පදවිය දෙයියන්නේ කන්ද පුරාවිද්‍යා නටබුන් – Padaviya Deiyyanne Kanda Archaeological Ruins

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.50 out of 5)
Loading...
පදවිය දෙයියන්නේ කන්ද ලෙනක් තුල ඇති උඩුකය පිළිමය
පදවිය දෙයියන්නේ කන්ද ලෙනක් තුල ඇති උඩුකය පිළිමය

පදවිය වැව කියන්නේ ලංකාවේ විශාලතම වැව් සමූහයෙන්  එකක්. පදවිය වැව  3 වන ශතවර්ෂයේදී මහාසේන රජතුමා විසින් කරවන ලදැයි සැළකෙන අතර 12 වන ශත වර්ෂයේ දී මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. මෙම ජලාශයේ වපසරිය අක්කර 14,000ක්, ඒ කියන්නේ වර්ග කිලෝමීටර 56.6 ක්. මුළු ධාරිතාවය අක්කර අඩි 85,000ක් එනම් වර්ග අඩි මිලියන 3.7ක්.

මේ ජලාශයට සම්බන්දව පුරාවිද්‍යත්මකව වැදගත් ස්ථාන 3 ක් තිබෙනවා. දෙයියන්නේ කන්ද, ඇතුන් බලන කන්ද සහ මොරගොඩ මේ ස්ථාන තුනයි. ඇතුන් බලන කන්ද තිබෙන්නේ වැව ඇතුලට වන්න තුන් දිශාවකින් ජලයෙන් වටවෙලා. පසුකලක මෙහි වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ බංගලාව සදා තිබෙනවා. එමනිසා මෙහි පුරාවිද්‍යත්මකව වැදගත් දෙයක් ඉතිරි වී නැත.

දෙයියන්නේ කන්ද පිහිටියේ වැව් බැම්මට යාබදවය. වනයෙන් වැසුන මෙම පාෂාණ කන්ද පිලිබඳව සිදුකරන ලද ගවේෂණ ඉතා විරලය. නමුත් 1969දී එල්. ඒ. ආදිත්‍ය  විසින්  රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවේ ඔහු විසින් දෙයියන්නේ කන්ද පිලිබඳ කරනලද පර්යේෂණයක්  පිලිබඳ වැදගත්  ශාස්ත්‍රීය ලිපියක් පල කර ඇත.

දෙයියන්නේ කන්දේ ඇති ලෙනක් තුල ඇති උඩුකය පිළිමය පිළිබඳව මුලින්ම වාර්තා කර ඇත්තේ 1924දී එන්. පී. රණසිංහ මිනින්දොරුවා විසිනි. ඔහුගේ මෙම සොයා ගැනීම මිනිදෝරු භූලක්ෂණ සිතියමේ අඩංගු කර ඇත්තේ “ගුහාවක් තුල ඇති රජ කෙනෙකුන්ගේ උඩුකය” (Bust of a King in a Rock Cave) ලෙසය.

1966දී එල්. ඒ. ආදිත්‍ය විසින් මිනින්දෝරු සිතියමේ සඳහන් මෙම ගුහාව සොයමින් දෙයියන්නේ කන්ද පීරුවද ඔහුට හමු උනේ ගල් තලාවක් මුදුනේ තිබූ ගරාවැටුන ස්තුපයක් පමණි. මෙම ස්ථුපය තපෝවනය විහාරයේ පවතින වෙහෙර ගොඩැල්ල වියහැක. දින කිහිපයක වෙහෙසෙමින් පසුව ඔහුට ඝන වනය තුල මෙම ගුහාව සොයා ගැනීමට හැකි වී ඇත.

මෙම ගුහාව අඩි  4 ක් පමණ පළල අඩි  7ක් පමණ උස හා අඩි  15ක් පමණ ගැඹුරුය. පිළිමය අඹා ඇත්තේ ගුහාවේ කෙළවර එහි දොරටුව දෙසට මුහුණ පාය. එම පිළිමය ජලාශයේ බස්නාහිර ප්‍රදේශය හා ජලාශයේ මුකුනුඔය ප්‍රදේශයට මුහුණලා ඇත.  පිළිමය නෙලීමට ආරම්භ කර ඇත්තේ බිම් මට්ටමේ සිට අඩි  3½ පමණ උසකිනි. මෙම පාෂාණය වලක මෙන් ඇතුලට සාරා පිළිමය ඉදිරියට මතු කර ඇත. මෙම පිළිමයේ බාහු හොඳින් මතු කර ඇත. වම්  උරය දකුණු උරයට වඩා සුළු වශයෙන් උඩින් හා තරමක් විශාලව මතු කර ඇත. මුහුණ කොටස මුල් අවධියේද බඳ  කොටසද අර්ධ ලෙසද  නිමකර ඇත. පිළිම ශීර්ෂයේ දකුණු කණ යාන්තමින් මතු කරගෙන ඇති අතර වම් කණ මතුකර නොමැත. යම් හේතුවකට මෙම පිළිමයේ නිර්මාණ ශිල්පියා මෙහි වැඩ කටයුතු අතරමග නවතා ඇති බව පෙනේ.

එල්. ඒ. ආදිත්‍ය විසින් මෙය රජ පිලිමයක්ද. දේව පිළිමයක්ද හෝ බුද්ධ පිළිමයක්ද නිගමනයට පරීක්ෂා කිරීමෙන් පසුව මෙය බුද්ධ පිළිමයක් බව තීරණය කර  ඇත.

ඔහුගේ ඊළඟ චාරිකාවේදී දෙයියන්නේ කන්දේ  මැද ප්‍රදේශයේ වයඹ දිශාවේ අඩි  43ක් දිග අඩි  14ක් පළල ලෙනක් හමුවී ඇත. මෙම ලෙනෙහි අඩි  9ක් හාඅඩි 11ක් දිග කටාරම් 2ක් කොටා තිබූ  නමුත් සෙල්ලිපි වලින් තොර වී ඇත. නමුත් ලෙන තුල ගඩොල් හා උළු කැබලි ගහනව හමුවී ඇත. මීට දකුණෙන් තවත් ලෙන් 3ක් හමුවී ඇත. මුල් ලෙන අඩි  26ක් දිග හා අඩි  17ක්  ගැඹුරුය. එහි ආදී 8ක් හා 5ක් දිග කටරම් 2 ක් තිබී ඇත. දෙවන කටාරම යටින් බොඳවී ගිය ලෙන්ලිපියක් තිබී ඇත. පේලි 4කින් යුතු මෙම ලිපිය 5වන හෝ 6වන ශතවර්ෂයේදී පුරාණ  සිංහල අක්ෂරයෙන් ලියා  ඇති අතර කිනිජිතිද නම් පුද්ගලයෙකු වහල් සේවයෙන් නිදහස් කිරීමක් ගැන කියවේ. මෙම ලිපිය පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ නොම්බර 2730 ලිපිය ලෙස ලේඛනගත කර ඇත.

මෙම ලෙනෙන් දකුණු අත පැත්තට වන්නට තවත් කටාරම් 2ක් සහිත ලෙනක් හමුවී ඇත. මෙහි හමුවූ ලිපිය 3-4 ශතවර්ෂයට අයත් බව ආචාර්ය  සෙනරත් පරනවිතාණ  මහතා හඳුනාගෙන අතර මෙහි දානපතින් විසින් ආරණ්‍යයට කරන ලද ඉඩම් පූජාවක් පිලිබඳ සඳහන් වේ. මෙම ලිපිය පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ නොම්බර 2731 ලිපිය ලෙස ලේඛනගත කර ඇත.

මෙම ලෙන් සමූහය පසු කරනවිට ඔවුන්ට හමුවුයේ නටබුන් වූ ගොඩනැගිලි සමූහයකි. තවමත් සිරස්ව නැගී සිටින විශාල ගල්කණු පිළිබඳව ඔහු සඳහන් කරයි.

තවද ඔහු සඳහන් කරන්නේ පදවිය වැවේ කැඩී ගිය වැව්බැම්ම නැවත ප්‍රතිසංස්කරණය කිරීමේදී අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා මෙම ගල්තලාවේ කොටසක්  බෝර  දමා විනාශකර ඇති බවයි.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  1. Archaeological Remains at Deiyyanne-kanda, Padaviya  : L. A. Ādithiya : The Journal of the Ceylon Branch of the Royal Asiatic Society of Great Britain & Ireland New Series, Vol. 13 (1969)

සම්බන්ධ වෙනත් පිටු

පදවිය දෙයියන්නේ කන්ද පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

පදවිය දෙයියන්නේ කන්ද පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්

අනුරාධපුර සිට පදවිය දෙයියන්නේ කන්ද පුරාවිද්‍යා නටබුන්
හරහා :මැදවච්චිය – කැබිතිගොල්ලාව
මුළු දුර : කිලෝමීටර් 90
ගතවන කාලය : පැය 2
ගත කිරිය යුතු කාලය : පැය 1-2 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com