අඩි 40 ක් පමණ විය හැකි බව පුරාවිද්‍යා නිලධාරිහු අනුමාන කරති. මෙතෙක් ගැසට් කර හෝ පුරාවිද්‍යා කැණීම් හෝ කිසිවක් සිදුකර නැති මෙම ස්ථානය තුල පුර්ව බ්‍රාහ්මීය අක්ෂරවලින් සමන්විත ක්‍රි. පු. 3 – 1 සියවස්වලට අයත් සෙල් ලිපි හතරක් සහිත මනාව කටාරම් කෙටු ලෙන් හතරක් දක්නට ලැබේ.

කුඩා කදු ගැටයක් මත පිහිටි මෙම ලෙන් සංකීර්ණයට පිවිසීම සදහා විනාශ වි ගිය ගලින් කල පියගැට පෙලක්ද ප්‍රධාන ලෙන පිවිසුම අසල අඩි 15 ක් පමණ පහලට වන්නට බිම වැටි ඇති හැඩයෙන් හා ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වු කොරවක් ගල් දෙකක් දක්නට තිබේ.

කොරවක් ගල් තිබෙන්නේ නම් එම ස්ථානය ආශ්‍රිතව සදකඩ පහණ, මුරගල් වැනි නිර්මාණද තිබිය යුතු බවට පුරාවිද්‍යා නිලධාරින් අනුමාන කලද මතුපිට පොළව මත පෙනෙන්නට එකි ශෛලමය නිර්මාණයක් කිසිවක් දැනට දක්නට නැත්තේය. නමුත් මේ වනවිට පියගැට පෙල තිබු ස්ථානයෙහි ගල් ගැලවී ගොසිනි. පසෙක පෙරලා දමා ඇති කොරවක් ගල් දෙක පමණක් දක්නට ඇති අතර එක් කොරවක් ගලක කොටසක් කඩා දමා ඇත. යමක් සෙවිමේ අදහසින් ප්‍රධාන ලෙනට වම්පසින් පිහිටි මධ්‍යම ප්‍රමාණයේ ලෙන සහ කුඩා ලෙන මැද පොළව හාරා තිබේ.

කදු ගැටය මත පිහිටි ප්‍රධාන ලෙනෙහි පිවිසුම අඩි 12 ක් පමණ උසැති අඩි 20 ක පමණ පළලැති විවරයකින් සමන්විත වේ ලෙන් පිවිසුමෙහි ඉහල මනාව කටාරම් කොටා ඇත. පුර්ව බ්‍රාහ්මීය අක්ෂර යොදා ගෙන ලියු ශිලා ලිපියකි. ලෙන ඇතුලත අඩි 40 ක පමණ දිගැති හිස් බිමකි ලෙනෙහි පසුපස පැරණි ගල් හා මැටි යොදා සකසන ලද කැඩිගිය බිත්තියක කොටසකි.

ප්‍රධාන ලෙනට වම් පසින් තවත් ලෙන් දෙකක් ඇත ඉන් පළමු ලෙන පිවිසුම අඩි අටක් පමණ උස අඩි 15 ක් පළල වේ ඇතුලත අඩි 20 ක් පමණ වන අතර ඊට වම් පසින් තවත් කුඩා ප්‍රමාණයෙහි කටාරම් කෙටු ලෙනක් දක්නට ලැබේ මෙම ලෙන් භාවනායෝගී භික්ෂුන් වහන්සේලාගේ පරිහරණය සදහා එදවස පුජා කරන්නට ඇතැයි සිතිය හැකිය.

ප්‍රධාන ලෙනට පහලින් වැව් බැම්මට මීටර් 130 ක් පමණ දුරකින් විනාශ කරන ලද දා ගැබට මදක් දකුණට වන්නට ස්ථාන දෙකක මනාව කපා ඔප දමන ලද අඩි හතක් පමණ උසැති ගල් කණු රැසක් දක්නට ලැබේ. ඇතැම් තැනක චතුරස්‍රාකාරව සිටුවන ලද ගල් කණු හතරක් හෝ හයක් ඇති ස්ථාන දෙකක් දක්නට ලැබේ ඒවා මැද බිම හාරා තිබේ. මෙම ගල් කණු පැරණි ගොඩනැගිලි හෝ දා ගැබ ආශ්‍රිතව තිබු පිළිම ගෙවල් හෝ තිබු බවට පෙන්වන සාධක යැයි පුරාවිද්‍යා නිලධාරින් කියයි.

විශේෂ ස්තුතිය ලෙන් සංකිර්ණය සහිත පැරණි නටඹුන් පෙන්වු සහෝදර මාධ්‍යවේදි සමන් මල්ලවආරච්චි මහතාට.

සම්බන්ධ වෙනත් පිටු

මාරියක්කුලම බෞද්ධ නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මාරියක්කුලම බෞද්ධ නටබුන් රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට  මාරියක්කුලම බෞද්ධ නටබුන් දක්වා
හරහා : නිලාවේලි – කුච්චවේලි
මුළු දුර : කිලෝමීටර් 55
ගතවන කාලය : පැය 1.30 + වනය තුල ඇවිදීමට ඇති කාලය.
ගත කිරිය යුතු කාලය : විනාඩි 45 – පැය 1 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com