කෝවිලකින් වැළලෙන වවුනියාවේ සමලාන්කුලම බෞද්ධ නටබුන් භූමිය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.50 out of 5)
Loading...
Losing Heritage of Samalankulam Buddhist Ruins in Vavuniya - කෝවිලකින් යටවෙමින් පවතින වවුනියාවේ සමලන්කුලම බෞද්ධ නටබුන් භූමිය.
Losing Heritage of Samalankulam Buddhist Ruins in Vavuniya – කෝවිලකින් යටවෙමින් පවතින වවුනියාවේ සමලන්කුලම බෞද්ධ නටබුන් භූමිය.

සමලාන්කුලම (දෙමළ භාෂාවෙන් සමලාන්කුලම්) වවුනියා දකුණු දෙමළ ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාසයේ අසිකුලම් ග්‍රාමසේවක වසමේ වවුනියා නගරයට කි.මී. 5ක් දුරින් පවතින ගම්මානයකි. වවුනියා-මැදවච්චිය මාර්ගයෙන් කිලෝමීටර 3 ක් දුරින් සහ වවුනියා-කැබිතිගොල්ලෑව මාර්ගයෙන්ද කි.මී. 3ක දුරින් පවතින බැවින් මෙම ගම්මානය “සම-ලං” යන අරුතින් සමලාන් යන නම ලැබී ඇතැයි විශ්වාස කෙරේ. මෙම නාමයේ තවත් යෝජිත සම්භවයක් වන්නේ කාලයත් සමඟ වෙනස්කම් වලට භාජනය වූ “සමනළ” පදයයි. මෙම ස්ථානය හා සමීපව පවතින මඩුකන්ද විහාරය ශ්‍රී දළදා වහන්සේගේ ගෙන එන මගේ තාවකාලික නවාතැනක් වුවා සේම සමලන් වැව වන්නි රාජවලියෙහි සඳහන් වන බව කියවේ. අවාසනාවකට මෙම පුරාවිද්‍යා ස්ථානය ඒ මත ඉදිකර ඇති කෝවිලකින් තර්ජනයට ලක්ව ඇත.

1970 දශකයේ දී මෙම පුරාවිද්‍යා බිම පරීක්‍ෂා කොට ඇති අතර මද්‍ය අනුරාධපුර යුගයට අයත් කළුගල් තලාවක ස්ථූප ගොඩැලි දෙකක හා පිළිම ගෙයක නටබුන් ලේඛනගත කොට ඇත. මෙම පිළිමගෙය කැණීමේදී අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ පිළිමයක් සහ බුද්ධ ප්‍රතිමාවක කොටසක් සොයාගෙන තිබේ.

1978 නොවැම්බර් 17 වන දින වවුනියා පොලිසියේ පොලිස් පරීක්ෂකතුමා විසින් ගොනු කරන ලද පොලිස් වාර්තාවක, ගල්තලාවේ කෝවිල් ඉදි කිරීමට ස්තූප ගොඩැල්ල හානි කිරීම පිළිබඳ පැමිණිල්ලක් වාර්තා කරයි. ස්තූපයට හානි සිදුවී ඇති බවත්, එහි ගල් ඉවත් කර කෝවිල් අසල තිබී සොයාගත් ඇති බවත් එයින් පෙනී යන්නේ කෝවිල ඉදිකර ඇත්තේ ස්තූප ගොල්ලේ ගල් භාවිතා කොට ඇති බවයි. මෙම වාර්තාවට අනුව, ‘ගණ දෙවියන්” වෙනුවෙන් කැප කරන ලද මෙම කෝවිල් ගොඩනැගිල්ල 1975 දී ආරම්භ කර ඇත. එම වර්ෂයේදීම රජයේ ඉංජිනේරුවෙකු විසින් මෙම ගල්කො තලාවේ කොටසක් නටබුන් පිළිබඳව නොදැන පුපුරවා හැර ඇති අතර සුන්බුන් මාර්ගය තැනීමට යොදාගෙන ඇත.

1978 ඔක්තෝබර් 10 දින වවුනියාවේ දිසාපති විසින් පුරාවිද්‍යා කොමසාරිස් වෙත ලිපියක් යවමින් ඔහු සඳහන් කරන්නේ මෙම ගල් තලාවේ, බිම් මට්ටමේ සිට අඩි 15 ක් පමණ ඉහළින් පිහිටි ගොඩනැගිලි 4 ක නටබුන් ඇති බවයි. එක් පෞරාණික ගොඩනැගිල්ලක මුදුනේ පිල්ලෙයාර් කෝවිලක් ඉදිකර ඇති අතර අඩි 50 × 50 ප්‍රමාණයේ වේදිකාවක් ලෙස පෙනෙන ස්ථානයක පැතලිවූ ස්ථූප 2 ක් දක්නට ලැබුණු බවයි. එවැනි එක් ස්ථූපයක කුළුණු කැබලි දෙකක් දක්නට ලැබූ බව වාර්තා කරයි.

භූමියට සිදු වූ හානිය වාර්තා වූ විට, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1970 අගභාගයේදී කැණීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භ කළ අතර 1979 සඳහා පුරාවිද්‍යා කොමසාරිගේ වාර්තාව සඳහන් වන්නේ කැණීම්වලින් හෙළි වී ඇත්තේ ගොඩැල්ල සහ ගොඩල් අතර මද්‍ය අනුරාධපුර යුගයට අයත් පිළිමගෙයක් නටබුන් මතු බවයි. පිළිමගෙයහි වම් දෙසින් නව කොටසක් පසු කාලයකදී එක් කොට ඇත. හුණුගල් බුද්ධ ප්‍රතිමාවක කැඩුණු වම් අතෙහි ඉහළ කොටස සහ ලෝකඩ අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවක් නටබුන් තුළ තිබී සොයාගෙන ඇත. පිළිමගෙය මද්‍යයේ ගඩොලින් ආවරණය කොට තිබු කුඩා ධාතු කුටියක් සොයාගෙන ඇත. එහි පැරණි කාසි 2 ක් (කහපන) හමුවී ඇත.

1979 මාර්තු 2 වන දින එම ස්ථානයේ පුරාවිද්‍යා නිලධාරී විසින් කරන ලද වාර්තාවෙන් ස්තූප ගොඩැලි තත්වය වාර්තා කරයි. 1979 පෙබරවාරි 10 වන දින පිළිමගෙය සංරක්ෂණය අවසන් වූ පසු, ස්ථූපයක් සංරක්ෂණය කිරීම ආරම්භ කර ඇත. ස්තූප ගොඩැල්ල අඩි 12 ක් පමණ උසය. කෝවිල් සෑදීම සඳහා ස්ථූපයෙන් අඩක් ඉවත් කොට ඇත. මෙම ස්තූපය වර්ග අඩි 25 × 25 ක වේදිකාවක් මත ඉදිකර තිබේ. ස්තූපය අෂ්ටාස්‍ර හැඩයක් ගන්නා බව පෙනේ. කෙසේ වෙතත් ගඩොල් විවිධ ස්ථානවලින් ඉවත් කර ඇති බැවින් ස්ථූපයේ හැඩය නිර්ණය කළ නොහැක.

දමිළ ත්‍රස්තවාදීන් සමඟ වසර 30 ක කුරිරු යුද්ධය කාලය අතරතුර වෙනත් උතුරු හා නැගෙනහිර පළාත්හි බොහෝ පුරාවිද්‍යාත්මක ස්ථාන මෙන්ම, මෙය ද නොසලකා හැර තිබේ. යුද්ධය නිමා වී මැතිවරණයෙන් පසුව ද්‍රවිඩ දේශපාලනඥයින් මෙම පුරාවිද්‍යා ස්ථාන මත කෝවිල් තනමින් සිවිල් වැසියන් යොදා ගනිමින් වාර්ගික නොසන්සුන්තාවයක් ඇති කරමින් සියලු ස්ථානවල පුරාවිද්‍යා සංරක්ෂණ උත්සාහයන් අවහිර කරමින් පවතියි.

ජපානයේ සංස්කෘතික උරුම ජාත්‍යන්තර සහයෝගීතා පදනම 2012 දී සමලන්කුලම පුරාවිද්‍යා භූමිය පිළිබඳ සමීක්ෂණයක් කොට කෙටි සමීක්ෂණයක් පවත්වා වාර්තා කර තිබේ;

“වර්තමානයේ මෙම ස්ථානය ශිව දේවාලයක් (සමලන්කුලම පිල්ලෙයාර් කෝවිල) බවට පරිවර්තනය කර ඇත. කෙසේ වෙතත්, ආරම්භයේ දී මෙහි බෞද්ධ විහාරස්ථානයක් තිබුණි. දැනට පවතින නටබුන් අතර ස්ථූපයක හා ආරාමයක නටබුන් පවතී. අවලෝකිතේශ්වර බෝධිසත්ව ලෝකඩ පිළිමයක් ආරාමයේ භූමියෙන් කැණීම් කර ඇත (වවුනියා පුරාවිද්‍යා කෞතුකාගාරය විසින් රැගෙන ගොස් ඇති).

මෙම ස්තූපයේ ශ්‍රී ලංකාවේ දක්නට නොලැබෙන හතරැස් පාදමේ ඉහළ කොටසේ අෂ්ටාස්‍ර සහ ෂඩාස්රාකාර උපස්ථරයක් ඇත. ”

2018 දී යළිත් ලද්දේ දෙමළ ජාතික සන්ධානය විසින් කෝවිල් පුළුල් කිරීම සඳහා අරමුදල් සපයා මෙම පුළුල්න කිරීමට එහි සංරක්ෂණය කොට තිබු නටබුන් කඩා ඉවත් කොට තිබෙන බවද, හානිය පිළිබඳව සොයා බැලීමට එම ස්ථානයට පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එම ස්ථානය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින හින්දු පූජකවරු පිරිසක් හා ගම්වාසීන් එක්ව පහර දීමකට උත්සාහ කොට ඇති බවද වාර්තා විය. අවාසනාවකට මෙන්, සියලු රජයන් උතුරු හානැගෙනහිර පළාත්වල විසිරී ඇති පුරාණ බෞද්ධ උරුමය හිතාමතාම විනාශ කිරීම කෙරෙහි ඇස් පියාගෙන සිටින අතර දේශපාලනඥයින් යන් ඒවා මත කෝවිල් ගොඩනඟමින් සිටිති. ඉහත දැක්වෙන ඡායාරූප 1983 දී එවකට කර්මාන්ත හා විද්‍යාත්මක කටයුතු අමාත්‍ය දිවංගත සිරිල් මැතිව් විසින් “වාර්ගික අගතියෙන් නීතිවිරෝධී ලෙස අත්කරගැනීම හෝ හිතාමතාම විනාශ කිරීම නිසා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ සංස්කෘතික දේපළ ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරීම”යන මැයෙන් යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් වෙත යවන ලද ලිපියෙන් ලබා ගත ජායාරූප වේ.

ආශ්‍රිත

  • De Silva, R. and Karunaratne, W., n.d. Administration report of the archaeological commissioner for the year 1979. 1st ed. Colombo: Department of the Government Printing, p.48.
  • Gunarathne, B., 2021. වවුනියාවේ වැළලුණු බොදු පුදබිම් – සමලාන්කුලම්. Dinamina, p.21.
  • Mathew, C., 1983. An Appeal to UNESCO to Safeguard and Preserve the Cultural Property in Sri Lana Endangered by Racial Prejudice, Unlawful Occupation or Wilful destruction.
  • Dharmawardana, C., 2018. LankaWeb – Samalan Weva archeological sites and Taliban-like activity by Eelamists.. [online] Lankaweb.com. Available at: <http://www.lankaweb.com/news/items/2018/11/20/samalan-weva-archeological-sites-and-taliban-like-activity-by-eelamists/> [Accessed 8 June 2021].
  • Dharma-wardana., C., n.d. TRADITIONAL SINHALA PLACE NAMES OF TOWNS IN THE NORTH AND EAST SRI LANKA – Sinhala placenames.. [online] Dh-web.org. Available at: <https://dh-web.org/place.names/#vanni79> [Accessed 8 June 2021].
  • 2014. スリランカ北部、東北部における文化財保存と活用 調査報告書 – 文化遺産国際協力コンソーシアム協力相手国調査 – (平成24年度). Japan: 文化遺産国際協力コンソーシアム事務局, p.62.
  • රතුගමගේ, ද., 2018. සමලන්කුලමේ විහාර බිමක බලහත්කරයෙන් හින්දු කෝවිලක් හදයි – පරීක්ෂාවට ගිය පුරාවිද්‍යාවට පූජකවරු හා ගම්වැසියන් පහර දෙන්නත් හදලා. [online] Divaina.com. Available at: <https://divaina.com/daily/index.php/main-news/19962-2018-11-18-13-20-40> [Accessed 8 June 2021].

සම්බන්ධ වෙනත් පිටු

වවුනියාවේ සමලන්කුලම බෞද්ධ නටබුන් භූමිය සිතියම

Please click on the button below to load the Dynamic Google Map (ගූගල් සිතියම් පහලින්)
.

The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites

Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.

වවුනියාවේ සමලන්කුලම බෞද්ධ නටබුන් භූමිය ගමන් මාර්ගය

වවුනියාව සිට සමලන්කුලම බෞද්ධ නටබුන් භූමිය දක්වා
හරහා : හොරොව්පතාන මාර්ගය
මුළු දුර : කිලෝමීටර් 5.5
ගතවන කාලය : විනාඩි 10
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com
© www.amazinglanka.com

Leave a Reply