මුලතිවු වනයේ සැඟවුණු වන්නඩි පාළම හා අමුණ

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.00 out of 5)
Loading...

පුරාණයේදී පදවිය වැවෙන් උතුරු ප්‍රදේශයේ ප්‍රධාන ජල මාර්ග වූයේ යාන් ඔය හා මා ඔයයි. යාන් ඔය හබරණ ආශ්‍රිත ප්‍රදේශයෙන් ආරම්භ වී ත්‍රිකුණාමල මුහුදට උතුරින් පුල්මුඩේ ප්‍රදේශයෙන් මුහුදට සම්බන්ඳ වෙනවා. පදවිය වැවෙන් මා ඔයට ජලය එක්වෙනවා. මා ඔය මුහුදට වැටෙන්නේ මා ඔය කෝකිලායි කලපුවෙන්.

ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වා මාස 4 තුල විශාල ජාල ප්‍රමාණයක් අද මෙම ඇළවල් හරහා ප්‍රයෝජනයක් නොමැතිව මහ මුහුදට එක්වෙනවා. නමුත් පුරාණයේ මෙම ජලය පදවිය, වාහල්කඩ ඇතුළු විශාල හා කුඩා වැව් විශාල ප්‍රමාණයක් පෝෂණය කලබව පෙනෙනවා.

පුරාණ ශ්‍රී ලංකාවේ ගංගා හා වෙනත් දියපහරවල් හරහා බඳින ලද උසින් අඩු බැමි අමුණු ලෙස හැඳින්වෙනවා.  මෙම අමුණු මගින් ගංගාවේ ජල කඳ වෙනත් ඇල මාර්ග වලට හරවා  කෙත්වතු වලට හෝ වෙනත් වැව් පිරවීම සඳහා භාවිතා කරන උනා. 

වන්නඩි අමුණ තිබෙන්නේ මුලතිවු දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වැලිඔය ග්‍රාමයේ රූස්ස කැලයක් හරහා ගලායන දියපහරක් හරස් කරමින්. මෙම අමුණ ගොඩනැගීමට  ගත් ගල් කුට්ටි මත ඇති ගල්කටු සලකනු අනුව මෙම අමුණ අනුරාධපුර යුගයට අයත් බව නිර්ණය කොට  තිබෙනවා. 

උතුරු දිශාවෙන් 223 බලසේනා මූලස්ථානයටද, දකුණු දෙසින් සමූහ ගොවිපළකටද, නැගෙනහිරින් යාය 5-6 කෙත් යායටද, බටහිරින් නිකවැව ගම්මානයටද මායිම් ව පවතින මෙය අනුරාධපුර දිස්ත්‍රීක්කයත් වන්නි දිස්ත්‍රීක්කයත් වෙන් වන මායිමේ පිහිටා තියනවා.

මෙම අමුණ සදා තිබෙන්නේ කිවුල් ඔය හා මා ඔය එක්වන ස්ථානයට තරම පහතින්. පදවිය වැවේ එක්රැස් වෙන අමතර ජලය ගලා යන්නේ මා ඔය ඔස්සේයි.  මා ඔය කෝකිලායි කලපුවෙන් මුහුදට එක් වෙනවා. මෙම ජලපහර හරස් කොට සෑදූ අමුණෙන් ජලය එතැන් සිට වැලි ඇල ඔස්සේ පහළ පිහිටි නික වැව, කිරිඉබ්බන් වැව, ආදී වැව් පෝෂණයට යොදා ගෙන තිබෙනවා. 

වන්නඩි අමුණ දිගින් මීටර් 200ක් පමණ වෙනවා. පළල මීටර නමයක් පමණ සහ උස ආසන්න වශයෙන් මීටර 2.5 – 3 අතර වෙනවා.  මේ අමුණ  සෑදීමට විශාල ගල් කුට්ටි භාවිතා කළ අයුරු අදටත් දැකගන්නට පුළුවන්. මෙහි එක් ගල් කුට්ටියක් සෙන්ටිමීටර 60ක් පමණ පළල සහ මීටර 1.8+ දිග වෙනවා. 

මෙම අමුණට කිලෝමීරයක් පමණ ඊසාන දෙසින් පරාක්‍රමපුර සිට වැලිඔය මාර්ගය අසබඩ වැලිඔය මහා සෑය දැකගන්නට පුළුවන්. මෙම පුරාණ විහාරයේ ලෙනට පිටුපසින් විශාල ගල් කුට්ටි නිමවූ ගල් කොරි කිහිපයක නටබුන් තිබෙනවා. මෙහි කුට්ටි කරනලද නමුත් ප්‍රයෝජනයට නොගත් ගල් කුට්ටි කිහිපයක් දැකගගන්න පුළුවන්. මෙම ගල් කුට්ටි වන්නඩි අමුණේ ගල් හා සමාන වන අතර මෙම ගල් කොරිය අසල වෙනත් ශෛලමය නිර්මාණ නැති නිසා මෙය අමුණට ගල් සැපයූ ස්ථානයක් ලෙස හඳුනාගැනීමට පුළුවන්.

වර්තමානයේ මෙහි ජලය පිට කිරීමට සෑදූ දොරටු දෙකක නටබුන් දක්නට ලැබෙනවා දැනට ස්ථාන තුනකින් අමුණේ  ගල් රූරා වැටී තිබෙනවා. එක් වර්ෂයකදී පදවිය වැව පිටාර ගලා මා ඔස්සේ ආ ජලපහර මෙම අමුණට දරාගත නොහැකිව ගල් බැම්ම බිඳී ගිය බව ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම අමුණේ නටබුන් අතර උතුරු දිසා කෙලවරේ ගල් කුට්ටි වලට ඉහළින් ගඩොල් අතුරා ඇති අයුරු දැක ගන්නට පුළුවන්.  මේ මගින් මෙම අමුණ ගඟ හරහා ගමන් කිරීමට පාලමක් ලෙස ද භාවිතා වූ බව නිර්ණය කරන්න පුළුවන්.  එම නිසා මෙය වන්නඩි පාලම ලෙස ද හඳුන්වනවා.

දැනට ගල්වංගුව ලෙස හදුන්වන ප්‍රදේශය හරහා වැටී තිබුන පුරාණ ගමන් මාර්ගයක් මේ පාළම හරහා ගිය බව ජනප්‍රවාදයේ එනවා.ඒ බව සනාථ කළ හැකි සාධක ද ඒ අවට ප්‍රදේශ වලින් හමුවී තිබෙනවා. 1961 වර්ෂයේ පදවිය ජනපදවාසීන් පිරිසක් විසින් කිවුල් ඔයෙන් කෙත් බිම් හරහා යන ජලය එක් කර ගැනීම සඳහා කුඩා ඇල මාර්ගයක් කපමින් සිටියදී පසට යටවී තිබී හමු වූ ලිග්ගල් තුනක් ද, හැන්දක් ද, අළු ද හමූවී  තිබෙනවා. ඒ ආකාරයටම අදටත් වැල්ලෙන් යටවී පවතින විශාල පාදමක් ද, සමූහ ගොවිපළ ආසන්නයෙන් දැකගත හැකියි. එම පාදම එදා මහසෙන් රජු විසින් පදවි වැව ආසන්නයේ ඉදි කළ පාදමකට ඉතා කිට්ටු නෑකම් කියන්නක් බව ජනපද වාසීන්ගේ අදහසයි. එලෙසම පාළම අවසන් වන ස්ථානයේ ඇති ස්ථුපයක නටඹුන්ද දක්නට ලැබෙනවා. මෙම යෝධ නිර්මාණය පිළිබදව කිසිම පත පොතක හෝ සෙල්ලිපියක සඳහන් නොවීම නිසා කවදා, කෙදිනක,කවුරුන් විසින් මෙය නිර්මාණය කළාද, යන්න නිශ්චිත කර ගැනීමට නොහැකි වී තිබෙනවා. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශිත මුලතිව් දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ ග්‍රන්ථයේ මෙම පාලමට යාමට ඇති මාර්ගය මෙසේ සඳහන් වෙනවා.

“මෙම ස්ථානයට ළඟාවීම සඳහා විය පරාක්‍රමපුර සිට වැලිඔය මාර්ගයේ ගමන් කරන වැලිඔය පාලම පසුකර මීටර් 500 පමණ ඉදිරියට ගමන් කළ යුතුය. එහිදී මෙම මාර්ගයෙන් වම් පසට හැරී කිලෝමීටර 1.5 ක් පමණ ගමන් කර විට මෙම පුරාවිද්‍යා සාධක දක්නට ඇත”

නමුත් විකිපීඩා වාර්තාවක මෙම පාලමට ඇති ගමන් මග මෙසේ සඳහන් වෙනවා. 

… පරාක්‍රමපුර නගරය මධයේ සිට කිලෝමීටර 5 කට ආසන්න දුරකිනි. පරාක්‍රමපුර නගර මධයේ සිට කිලෝමීටර 1 1/2 ක දුරට උතුරු දෙසට තාර දැමූ මාර්ගය ඔස්සේ ගොස් එතැන් සිට බටහිර දිශාවට කිලෝමීටරයක දුරක් 11 වෙනි බෙදුම් ඇළට (ඩී 11) යාබද මාර්ගය ඔස්සේ ගොස් එතැන් සිට උතුරු දිශාවට කිලෝමීටර 2 1/2 පමණ දුරක් කටු පඳුරු වන ලැහැබවල් මැදින් වැටී ඇති පුංචි අඩිපාරක් දිගේ යා යුතුය.

ඉහත ගමන් පෙන්වීම් යම් පරස්පර විරෝධීතාවයක් පෙන්නුම් කරන අතර කිලෝ මීටර 2-3ක වෙනසක් පෙන්වනවා. නමුත් කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතිය පුරාවිද්‍යා බලපෑම්  වාර්තාවේ මෙම ස්ථානයේ GPS  අගය දක්වා තිබෙනවා. එය බොහෝ දුරට විකිපීඩියා පිටුවේ දක්වන ස්ථානය හා සමානතාවයක් දක්වනවා.

A map of Padaviya area with the Vannadi Amunna marked  drawn in 1969 based on colonial maps.
A map of Padaviya area drawn in 1969 based on colonial maps.
source : Archaeological Remains at Deiyyanne-kanda, Padaviya by L. A. Ādithiya (1969)

ආශ්‍රිත මුලාශ්‍ර

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව,පිටු .96-97.
  • පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, 2014. කිවුල්ඔය ජලාශ ව්‍යාපෘතිය පුරාවිද්‍යා බලපෑම් සමීක්ෂණ වාර්තාව. කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව.
  • Ministry of Irrigation and Water Resources Management, 2012. Kivul Oya Reservoir Project (Feasibility Study). Volume 1 – Main Report. Colombo: Ministry of Irrigation and Water Resources Management, pp.14-19.
  • Si.wikipedia.org. 2020. ගල් පාළම, පදවිය. [online] Available at: <https://si.wikipedia.org/wiki/ගල්_පාළම,පදවිය> [Accessed 12 September 2020].
  • Archaeological Remains at Deiyyanne-kanda, Padaviya  : L. A. Ādithiya : The Journal of the Ceylon Branch of the Royal Asiatic Society of Great Britain & Ireland New Series, Vol. 13 (1969)

සම්බන්ධ වෙනත් පිටු

වන්නඩි පාළම හා අමුණ සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වන්නඩි පාළම හා අමුණ රියදුරු දිශාවන්

මැදවච්චිය සිට මුලතිවුහි සැඟවුණු වන්නඩි පාළම හා අමුණ දක්වා
හරහා : කැබිතිගොල්ලාව – පදවිය – පදවි පරාක්‍රමපුර
මුළු දුර : කිලෝමීටර් 70
ගතවන කාලය : විනාඩි 1.30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45  පමණ
රියදුරු දිශාවන් : මෙතනින් ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply