ජලාශ ආරක්‍ෂක බල ඇණිය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 5.00 out of 5)
Loading...
By Ms. Badra Kamaladasa (Former Director General of Irrigation at Department of Irrigation)
By Ms. Badra Kamaladasa

ශ්‍රී ලංකාවේ බොහෝ පැරණි ජලාශ ප්‍රතිසංස්කරණය කිරීමේදී ඒ ආශ්‍රිතව නාගරූප සහිත ගල් කැටයම් සොයා ගෙන ඇති අතර, සොරොව්ව සහ වේල්ලේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ බැල්ම ලැබේ යැයි විශ්වාස කෙරේ. යක්ෂ ගෝත්‍රිකයන් ඉදිකිරීම් කටයුතු ප්‍රගුණ කර තිබෙන්නට ඇති අතර නාග ගෝත්‍රිකයන් වේලි සුරක්‍ෂිතතාවය සඳහා විශිෂ්ටයින් වන්නට ඇත. (මෙය ඉතිහාඥයින් හා පුරාවිද්‍යාඥයින්ගේ මතයට යටත් වේ)

කුඩා ජලාශයක් ආරක්ෂා කිරීම සඳහා හිස් තුනක් සහිත නාගයෙක්ද , මධ්‍යම ජලාශ සඳහා හිස් පහක් සහිත නාගයෙක්ද සහ විශාල ජලාශ සඳහා හිස් 7 ක් සහිත නාගයෙක් යොදා ඇති බව පොදු පිලිගැනීමයි. කෙසේ වෙතත්, අම්පාරෙහි ටැම්පිටිය ජලාශය (සද්ධාතිස්ස රජු සමයේ ඉදිකලා යැයි සැලකෙන ජලාශයකි ) අසල ගල් පුවරුවක ඇති නාග රුවක දුර්ලභ ඡායාරූපයක් වාරිමාර්ග අධ්‍යක්ෂ (අම්පාර) විසින් මෑතකදී එවමින් කියාසිටින්නේ එහි නාග රුවෙහි හිස් නවයක් කැටයම් කර ඇති බවයි. (කෙසේ වෙතත් ඡායරූපයෙහි මෙම කැටයම එතරම් පැහැදිලි නැත ) මෙය දැන් පුරාණ ජලාශයට ආසන්න පන්සලෙහි තබා ඇත.

භාරකාර නාගරූප පිහිටුවා ඇත්තේ සොරොව්ව හෝ වේල්ල අසල පමණක් නොව, ජලාශයට ආසන්නයේ පිහිටි ගල්තලාවක හෝ සොරොව්ව ඇතුලත පවා විය හැක.

මෙහි පළමු ඡායාරූපය ටැම්පිටිය ජලාශය අසල ඇති නාග රුවද, දෙවන ඡායාරූපයේ සෙවනගල උඩවලවේ යෝජනා ක්‍රමය යටතේ උරුසිටනා වැව (මහගම වැව ලෙසද හැඳින්වේ) අසල ඇති සුප්‍රසිද්ධ හිස් හතක් සහිත නාග කැටයමද තුන්වනුව අනුරාධපුරයේ නාච්චදූව ජලාශය අසල ඇති හිස් පහක් සහිත නාග රුවද, හතරවෙනුව අනුරදපුරයේ මාන්නන්කට්ටිය වැවෙහි සොරොව්ව ඇතුලත ඇති නා පුවරුවද, පස්වෙනුව හුරුලුවැව ප්‍රදේශයේ තලපත්කුලම ජලාශය අසල විශාල ගල් පර්වතයක කොටා ඇති නාග රුවද දැක්වේ.

ජලාශ සඳහා ආරක්ෂක ක්‍රම වේදයන් ගල් පුවරු වලට පමනක් සීමා නොවන බවත් ඒ සඳහා විශේෂ ක්‍රමවේදයන් යොදා තිබෙන්නට ඇති බවත් අප තේරුම ගත යුතුය. වර්තමානයේදී ඒ පිලිබඳ කටයුතු කිරීමට යොදා ඇති ක්‍රමවේදය සරලව දක්වා එහි බරපතලකම ගැන දළ අදහසක් දීමට කමැත්තෙමි.

සැලසුම් සහ නිර්මාන ඉංජිනේරුවන් විසින් ලබා දෙන සැලසුම් අනුව විශාල ජලාශ ඉදිකිරීම සාමාන්‍යයෙන් ව්‍යාපෘති කළමනාකරණ සහ තත්ත්ව පාලන ඉංජිනේරුවන් විසින් සිදුකරනු ලැබේ. ජලාශයක් ඉදිකිරීමන් පසුව මෙහෙයුම් හා නඩත්තුව සඳහා ජල කළමනාකරණය සහ වේලි ආරක්ෂාව පිළිබඳ විවිධ කුසලතා හා පළපුරුද්ද ඇති වෙනම කණ්ඩායමකට භාර දෙනු ලැබේ. වේලි ආරක්ෂාව පිළිබඳ කටයුතු විශේෂඥ විෂයයක් ලෙස ගෝලීය වශයෙන් පිලිගෙන ඇති අතර පසුගිය දශක තුන තුළ ඉමහත් ලෙස විකාශනය වූ ක්ෂේත්‍රයකි. ශ්‍රී ලංකාව ද ජාත්‍යන්තර මහා වේලි ආයතන වල සාමාජිකත්වය දරමින් අපගේ අත්දැකීම් සහ දැනුම අන් අයසමග බෙදා ගනිමින් ඔවුන්ගේ නව දැනුමද ලබාගැනීමට යොමුවී ඇත

සටහන : ‎භද්‍රා කමලදාස මහත්මිය
හිටපු වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්

සම්බන්ධ වෙනත් පිටු

Leave a Reply