සැලව රජමහා ලෙන් විහාරය (Selawa Rajamaha Len Viharaya)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 2.25 out of 5)
Loading...

මොරතොට හිමි ලෙස හඳුන්වන මොරතොට රාජගුරු ශ්‍රී ධම්මක්ඛන්ධ නාහිමි වැලිවිට සංඝරාජ මාහිමියන්ගේ ගෝලනමකි. මොරතොට හිමි කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1781) රජ දවස අනුනායක පදවියට පත් වූ අතර රාජගුරු ලෙසද පිදුම් ලැබූහ. සැලව විහාරය ගොඩනැගීම මොරතොට හිමියන් විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ආරම්භ කොට ඇත.මෙම විහාරයේ ගොඩනැගීම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය යටතේ වූවත් විහාරය බොහෝ දුරට අවසන් කොට මොරතොට හිමිට පූජා කරන ලද්දේ ‍ රාජාධි රාජසිංහ රජු (1781 – 1798) විසිනි. මොරතොට හිමි රාජාධි රාජසිංහ රජුගේද ආචාර්යවරයා විය. මෙහි බුදු පිළිමයට නේත්‍රා තබා විහාරයේ පැවැත්ම සඳහා කුඹුරු ඉඩම් පූජා කරන ලද්දේ ශ්‍රී ලංකාවේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (1798 – 1815) විසිනි.

මොරතොට හිමියන් එදිනෙදා වැඩ කටයුතු සටහන් කල දිනපොත ( පුස්කොළ පොත) හිඟුලේ බෝධිමලු විහාරයේදී තැන්පත් කොට ඇත. මෙම පුස්ථකයේ සැලව විහාරය පිළිබඳ නොයෙක් සටහන් ඇතුළත්ය.

ජනප්‍රවාදයට අනුව මොරතොට හිමියන්ට විරුද්ධව රාජාධි රාජසිංහ රජුට පැමිණිල්ලක් ලැබිණි. ඒ කාන්තාවක් නිසා හිමිගේ ශීලය බිඳුනු බවය. මෙම සැකය දුරුකිරීමට රජතුමා අපූරු උපක්‍රමයක් භාවිතා කළේය.

කාන්තාවකගේ වෙස්ගත් රාජසිංහ රජතුමා තම අතෙහි වළලු පැළඳ ගෙන උන්වහන්සේ වැඩසිටි කුටියේ කවුළුවකින් තම අත දැමීය. ඒ තුළ සිටි සංඝරාජ හිමියෝ මෙම අත රජතුමාගේ බව හැඳිනගෙන පහත සඳහන් කවිය කීවේලු;

“ලකර මුව තඹර සියොගත සියු මැලියේ
අසලක නම් නිතර දැකුමට සිත ඇලියේ
ඇසළ මස දිටිමි යනවා දිය කෙළියේ
සකල සිරි ලකට අග රජ නුඹ ද ලියේ”

මෙම කවිය ඇසූ රජතුමා බොහෝ සංවේදී වී පහත සඳහන් කවිය මොරතොට හිමි වෙත කීවේලු;

“අමර ගුරු භරණ සත් දත් පිනාවන්
විතර නොවන ගුණ නැණ සපිරි නාවන්
පතර නමැති මොරතොට යති මනාවන්
සසර වසන තුරු මට වාසනාවන්”

සැලව ගල් ලෙනේ දිග අඩි 118 කි. පළල අඩි 18ත් 22ත් අතර වේ. පර්වත ලෙන කිහිප පැත්තකින් විවෘතව පවතී. එබැවින් ලෙන් විහාරය කොටස් හතරකට බෙදා සාදා ඇත. ඒ උඩ කුඩා විහාරය, මැද විහාරය, කොණේ විහාරය හා පරිවාර කාමරයි.

මෙහි විශාලම විහාරය මැද විහාරයයි. මෙය අඩි 42යි අඟල් 10ක් දික් වෙන අතර අඩි 21යි අඟල් 10ක් පළල වේ. මෙම විහාරයට ඇතුළුවීමට ද්වාර දෙකක් වේ. මේ තුළ ඇති ප්‍රධාන සැතපෙන පිළිමය අඩි 36 අඟල් 6 දිග වේ. උරහිස් දෙක අතර අඩි 6යි අඟල් 10ක පරතරයක් පවතී. මහනුවර යුගයේ දියරැලි ආකාරයට සකස් කල සිවුරකින් හා සිරස්පතකින් බුදු පිළිමය සම්පූර්ණය. මෙම පිළිමයේ පිහිටීම අසාමාන්‍ය ලෙස හිස බටහිර දෙස දිසාවට වනසේ අඹා ඇත.

විහාරයට උඩින් පිහිටි උඩ කුඩා විහාරය කුඩාම විහාරය වේ. ඒ මධ්‍යයේ ඔත් පිළිමයකි. ඒ දෙපස කුඩා හිටි පිළිම දෙකක් වේ. නෙළුම් මල් ආදියෙන් සැරසුණු මෙම මහනුවර යුගයේ පිළිම දැනුදු දර්ශනීය ආකාරයෙන් පවතී.

ලෙණෙහි බටහිර දිශාවට වන්නට වූ කොනේ විහාරය දිගින් අඩි 18ක් සහ පළලින් අඩි 15ක් වේ. විහාරයට ඇතුළු වීමට කලාත්මක ශෛලමය උලුවස්සකි. ඒ තුල අඩි 2½ උස ආසනයක් මත උස අඩි 8 අඟල් 6ක් වූ ඔත් පිළිමයකි. එම පිළිමය වටා දර්ශනීය මකර තොරණක් වේ. ඉහළ කොටසේ දේවරූප 16ක් පමණ ඇති අතර දෙපසද ඔත් පිළිම අඹා තිබේ. මෙහි පිට බිත්තියේ මීගස්තැන්න අධිකාරම්ගේ රුවකි.

මෙම පර්වතයේ යටිපස එක් එක්ව යා වන පරිදි රහස් කාමර දෙකක් පවතී. ඒවා සතුරු කරදරවලදී රජුගේ ආරක්ෂාව තකා සෑදූ ඒවා විය හැක. දකුණුපස ඉදිරි බිත්තියේ පේලි 19ක සෙල්ලිපියක් කොටා තිබේ. බුදුන් සතු මල් පල ආදී දෙයින් ඉතා කුඩා කොටසක් හෝ වංචාවෙන් ගැනීම මහා ප්‍රේතයන්ව ඉපදීමට හේතු වනබව මෙහි සටහන් වී ඇත.

සැලව විහාරයටත් පහලින් ඇති ගලක 5වන කාශ්‍යපගේ සෙල්ලිපියක්ද දක්නට හැක.

මෙම ලෙන් විහාරයට ගමන් කිරීමට මාවනැල්ල සිට අරණායක පසුකර කිලෝමීටර 2ක් ගමන් කොට මහ ඔය හරහා පාළම පසුකොට තවත් කිලෝමීටර 2ක් ගමන්කොට රහල දෙසට ඇති මාර්ගයේ කිලෝමීටර 2.8ක් ගමන් කිරීමෙන් ලඟා විය හැක.

මූලාශ්‍ර

  • Yatawara, M. D. M. S., 2009. කෑගලු කෝරළ පවත : පරණකුරු, කිණිගොඩ සහ ගල්බඩ කෝරළයන්හි ඓතිහාසික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ගවේෂණය. 1st ed. Warakapola: Ariya Publishers.

සම්බන්ධ වෙනත් පිටු

සැලව රජමහා විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

සැලව රජමහා විහාරය රියදුරු දිශාවන්

කොළඹ සිට සැලව රජමහා විහාරය දක්වා
හරහා : කඩවත – අඹේපුස්ස – කෑගල්ල – මාවනැල්ල – අරණායක – රහල
මුළු දුර : කිලෝමීටර් 110
ගතවන කාලය : පැය 3
ගත කිරිය යුතු කාලය : විනාඩි 45-60 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply