යාන් ඔය නිම්නයේ සැඟවුණු කොක්එබේ මෙගලිතික සුසාන භූමිය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (9 votes, average: 3.44 out of 5)
Loading...
යාන් ඔය නිම්නයේ සැඟවුණු කොක්එබේ මෙගලිතික සුසාන භූමිය - Kokebe Megalithic Burial Grounds in Yan Oya Valley
යාන් ඔය නිම්නයේ සැඟවුණු කොක්එබේ මෙගලිතික සුසාන භූමිය – Kokebe Megalithic Burial Grounds in Yan Oya Valley

කොක්එබේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දුෂ්කර ගම්මානයකි. කෝන්වැව, කොක්එබේ ගම්මානයට ඇති ආසන්නම ගම්මානය වේ.

කොක්එබේ ගමට එම නම ලැබුණු සැටි පිළිබඳව මත කිහිපයක් ජනවහරේ පවතී. මෙම ගම්මානය පුරාණයේ මහදුටුවැව නමින් හඳුන්වා තිබේ. ගම්මානය යාන් ඔයට ආසන්නයෙන් පවතින බැවින් වැසි කාලයන්දී යාන් ඔය පිටාර ගලා වලවල් හි වතුර එකතු වී ඇත. ඉබේ සෑදුනු වලවල් යන අර්ථයෙන් මේවා “එබේ” ලෙස හඳුන්වා ඇත. ජලය හිඟ කාලයට ගැමියන් මෙම වලවල් වල එබී නාන බැවින් ඒවා පසුකාලීනව “එබේ” නම ලැබූ බව තවත් මතයකි.

බ්‍රිතාන්‍ය පාළන සමයේ සුදු ආණ්ඩුකාරවරයෙකු දඩයම් සඳහා මෙම ගම්මානයට  පැමිණ කොකුන් සිටින්නේ කොතනක දැයි විමසූ විට ඔවුන් දන්නා ආකාරයෙන් කොකුන් සිටින්නේ එබේ වලවල් වල බව පැවසීමට කොක්කු-එබේ ලෙස පැවසූ බව එලෙසම ගම්මානයේ නමද කොක්එබේ ලෙස පරිවර්තනය වූ බවත් විශ්වාස කරයි.  එලෙසම මිනිසුන් නාන එබේ වලවල් වල කොකුන් බොහොමයක් සිටි බැවින් කොක්එබේ ලෙස මෙම ප්‍රරදේශය නම් වූ බවද තවත් මතයකි.

මද්‍ය යාන්ඔය නිම්නයට අයත්වන මෙම ප්‍රදේශයේ මද්‍ය ශිලා යුගයේ සිට මානවයන් සිටි බව ආචාර්ය සිරාන් දැරණියගල මහතා පෙන්වා දී තිබේ.

ආර්.ඩබ්. ලීවර්ස් 1885, රාජා ද සිල්වා සහ එස්.කේ. සිත‍්‍රම්පලම් 1965/66, සුදර්ශන් සෙනෙවිරත්න 1984, රංජිත් දිසානායක 2013 ආදී විද්වතුන් මෙම ප්‍රදේශයේ පූර්ව ඓතිහාසික යුගයට අයත් මෙගලිතික සුසානභූමි 25ක් හා පූර්ව ඓතිහාසික යුගයට අයත් ජනාවාස 6ක් වර්ග කිලෝමීටර 1370ක් තුල හමුවී ඇති බව වාර්තා කරයි. කොක්එබේ මෙගලිතික සුසාන භූමි ප්‍රදේශය රාජා ද සිල්වා සහ එස්.කේ. සිත‍්‍රම්පලම් විසින් ගවේෂණය කර සුසාන 200 පමණ පවතින බව හඳුනාගෙන ඇත.

වසර 2016දී රජරට විශ්වදයාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය විසින් කොක්එබේ මෙගලිතික සුසාන භූමිය ආශ‍්‍රිත ව පර්යේෂණ ආරම්භ කරනු ලදී. මෙම පර්යේෂණයන්ගෙන් හෙක්ටයාර් 10ක බිම් ප්‍රමානයක් තුල ශිලා සුසාන් 267ක් පමණ හඳුනාගන්නා ලදී. ඊට අමතරව මුලින් සොයාගත් සුසාන ආකෘතියට අමතරව සුසාන ආකෘති තවත් 4 වර්ගයක් මෙම සුසානය තුලම සොයා ගන්නා ලදී.

මෙහි දැනට හමුවී ඇති සුසාන වර්ග මෙසේය

  • ශිලා මංජුසා සූසාන (Cist burials )
  • ශිලා කේතුක / ගල් ගොඩැලි සූසාන (Cairn heap / Cairn mounds)
  • ශිලා මණ්ඩල සූසාන (Cairn circle)
  • ශිලා පෙළ සූසාන (Alignment)
  • බරණි සුසාන (Urn pot)

ශතවර්ෂ ගණනාවක් භාවිතා වූ මෙම සුසාන භූමිය ප්‍රදේශයේ ජනතාවගේ සංස්කෘතිය පරිනත් වීමත් සමග තම මියගියවුන් භූමදානය කළ අකාරයේ ඇති වූ පරිවර්තනයන් මෙහි මනාව පෙන්නුම් කරයි.

මෙහි කැනීම් කළ සුසානයන් තුල විවිධ හැඩයන් ගෙන් යුත් කාලරක්ත වර්ණ මැටි බඳුන් හා නිල්, කොළ, දුඔුරු ආදී වර්ණයන්ගෙන් යුත් වීදුරු පබළු 100කට අධික ප්‍රමාණයක්ද දළ වලින් නිර්මාණය කළ පබළු කිහිපයක් හා කානීලියන් වලින් නිර්මිත පබළු සොයාගනු ලැබිණි.

මෙම සුසානයන්ගෙන් ලබාගත් අඟුරු සාම්පල 3ක් ඇමරිකාවේ මියාමි හි පිහිටි බීටා ඇනලිටික් ආයතනයට යවා කාබන් කාලනිර්ණය කොට ඇති අතර ඒවා ක්‍රි.පූ. 790, ක්‍රි.පූ. 770 හා ක්‍රි.ව. 50 යන කාලවලට අයත් බවට නිර්ණය කොට ඇත. ක්‍රි.පූ. 790 කාල නිර්ණය ලැබී ඇත්තේ මෙම ප්‍රදේශයේ වඩාත් බහුල ශිලා මංජුසා සූසානයකිනි.   ක්‍රි.පූ. 770 කාල නිර්ණය ලැබී ඇත්තේ ශිලා පෙළ සූසානක මද්‍යයේ තිබූ සුසානයකිනි.  මෙම සාම්පල 3 අයත් කාලපරාසය බලන විට මෙම සුසාන භූමිය අවම වශයෙන් අවුරුදු 850ක් පමණ භාවිතයෙහි තිබී ඇති බව පෙනේ.

මෙහි ශිලා පෙළ සූසානය මීටර 15ක් පමණ දිගකට සිටුවන ලද ශිලා පුවරු සමූහයකින් සමන්විතය. මෙම ශිලා පුවරු දෙපස මැටියෙන් තනන ලද බරණි තැන්පත් කොට තිබේ. මෙම ශිලා පෙළ සුසානයේ ආරම්භය කුමන කෙලවරේදැයි නිර්නනය කොට නැත. ශිලා පෙළ සූසාන කැණීම් ප්‍රදේශයේ  පමණක් බරණි 25ක් පමණ  හමුවී ඇත. එබැවින් මෙය පවුලේ සුසාන භූමියක් හෝ පොදු සුසාන භූමියක් ලෙස සැලකූ බව පෙනේ. මෙහි මධ්‍යයේ හමුවූ අඟුරු සාම්පල ක්‍රිස්තු පූර්ව 770 ට අයත් බැවින් මෙහි ආරම්භය ක්‍රිස්තු පූර්ව 1000 හෝ ඊට පෙර විය යුතුය. මෙය එසේ වේ නම් යාන්ඔය මධ්‍ය නිම්නයේ ජනාවාස ඉතිහාසය අනුරාධපුරයේ ජනාවාස ඉතිහාසය හා සමකාලීන කාලයකට අයත් විය යුතුය. ශිලා පෙළ සූසාන භූමියක් ශ්‍රී ලංකාවේ පළවෙනි වරට ක්‍රමවත්ව කැණීම් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

මෙහි හමුවී ඇති ශිලා කේතුක / ගල් ගොඩැලි  සූසාන (Cairn heap / Cairn mounds) ලංකාවේ දුර්ලභ සුසාන වර්ගයකි. මෙහිදී ගොඩැල්ලක අකාරයෙන් ගල්කැට එකක් උඩ එකක් තබා සුසානය සාදනු ලැබේ. කොක්එබේ, පරංගියාවාඩිය, හුරුළු නිකවැව, වලස්මුල්ල ආදි ස්ථානවලින් මෙවන් සුසාන හමුවී ඇත.

කොක්එබේ භූමියට අනුරාධපුර සිට කිලෝමීටර 52කි. අනුරාධපුර සිට මිහින්තලා මාර්ගයේ කහටගස්දිගිලිය පසුකොට හල්මිල්ලෑව මංසන්ධියට පැමිණ ගලෙන්බිඳුනුවැව මාර්ගයට හරවා කෝන්වැව මංසන්ධියෙන් වමට හරවා කොක්එබේ ගම්මානයට ලඟා විය හැක. මෙහි සංරක්ෂණය කොට ඇති කොක්එබේ පුරාවිද්‍යා භූමිය පසුකොට වනය මැදින් මීටර 200ක් පමණ ගමන් කලවිට මෙම සුසාන පවතින පරදේශයට ලඟා විය හැක.

මුලාශ්‍ර

  • විතානාච්චි, ච. රෝ. සහ මෙන්ඩිස්, ඩී. තු. , 2017. මධ්‍ය යාන් ඔය නිම්නයේ කොක්එබේ මෙගලිතික සුසානය ආශ්‍රිත පුරාවිද්‍යා කැනීම හා තදාශ්‍රිත ප්‍රදේශයේ පුරාණ මානව ජනාවාසකරණය. 1st ed. මිහින්තලේ: ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය.
  • විතානාච්චි, ච. රෝ. සහ මෙන්ඩිස්, ඩී. තු. , 2017. මධ්‍ය යාන්ඔය නිම්නයේ ජනාවාස පුරා විද්‍යාව. 1st ed. මිහින්තලේ: ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය.
  • මෙන්ඩිස්, ඩී. තු., 2019. අවුරුදු 3000කට පෙර යාන් ඔය නිම්නය කර්මාන්ත පුරයක් වුණු හැටි. www.silumina.lk, [online] Available at: <http://www.silumina.lk/> [Accessed 11 March 2021].

සම්බන්ධ වෙනත් පිටු

කොක්එබේ මෙගලිතික සුසාන භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කොක්එබේ මෙගලිතික සුසාන භූමිය රියදුරු දිශාවන්

අනුරාධපුර සිට කොක්එබේ මෙගලිතික සුසාන භූමිය දක්වා

හරහා :මිහින්තලාව – කහටගස්දිගිලිය – හල්මිල්ලෑව –
මුළු දුර: කිලෝමීටර 52
ගතවන කාලය  : පැය 1.15
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-60 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply