ඔඩ්ඩුසුඩාන් මුතියංකට්ටුකුලම බෞද්ධ නටබුන් (Muthiyankaddukulam Archaeological Ruins in Mulativu)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.00 out of 5)
Loading...

ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මුතියංකට්ටුව වැවට ඉතා ආසන්නව ගල්තලාවක් හා සම්බන්ධ වී මෙම නටබුන් දක්නට තිබේ. ගල්තලාවේ දකුණු අන්තයේ මාලකයක නටබුන් දක්නට තිබේ. ඒ මත හා අවට පැරණි ගඩොල් විසිරී තිබේ. අසල මාර්ගයෙන් වම් පස ගල් කණු කොටස් සහ ඉහළ කොටස පමණක් දිස්වන අයුරින් පසින් වැසී ඇති කොරවක් ගලකි. එම කොරවක්ගලට පහලින් නැගෙනහිර බටහිර දිශානුගතව මීටර 50ක් පමණ දිග ගල් බැම්මකි.

ගොඩනැගිල්ලට මීටර 15ක් පමණ නැගෙනහිරින් විශ්කම්භය මීටර් 10ක් පමණ ස්තූප ගොඩැල්ලක් දක්නට තිබේ. එහි දකුණු අන්තයේ කොරවක්ගල් දෙකක් සහ ගොඩැල්ල මත කොටසක් කැඩී ඇති බොරදම් සහිත ගල් පුවරුවක් වේ. මෙම ස්ථූප ගොඩැල්ල මැදින් හාරා නිදන් කොල්ලකරුවන් විසින් විනාශ කර ඇත.

ඉහත ගොඩැල්ල අසල තවත් උස්වූ නටබුන් ගොඩනැඟිල්ලකි. පිවිසුම ඇත්තේ නැගෙනහිර දිශාවෙනි. මෙම පිවිසුම සරල කැටයමකින් යුත් කොරවක්ගල් යුගලයකින් අලංකාර කර ඇත. එම කොරවක්ගල් යුගලට දකුණු පසින් යටලි පතක කොටසක්ද වේ. මෙම ගොඩැල්ල මද්‍යයේ කොටස් දෙකකට කැඩී ගිය විශාල ගල් පුවරුවකි. නිදන් හොරුන් විසින් මෑතකදී මෙම පුවරුව නැවත වරක් කැඩීමට උත්සාහ කර ඇති අතර එය ව්‍යාප්තව ගොස් තිබේ. මෙම පුවරුව දිගින් මීටර් 4.45 ද පළලින් මීටර 2ක්ද ඝනකමින් සෙන්ටිමීටර 57ක්ද වෙයි. මෙහි ඝනකම සහිත කොටසෙහි දෙපස විමාන කැටයමින් සරසා තිබේ. මෙම ශිලා පුවරුව ඇති භූමියේ යම් ඉදිකිරීමක සාධක හා ශිලා බැම්මක සාධක තැනින් තැන හඳුනාගත හැකිය. මෙම ගොඩනැගිල්ලේ පුරාවිද්‍යා සාධක අනුව මෙය පධානඝරයක් ලෙස අනුමාන කළ හැකිය.

මෙම නටබුන් ගොඩැල්ල වටා තවත් පැරණි ගොඩනැගිලි කිහිපයක සාධක හඳුනාගත හැක. ඒ අතර ස්ථානයට ප්‍රවේශය ලෙස සලකන ද්වාරය යයි අනුමාන කළ හැකි පෙර සඳහන් ගල් බැම්මට සම්බන්ධව ඇති ගල්කණු තුනක් පමණක් දක්නට ඇති ගොඩනැගිල්ලකි. නැගෙනහිර දිශාවට මුහුණලා ඇති මෙම කොරවක්ගල්, මුරගල්, හා ගල් කණු කොටස් මෑතකදී සිදුකරන ලද අනවසර කැණීමක් හේතුවෙන් උඩට මතුව ඇත. නටබුන් විසිරී ඇති භූමිය පුරා පැරණි ගඩොල් සහ කුණු කොටස් බහුලව විසිරී ඇත. මෙම ස්ථානයේ දක්නට ලැබෙන සාධක හා විසිරී ඇති බිම් ප්‍රදේශය සැලකීමේදී අනුරාධපුර අවධිය නියෝජනය කරන ප්‍රධාන ආගමික සංකීර්ණයක් මෙහි තිබෙන්නට ඇති බව තහවුරු වේ.

මෙම පුරා විද්‍යා ස්ථානය පිහිටා තිබෙන්නේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුතියංකට්ටුකුලම ග්‍රාම නිලධාරී වසමේ මුතියංකට්ටුකුලම ග්‍රාමයේය. ඔඩ්ඩුසුඩාන් හන්දියෙන් පුදුකුඩුඉරිප්පු මාර්ගයෙන් මීටර දෙසීයක් පමණ ගමන් කර ඉන්පසු වමට හැරී මුතියංකට්ටුකුලම මාර්ගයේ කිලෝමීටර තුනක් පමණ ගමන් කොට මාර්ගයට වම්පසින් මුතියංකට්ටුව වැවට ආසන්නයේ මෙම නටබුන් හමුවේ.

පහත ගූගල් සිතියමේ මෙම නටබුන් දකුණු කොට ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ GIS දත්ත පිවිසුමේ ලකුණුකොට ඇති ස්ථානයයි.

මූලාශ්‍ර :

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව
  • Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 13 September 2020].

සම්බන්ධ වෙනත් පිටු

මුතියංකට්ටුකුලම බෞද්ධ නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මුතියංකට්ටුකුලම බෞද්ධ නටබුන් රියදුරු දිශාවන්

ඔඩ්ඩුසුඩාන් සිට මුතියංකට්ටුකුලම බෞද්ධ නටබුන්
හරහා : කැබිතිගොල්ලාව – පදවිය – පදවි පරාක්‍රමපුර
මුළු දුර : කිලෝමීටර් 6
ගතවන කාලය : විනාඩි 20
ගත කිරිය යුතු කාලය : විනාඩි 45  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com