හොරණ ඇල්ලේකන්ද වනහාමිගේ ගුහාව

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.67 out of 5)
Loading...
Horana Ellekanda Wanahami Guhawa - හොරණ ඇල්ලේකන්ද  වනහාමිගේ ගුහාව
Horana Ellekanda Wanahami Guhawa – හොරණ ඇල්ලේකන්ද වනහාමිගේ ගුහාව

හොරණ කියන්නේ කළුතර දිස්ත්‍රික්කයේ බොහොම කාර්යබහුල නගරයක්. නමුත් පුරාණ රයිගම් රාජධානියේ මෙය අගනගරය ලෙස සලකනවා. පුරාණ පොත පත වල හිරඤ්ඤමළය ලෙස හඳුන්වා ඇත්තේ හොරණ බව විශ්වාසයයි. ජනප්‍රවාද අනුව හිරඤ්ඤමලය යන නම හොරණ ප්‍රදේශයට පටබැදී ඇත්තේ රාවණාට පෙර සිටි මෙරට බලවත් රජෙකු වූ හිරණ්‍යක රජුගේ නිජබිම වූ නිසාය. 

රයිගම් රාජධානිය හා සම්බන්ධ බොහෝ පුරාවෘත්ත හොරණ හෝ හිරඤ්ඤමළය හා සම්බන්ධ වෙනවා. මින් ස්ථානයක් තමයි වනහාමිගේ ගුහාව. මෙම ගුහාව හොරණ නගරයට ඉහළින් පෙනෙන ඇල්ලකන්ද කඳුවැටියේ පිහිටා තිබෙනවා. මෙම කඳුවැටිය අවට ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා ගමන් කරන බව ද විශ්වාසයක් පවතිනවා. 

සයවන පරාක්‍රමබාහු රජුගේ මුල් රාජධානිය වූයේ රයිගමයි. මෙකල ඉන්දියාවේ කාලිංග රාජධානිය මුස්ලිම් හමුදාවක් විසින් ආක්‍රමණය කළා. එහි සිටි උසස් කුල කාන්තාවෝ මුසල්මානුවන්ට අසු වනවාට වඩා   මිය යාම යහපත්යි සිතා සමහරුන් ගින්නට පැන සියදිවි නසා ගත්තා. සමහරුන් රටින් පලා ගියා. මෙසේ රටින් පලා ගිය එක් රූමත් කුමාරිකාවක් බ්‍රාහ්මණයෙකුගේ වෙස්වලාගෙන ලංකා ද්වීපයටද පැමිණුනා. මේ කුමාරිකාව පාගමනින්ම හිරඤ්ඤමළයට පැමිණ භාවනා කිරීමට ස්ථානයක් සොයමින් සිටියදී ඇල්ලකන්ද කදුවැටියේ මෙම ගුහාව හමු උනා. අවට ජනයා මෙහි යක්ෂ දෝෂ ඇතැයි විශ්වාස කරන නිසා මෙම ලෙන පිහිටියේ ජනයාගෙන් ශුන්‍ය වූ ප්‍රදේශයකයි. එබැවින් මෙම කුමාරිකාවට මෙම ගුහාව ඉතා සුදුසු වාසස්ථානයක් උනා. මෙම කුමාරිකාව බ්‍රාහ්මණයෙකු සේ තම දිවිය මෙම ගුහාවේ ඇරඹුවා. මෙම බ්‍රාහ්මණයාට කෑම බීම අවට ගම් වාසීන්ගෙන් නොඅඩුව ලැබුනා. මෙම බ්‍රාහ්මණයා වනහාමි යන නමින් ගම්වාසීන් අතර ප්‍රසිද්ධ උනා.

මෙම සිල්වත් වනහාමි පිළිබඳව මෙහි රජ කල සයවන පරාක්‍රමබාහු රජුටද ආරංචි උනා. එතුමාට මේ පුද්ගලයා පිළිබඳව සොයා බැලීමට උවමනාවී හිරඤ්ඤමළයේ මේ වන අඩවියට වෙස් වලාගෙන පැමිණියා. යක්ෂයන්ට ඇති බිය නිසා අවට ගම්වාසීන් මෙම වනයට පැමිණියේ නැහැ. එම නිසා වනහාමි තාපසතුමා මෙදින දියනෑමට ගොස් ඇගේ වස්ත්‍ර එකින් එක ගැලවුවා. මේ සිද්ධිය සැඟවී බලා සිටි පරාක්‍රමබාහු රජතුමාට තාපස් වස්ත්‍ර තුලින් රූමත් නාරි රුවක් මතුවන අයුරු දුටුවා. මේ දුටු දර්ශනය අදහාගත නොහැකිව ඔහු නැවත රජමාලිගයට ගොස්, රාජපුරුශයින්ට ඇල්ලකන්ද කඳුවැටියේ වාසය කරන වනහාමී තාපසයාව රජමාලිගයට කැඳවාගෙන එන ලෙස අණ කළා.

රජමාලිගයට පැමිණි තාපසයා රජ තුමාට සියලු විස්තර නොසඟවා පැවසුවා. අවසානයේ පරාක්‍රමබාහු රජතුමා ඇයව සරණ පාවා ගත්තා. ඇයගේ නියම නම හොරණෑවතී ලෙස පැවසෙනවා. ඉන්පසු රජතුමා තම රාජධානිය කෝට්ටේට රැගෙන යන විට ඇයද එහි කැඳවාගෙන ගියත් පසුකලකදී ඇයට බෝවන කුෂ්ට රෝගයක් (වසුරිය?) වැළඳුනා. මෙය බෝවන රෝගයක් නිසා හොරණෑවතීට මාලිගයෙන් පිට වීමට සිදුවනවා. ඇය නැවතත් හුදකළා වීමට තෝරා ගන්නේ ඇල්ලෙකන්දේ වනහාමී ගුහාවයි. පරාක්‍රමබාහු රජතුමා අකමැත්තෙන් වුවද ආවතේව කරුවන් සමග හොරණෑවතී දේවිය අවසාන කාලය ගත කිරීමට ගුහාවට යවනවා. නමුත් ඇය මියයන්නේ බෙහෙත් ගලවමින් කලක් ජීවත්වීමෙන් පසුයි. ඇගේ මරණයෙන් පසුව රජතුමා රාජකීය අවමංගල්‍යයක් පවත්වා ඇයව මිහිදන්කොට තිබෙනවා.

තවත් ජනප්‍රවාදයකට අනුව මෙම ගුහාව ආදීවාසී වැදි ජනතාව මිය ගිය ඥාතීන් ආදාහනය සඳහා භාවිතා කල සොහොන් ගල් ගෙයක් ලෙසද හඳුන්වනවා. මෙම ගුහාවේ කටාරම් කොටා ඇති අයුරක් පෙනෙන්ට තිබෙනවා. මේවා බොහෝ ලෙස ක්‍ෂය වේ ගොසින්. එබැවින් යම් පුරාණ කලක මෙම ලෙනෙහි බෞද්ධ භික්ෂුන් වහන්සේලා මෙහි වාසය කළා විය හැකියි.

ඉංග්‍රීසි පාළන සමයේදී ඇල්ලකන්ද රබර් වගා බිමකට පරිවර්තනය වෙනවා. නමුත් කන්දේ වනහාමි ගුහාව එසේම අදත් පවතිනවා. මෙහි කුඩා බුදු පිළිම කිහිපයක් තබා ප්‍රදේශයේ ජනතාව අදත් පුද පුජා පවත්වනවා. පැරණි බිත්ති කොටස් අදත් මෙහි දක්නට ලැබෙනවා. ඓතිහාසික වැදගත්කමක් ඇති මෙම භූමිය වෙත තවමත් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ ඇස ගැටී නැහැ.


මුලාශ්‍ර

  • Si.wikipedia.org. 2021. හොරණ – විකිපීඩියා. [online] Available at: <https://si.wikipedia.org/wiki/හොරණ> [Accessed 20 June 2021].
  • Fernando, A., 2021. තාපස වෙස් ගත් රූමතියක් සැඟව සිටි “වනහාමීගේ ගුහාව” සොයා ඇල්ලකන්ද තරණය කළෙමි | thecolombopost.net | 24×7 Online News Portal. [online] thecolombopost.net | 24×7 Online News Portal. Available at: <http://www.thecolombopost.net/entertainment/features/71555/> [Accessed 20 June 2021].
  • Fernando, R., 2020. Lakdasun Trip Reports Archive » Exploring hidden Caves at Elle Kanda (වනහාමිගේ ගල්ගුහා). [online] Trips.lakdasun.org. Available at: <http://trips.lakdasun.org/exploring-hidden-caves-at-elle-kanda-වනහාමිගේ-ගල්ගුහා/ > [Accessed 20 June 2021].

සම්බන්ධ වෙනත් පිටු

හොරණ ඇල්ලේකන්ද වනහාමිගේ ගුහාව සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

හොරණ ඇල්ලේකන්ද වනහාමිගේ ගුහාව ගමන් මාර්ගය

කොළඹ සිට හොරණ ඇල්ලේකන්ද වනහාමිගේ ගුහාව දක්වා
හරහා : හෝමාගම – බණ්ඩාරගම – හොරණ
මුළු දුර : කිලෝමීටර් 49
ගතවන කාලය : පැය 1.30 + කන්ද නැගීමට ගතවන කාලය
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply