උඩුනුවර දස්කර ගල්කොණ අම්බලම – Udunuwara Daskara Galkona Ambalama

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (5 votes, average: 4.00 out of 5)
Loading...
උඩුනුවර දස්කර ගල්කොණ අම්බලම - Udunuwara Daskara Galkona Ambalama
උඩුනුවර දස්කර ගල්කොණ අම්බලම – Udunuwara Daskara Galkona Ambalama .
ඡයාරූපය : තරංග සෙනරත්

අම්බලම යනු පුරාණ  ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන්ට, වෙළෙඳුන්ට සහ සංචාරකයින්ට විවේක ගැනීම සඳහා ඉදිකරන ලද පොදු සථාන වේ. මෙසේ ගමන්බිමන් යාමේදී දින ගණනාවක් තිස්සේ මාර්ගයන්හි ගමන් කිරීමට ඔවුනටසිදුවිය.  එසමයෙහි වෙහෙස නිවා ගැනීමටත්, රාත‍්‍රිය ගත කිරීමටත් පුරාණ මාර්ග කේන්ද්‍ර කරගනිමින් අම්බලම් ඉදිවිය.

සංචාරකයින්ගේ ප්‍රයෝජනය සඳහා මෙම අම්බලම්  ගොඩනැගීම පුණ්‍ය ක්‍රියාවක් බවත් ඒවා අපවිත්‍ර කිරීම සමාව දිය නොහැකි පාපයක් බවත් පැරැන්නෝ විශ්වාස කළහ.  ඒ සමගම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත්විය. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ  අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ, අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස්විය.

පේරාදෙණිය – ගම්පොල මාර්ගයේ කිලෝමීටර 6ක් පමණ ගමන් කල විට ගෙලිඔය ප්‍රදේශය හමුවේ. ගෙලිඔය ටවුමේ සිට බූවැලිකඩ මාර්ගයේ කිලෝමීටර 3.5ක්  පමණ ගමන් කරන විට දස්කර ග්‍රාමයට ලඟාවේ. දස්කර ග්‍රාමයේ වම් අත දෙසට වේගිරිය වේගිරිකන්ද රජමහා විහාරය හා පුරාණ නාථ දේවාලයට ඇති මාර්ගය සලකුණු කර ඇත. මෙම මාර්ගයේ මීටර 850ක් ගියතැන ගල්කොණ පුරාණ බෝධිය හා සම්බන්ධව මෙම අම්බලම දැකගත හැක.

එතරම්අ විශාල නොවන මෙම අම්බලම අඩි 10ක් පමණ දිගින් හා පළලින් යුතු වේ. අම්බලම සාදා ඇත්තේ කුඩා වේදිකාවක් මතය. ඒ මත සම සතරැස් ලෙස ගල් කුට්ටි යොදා වාඩිලා ගැනීමට සුදුසු උසට බිත්ති බැඳ කණු 4ක් එම ගලින්ම සාදා ඇත. බිත්ති මත ගල් ලැලි අසුරා හිඳ ගැනීමට සකස් ඇත. මීට අමතර මෙහි වෙනම පිල් බංකුවක් නොමැත. අම්බලමේ දොරටුවට ඉදිරිපස ඇති පෝරුව (හිඳ ගැනීමට ඇති කොටස) අඩි  2½ක් පමණ උස වන අතර දෙපැත්තේ පෝරු අඩි 2ක් පමණ උස වේ. මෙසේ වෙනස් විසින් ආසන පෝරු නිමවීම නුවර යුගයේ බොහෝ අම්බලම් වල දැකිය හැකි විශේෂත්වයක්. මෙය එකල කුල ක්‍රමය අනුව අසුන් ගැනීමේ සම්ප්‍රදායට අනුව සෑදූ ආසන පද්ධතියක්.

වහල සාදා ඇත්තේ ආනති දෙකකින් යුතුවන පදිරිය. වහලය මැද කොතක් මෙන් විශාල ආනතියකින් ඉහලට නංවා ඇත. මෙහි වහලයේ නුවර යුගයේ ප්‍රචලිත පෙති උළු අසුරා ඇත.

වහලයේ පරාලයක වර්ෂ 1928දී සෙනෙවිරත්න යන දානපතියෙකු මෙය සාදන ලද බව වහලයේ බාල්කයක කොටා ඇත.  මුලදී මෙහි පැන්තාලියක්  තිබුනු බව කියවෙතත් අද එය දක්නට නොමැත. 1928ට පෙර මෙහි දැවයෙන් සාදන ලද අලංකාර අම්බලමක් තිබු බව කියවේ. ඒ හා සමාන අම්බලමක් මෙම අම්බලමට බටහිර දෙසින් සුවඳැල්කුඹුරේ අම්බලම නමින් තිබෙන ලද කියවෙතත් එයද විනාශ වී නටබුන් වී ඇත.

මෙම අම්බලම මෑතකදී ප්‍රතිසංස්කරණය කර ඇත.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • අම්බලම හා සමාජය : ශ්‍රී ලංකාවේ පුරාණ පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණයක්, 2018. , 1. කොළඹ : සීමාසහිත ඇස් ගොඩගේ සහෝදරයෝ (පුද්.) සමාගම.

සම්බන්ධ වෙනත් පිටු

දස්කර ගල්කොණ අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

දස්කර ගල්කොණ අම්බලම රියදුරු දිශාවන්

පේරාදෙණිය සිට දස්කර ගල්කොණ අම්බලම දක්වා
හරහා : ගෙලිඔය – දස්කර
මුළු දුර :කිලෝමීටර 12
ගතවන කාලය  : විනාඩි 30
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com