ගණේගම ආසනඝරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...

ඓතිහාසික ඇතුගල් පුරවරයේ සිට පුත්තලම මාර්ගය ඔස්සේ සැතපුම් විසි පහක් පමණ ගිය තැන හමුවන, තවමත් ගැමි සුවඳ වියැකී නො ගිය නිකවැරටිය නම් වු උප නගරයට ආසන්නයේ ගනේවැව පුරාණ විහාරය පිහිටා ඇත. පාරම්පරික සිංහල ගම්මාන වු රත්මලවැටිය, දිවුල්ලෑගොඩ, කොනෙත්තේගම, ගොඩයාය, නබඩෑව වැනි පැරණි ගම් සමුහයකින් වට වු ගනේවැව නම් වූ සොඳුරු ගම් පියස මැද, මෙම පැරණි වෙහෙර පිහිටා ඇති හෙයින් එය වර්තමානයේ ගනේගම පුරාණ විහාරය නමින් හැඳින්වේ. පැරණි ජන වහරට අනුව එහි නම ගනයාව පුරාණ විහාරයයි.

ජනප්‍රවාදයට අනුව ලක්දිව අවසන් මහරහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ දැදුරු ඔය අසබඩ කටගමු රජමහා විහාරයේ සිට පාගමනින් වරින් වර මෙහි වැඩම කළ බවත්, උන් වහන්සේ විවේක සුවයෙන් භාවනායෝගී ව වැඩ සිට ආපසු කටගමු විහාරයට වැඩි බවත් කියැ වේ.

කඩඉම් පොත්වල පිහිටි රටේ කඩඉම් වන ස්ථාන වශයෙන් දැදුරු ඔයේ ටුපලවල් හෙවත් මංකඩවල් ගැන ලියැ වී ඇත්තේ මෙසේ ය. — “දැදුරු ඔය මුහුදට වැටෙන මුතු ශිලාවෙන් මෙපිටත් – කඩිගා තොටෙන් මෙපිටත් – බුදු මුත්තා තොටෙන් මෙපිටත් – කසාවන් තොටෙන් මෙපිටත්˜” ආදී වශයෙනි. මෙහි කසාවන් තොට යනුවෙන් සඳහන් ව තිඛෙන්නේ වෙනත් පොත්වල ගනේ මංකඩ වශයෙන් සඳහන් වන ගනයා තොට යි. “කසාවන් තොට” යනුවෙන් හඳුන්වා තිඛෙන්නේ අනුරාධපුර පොළොන්නරු යුගවල ගනයාව පුරාණ විහාරයෙහි වාසය කළ භික්ෂුන් වහන්සේලා ස්නානය කිරීමට දැදුරු ඔයට පැමිණ කසාවත් හෙවත් සිවුරු මෙම ස්ථානයේ වනා තිබුණු බැවිනැයි ජනප්‍රවාදයේ සඳහන් වේ.

ගම්පොළ හා මහනුවර යුගයේ මුල් භාගයේ දී ලක්දිව උපසපන් භික්ෂුන් වහන්සේලාගෙන් හිස් වූ බැවින් විහාරස්ථාන පවත්වාගෙන ගොස් ඇත්තේ ගනින්නාන්සේලා නමින් හැඳින් වූ අර්ධ පැවිදි පිරිසෙකි. මෙම ගනින්නාන්සේලා දැදුරු ඔය මංකඩේ දිය නෑ නිසා ගනේ මංකඩ වී යැයි ද ජනප්‍රවාදයෙහි සඳහන් ය. මහා වංශයේ සඳහන් වන පරිදි 12 වැනි සියවසේ මහා පරාක්‍රමබාහු රජතුමා දැදුරු ඔය ස්ථාන තුනකින් හරස් කොට වාරිමාර්ග ඉදිකොට තිබේ. කොට්ඨබද්ධ අමුණ, සූකර නිජ්ජර අමුණ හා දෝරදත්තික අමුණ එම ස්ථාන තුන යි. මහා පරාක්‍රමබාහු රජතුමා රිදීබැඳි ඇල කරවා එම ඇල මත්තෙහි පිළිම ගෙයක් ද, චෛත්‍යක් ද, බෝධියක් ද, කර වූ බව මහා වංශයේ සඳහන් ය. පුරාණයෙහි රජ ඇල නමින් ප්‍රකට ව තිබූ එහෙත් දැනට නටඹුන් ව ඇති ඇල ආසන්න වත්මන් රිදීබැඳි ඇල ප්‍රදේශයේ වෙනත් එබඳු ස්ථානයක නටඹුන් නොමැති බැවින් මහා වංශයේ විස්තර කෙරෙන ඉහත කී ස්ථානය ගනයාව පුරාණ විහාරය ලෙස අනුමාන කළ හැකි ය.

චාල්ස් ගොඩකුඹුරේ මහතා මෙම ස්ථානයේ අඩි 11 දිග අඩි 4 අඟල් 9 පළල ශෛලමය ආසනයක් හා ඒ අසල පසින් යටවී තිබු උළු කැබලි සැලකිල්ලට ගනිමින් එහි ආසන ගෘහයක් තිබී ඇති බව අනුමාන කොට ඇත. එබැවින් මෙහි ඉතිහාස කථාව අනුරාධපුර මුල් යුගය දක්වා දිවෙන බව පෙනේ.

ලංකාවේ පැරණිතම බෞද්ධ ගෘහ නිර්මාණ අංග තුනක් ලෙස වියතුන් විසින් සලකනු ලබන්නේ බෝධිඝරයත් චේතියඝරයත් ආසනඝරයත් ය. මෙයින් බෝධිඝරය පිළිබඳ වටදාගේ නම් වූ චේතිඝරය පිළිබඳවත් මූලාශ්‍රවල සඳහන් වෙතත් ආසනඝරය පිළිබඳ විස්තර වශයෙන් සඳහන් නොවේ. එහෙත් පැරණි අට්ඨකථාවලත් මහාවංශය දීපවංශය ආදී පැරැණි වංශ කතාවලත් මේ පිළිබඳව යම් යම් සඳහන් ඇත. 

පුරාවිද්‍යාත්මකව තොරතුරු හා සැසදීමේදී සිරිපතුල් සංකේතය හා සම කාලීනව හෝ ඊට මඳ කාලයකට පසු ආසන බුදුන්ගේ සංකේතයක් ලෙස ප්‍රචලිත වී ඇති බව පෙනේ. ගුණපාල සේනාධීර මහතා (Buddhist Symbolism and Wish Fulfillment) ආසන හාවිතය ක්‍රිස්තු පූර්ව 3වන සියවසේ සිට 9වන සියවස දක්වා පැතිරී තිබු බව පවසයි. ලංකාවේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය ඇරඹීමත් සමග බුදුන් සිහිපත් කිරීමට සංකේත භාවිතය පසුබෑමකට ලක්විය.

ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් ආසනඝර නටබුන් ගණනාවක් හමු වී ඇත. පුලුකුණාව, කටුවන්නාව, හල්මිල්ලවැටිය, උත්තිමඩුව, ගනේවැව සහ දෙබරවැව යටාල වෙහෙර පුදබිම් වල සමහර ප්‍රචලිත ආසනඝර පිහිටා ඇත. මීට අමතරව ආසන හා ආසනඝර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය නයිගල රජමහා විහාරයේ (අඩි 9 අඟල් 8 දිග සහ අඩි 4 අඟල් 4 පළල), සීගිරිය මහානාග පබ්බතාරාමය, නැගෙනහිර පළාතේ පිහිඹියාගොල්ලෑව (අඩි 8 දිග සහ අඟල් 10 අඟල් පළල) සහ වෙහෙරගල, (අඩි 11 අඟල් 8 දිග සහ අඩි 4 අඟල් 4 පළල) , අනුරාධපුර දිස්ත්රික්කයේ කොක්ඇබේ (අඩි 11 අඟල් 5 දිග සහ පළල අඩි 5 පළල), වව්නියාව දිස්ත් රික්කයේ පෙරියන්කුලම එළුපොතාන, තන්තිරිමලේ (අඩි 9 අඟල් 9 දිග සහ අඩි 4 පුළුල්), සේරුවිල, මැණික් වටදාගේ සහ රාජාංගනය හත්තිකුච්චි ආරාම සංකීර්ණයේ පවතී.

අනුරාධපුර යුගයේ විහාරාරාම ඉදිකිරීමේ සම්ප්‍රදායෙහි පංචාවාස විහාරාංග පොහොය ගෙය, පිළිම ගෙය, චෛත්‍ය, බෝධිය, නාග පොකුණ) මෙහි තිබුණු බවට සලකුණු ඇත. දැනටශේෂ ව ඇති පිළිම ගෙය ගර්භ ගෘහය – අන්තරාලය – මණ්ඩපය – ප්‍රදක්ෂිණා පථය ආදී අංගවලින් සමන්විත ය. හිටි පිළිමයක් තැන්පත් කළ ස්ථානයෙහි පද්ම පීඨය නිදන් හොරුන් විසින් ගලවා ඇත. පද්ම පීඨයට යටින් යන්ත්‍ර ගලෙහි කුහර විසිපහක් දක්නට ලැබේ. මෙම කුහරයන්හි තිබූ නිදන් වස්තු නිදන් හොරුන් විසින් කොල්ල කන්නට ඇතැයි සිතිය හැකි ය.  මෙහි අඩි 7 ක් පමණ උස් වූ හිටි පිළිමයක ශීර්ෂය හැර සෙසු කොටස් හමු වී ඇත. විහාරයට ඇතුල් වීමට දොරටු දෙකක් දක්නට ඇති අතර කැටයම් රහිත මුරගල් හා කැටයම් සහිත කොරවක් ගල් ද දක්නට ඇත.

මුලාශ්‍ර

  • ඇම්. ජී. රත්නපාල, 1997. වජ්‍රාසනය. සංකෘතික පුරාණය, 2(8), pp.31-38.
  • මණ්ඩාවල පඤ්ඤවංස හිමි, 2016. පුද බිමක අසිරිය : ගනේවැව පුරාණ විහාරය හා එහි ඉදි වූ ටෙරාකොටා සමාධි බුදුරුව පිළිබඳ සටහනක්. 1st ed. දිවුල්ලෑගොඩ (නිකවැරටිය): ගනේවැව පුරාණ විහාර සංවර්ධන කමිටුව.

සම්බන්ධ වෙනත් පිටු

ගණේගම ආසනඝරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ගණේගම ආසනඝරය ගමන් මාර්ගය

කුරුණෑගල සිට ගණේගම ආසනඝරය දක්වා මාර්ගය
හරහා:පාදෙණිය
දුර: කිලෝමීටර් : 45
ගමන් කාලය: විනාඩි 60
ධාවන දිශාවන්: ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply