පදවිය වැව හා පුවරු සෙල්ලිපිය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (25 votes, average: 3.20 out of 5)
Loading...
About - Padaviya Tank
About – Padaviya
Photo by : Harsha Soysa

මහසෙන් රජ සමයේ රත්මල්කන්දවාපී නමිනුත්, දෙවැනි මොග්ගල්ලාන රජු සමයේ (ක්‍රිව 535-555) ධනවාපී ලෙසටත් පළමුවැනි පරාක්‍රමබාහු රජු සමයේ (ක්‍රිව 1153-1186) පදිවාපී ලෙසටත් හැඳින්වූ වත්මන් පදවිය වැව ( රත්මල්වැටිය, මහකුළුණුනෑව ,පදවි දොර හා මහ පදවිය වශයෙන් ද නම් කර තිබී ඇත) සෑම කෙනෙකු විසින්ම තමන්ගේ පුරාවිද්‍යා හා පරිසර සංචරන ලයිස්තුවට අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු ස්ථානයකි.

මෙහි මූලාරම්භය පිළිබඳ තොරතුරු අපැහැදිලි බැවින් තවදුරටත් ගවේෂණය කළ යුතු වුව ද ඉහත සඳහන් රාජ්‍ය සමයන්හි දී පදවිය වැව කෘෂිකර්මාන්තය සඳහා සක්‍රීයව පැවති බවට සාක්ෂි ඇත. නිශ්ශංකමල්ල රජතුමාගේ සෙල්ලිපියකට අනුව මෙය වන සත්ත්ව සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කර තිබී ඇත. මෙම වැවේ මාලුන් හෝ වෙනත් පන ඇති සතුන් ඇල්ලීම ද තහනම් කර ඇත.

1886 XXIII සැසි වාර්ථාව යටතේ පදවිය වැව පිළිබඳව හෙන්රි පාකර් වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු වශයෙන් රජයට ඉදිරිපත් කර ඇති වාර්ථාවේ මෙසේ සඳහන් කොට ඇත.

“විශාලතම ජලාශය වුව ද දිවයිනේ පිහිටි විශිෂ්ඨ වාරිමාර්ග අතුරින් අඩුවෙන්ම දැනුවත්ව ඇත්තේ පදවිය පිළිබඳවයි. එයට හේතුව එම ප්‍රදේශය ඝන කැළෑවෙන් වටිවී තිබිමත් ජනශුන්‍යව තිබීමත් ය.”

සොරොව්වට යොදා ඇති ගඩොල් පරීක්ෂා කිරීමේදී මහසෙන් රජු සමයේ භාවිතා කළ ගඩොල් එහි යොදා ඇති බව පාකර් නිරීක්ෂණය කළ ද එම රාජ්‍ය සමයේදීම එම ගඩොල් භාවිතා කළේ ද නැතහොත් ඊට පසු කලෙක ද යන්න පිළිබඳව ඔහුගේ අදහස් විවෘත ය.

ජලාශය අසල ඇති කඳු ශිඛරයෙහි මහසෙන් රජුගේ පුතුන් විසින් සටහන් කරන ලදැයි සැළකෙන සෙල් ලිපියක් තිබී ඇති අතර නිදන් හොරුන් විසින් විනාශ කිරීම හේතුවෙන් එය කියවීමට නොහැකි ලෙස විනාශ වී ඇති බව පාකර් සටහන් කරයි. පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ උපදෙස් පරිදි සිටුවා ඇති ටැම් ලිපියට අනුව (දැන් මෙය පදවිය වැව් බැම්ම මත ස්ථාපනය කර ඇත) එම රජ සමයේ පදවිය වැව ප්‍රතිෂ්ඨාපනය කර ඇත. ඒ බව මහාවංශයේ ද සඳහන් වේ.

මා ඔය ප්‍රධාන අතු ගංගා දෙකක් වන මොර ඔය හා මකුණු ඔය හරස් කර පදවි ජලාශයේ වැව් බැම්ම නිම කර ඇත. මෙම වැව් බැම්ම හා වාරිමාර්ග පද්ධතිය පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වසර ගණනාවක් මිණුම් කටයුතු සිදු කළ ද ප්‍රතිෂ්ඨාපනය සිදු කළේ 1954-1960 කාල වකවානුවේදී ය. එම කාලය තුල ක්‍රියාත්මක වූ සය අවුරුදු සැලස්මෙන් මුදල් ලැබීම හා ඩී. එස්. සේනානායක මහතා දියත් කරතිබූ වියලි කලාපය ජනපදිකරන ක්‍රියාවලිය මෙම කාර්ය මල්ඵල ගැන්වීමට අඩිතාලම විය.

