LTTE ත්‍රස්තවාදීන්ගේ හැරවුම් ලක්ෂය සලකුණු කල මාවිල් ආරු අමුණ

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (7 votes, average: 3.57 out of 5)
Loading...
By Ms. Badra Kamaladasa (Former Director General of Department of Irrigation)
By Ms. Badra Kamaladasa (Former Director General of Department of Irrigation)

මාවිල් ආරු සොරොව්ව අපේ මෑත ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයකි. මහවැලි පහළ නිම්නයේ අල්ලේ වාරිමාර්ග පද්ධතියට ජලය සපයන කල්ලාරු ප්‍රධාන ඇල මාර්ගයට ජලය නිකුත් කරන මෙම සොරොව්ව නිර්මාණය කළ ඉංජිනේරුවන් මාවිල් ආරු සොරොව්ව එවැනි ඉතිහාසයකට නිමිත්තක් වනු ඇතැයි කිසි දිනක නොසිතන්නට ඇත. නිල වශයෙන් අක්කර 16,500 ක වාරි පද්ධතියක් (ඊට අමතර අනවසර අක්කර දෙදහස් පන්සීයකටද ) වටා ජීවන රටාව ගොඩ නගා ගෙන ඇති සිංහල, දමිළ හා මුස්ලිම් ගොවි ජනතාවකට වාරිමාර්ග ජල පිපාසාව සංසිඳු වීමට මෙම නිර්මාණය ඉදි කිරීම එයට හේතුවයි.

මෙම ප්‍රදේශය ආශ්‍රිතව පවතින ඓතිහාසික වටිනාකම් ඇති බුදු පහස ලැබූ බවට විශ්වාස කෙරෙන සේරුවාවිල හා සෝමාවතී පුදබිම් මෙන් ම වෙරුගල් කෝවිල ද සෑම ආගම් භක්තිකයින්ගේ ම ගෞරවයට පාත්‍ර වී ඇත. එම ප්‍රදේශයේ ඉතිහාසය කාවන්තිස්ස රජ සමය දක්වා විහිදෙන බව මෙම රජ මහ විහාර ආශ්‍රිත වංශ කතා පෙන්වා දෙයි. මහවැලි ගංගාවේ ඩෙල්ටාව ආශ්‍රිතව පැවති ජනාවාස පිළිබඳ ඓතිහාසික තොරතුරු ගවේෂණයට තව බොහෝ ඉඩ තිබෙන බව අවබෝධ වන්නේ මිනුම් දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශිත භූ විෂමතා පිඹුරු පත් වල සටහන් කර ඇති සිය ගණනක් වූ “Ruins” ලෙස හැදින්වෙන ස්ථාන නිරීක්ෂණය කිරීමෙනි.

මහවැලි ගඟ විශේෂිත කරුණු කීපයක් නිසා ම ශ්‍රී ලංකාවේ අනෙකුත් ගංගා වලට වඩා වෙනස්කම් පෙන්නුම් කරයි. දිගින් වැඩි ම මෙන් ම විශාලතම පෝෂක ප්‍රදේශයකට හිමිකම් දරන මෙම ගංගා නිම්නයේ ඩෙල්ටාව වැඩි ම අතු ගංගා වලින්, විල්ලු වලින් හා ජෛව විවිධත්වයෙන් සපිරි තෙත් බිම් වලින් අනූන ය.

මේ පසුබිම යටතේ මෙම ප්‍රදේශය අප රටෙහි පැරණි ජනාවාස වලින් එකක් විය හැකි බව අනුමාන කළ හැක. මහා වැව් හෝ අමුණු නොමැතිව විල්ලු හා තෙත් බිම් ආශ්‍රිතව පැවතෙන්නට ඇති වාරිමාර්ග වන්නේ කුඩා වැව් හා ගංගා වලින් ජලය හරවා යැවෙන කුඩා අමුණුයි. ගමනාගමනය අතින් අති දුෂ්කර වුව ද මෙම ප්‍රදේශයේ ජනාවාස පැවතියේ කෘෂිකර්මාන්තයට මෙන් ම මත්ස්‍ය කර්මාන්තයට ද තෝතැන්නක් වීම හේතුවෙනි.

පැරණි වාරිමාර්ග පුනර්ජීවනය ඇරඹි 19 ශත වර්ෂයේ මැද භාගයේ දී මෙම ප්‍රදේශයේ තිබූ අල්ලේ වැව ඇතුලු කුඩා වැව් කීපයක් ම හා කුඩා අතු ගංගා හරහා ඉදි කර තිබූ තාවකාලික ලී හා වැලි අමුණු වලට ජීවය ලබා දීමට වාරිමාර්ග නිලධාරීන්ගේ පිඹුරු පත් සකස් විය.

අල්ලේ වැව ප්‍රතිසංස්කරණය 1860 දශකයේ අග දී ඇරඹුණු බව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තු සටහන් පෙන්වා දෙයි. සැතපුම් 20 කට පමණ ඈතින් පිහිටි කන්තලේ වැව ප්‍රතිස්ථාපනය ඇරඹුණේ ද මෙම කාල වකවානුව තුල දී වීම විශේෂත්වයකි. 1890 වන විට අල්ලේ වැව යටතේ අක්කර 2,262 ක් අස්වැද්දිය හැකි පරිදි සංවර්ධන කටයුතු සිදු කර අවසන් කර තිබුණේ රු. 65,415 ක මුදලක් යොදවමිනි.

අල්ලේ හා පෙරුවෙලි යන වැව් දෙක සඳහා යෙදවූ එම මුදලින් රු. 47,654 ක මුදලක් ඉඩම් විකිණීම හා ජල බදු අය කර ගැනීම මගින් ආපසු රජයට ලබාගත් බව 1904 දී ශ්‍රී ලංකාවේ වාරිමාර්ග පිළිබඳ සමාලෝචනයක් සිදු කළ ජෝන් කීන් වාර්තාව පෙන්වා දෙයි. එමෙන්ම කොඩ්ඩියාර් පත්තුව ලෙස එකල හැඳින්වූ මෙම ප්‍රදේශයෙහි 1871 දී 3740 ක් වූ ජනගහනය 1901 වන විට 7,145 ක් දක්වා වැඩි වූ බවත් එහි සටහන් වේ.

සංවර්ධනය කළ හැකි ඉඩම් මෙන් ම ජල සම්පතින් ද අනූන මෙම ප්‍රදේශය තව දුරටත් රටෙහි ආහාර හිඟය නැති කිරීම සඳහා යොදා ගන්නේ කෙසේ ද යන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අඛණ්ඩ අවධානයට යොමු වූවකි. කන්දකාඩු නම් ස්ථානයෙන් මහවැලි ගංගාවෙන් බෙදී වෙන් වී යන වෙරුගල් ආර හරහා ඉදි කර තිබූ ලී කොට යෙදූ ඉපැරණි අමුණ වෙනුවට ගලින් නිම කළ අමුණක් ඉදිකිරීම 1907 දී සිදු කෙරිණි. මාවිල් ආරු හා වෙරුගල් ආරු යා කරන ඇලක් ඉදි කිරීම මෙන් ම කල්ලාරු ඇල ප්‍රතිසංස්කරණය කොට නව ගංවතුර ආරක්ෂණ බැමි ඉදි කර කුඹුරු ඉඩම් පිටාර ජලයෙන් ආරක්ෂා කිරීමට පියවර ද ගැනිණි.

අල්ලේ වාරිමාර්ග ව්‍යාපාරය මගින් මහවැලි ගංවතුර පිටාර නිම්නයේ සිසාරා පැතිර ඇති බිම් වගා කිරීමට ජලය ක්‍රමානුකූල ව යෙදවිය හැකි බවත් එම ඉඩම් වලින් ඉහල ම කෘෂි ඵලදාව ලබාගැනීමට සුදුසු සැලසුම් සකස් කිරීමත් නොකඩවා සිදු විය. 1941 වසරේ දී ඇරඹි ඊළඟ වටයේ අල්ලේ සංවර්ධන යෝජනා ක්‍රමය මගින් වෙරුගල් ඔය හා මාවිල් හරහා නව අමුණු ඉදිකිරීම නව ගංවතුර ආරක්ෂණ බැමි ඉදිකිරීම, කල්ලාරු ඇලට ජලය හරවා යවා එහි වම් හා දකුණු ඇල මාර්ග ඉදිකිරීම සිදු කෙරිණි.

වෙරුගල් හා මාවිල් ආරු අමුණු සඳහා 1940 දශකයේ දී ශ්‍රී ලංකාවේ වාරිමාර්ග මෙහෙයුම් හා ආරක්ෂණ කටයුතු සඳහා හඳුන්වා දුන් අරීය ගේට්ටු සවි කිරීම සිදු වූයේ මෙම මහා නදියේ ගංවතුර පාලනය සඳහා සුදුසු ම නිර්මාණය එය වූ බැවිනි. මාවිල් ආරු හා වෙරුගල් ආරු නව අමුණු මගින් වසර පුරා මහවැලි ගඟෙහි ගලා බසින ජලය හරස් කොට බෙදා හැරිය හැකි වීම නිසා ජලය ගබඩා කර තිබීමේ අවශ්‍යතාව අවම බව නිරීක්ෂණය විය. එබැවින් අල්ලේ වැවෙහි ධාරිතාව අඩු කොට එහි ධාරා ප්‍රදේශයෙහි ද වගා කටයුතු කිරීමට වෙන් කෙරිණි. මෙය වාරිමාර්ග ව්‍යාපාරයක සාමාන්‍යයෙන් සිදු නොකරන එහෙත් අල්ලේ ව්‍යාපාරයට සුදුසු යැයි තාක්ෂණික කරුණු මත ගත් නිර්භීත තීරණයකි.

පින්තූර වල දක්වා ඇති 1932 අල්ලේ ව්‍යාපාර සැලසුම හා වර්තමාන සැලසුම සංසන්දනය කළ විට මෙය තේරුම් ගැනීම පහසු ය. තෝපූර් වැව ලෙස දැනට හැදින්වෙන වැව එම කුඩා කරන ලද අල්ලේ වැව හා කුඩා තෝපූර් වැව එක් වී සෑදුණු වැවයි.

රටට මහත් ව්‍යසනයක් ඇති කළ 1957-58 ගංවතුර කාලය තුල මහවැලි ගංගාවේ ඉහල පිහිටි විශාල වැව් කීපයක් ම බිඳී ගිය බැවින් අල්ලේ ව්‍යාපාරය පිහිටි ගඟෙහි පහල කොටසෙහි ගංවතුර මට්ටම නොසිතූ ලෙස වැඩි විය. මුතූර් ප්‍රදේශයේ දී මහවැලි ගංගාවෙහි පළල සැතපුමකට වඩා පළල් වූ බවත් මුලු ප්‍රදේශය ම මහ මුහුදක් ලෙස පෙනී ගිය අන්දමත්, ගංවතුර පාලනය සඳහා එවකට රාජකාරි කළ වාරිමාර්ග ඉංජිනේරු විජයතිලක මහතා වාරිමාර්ග සියවස් සමරු කලාපයට ලිපියක් ලියමින් විස්තර කර ඇත. දෙහිවත්ත ගංවතුර බැම්ම ඇතුළු ව බොහෝ වාරිමාර්ග නිර්මිත වලට ගංවතුර අලාභ හානි ඇතිවූ අන්දම ද, එවකට ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලා තිබූ බ්‍රිතාන්‍ය/ ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන යාත්‍රාවක තිබූ හෙලිකොප්ටරයක් මගින් කොටු වී සිටි වාරිමාර්ග නිලධාරීන්ට හා ප්‍රදේශවාසීන්ට වියලි ආහාර බෙදා දුන් අන්දමත් ඔහු සටහන් කර ඇත.

සිංහල, දමිළ හා මුස්ලිම් ජනතාව එක ම ව්‍යාපාරයක් යටතේ සමගියෙන් යුක්ත ව තම කෘෂි කර්මාන්ත කටයුතු සිදු කරන ආදර්ශමත් ව්‍යාපාරයක් ලෙස අල්ලේ වාරිමාර්ගය හැඳින්විය හැක. ස්වභාව සෞන්දර්යයෙන් අනූන පරිසරයක් තුල තම කෘෂිකාර්මික කටයුතු සිදු කර ගෙන යන ගොවීන්ට මුහුණ දීමට සිදු ව ඇති අභියෝග බොහෝමයකි. මහවැලි ගඟෙහි හා අතු ගංගා වල සිදු කරන අනවසර මහා පරිමාණ වැලි ගොඩ දැමීම නිසා ගංවතුර ආරක්ෂණ බැමි බිඳී යාම් හේතුවෙන් සිදු වන කෘෂි හානිය ගොවීන්ට පමණක් නොව මුලු රටට ම බලපාන ආර්ථික අවාසියකි.

මහවැලි ගඟ හරහා පාලම් ඉදිකිරීමට පෙර මුත්තූර් ප්‍රදේශයට ළඟා වීමට යොදා තිබූ පාරු ක්‍රියාත්මක කලේ එවකට එම ප්‍රදේශයේ ක්‍රියාකාරී එක ම රාජ්‍ය ආයතනය වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගිනි. ඉතා ම දුෂ්කර සේවා ස්ථානයක් ලෙස ශ්‍රේණි ගත කර තිබූ මුත්තූර් වාරිමාර්ග කාර්යාල පරිශ්‍රය යුද සමයේ දී ආරක්ෂක හමුදා භාරයට ගැනිණි. කැරලිකරුවන්ගේ තෝතැන්නක් වී තිබූ මෙම ප්‍රදේශය තුල කඳුළින් ලියැවුණු කතා කෙතරම් දැයි කිව නොහැක.

සමස්තයක් ලෙස ගත් කළ අල්ලේ ව්‍යාපාරය සම්ප්‍රදායික වැව්, අමුණු හෝ ගංවතුර ආරක්ෂණ පද්ධතියක් ලෙස වර්ගීකරණය කළ නොහැකි එයට ම අනන්‍ය වූ ලක්ෂණ සහිත අපූර්ව නිර්මාණයකි. ශ්‍රි ලාංකික ඉංජිනේරුවන්ගේ පරිකල්පනයෙන් බිහි වූ මෙම පද්ධතියේ නිර්මාණ, ඉංජිනේරු මූලධර්ම පොත් පත් වල ලියැවී නොමැති අතර එය ක්ෂේත්‍රයේ පැන නැගෙන ප්‍රායෝගික අභියෝගවලට විසඳුම් දෙමින් බිහි කළ විශිෂ්ට නිමැයුමකි.

සම්බන්ධ වෙනත් පිටු

මාවිල් ආරු සොරොව්ව සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මාවිල් ආරු සොරොව්ව ගමන් මාර්ගය

ත්‍රිකුණාමලයේ සිට මාවිල්ආරු ජලාශය සහ වාන් දොරටුව දක්වා මාර්ගය
හරහා : කින්නියා – සෝමපුර
දුර : කිලෝමීටර් 57
ගමන් කාලය : පැය 1.5
ධාවන උපදෙස් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply