යාපනයේ යළි පිබිදෙන දෙවනපෑතිස්ස සමයේ තිස්ස මහා විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...
The Survey Department Map of Jaffna, updated in 1959, printed in 1964 clearly showing Tissa Viharaya land with a drawing of a stupa.
The Survey Department Map of Jaffna, updated in 1959, printed in 1964 clearly showing Tissa Viharaya land with a drawing of a stupa.

ක්‍රිස්තුස් වහන්සේට වසර 250 කට පෙර, ඉන්දියාවේ අශෝක මහා අධිරාජ්‍යයාගේ (ක්‍රි.පූ. 268- 232) පුත් මහින්ද මාහිමි ශ්‍රී ලංකා දූපතට පැමිණියේ ඔහුට දිය හැකි උත්තරීතරම ත්‍යාගය වන බුද්ධ ධර්මය රැගෙනය. ක්‍රි.පූ 250 පොසොන් පොහොය දිනයකදී මෙහි රජකම් දැරූ දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ 250-210), බෞද්ධ දර්ශනය වැලඳගති.

මෙම නව දර්ශනය වැලඳ ගැනීමෙන් පසු ඔහු භක්තිමත් බෞද්ධයෙකු බවට පත් වූ අතර, දිවයින පුරා පන්සල් ආරාම ඔහු විසින් ඉදිකරවන ලදී. මහා විහාර ආරාමය ඉදි කිරීම, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට මහා මේඝවණ උද්‍යානය පරිත්‍යාග කිරීම, මිහින්තලේ චෛත්‍ය චෛත්‍ය පබ්බත, ථූපාරාම, ඉසුරුමුණිය, වෙස්සගිරිය, මහා ස්තූපය, උපසිකා වෙහෙර,හත්ථාල්හක විහාරය හා මහා පාලි දානශාලාව එතුමා බුද්ධ පුත්‍රයන්ට කල පූජා බව මහාවංශයේ කියවේ. ශ්‍රී ලංකාවේ මහා වංශකථාව වන මහාවංශයේ නාග දිවයිනේ දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරන ලද විහාරස්ථාන 3 ක් ගැන සඳහන් වන අතර නාග දිවයින සමස්තයක් ලෙස යාපනය අර්ධද්වීපයට භාවිතා වන නාමයක් ලෙස සැලකේ. මෙම විහාර නම් දඹකොළ වෙහෙර, තිස්ස මහා විහාරය හා පාචිනාරාමයයි.

ඉහත යාපනයේ විහාරයන්ගෙන් අවම විස්තර සහිත තිස්ස මහා විහාරය දඹකොළ විහාරයට නැගෙනහිරින් පිහිටා ඇති අතර එය පිහිටා තිබුණේ කන්කසන්තුරේ හි වලිකාමම් උතුර (තෙලිප්පලෙයි) ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කන්කසන්තුරේ J 250 තෛයිඩ්ඩි දකුණ ග්‍රාම නිලධාරි වසමෙහිය. බෞද්ධ ඉතිහාසයෙන් වසන් වූ මෙම විහාරස්ථානය නැවත පුනර්ජීවනය ලැබුවේ 1940 දශකයේදීය.

කළුතර උතුරේ ශීලාධාර හිමියන් සහ කළුතර පඤ්ඤානන්ද හිමියන් යාපනය අර්ධද්වීපයට ගොස් දේවානම්පියතිස්සා රජු විසින් ඉදිකරන ලද තිස්ස විහාරයේ පුරාණ බෝධිය සහිත නටබුන් අනාවරණය කරගත් පසු විහාර භූමියේ කුටියක දුෂ්කරව වැඩ හිඳිමින් නැවත තිස්ස විහාරය ගොඩ නැංවීමට ක‍්‍රියාකළහ. 1946 දී ඒබ්‍රහම් පෙරේරා නම් සැදැහැවතෙකු මෙම විහාරයට යාබද ඉඩමක් පරිත්‍යාග කර ඇති අතර එම ඔප්පුවේ තිස්ස විහාරය යන නාමය පැහැදිලිව පෙන්නුම් කරයි. 1953 වර්ෂයේ දී මෙම විහාරයට සියක්‌ නමක්‌ (100) වැඩමවා කඨින පිංකම් සිදුකළ බවටද වාර්තා තිබේ. එසේම සල්පිල් ආදී විවිධ පිංකම් සිදුකර ඇත. බෞද්ධ දහම් පාසලක්‌ පවත්වා සිංහල හා දෙමළ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීමට ක්‍රියාකර තිබේ.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 1959 සංශෝධනය කරන ලද යාපනයේ අඟලේ (1: 63,360) සිතියමහි මෙම පන්සල් භූමිය ඉංග්‍රීසි හා දෙමළ අනුවාද දෙකෙහිම පැහැදිලිව සලකුණු කර ඇත. මෙම සිතියමට අනුව විහාරස්ථානය අක්කර 15 ක පමණ භූමි ප්‍රමාණයක් ආවරණය කර ඇත. තවද බෝධීන් වහන්සේ සතර නමක් පමණ ඉතා සරුවට මෙහි වැඩ සිට ඇත.
 

 මේ තත්ත්වය මෙසේ වුවද පනස් ගණන්වල අග භාගයේදී ඇතිවූ දෙමළ කෝලාහල නිසා සිංහලයන්ට උතුරේ විසීම කළ නොහැකි විය. තයිඞ්ඩි දකුණ (සිංහල කලඞ්ඩි නොහොත් උලූතන් කලඞ්ඩි) යනුවෙන් හඳුන්වන වලිකාමම් උතුරේ දිසාපති කොට්ඨාසයේ වෙන් කොට ගත් තිස්ස විහාරය අවට සිටි සිංහලයන්ද යාපනයේ බේකරි කරමින් වෙළෙඳ ව්‍යාපාර කරමින් සිටි බොහෝ දෙනකුට එහි විසීම අන්තරාදායක විය. මේ නිසා තිස්ස විහාරයේ ස්වාමීන් වහන්සේද නැවත සිය මුල් විහාරය වන කළුතර සුමිත‍්‍රාරාමයට වැඩම කළහ. 1959 සිට ඇරඹුණු කාල වකවානුවේදී නැවත මේ විහාරස්ථානයට ආලෝකයක් ඇති නොවීය. එහෙත් 1971 වර්ෂයේ ඇඳි මිනුම්දෝරු සිතියම් වලද මේ විහාරය තිබූ බවට පැහැදිලිව සලකුණු වී තිබේ. එම සිතියම් වල විහාරස්ථානය ඇරුණු කොට සිංහල කලඞ්ඩි නම් ඉඩමේ වෙනත් ඉදි කිරීමක් නොවිණ. එහෙත් 1983 න් පසු යළි දෙමළ කොටි ව්‍යාපාරය ඇරඹීමත් යාපනයේ විසූ හය දහසකට ආසන්න සිංහලයන්ට කිසිසේතම් හිතකර නොවීය. 1971 වන විට කන්කසන්තුරේ වලිකාමම් උතුර පෙදෙස් පමණක් සිංහලයන් 453 දෙනකු ජීවත්ව සිට ඇත. තිස්ස විහාරයද කඩා බිඳ දමන ලද අතර එහි ළිඳ පමණක් ඉතුරු විය.

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කළ පසු එහි සිංහලයන් දහසකට අධික ප‍්‍රමාණයක් එහි සේවය කළහ. එසේම යාපනයේ ඉස්පිරිතාල පාර කස්තූරියා පාර ස්ටැන්ලි පාර ආදී නම් වලින් හඳුන්වන ස්ථාන වල දකුණෙන් ගිය සිංහලයන්ගේ වාසස්ථාන එමට විය. මේ සියලූ සෙනඟ 1987 න් පසු යළි දකුණට අවතැන් වන්නේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා උත්සන්න වීම නිසාවෙනි.

2009 වර්ෂයේ යුද්ධය අවසන් වීමත් සමගම යළි නැවත පදිංචි කිරීම ඇරඹිණ. දෙමළ ජනතාවත් මුස්ලිම් ජනතාවත් යළි පදිංචි කිරීම ඉක්මන් වුවද සිංහලයන් පදිංචි කිරීමේ කිසිම බලාපොරෙත්තුවක් තිබූ බවත් නොපෙණුනි. එම නිසා යාපනයේ විසූ සිංහල පවුල් 150 ක් පමණ යාපනයේ දුම්රිය ස්ථානයේ ලැගුම් ගෙන කළ අරගලය නිසා ඔවුන්ට නාවකුක්ලියෙන් පසුකාලයෙකදී ඉඩම් හිමි විය. එයටද දෙමළ ජාතික සන්ධානයෙන් අපමණ හිරිහැර වූ බව අප දනිමු. එසේම කන්කසන්තුරේ තිස්ස විහාරය අවට සිටි සිංහලයන්හටද කිසිම ලෙසකින් යළි ඉඩම් නොලැබිණ. තිස්ස විහාරය පෙදෙස යාපනයේ ආඥාපති යටතේ හමුදා කඳවුරක් ලෙසට පැවති අතර 1987 න් පසු තිස්ස විහාරයට අයත් සිංහල කලඞ්ඩි නම් ඉඩමේ දෙමළ ජනතාවට පදිංචි කරවීමට දිසාපති වරුන් විසින් ඔප්පු හදා දී තිබුණි. 1956 සිට පැහැදිලිව විහාරස්ථානය සතු ඉඩමක් ලෙස පැවති භූමිය බලෙන් අද අත්පත් කරගන්නට ඇතැම් දෙමළ පිරිස් උත්සාහ කරනුයේ මේ හොර ඔප්පු බලපත‍්‍ර පෙන්වමිනි. නමුත් කළුතර පඤ්ඤානන්ද හිමියන්ගේ ශිෂ්‍ය පූජ්‍ය පාතකඩ විමලඥාණ හිමියන් යුද්ධයෙන් පසු කන්කසන්තුරේට ගොස් පළමුව විහාරයේ තිබූ ළිඳ හඳුනාගෙන භූමිය නිශ්චිත කොට ගෙන අනතුරුව තෙලිප්පලෙයි ප‍්‍රාදේශීය ලේකම් වරයා හමු වී සිතියම් වල සඳහන් සිංහල කලඞ්ඩි භූමිය ඉල්ලා සිටියද ඔප්පු ඉදිරිපත් කළ අයට පමණක් ඉඩම් දෙන බව පවසා තිබුණි. නමුත් දෙමළ පිරිස් සිංහලයන් සිටි භූමිවල ඔප්පු හදා දෙමින් පදිංචි කරවයි. සිතියම්වල පෙන්වා ඇති අයුරින් අක්කර 15ට වඩා වැඩි භූමියක පැතිරී තිබුණු මෙම විහාරය දැන් අක්කර 1 කට වඩා අඩු ඉඩමක් වී ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත්, සමහර විහාරස්ථානයේ ඉඩම් කොටසක් නැවත විහාරයට ලබා දී ඇති අතර මීට වසර 2000 කට පෙර මුල් තිස්ස මහා විහාරය පැවති භූමියේම නව තිස්ස මහා විහාරය නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ දරමින් පවතී.

ආශ්‍රිත

  • Oldenberg, H., 1879. The Dipavamsa : an ancient Buddhist historical record. 1st ed. London: Williams and Norgate, pp.164-203.
  • Mah|can|cama and Geiger, W., 1912. The Mahavamsa or the great chronicle of Ceylon. London: Henry Frowde, Oxford University Press.,p.77-138.
  • සේ. ගුණසිංහ, 2018. දේවානම්පියතිස්‌ස රජ කාලයේ ඓතිහාසික තිස්‌ස විහාරය යළි ගොඩනඟමු. දිවයින,.
  • මතුගම සෙනෙවිරුවන්, 2019. යාපනයේ තිස්ස විහාරය සතු ඉඩම් දෙමළ ජනතාවට දීමේ සැලැස්මක්. දිවයින,.

සම්බන්ධ වෙනත් පිටු

යාපනයේ තිස්ස මහා විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් - ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


යාපනයේ තිස්ස මහා විහාරය ගමන් මාර්ගය

යාපනයේ සිට තිස්ස මහා විහාරය දක්වා
හරහා : චුන්නාකම්
මුළු දුර : කිලෝමීටර් 20
ගතවන කාලය : විනාඩි 35
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com