කෑගල්ල බෙලිගල ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (7 votes, average: 2.86 out of 5)
Loading...

බෙලිගල ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරය සාමාන්‍ය වහරේ බෙලිගල රාජමහා විහාරය ලෙස ප්‍රචලිතය. එය කෑගල්ල දිස්ත්‍රික්කයේ අලව්ව සහ නෙලුන්දෙනිය අතර පිහිටි පුරාණ විහාරයකි. ඓතිහාසික වාර්තාවලට අනුව, බෙලිගල විහාරය ශ්‍රී මහා බෝධි (දෙතිස්පල මහා බෝධි අංකුරයක් රෝපණය කළ ස්ථානයකි.

මෙම ප්‍රදේශයට බෙලිගල නාමය නම් බැඳීම පිළිබඳව නොයෙක් ජනප්‍රවාද පවතී. කඩයිම් පොත පැරණි ග්‍රන්ථයේ මෙම නාමය ලැබුනේ මුතු, පබළු හා සත්රුවන් (රන්, රිදී, මුතු , මැණික්, දියමන්ති, වෛරෝඩි, ප්‍රවාල – gold, silver, pearls, gems, diamonds, cats-eyes and coral) බෙලි, දිවුල් ගස් වල හා ගල් ගුහා ආදියෙහි පහලවූ හෙයින්ද මෙහි මායිම් සලකුණු කිරීමට බෙලි ගෙඩි කෙටූ ගල් කණු සතරක් වූ නිසාද, කෙළෙඹි පුත්‍රයෙක් පෙර මහරජුන්ට බෙලි ගෙඩියක වස්තුව පුරවා දී මෙම බිම මිලදී ගත් නිසාද, බෙලිගල පායට බස්නාහිර දෙසින් බෙලිගල පර්වතයේ පැල්මක බෙලි රුකක් තිබූ නිසාද රජුට බෙලිමල් සපයන වතු මෙම ප්‍රදේශයේ තිබූ නිසාද බව සඳහන් කරයි.

දෙවිසි වැනිව කියන ලද බෙලිගල රාජ්‍යය නම් බෙලි ගිවුල් ආදියෙහිද ගල් ගුහා ආදියෙහිද මුතු හා පබළු හා සත්රුවන් පහළ වූ හෙයින් බෙලි පල කෙටූ ගල් ටැම් සතරක් සතර කොන කඩවසමට තිබූ හෙයින් පෙර රජෙකුට බෙලි පලයක් පුරාවස්තු දී ප්‍රවේණි සැලැස්මට එක්තරා කෙළෙඹි පුත්‍රයෙක් බිම ගත් හෙයින් ද බෙලිගල් පායට ඉඳුරු දිග ගල් පර්වත ජිද්රාවක බෙලි රුකක්ක පිහිටි හෙයින්ද සෑම මල් වතු පිහිටි හෙයින් ද රජුන්ට බෙලි මල් පසිඳු නා හෙයින් ද බෙලිගල් රාජ්‍යයයි නම් ලද බෙලිගල් පර්වතයට බටහිර දෙණිපතක මල්වත්තක් සැදූ හෙයින් මල්දෙණිය නම් පියසක් ඇත.

කඩයිම් පොත

එවකට කෑගල්ලේ සහකාර ඒජන්තව සිටි ආර්. ඩබ්ලිව්. අයිවර්ස් මහතා බෙලිගල පිළිබඳව දීර්ඝ විස්තරයක් රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ 1884 වර්ෂයේ ප්‍රකාශිත සඟරාවේ පලකොට ඇත. ඔහු මෙහි නාම සම්භවය පිළබඳව මෙසේ පවසයි. පර්වතය බෙලි ගෙඩියක් සේ දිස්වන බැවින් මෙම නාමය ලැබූ බව පෙනී යයි. දිස්ත්‍රික්කයේ අලගල, බතලේගල, ඌරාකන්ද වැනි පර්වත නාමාවලිය විමසීමෙන් එය සිදුවිය හැකි බව පැහැදිය. ඊට අමතරව ජනප්‍රවාදයේ එන කතාවක එක්තරා බ්‍රාහ්මණයෙක් බෝ පැලයක් රැගෙන ගමන් කරද්දී මෙම ප්‍රදේශයේ තිබූ බෙලි ගසක් අසළ විඩා නිවීමට එම බෝ පැලය බෙලි ගසේ අත්තක තබා ආහාර ගැනීමට බැහැරට ගියේය. ඔහු නැවත බෙලි ගස වෙත පැමිණ බෝ පැලය ගැනීමට තැත් කරනා විට බෝ පැලය එය බහාලූ පාත්‍රයද හිල් කොට ගෙන බෙලිගසේ ඔබ්බෙන් පොළොවට මුල් ඇදගෙන ඇතිබව පෙනිණි. නමුත් අද මෙම පර්වතයේ බෙලි හෝ බෝ ගසක් නොමැත.

බෙලිගල හා සම්බන්ධ වන මුල්ම රජ වන්නේ 1වෙනි ගජබා රජතුමාය (112-134). ඔහු තම පියාගේ රාජ්‍ය කාලයේ සොලී දේශයට රැගෙන ගිය දොළොස් දහසක් සිංහල නිදහස් කරවාගෙන ඊට වන්දි වශයෙන් දොළොස් දහසක් දෙමළ සිරකරුවන් රැගෙන ලංකාවට නැවත පැමිණි අයුරු රාජාවලියේ සඳහන් වේ.

කුරුණෑගල විස්තරයේ 1වන ගජබා රජතුමා නැවත ලංකාවට පැමිණි පසු බෙලිගල පර්වතයේ නවමහල් ප්‍රාසාදයක් හා ඒ හා සම්බන්ධ නිවාස හා වෙනත් ගොඩනැගිලි ගොඩනංවා දැඩිගම නුවර පාළුකොට බෙලිගල නුවර ගොඩනැඟූ අයුරු දැක්වේ.

ඩබරයෙහි අනිකක්‌ කීමට පෙරාතුව පොළොන්නරුවෙන්‌ ශාස්තෘහු ගේ පාත්‍රා ධාතුව හා දන්ත ධාතුව ගෙණ වාගීශ්වරාදී සියලු මහා ස්ථවිරයෝ නික්ම මායා රටට අවුත්‌ එහි කොත්‌ මලය නම්‌ පව්චෙහි එක්‌ පියසෙක්හි නිර්භය වූ ස්ථානයෙක්හි සාදර වූවෝ ඒ ධාතු යුග්මය භූමි ගත කොට නිධාන කළෝ ඉක්බිත්තෙන්‌ ඔවුන්‌ අතුරෙන්‌ වාගීශ්වරාදී යම්‌ මහා ස්ථවිර කෙනෙක්‌ ශාසනස්ථිතියට කාරණා වූ ලංකාරක්ෂාව සොයමින්‌ අතිශයින්‌ කම්පිත වූ රළමාලා ඇති මහා සමුද්‍රය තරණය කොට පඬි සොළි ආදී රට ගියාහු ද, කරුණාවට ආකර වූ ඒ විජය බාහු නරෙන්ද්‍ර තෙම මහා මාත්‍යයන්‌ යවා ඒ සියලු වහන්දෑ ම නැවත ඒ රටින්‌ (මෙහි) කැඳ චූයේ ය. හේ තෙමේ ආවා වූ ඒ මහ තෙරුන්‌ වැඳ “දන්ත ධාතු පාත්‍රා ධාතුද්වරය කොතැන තිබුණේ දැ” ‘යි චිචාළේ ය. අසවල්‌ තැනය යි උන්වහන්සේලා වදාළ කල්හි නරේශ්වර තෙම පස්වනක්‌ ප්‍රිතියෙන්‌ සම්පුර්ණ වූ සර්වාංග ඇති වූයේ ය. ඒ මිහිපති තෙම එ මහ තෙර සමූහයා පෙරටු කොට ඒ කොත්මල පව්‌ වලට ද සෙන්‌ සමග වැඩියේ ය. පර්වතය හාත්ප්‍ය මහපුද කරවා සතුටු සිත්‌ ඇත්තේ දංෂ්ට්‍රාපාත ධාතු යුග්මය එහි දුටු යේ ය. එකල්හි පෘථිවිශ්වර තෙමේ චක්‍රරත්නාදි රත්නයක්‌ හෝ මහා නිධානයන්‌ ලබන්නා මෙන්‌ ද නිවණයට පැමිණෙන්නා මෙන්‌ ද සතුටු වූ සිත්‌ ඇත්තේ මන්ධධාතු නරෙන්ද්‍රයන්‌ සමාන සම්පත්‌ ඇත්තේ ඒ ධාතු යුග්මය ගෙණ මහත්‌ සැණකෙළියෙන්‌ යුක්තව ගමින්‌ ගමට පුරයෙන්‌ පුරයට ගෙණවුත්‌ සජ්ජනයා විසින්‌ ආරබ්ධ දර්ශණීය මහෝත්සව ඇත්තා වූ රම්‍ය වූ දඹඳෙණි පුරයට ගෙණාසේ ය. 

පණ්ඩිත වූ රජ තෙමේ මේ ධාතූන්‌ වහන්සේලාට මහත්‌ වූ පූජාවිධිය දවසක්‌ දවසක්‌ පාසා පවත්‌ වන්නේ ඉක්බිත්තෙන්‌ මෙසේ සිතුසේ ය. “සර්වප්‍රකාරයෙන් අනාගත කාලයෙහි අන්‍ය නරෙන්ද්‍රයෙක්‌ වූ කලී මේ බුද්ධ ධාතූන්ට පරසතුරන්ගෙන්‌ යම්‌ සේ පීඩා නොවන්නී ද එපරිද්දෙන්‌ අතිශවින්‌ දුගීමස්ථිර වූ නිර්භය ස්ථානයක්‌ සකසා කරවන්නෙමි” යි සිතා යම්‌ සේ අහස්හි දෙවියන්‌ විනා පොළෙවෙහි පස මිතුරු මිනිසුන්‌ විසින්‌ යනු නොහැකි වේ ද එපරිද්දෙන්‌ බෙලිගල හාත්පසින්‌ පව්රු දොරටු ආදියෙන්‌ සුරක්ෂිත කොට ඒ ගලමත්තෙහි උතුම්‌ වූ ද්ංෂට්‍රාධාතු මන්දිරයක්‌ දෙව්‌ ලොවින්‌ ආවා වූ දෙව්‌ විමනක්‌ මෙන්‌ මනරම්‌ කොට කරවාථ ඒ හාස්පස ද නානාවිධ ප්‍රාසාද මණ්ඩලාන්විත වූ රාත්‍රි ස්ථාන දිවා ස්ථාන ප්‍රතික්‍රමණ ශාලාවෙන්‌ ශෝභන වූ වැච්‌ පොකුණින්‌ යුක්ත වූ සංඝාරාමයක්‌ කරවා පණ්ඩිත වූ රජ තෙමේ ඒ ධාතු මන්දිරයෙහි දංෂ්ට්‍රා පාතුධාතු යුග්මය මහත්‌ වූ සැණකෙළියෙන්‌ ආදර සහිත පිහිටු වූයේ ය. ධාතු රක්ෂාවෙහි නියුක්ත වූ ස්ථීරශීලි වු ස්ථවිරයන්ට ඒ සංඝාරාමය ද දී දන්වැට ද තැබ්බ වූයේ ය. දවසක්‌ දවසක්‌ පාසා ධාතූන්‌ වහන්සේලාට උතුම්‌ වූ පූජාවිධි මහෝත්සවය මනාකොට පවත්වනු පිණිස ව්‍යවස්ථා කරවූ යේය, ඉක්බිත්තෙන්‌ පෘථිවීශ්වර තෙම සම්‍යක්‌ සම්බුද්ධ ශාසනයට ශ්‍රද්ධාවෙන්‌ උපකාර කරන්ට පටන්‌ ගත්තේ ය. ඒ කෙසේ දුූයි කියනු ලැබේ.

මහාවංශය (සිංහල), 2010. (මහාවංශයේ හා චූලවංශයේ එකතුවක්)

කාලිංගමාඝ 1215 දී පොලොන්නරුව රාජධානිය ආක්‍රමණය කලපසු දන්ත ධාතූන් වහන්සේ කොත්මලයට රහසේ වැඩමකරන ලදී. තුන්වන විජයබාහු රජු (1232-1236) අගනුවර දඹදෙණියට ගෙනයාමට තීරණය කළ අතර රජතුමා බෙලිගල පර්වතය වටා අංග සම්පූර්ණ නගරයක් නිම කිරීම සඳහා සියලු ගොඩනැඟිලි හා ආරාම සමඟ අතිවිශාල ධාතු මන්දිරයක් ඉදි කළේය.

බෙලිගල පුරය තුන්වන විජයබාහු රජු ඉදි කිරීමට පෙර මෙම විහාරස්ථානය පිළිබඳ කිසිදු සෙල්ලිපියක් හෝ ඓතිහාසික වාර්තාවක් නොමැත. කෙසේ වෙතත්, එච්. වේස් මහතා 1885 පෙබරවාරි 6 දින සඳහා ඔහුගේ දිනපොතෙහි පහත සඳහන් දෑ සටහන් කර ඇත;

ඔහු අතරමගදී බෙලිගල විහාරය වෙත ගොස් ඇත. විහාරය ඇත්තේ පිරිසිදු හතරැස් සංකීර්ණයක ය. එය දේවානම්පියතිස්සා රජුගේ කාලයේ (ක්‍රි.පූ. 250-210) ආරම්භ කරන ලද පැරණි විහාරයකි. 1885 දෙසැම්බර් 16 වන දින බෙලිගල පර්වතයේ පාමුල බෙලිගල විහාරේ පිහිටා ඇති බව ඔහු නැවත වරක් වාර්තා කරයි. එය ආරම්භ කරන ලද්දේ ක්‍රි.පූ. 59 දී යැයි ද සරළ ගල් කණු සහ අලංකාර කොරවක්ගල් දෙකක් ඇති බව සටහන් කරයි.

1894 දී ආර්. ඩබ්ලිව්. අයිවර්ස් මහතා බෙලිගල ක්ෂේත්‍ර චාරිකාවක් කොට ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් 1886 දී ප්‍රකාශිත JOURNAL OF THE CEYLON BRANCH OF THE ROYAL ASIATIC SOCIETY සඟරාවේ පලකොට ඇති අතර ඔහු විසින් මෙම විහාරය කාලිංග බාහු රජු (වැරදීමක්?) ගොඩනැගුවක් බව සඳහන් කරයි.

මෙම විහාරය පිහිටුවන ලද දිනය කුමක් වුවත්, දළදා මාලිගය බෙලිගල පර්වතයේ පවතින වකවානුවේ බෙලිගල විහාරය උච්චතම කාලය තිබූ බවට සැකයක් නැත. බෙලිගල විහාරය දළදා මාලිගය පවත්වාගෙන යාමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනුලැබූ විහාරයක් විය යුතුය .

තුන්වන විජයබාහුගේ පුත් පණ්ඩිත් පරක්‍රමබාහු රජුගේ (1236-1270) සහෝදරයා වූ බුවනෙකබාහු යුවරජ බෙලිගල් වෙහෙරේ හි විවිධ ශාලා සමඟ ආරාමයක් ඉදි කොට එය බුවනෙකබා පිරිවෙන ලෙස නම් තැබූ බව චූලවංශයේ සහ පූජාවලියේ සඳහන් වේ.

ඉක්බිති රජ තෙමේ සිය නමින්‌ පරාක්‍රමබාහු නම්‌ වූ තුඟු පහයෙන්‌ හෙබියා වූ පිරිවෙණක්‌ කරවා නානා කජ්පිය භාණ්ඩ හා බොහෝ අය උපදනා ගම්වර ද ඒ වෙහෙරට දී මහා පූජාත්‌ කරවී ය. ඒ රජ තෙමේ සිය නමින්‌ ම තමන්‌ යුව රජු ලවා බෙලි ගල්‌ වෙහෙර භූවනෙකබාහු නම්‌ වූ ප්‍රාසාද මණ්ඩපාදියෙන්‌ හෙබියා වූ පිරිවෙණක්‌ කරවා ඒ ශ්‍රී චර්ධන නම්‌ පුරයෙහි කී ක්‍රමයෙන්‌ සියලු පූජා වස්තුවෙන්‌ ආදර සහිතව සත්‌ දවසක්‌ තුණුරුවනට මහ පූජා පැවත්‌ වී, නැවත ද ඒ රජ තෙමේ එසෙනෙවි රදුන්‌ ලවා ම හස්තිශෛල පුරවරයෙහි සිය නමින්‌ මහ වෙහෙරක්‌ කරවා පසුව එම පූජා කොට පින්‌ රැස්‌ කෙළේ ය.

මහාවංශය (සිංහල), 2010. (මහාවංශයේ හා චූලවංශයේ එකතුවක්)

එච්.සී.පී. බෙල්ගේ කෑගලු වාර්තාවට අනුව, මෙහි බෝධීන් පහක් ඇති අතර, ඉන් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියේ අංකුරයකි. මෙහි දැවයෙන් සාදා ඇති ඉහළ මහලක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ඇත. ඉහල මහලට රඳවා ඇත්තේ අඩි 11 අඟල් 6 ක් උස සහ අඟල් 10 පැත්තක් පළල සිවුරැස් ශිලාමය කණු 26ක් මතයි. මෙම කුළුණු සමහරක් ලී කුළුණු මගින් ප්රතිස්ථාපනය කර ඇත. ගොඩනැගිල්ලවටා අඩි 8 ක් උස සහ අඟල් 10 ක කුළුණු ආධාරයෙන් අඩක් උස බිත්තියෙන් වටවූ බරාඳයක් ඇත.

භූමියේ ඇති තවත් වැදගත් පුරාවස්තුවක් වන්නේ විශේෂිත සඳකදපහනයි. මෙම සඳකඩ පහණ නිමවූ ගල් වඩුවා එය අනුරාධපුර සහ පොලොන්නරුව සඳකඩපහණ අභාෂයෙන් මිදී වෙනත්ම ආකෘතියකට නිමවා ඇත. බෙල් මහතාට අනුව එය අමරාවතී ගරාදි වල පහතින් වූ විසිතුරු පනේල සිහියට නංවයි. අනුරාධපුර සඳකඩපහණ නෙළුම් මලක් වටා කේන්ද්‍රීය පටි හතරකට බෙදා ඇත. එහෙත් හුරුපුරුදු සතුන් පේළි (අලි, සිංහයන්, ගොනුන් සහ අශ්වයන්) සහ හංසයින් (තුඩින් ගත් නටු සහිත නෙලුම් මල්) වමේ සිට දකුණට ගමන් කරමින්, සාම්ප්‍රදායික පත්‍ර හා ලියවැල් තීරු වලින් වෙන් කරනවා වෙනුවට බෙලිගල සඳකඩපහණෙහි, සතුන්ගේ අභ්‍යන්තර තීරු තුන (එක් එක් පේළිය අනෙක් ඒවාට වඩා වෙනස් වන්නා වූ) මධ්‍යයේ හමුවෙයි. පිටත තීරුවේ පමණක්ම මද්‍යයේ වූ කිඹිසි මුහුණ දෙපස පත්‍ර 8 බැගින් කැටයම් කොට ඇත. දෙවන තීරුවේ ව්‍යාඝ්‍රයන් දහහතර දෙනෙකු සිටින අතර අන්තිම දෙදෙනා හැර අනෙත් ව්‍යාඝ්‍රයන්හි ස් ආපසු හරවාසිටී. ඊළඟට ඇතුන් දොළොස් දෙනෙක් පිටුපස වම් පය ඔසවා, දුවන්නාක් මෙන් සිටින අතර, තෙවන හා අවසන්තී තීරුවේ සෑදල හා කටකලියා යෙදු අශ්වයන් දස දෙනෙකි. එලිපතට හේත්තු වන දෙපස අසාමාන්‍ය ලෙස දිගු කකුල් සහිත හිස පිටුපසට හැරවූ මකරෙකු පිටත පටි තීරු 2 හරහා විහිදේ. නෙළුම් මලෙහි විෂ්කම්භය අඩි 2 අඟල් 1 වේ. එය මතුපිට පෘෂ්ටයේ සිට අඟල් 2 – අඟල් 3 දක්වා ඉහළට මතුවේ. ගලෙහි සැබෑ අරය අඩි 3 අඟල් 1 ක් වන නමුත් එය මකරුන් හරහා අඩි 7 අඟල් 6 ක් වන පාදමේ සිට අඩි 3 අඟල් 10½ නෙරා යමින් සම්ප්‍රදායික අර්ධ කවයෙන් වෙන්වේ. මෙම කැටයම භාවපුර්ව සජීවී සවරූපයක් උසුලයි. විහාරය වැඳපුදා ගැනීමට එන බැතිමතුන් පරම්පරා ගනකගේ ලැබූ දෙපතුලේ පහස සලකන කල මෙය මනාව සංරක්ෂණය වී ඇතයි සැලකිය හැක.

Unique Moonstone of the Beligala Viharaya as seen by HCP Bell in 1894
Unique Moonstone of the Beligala Viharaya as seen by HCP Bell in 1894
source :H. C. P. BELL, 1904. ARCHEOLOGICAL, STREY OF CEYLON. REPORT ON THE KEGALLA DISTRICT OF THE PROVINCE OF SABARAGAMUWA

මෙම සඳකඩ පහණ වර්තමානයේ යකඩ වැටකින් ආරක්ෂා කොට ඇති අතර පුරාවෘත්තයනට අනුව මෙම යට නිධානයක් පවතින බව විශ්වාසයෙන් රුවන්වැල්ල ප්‍රදේශයේ සභාපති සුදත් මංජුල මහතා තමා වෙත පැමිණ සඳකඩ පහණ යට ඇති නිධානය හෑරීමට උදව් ඉල්ලා සිටින බව 2013 වසරේ පොලිසියට පැමිණිලි කොට ඇත.

මූලාශ්‍ර

  1. H. C. P. BELL, 1904. ARCHEOLOGICAL, STREY OF CEYLON. REPORT ON THE KEGALLA DISTRICT · OF THE PROVINCE OF SABARAGAMUWA. 1st ed. Colombo: GEORGE J. A. SKEEN.
  2. H.C.P බෙල් (සිංහල පරිවර්තනය කොත්මලේ කේ. බී. ඒ. එඩ්මන්ඩ් ), 2005. ලංකා පුරාවිද්‍යා ගවේෂණය කෑගල්ල දිස්ත්‍රික්කය පිලිබඳ වාර්තාව (Report On The Kegalle District – 1892 : සිංහල පරිවර්තනය). 1st ed. කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව.
  3. GEIGER, W., 1929. Culavamsa Being the More Recent Part of Mahavamsa : Volume 2. London: Pali text Society.
  4. R. W. Ievers, 1886. BELIGALA. JOURNAL OF THE CEYLON BRANCH OF THE ROYAL ASIATIC SOCIETY, VIII, pp.346-368.
  5. මහාවංශය (සිංහල), 2010. , 1. Buddhist Cultural Center.

සම්බන්ධ වෙනත් පිටු

බෙලිගල ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

බෙලිගල ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරය ගමන් මාර්ගය

නෙළුන්දෙණියේ සිට කෑගල්ල බෙලිගල රජමහා විහාරය දක්වා මාර්ගය
හරහා : නෙළුන්දෙනිය පාර
දුර : කිලෝමීටර් 5.8
ගමන් කාලය : විනාඩි 10
රිය පැදවීමේ දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply