ලෙව්කේ දිසාව හිස ගැසූ ස්ථානයේ සිහිවටන ඵලකය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (6 votes, average: 3.83 out of 5)
Loading...
Memorial of Lewke Dissawa at Hanwella – ලෙව්කේ දිසාව හිස ගැසූ ස්ථානයේ සිහිවටන ඵලකය
Memorial of Lewke Dissawa at Hanwella – ලෙව්කේ දිසාව හිස ගැසූ ස්ථානයේ සිහිවටන ඵලකය
පුන් සඳ සේම පායාලා රට මැ      ද්  දේ 
රන්කෙඳි සේම පීරාලා පිට මැ      ද්  දේ 
මාර සෙනඟ වට කරගෙන යම යු   ද් දේ
ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැ ද් දේ

ලෙව්කේ පරපුර මහනුවර යුගයේ රාජ වංශයන් සමග සමීපව කටයුතු කල රදළ පරපුරකි. ජනප්‍රවාදයන්ට අනුව, ලෙව්කේ පරපුර ආරම්භ වූයේ 11 වන සියවසේ පළමුවන විජයබාහු රජුගේ පාලන සමයේදී දිවයිනට පැමිණි බ්‍රහ්මයන්ගෙන් බව කියවේ. අද අප මාතෘකාව වන ලෙව්කේ දිසාව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ හමුදාවේ ප්‍රධාන සේනාධිනායක වූ අතර ඔහුගේ අසාමාන්‍ය ශක්තිය පිළිබඳව ජනප්‍රවාද බොහොමයක්ව පවතී.

වරක් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු කළ දකුණු ඉන්දියාවේ නමගිය මල්ලවපොර ශූරයකු උඩරට රජවාසලට පැමිණ රජු ඉදිරියේ වැඳ වැටී තම තොරතුරු පවසා රජ වාසලේ සේවය කරන රණ ශූරයකුට තමා සමග මල්ලවපොරයට එන ලෙස විවෘත අභියෝගයක් කළේය. රජු හැම හමුදා සෙනවියෙකුගේම මුහුණ දෙස බැලූවත් හැම අයම බිම බලාගෙන නිහඬව සිටියහ. නිහඬතාවය බිඳ ලෙව්කේ අභියෝගය බාර ගත්තේය. සටනට මාසයක් දින දී දෙදෙනාම එක ළඟ යාබද කුටි දෙකක රජ වාසලෙන් හොඳම කෑම බීම, සාත්තු සප්පායම් සහිතව විවේක ගෙන නැවතී සටන සඳහා සූදානම් වීමට රජුගේ අවසරය ලැබුණි. රජ වාසල යාබද කුටි දෙකක රසවත් කෑම බීම ලබමින් එකට විට සපමින් සතුටු සාමීචියෙහි යෙදුණාහ. ආගිය තොරතුරු ඔවුන්ගේ කතාබහට ලක්විය. රාත‍්‍රි ආහාරයෙන් පසුවත් එකට විට සපමින් සතුටු කතාබහේ යෙදීම දෙදෙනාගේ සිරිත විය. ලෙව්කේ මේ අතරතුර ඉන්දීය මල්ලවකරු උපායෙන් රවටා බිය කිරීමට කදිම උපායක් කල්පනා කරමින් සිටියේය.

සටනට තව ඇත්තේ දින දෙක තුනකි. ලෙව්කේ ඉන්දීය මල්ලවපොරකරු නින්දට ගිය පසු අත් පොරවක් යොදා ගනිමින් තමා සිටින කාමරයේ ශබ්ද නොනැෙඟන පරිදි බිත්තිය ටිකෙන් ටික කොටා සිදුරු කොට අතක් දැමිය හැකි තරමට සිදුරක් පාදා ඉතා සුළු කොටසක් ඉතිරි කර තැබුවේය. බොහෝ විට දෙදෙනාටම උදෑසන ආහාරයට ලැබුණේ ශරීර ශක්තිය වඩවන පොල්කිරි යහමින් යෙදූ සුවඳ හමන ඇල් හාලේ කිරිබතකි. අවශ්‍ය විට මිරිකා ගැනීමට අමු හෝ වියළි පොල් ගෙඩි ඔවුනට ලැබි තිබිණි.
 
 ‘‘කිරි බතට පොල් කිරි මදි වාගෙයි. අපට කොට්ට පොල් ගෙඩියක් තියෙනව නම් දෙනවද?”  ලෙව්කේ ඉන්දීය මල්ලවපොරකරුගෙන් විමසුවේය.
 
 ‘‘කොට්ට පොල් ගෙඩි දෙක තුනක් තියෙනවා. කාමරයට ඇවිත් ගන්නවාද”
 
 ‘‘එළියෙන් එන්න ඕනෑ නෑ. මෙන්න මෙහේ බිත්තියෙන් දෙනවා. අප බිත්තිය කඩා අත දාන්නම්. අතට කොට්ට පොල් ගෙඩිය දෙන්න”

ගතවූයේ මොහොතකි. කුටි දෙක වෙන් කෙරෙන රහසේ හාරා තිබූ සිදුර එකවැර ඉතිරි කොටස හුණු සහිත බිත්තිය කඩාදමමින් ලෙව්කේ ඉන්දීය මල්ලවපොරකරුගේ කාමරයට අත දැමුවේය. බිත්තිය කඩා කාමරයට අත දැමීමෙන් ලෙව්කේ කළ හපන්කමට ඉන්දීය මල්ලවපොරකරු ගල් ගැසී බලා සිටියේය. ඔහු දුන් වියළී ගිය කොට්ට පොල් ගෙඩිය ගෙන තනි අතින් මිරිකා එහි පොල්කිරි ඇල්හාලේ කිරිබතට උඩින් මිරිකා ගන්නා දුටු ඉන්දීය මල්ලවපොරකරු ලෙව්කේගේ ශරීර ශක්තිය – හපන්කම් දැක අන්දමන්ද විය. ඔහු පැය ගණනක් තනිව කල්පනා කරන්නට විය. එදා අඳුර වැටෙන විට ඉන්දියාවෙන් ආ මල්ලවපොරකරු අඳුර සමඟම අතුරුදන් වී තනිව උඩරට සීමාව ඉක්මවා රටින් පලා යෑමට විය. මේ ප‍්‍රවෘත්තිය පසුදා හිමිදිරි උදෑසන ලැව් ගින්නක් මෙන් රාජ සභාව හා රට පුරා පැතිර යෑමට විය. තම කපටි උපායෙන් ඉන්දීය මල්ලවපොරකරු බියකොට පැරද වූ ලෙව්කේට රජුගෙන් වීර ත්වයට ගරු කිරීමක් ලෙස ගම්වරයක් තෑගි ලැබුණේය.

නායක්‌කාර් පෙළපතේ පාලකයන් රාජ්‍යත්වට පත් වීමත් සමග උඩරට රජවරු හා රදළයන් අතර ප්‍රබල ගැටුම් ඇතිවිය. මෙරට අවසාන සිංහල රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ අභාවයෙන් අනතුරුව සෙංකඩගල බලයට පැමිණියේ මෙම නායක්‌කාර් වංශිකයන් ය. ඔවුන්ගේ පෙළපතින් සෙංකඩගල නුවර බලයට පාලකයන් 4 දෙනාගෙන් අවසානයා වුයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය කාලයේ මෙම රාජ වාංශික – රදළ ගැටුම උත්සන්න විය. පිලිමතාලවේ අදිකාරම් තම කැමැත්තට පාලනය කරනු රිසියෙන් තරුණ කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ ලෙස සිංහාසනයට පත් කරන ලදී. නමුත් අදිකාරම් සහ රජු අතර ගැටුම ආරම්භ වීමට වැඩි කාලයක් ගත නොවීය. දෙදෙනා අතර ගැටුමට පළමු හේතුව වී ඇත්තේ මහනුවර ටිගොල්ල කෙත් යාය පිහිටි ස්‌ථානයේ අභිනවයෙන් රජු වැවක්‌ තැනීමට ගත් ක්‍රියාවේදී එයින් ගොවියන්ට අසාධාරණයක්‌ වන බව පිළිමතලව්වේ පෙන්වාදීම නිසාය.  දෙදෙනා අතර මතභේදයට අනෙක් හේතුව වූයේ ලෙව්කේ දිසාව ඝාතනය පිළිබඳ ප්‍රශ්නයයි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අතින් ඝාතනය වූ පළමු වැදගත් රදළ නායකයා ලෙව්කේ දිසාවය. මේ ගැටුමට හේතුව නුවරඑළියේ හේමපාල ලියූ “ත්‍රි සිංහලේ නායකයෝ” හි දක්වා ඇත.

“ස්‌වකීය දේශයත්, සම්බුද්ධ ශාසනයත් උදෙසා මේ සා සේවාවක්‌ කළ මෙතුමා 1803 සැප්තැම්බරයේදී හංවැල්ලේ කොටුවට පහරදීමට ගිය අවස්‌ථාවේදී ඒ කොටුව ජය ගැනීම ඉතා පහසු යෑයි කියමින් වෙල් යායකට වී කුරුම්බා කමින් සිටින බව කෙනකු පැමිණ රජතුමාට කියා ඇත. පිළිමතලව්වේගේ නායක්‌කාර විරෝධී කුමන්ත්‍රණ නිසා මඳ කිපුන ඇතෙකු මෙන් සිටි රජතුමා මින් ප්‍රකෝප වී වහා සටන් බිමට ගිය තැන් අහම්බෙන් මෙන් තමන් අසලින් ගිය වෙඩි උණ්‌ඩයකට බිය වී ලෙව්කේ දිසාව කෙරෙහි සැක උපදවා එතුමාගේ හිස සිඳීමට අණ කළේ “දේවයිනි, මිනිත්තු පහකින් කොටුව අල්ලා දෙන්නෙමි” යනුවෙන් තෙපළ එඩිතර ප්‍රතිඥාවට පවා ඇහුම්කන් නොදෙමිනි.”

1803 දී වාගොල්ල සටනේදී සිංහලයන් බ්‍රිතාන්‍ය හමුදාව පරදවා විශාල ජයග්‍රහණයක් ලබා ගත් අතර සටනට නායකත්වය දුන් මේජර් ඩේවිද අත්අඩංගුවට ගැනීමට හැකි විය. බ්‍රිතාන්‍ය හමුදාව සමඟ පැමිණි මුතුසාමි කුමරු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඝාතනය කරන ලදී. වාගොල්ල සටනේ ජයග්‍රහණයෙන් සතුටට පත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බ්‍රිතාන්‍යයන්ට අයත් පහත්බිම් බලකොටු වලට පහර දී අල්ලා ගැනීමට තීරණය කළේය. කොළඹට පහර දීමට පෙර, ලෙව්කේ සහ රජු හංවැල්ල හි ඉංග්‍රීසි බලකොටුවකට පහර දීමට අදහස් කළහ. රජු මරා දැමීමට තැත් කළ බවට සැක කරමින් මෙම සටනේදී ලුවෙක් රජු විසින් ලෙව්කේ දිසාව ඝාතනය කරන ලදී.

ජේම්ස් කෝර්ඩිනර්ට අනුව, රජතුමා ලෙව්කේ දිසාව මෙන්ම මහ මොහොට්ටි (රාජ්‍ය ලේකම්) ද එම ස්ථානයේ දී හිස ගසා දමා ඔවුන්ගේ සිරුරු නොවළවා ලැබීය. රජු විසින් ඝාතනය කරන ලද තවත් යටත් වැසියන්ගේ සිරුරු හංවැල්ල අසල ගඟෙන් (කැළණි ගඟ) ඔස්සේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් දක්වා පාවී පැමිණි බවද ඔහු වාර්තා කරයි. තම ස්වාමිපුරුෂයන්ගේ මරණය සිදු වූ ස්ථානයට පැමිණීමටත්, දේහය රැගෙන අවසන් කටයුතු කිරීමට ලෙව්කේ දිසාවගේ හා මහා මොහොට්ටිගේ භාර්යාවන් කල ඉල්ලීම්ද රජු විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

වර්තමානයේ ලෙව්කේ දිසාවගේ හිස ගසා දැමූ ස්මාරකය හංවැල්ල හයි ලෙවල් මාර්ගය හා ලෝ ලෙවල් මාර්ගය එක් වන ස්ථානයේ පිහිටා තිබේ. මෙහි මුලින් දක්වා ඇති කවි පන්තිය මෙම ස්මාරක ගලේ කැටයම් කොට තිබෙනු දැකිය හැක.

ආශ්‍රිත

  1. Cordiner, J., 1807. A description of Ceylon : containing an account of the country, inhabitants, and natural productions : with narratives of a tour round the island in 1800, the campaign in Candy in 1803, and a journey to Ramisseram in 1804 : Volume II. 1st ed. London: Longman, Hurst, Rees, and Orme.
  2. ජයවර්ධන, එස්. කේ., 2019. ඉන්දියාවෙන් ආ මල්ලවපොරකරු මහ රෑම පලායයි…. ‘ඓතිහාසික ජනප‍්‍රවාද’. [online] Divaina.com. Available at: <https://divaina.com/sunday/index.php/visheshanga2/10356-2019-06-27-09-35-88> [Accessed 12 June 2021].
  3. History Book.Com. n.d. උඩරට රජවරුන්ට අභියෝගයක්‌ වූ රදළ බලය. [online] Available at: <http://msanath.yolasite.com/radala-balaya.php> [Accessed 12 June 2021].

සම්බන්ධ වෙනත් පිටු

ලෙව්කේ දිසාව හිස ගැසූ ස්ථානයේ සිහිවටන ඵලකය සිතියම

ගූගල් සිතියම් පහලින් - ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


ලෙව්කේ දිසාව හිස ගැසූ ස්ථානයේ සිහිවටන ඵලකය ගමන් මාර්ගය

කොළඹ සිට ලෙව්කේ දිසාව හිස ගැසූ ස්ථානයේ සිහිවටන ඵලකය දක්වා
හරහා : කඩුවෙල – හංවැල්ල
මුළු දුර : කිලෝමීටර් 34
ගතවන කාලය : පැය 1
ගත කිරිය යුතු කාලය : විනාඩි 5-10 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com