කැඩුම් කඩ පුරවා වැව් බැම්ම ශක්තිමත් කිරීමට අමතරව නව සොරොව් ඉදිකිරීම හා පිටවාන නවීන තාක්ෂණය යොදා ගනිමින් අරීය දොරටු සහිතව ඉදිකිරීමත් සිදු විය. වත්මන් ජලාශයෙහි ධාරිථාවය අක්කර අඩි 85,000 ක් වේ. මෙය පුරාන වැවට වඩා විශාල වන පරිදි වැව් බැම්ම හා වාන් මට්ටම උස් කිරීමෙන් ලබා ගෙන ඇත. ජලාශය පිරි මට්ටමේදී අක්කර 6,500 ක පමන වපසරියක් පුරා පැතිරෙයි. ප්‍රධාන ඇලවල් දෙකෙහි මුලු දිග කි. මී. 48 ක් වන අතර එයින් බෙදුම් ඇලවල් 43 ක් සඳහා ජලය සැපයේ. මෙම පද්ධතිය නඩත්තුව සඳහා රජය වාර්ෂිකව සැලකිය යුතු මුදලක් වැය කරයි.

ජලය බෙදා හරින අමුනු, ඇල මාර්ග වලින් සමන්විත වාරිමාර්ග පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමත්, කැළෑවෙන් වැසී ගිය ඉඩම් හෙලි පෙහෙලි කිරීමත්, ජනපදිකයන්ගේ නිවාස හා පොදු පහසුකම් සඳහා යටිතල පහසුකම් පද්ධති ඉදිකිරීමත් සැලකූ කල එය මහා පරිමාන සංවර්ධන ව්‍යාපාරයක්ම විය.

1957 සිට 1967 දක්වා කාලය තුළ අනුරාධපුර, ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, මහනුවර හා කොළඹ යන දිස්ත්‍රික්ක වලින් තෝරාගත් පවුල් 3700 ක් පදවිය ජනපදයේ පදිංචි කරවා ඇත. පදවිය ජලාශය ප්‍රතිෂ්ඨාපනය කිරීමත් සමගම අනුරාධපුරයේ සිට පහසුවෙන් ගමන් කළ හැකි මාර්ග පද්ධතියක් හා පදවිය ආශ්‍රිතව රොහල් පාසල් හා අනෙකුත් යටිතල පහසුකම් සැපයීම හේතුවෙන් ඒ ප්‍රදේශය තුළ නව පිබිදිමක් ඇති විය. 1954 දී පිළියෙල කළ වාරිමාර්ග පිඹුරුපත්වල, කුඹුරු අක්කර 12,660 ක් ගොඩ ඉඩම් අක්කර 4,460 ක් සංවර්ධනය කිරීමට කටයුතු පිළියෙල කර තිබුන ද ඊට අමතරව මේ වනවිට රක්ෂිත හා වෙනත් ඉඩම් අක්කර 5,000 ක් පමන ගොවීන් විසින් අනවසරව වගා කරමින් පදවියේ ජලය බෙදා ගැනේ. මිරිදිය ධීවර කර්මාන්තය ද 1990 දශකයේ ආරම්භ කිරීමෙන් පසුව ධීවර පවුල් 400 ක් පමණ එයින් ජීවිකාව සළසා ගනිති.

බ්‍රිතාන්‍ය පාලන කාලය තුළ පදවිය වැව නිලධාරීන් බොහෝ දෙනෙකුගේ අධීක්ෂණයට ලක් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉපැරණි වාරිමාර්ග නැරඹීම හා ඒ පිළිබඳව සටහන් තැබීම නිරන්තරයෙන් සිදු කළ හෙන්රි වෝඩ් ආණ්ඩුකාර වරයාගේ සටහන් දැකීමෙන් වන්නට පුළුවන. කටුකොහොලින් යුක්ත ඝන කැළෑව පීරා ඉතාමත් දුෂ්කර ගමනකින් පසු පදවිය වැව් කණ්ඩිය හා ඊට නුදුරින් ඇති ඇතුන්බලනකන්දට ළඟා වී එහි තිබූ නෂ්ඨාවශේෂයන්ගෙන් ඔහු විස්මයට පත් වූ බව එම සටහන් වලින් පෙනී යයි. මෙම වැව ඉදිකිරීම සඳහා වසර 10-15 ක කාලයක් තුළ දී මිලියනයක් පමණ මිනිසුන් යොදවන්නට ඇතැයි යන සිතුවිල්ල ඔහුට පහළ වන්නට ඇත්තේ බැම්මේ දිග හා වැවේ විශාලත්වය අනුව විය හැකි ය.

හෙන්රි පාකර් ක්ෂේත්‍රයේ සිදු කළ මිණුම් හා සමීක්ෂණ චාරිකා අනුසාරයෙන් පිළියෙල කළ දීර්ඝ වාර්ථාවෙන්, ඉතිහාස ගත තොරතුරු, ජලවිද්‍යාත්මක හා කාලගුණික තොරතුරු, වැව් බැම්මේ මෙන්ම සොරොව් පිටවාන හා ඇල පද්ධතියේ තාක්ෂණික තොරතුරු පිළිබඳව සැකෙවින් කරුණු ඉදිරිපත් කර ඇත. සම්ප්‍රදායික ජලාශයකට වඩා පදවිය ජලාශයේ ජලය බෙදා හැරීම වෙනස් ක්‍රමවේදයක් මගින් සිදු වන බැවින් එම සංකීර්ණ තත්වය හඳුනාගැනීමට පාකර් මහතා ඉතා වෙහෙසක් ගෙන ඇති බව පෙනේ.

එක් ප්‍රධාන සොරොව්වක් මගින් පමණක් නිකුත් කරන ජලය මා ඔයට මුදා හැර එම ජලය අමුණක් මාර්ගයෙන් ප්‍රධාන ඇල පද්ධති දෙකක් වෙත යොමු කොට මා ඔයෙහි දකුණු ඉවුරෙහි කෝකිලායි කලපුව දක්වා පිහිටි ඉඩම්වලට ජලය සපයන අන්දම විශ්මය ජනක ය. කිමී 5 දික් වූ වැව් බැම්මෙහි තිබූ කැඩුම් කඩ, මැද සොරොව්ව හා පිටවාන පිළිබඳව ද ඉහත්තාවේ පිහිටි ගනනින් 150 ක් පමන වූ ගම්වැව් පිළිබඳව හා විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී තිබූ පුරාවස්තු මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන පිළිබඳව ද මෙම තාක්ෂණික වාර්ථාවේ කරුණු දක්වා තිබීම හෙන්රි පාකර් මහතා විසින් සිදු කර ඇති විශිෂ්ඨ මෙහෙයකි.

පාකර් මහතාගේ වාර්ථාවේ අවසන් ඡේදය පමණක් මෙහි දැක්වීම උචිත යැයි සිතමි.

“එම ස්ථාන ද දල වශයෙන් බැලූ බැල්මට පෙනෙන අන්දමින් කල්පනා කරන්නේ නම් (අවුරුදු දාහක් පමණ වන සිංහලයන්ගේ අත්දැකීම් සමග සන්සන්දනය කළ විට) මේ සියල්ල අපට වෙනස් කළ හැකි බව සිතා ඉපැරණි වාරික්‍රම වල ඇති සැළසුම් වැඩිදියුණු කිරීම් වලට භාජනය කළ හොත්, පමා වී හෝ ඔවුන් නිවැරදි බවටත් අපගේ නිගමන වැරදි බවටත් අපට අවබෝධ වනු ඇත. මා නිරන්තරයෙන් ආහ්ලාදයට පත් කළ එක් විෂයක් ඇත්නම් එය වෙන කිසිවක් නොව මෙම වාරිමාර්ග තාක්ෂණයයි.”

“යමෙක් පදවිය ගැන මෙනෙහි කරන විට එය හඳුනාගැනීමේ ලකුණු පහව ගොස් තිබුන ද එය ලංකාවේ මීට සමාන ප්‍රධාන පෙළේ වාරිමාර්ග පද්ධතිවලින් එකක් බවටත් අනෙක් ව්‍යාපාර හා සැසඳීමේ දී මෙම නිර්මාණයේ ඇති අපූර්වත්වයත්, ක්‍රියාන්විතයේ දී දක්වා ඇති සාර්ථකත්වයත්, පුදුමය දනවනු බවට නොඅනුමාන ය.”

“දැනට හෝ කිට්ටුම අනාගතයක දී පදවිය ප්‍රතිෂ්ඨාපනය කිරීම නුවණක්කාර නොවන අතර වර්ෂ 1600 ක් පැවැති මෙම ජලාශය තව ශතවර්ෂයක් හෝ දෙකක් එළඹෙන තෙක් (සුදුසු කාලය එලඹෙන තෙක්) මෙතෙක් පැවති ලෙසින් නැවතී බලා සිටිනු ඇත. ජලාශය යටතේ අස්වැද්දූ දහස් ගණනක් වූ සියලු ඉඩම් කාර්ය බහුල ගොවීන් අතින් අස්වැද්දිමට අවශ්‍ය ජලය සැපයිය හැකි පරිදි කලින් සක්‍රීය වූ වැව හා පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කරන දිනයක් නොඅනුමානව ළඟා වනු ඇත” (හෙන්රි පාකර්, 1886 ජූනි 18).

පදවිය වැව, එහි තාක්ෂනය හා වාරි පද්ධතියක් ලෙස එහි ඇති ඉමහත් වටිනාකම පිලිබඳ වර්ණනාවක යෙදුන ද ඔහුගේ මෙම නිර්දේශයට හේතුව එම ප්‍රදේශය ජන ශුන්‍යව තිබීමයි. කෙසේ වෙතත් වැව් බැම්ම අමුණු හා පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා මූලික ඇස්තමේන්තුවක් ද වාර්ථාවේ ඇතුළත් කර තිබේ.

බ්‍රෝහියර් මහතාගේ ලක්දිව පුරාතන වාරිමාර්ග ග්‍රන්ථයේ සඳහන් පරිදි දී J B M රිඩුට් නම් මැනුම් නිලධාරියා ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් හෙන්රි පාකර් මතු කළ සැකයන් නිරාකරණය කරන තොරතුරු ඉදිරිපත් කර ඇත. තවද පදවිය හා වාහල්කඩ වැව් යම්දිනෙක ප්‍රතිස්ථාපනය වේ නම් එදිනට වන්නිය සශ්‍රීක පෙදෙසක් වනු ඇතැයි බ්‍රෝහියර් මහතා විශ්වාසය පලකර තිබුනි.

හෙන්රි පාකර්ගේ සටහන්වලින් ශත වර්ෂයක් හෝ යෑමට පෙර හා බ්‍රෝහියර් මහතාගේ ප්‍රාර්ථනයෙන් දශක දෙකක් ගතවීමට පෙර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මිණුම් දෙපාර්තමේන්තුවේ එක් වීමෙන් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කළ ද පදවිය ජනපදිකයින්ට පසු කලෙක දී අපේක්ෂා නොකළ ගැටළුවලට මුහුණ දීමට සිදු විය. වාර්ගික යුද්ධය හේතුවෙන් මායිම් ගම්මානවල කටුක ලෙස දිවි ගෙවූ බොහෝ ගොවි පවුල් ඉන් අනතුරුව හඳුනා නොගත් වකුගඩු රෝගයේ ගොදුරු බවට පත් වීමත් විවිධ හේතුන් නිසා ඇති වූ ජල හිඟයන් මෙන්ම ගංවතුර තර්ජනයන්ට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වීමෙන් ඇතිවන ඉච්ඡා භංගත්වයත් මෙම ජනපදිකයන්ගේ ජීවිත හා වෙලී ඇත.

යාන් ඔය හරහා ඉදි වූ නවතම යාන්ඔය ජලාශයෙන් දකුනු ඇල ඉහල සොරොව්ව යටතේ , නිරන්තර ජල හිඟයට මුහුන දුන් වගා බිම් අක්කර 6,000කට විසඳුමක් ලැබීම මේ අනුව මහත් සැනසීමක් ගෙනත් දෙන කරුනකි.

සටහන : භාද්‍රා කමලදාස මිය

සම්බන්ධ වෙනත් පිටු

පදවිය වැව සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

පදවිය වැව ගමන් මාර්ගය

අනුරාධපුර සිට පදවිය වැව දක්වා
හරහා : මැදවච්චිය – කැබිතිගොල්ලාව
මුළු දුර : කිලෝමීටර් 89
ගතවන කාලය :පැය 1.45
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply