අරම අරහන්ත රජමහා විහාරය (Arama Arahantha Rajamaha Viharaya)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 2.00 out of 5)
Loading...

මාවනැල්ල සිට අරණායක වෙත පැමිණ අරණායක කඩමණ්ඩියේ සිට හොරේවල හරහා සැලවට විහිදුණු මෝටර් රථ මාර්ගයෙන් කිලෝමීටර 2½ ගිය තැන මහ ඔය (මා ඔය) අසබඩ තරමක් උස් බිමක අරම රජමහා විහාරය පිහිටා තිබේ. දකුණු පසින් කඳු අතර අසුපිනි ඇල්ල ඇදහැලෙනු පෙනේ. මෙම ගම්මානයට අරම යන නම වැටී ඇත්තේ අතීතයේ ආර්ය ජනයා මෙහි වාසය කොට ඇති බව ජනප්‍රිය ජනපරවාදයේ පැවතුනත් පිළිගත හැකි සාක්‍ෂි සහිතව පැවසිය හැක්කේ ආරණ්‍යක් පිහිටි ස්ථානය රහත් භික්ෂූන් සිල් රකිමින් සිටි ආරණ්‍ය සේනාසනය යන නම මුල්කරගෙන අරම බිඳී ආ බවය.

රහල කඳුවැටිය වළයාකාර ව විහිදීගිය නාතතේ කන්ද සහ අම්බලම් කන්ද දකුණින් හා බටහිරින් පිහිටි අතර අරණායක නිම්න භූමියට මායිම්ව පවතී. අසුපිනි ඇල්ලෙන් නාගයෙකුගේ ස්වරූපයෙන් ඇද හැලෙන ජල ධාරාව ඔය දිගේ පහළට ගලා යන්නේ අරම විහාරය පිහිටි බිම් කණ්ඩියේ බටහිර පසිනි.

මෙසේ මහ ඔය නදී කුමරිය ගේ ස්පර්ශයෙන් ජීවනය ලබා ඇති අරම විහාරස්ථානයේ ඉපැරණි තවත් කොටස් ගඟේ බටහිර ඉවුරේ දැනට වෙල් යායක් බවට පත්වූ බිමේ ඉහළ කොටසේ ගොඩනගා තිබූ බව කියවෙන අතර කාලයාගේ ඇවෑමෙන් එය කැඩී බිඳී යද්දී එහි ගල් කණු, සෝපාන පන්ති, සෙල්ලිපිය, කොරවක් ගල් ආදිය ඇතුන් ලවා මෙගොඩට ඇද අරම විහාරයේ තැන්පත් කර තිබේ. තනි කළු ගලින් නෙළා සකස් කර තිබූ එම විහාරයේ සමහර නටබුන් කොටස් දැනුදු දැකිය හැකි අතර මහ වැස්සකින් පසු ඔය අයිනේ තිබී ගැලවී ගිය මහා කුඹුක් ගසක් මුලකට යටවී ගඟේ සිට එගොඩ වීමට තිබූ ඉපැරණි සෝපාන පන්තියක් මතුවිය. ආචාර්ය පරණවිතාන මහතා විසින් මෙම ස්ථානය පරික්ෂා කර බලා එම සෙල්ලිපිය කොටා ඇත්තේ අග්බෝ සලමෙවන් රජු (අග්ගබෝධි VI) බව අනාවරණය කර ඇත. පොළොන්නරු රාජධානියේ රජකමට පත් මිහිඳු රජ (මහින්ද ඈපා) තම සහෝදර අග්බෝට උප රජ තනතුර දී මලයට පිටත් කළ බව මහාවංශයේ එයි. මෙයින් මලය ප්‍රදේශයේ පිහිටි විහාරය අරම බව කිය හැකි මුත් එදා එය කුමන නමකින් හැඳින්වූයේ ද යන්න සොයා ගැනීමට නැත.

අග්‍රබෝධි සිලාමේඝ රජතුමා ව්‍යාපාර නිමක මානග්ගබෝධි, අභයුත්තර විහාරයෙහි සහ චතුදෙදසභොග යන ආරාමයන් ද, ඇත්කුස්න්, පූනාපිටි මහා විහාරය, වහදිව (වහකෝට්ටේ) යන විහාරවල ප්‍රාසාද ද ථූපාරාමයෙහි දොරටුවද ප්‍රතිසංස්කරනය කරවූහ. අරම විහාරයට අයත් තුඩපතේ ඒ දිනය වර්ෂ 1707 බව පෙනේ. එය වලගම්බා සමයට සම්බන්ධ කළ ද වැරදි දිනවකවානු යෙදීමෙන් අවුල් වී ඇත. කෙසේ වෙතත් මෙහි එන විස්තර අනුව වළගම්බා රජතුමා දෙමහල් පායක් තනවා ශ්‍රී මහා බෝධි ශාඛාවක් ද හිඳුවා කිහිප ස්ථානයක බුදුරජුන්ගේ ධාතු තැන්පත් කොට හත්රියන් දාගැබක්ද කරවන ලදි. දෙමහල් පායේ පහළ කොටසේ මන බඳනා ආකාරයෙන් එසේ ධාතු චෛත්‍යය, බෝධි චෛත්‍යය, පුෂ්පාරාමය, පලාආරාමය, සංඝාරාමය ආදී සකසා ඉඩම් පූජා කොට “අරහන්ත” භූමිය යන නම දුන් බව සඳහන්ය. එය භික්ෂූන්ට භාවනා පුහුණු කළ හැකි අති උතුම් ශුද්ධ භූමියක් ය යන්න අනාවරණය කළ හැකිය.

නම් පොතේ සඳහන් වූ මෙම ස්ථානයේ 1930 වර්ෂයේ පැරණි ටැම්පිට විහාරය (මහනුවර සමය) ඉවත් කර අලූත් විහාරයක් සාදා ඇත. එම පැරණි විහාරයේ තිබූ මහනුවර යුගයේ පිළිම දෙකක් වෙහෙර අසල ද අනෙක නව විහාරයේ ද තැන්පත් කොට තිබේ . 1950දී මෙම ස්ථානය පිළිසකර කරන විට බෝධිය යට ගල් පෙට්ටියක තිබී ධාතුන් වහන්සේලා හමුවූ අතර ඒවා චෛත්‍යය අලුත්වැඩියාවේදී එහි තැන්පත් කොට ඇත.

භවයෙන් මිදුණු පෙර රහතන් විසූ පෙරම
අලුලෙන කරඬුලෙන වට්ටාරාම අරම
අතරින් මේ හැම වට්ටාරාම වේ පරම
ගණනින් එක් සැටක්ර හතන් විය එහිම

සතර කෝරළේ විත්ති ග්‍රන්ථයෙහි එන සිවු පදයක අරම පිළිබදව කියැවෙන්නේ එලෙසිනි.

ආශ්‍රිත මුලාශ්‍ර

  • Yatawara, M. D. M. S., 2009. කෑගලු කෝරළ පවත : පරණකුරු, කිණිගොඩ සහ ගල්බඩ කෝරළයන්හි ඓතිහාසික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ගවේෂණය. 1st ed. Warakapola: Ariya Publishers.
  • සමන් විජය බණඩාර, 2018. මා ඔයේ වතුර හංගන අබිරහස් උමං. [online] ලංකාදීප ONLINE. Available at: <http://www.lankadeepa.lk> [Accessed 12 December 2020].

සම්බන්ධ වෙනත් පිටු

අරම රජමහා විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

අරම අරහන්ත රජමහා විහාරය රියදුරු දිශාවන්

මාවනැල්ල සිට අරම රජමහා විහාරය දක්වා
හරහා : ගෙවිලිපිටිය – අරණායක – හොරේවල
මුළු දුර : කිලෝමීටර් 16
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com