
ශ්‍රී ලංකාවේ මානව ජනාවාසකරණය පිළිබඳ තතු විමර්ශනය කිරීමේ දී එහි සමාරම්භය පුරාශිලා යුගයෙන් ( Paleolithic period) ආරම්භව මධ්‍යශිලා යුගය (Mesolithic period) ප්‍රාථමික යකඩ යුගය ( Early Iron Age) ඔස්සේ විකාශනය වී ඇති ආකාරය ගවේෂණ කැණීම්වලින් තහවුරු කරගෙන තිබේ (Deraniyagala 1992 : 709 – 710 ; Deraniyagala 2007: 04). මධ්‍යශිලා අවධියට පසුව එළැඹිය යුතු වන ශිලා යුගය පිළිබඳ යම් සාධක ප්‍රමාණයක් දොරවක ලෙනෙන් හා හෝර්ටන් තැන්නේ වාර්තා වන බව (Premathilaka : 2003: Wijepala in Deraniyagala 2007:59; Wijepala 2007 : 97 – 120). ප්‍රකාශ වී තිබුණ ද එම සාධක ප්‍රමාණය නව ශිලා යුගය පිළිගැනීමට තරම් තීරණාත්මක නොවන බව විද්වත් මතය වී තිබේ. ශ්‍රී ලංකාවේ ආදිතම සංස්කෘතික අවධි තුළ මානවයා සිය ජීවිතය ගත කරන සමයේ දී තමන් සමඟ ජීවත් වූ සිය නෑ හිතමිතුරන් මියගිය විට භූමදානය සඳහා විවිධ අභිචාරමය කටයුතු සිදු කර ඇති ආකාරය පුරාවිද්‍යා පර්යේෂණ මඟින් හඳුනාගෙන තිබේ. අනාදිමත් කලක සිට ශ්‍රී ලංකාවේ සිදු වූ එම භූමදාන කටයුතු හෙවත් ශවෝපාචාර ක්‍රම හා ඒ සම්බන්ධව අනාවරණය කරගෙන ඇති කරුණු පිළිබඳ මේ රචනයෙන් විමසා බලනු ලැබේ. විශේෂයෙන් ප්‍රාග් සහ පූර්ව ඓතිහාසික අවධිය තුළ මේ සම්බන්ධව අධ්‍යයනයේ දී ලිඛිත සාධක නැති නිසා ඒ සඳහා පුරාවිද්‍යා මූලාශ්‍රය පමණක් භාවිත කිරීමට සිදු වේ.
බළන්ගොඩ මානවයාගේ අභිචාර, සුසාන චාරිත්‍ර
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුග අතුරින් මෑතකාලීනව විස්තරාත්මකව කරුණු අනාවරණය කරගෙන ඇත්තේ මධ්‍යශිලා යුගය (Mesolithic Period) හෙවත් බළන්ගොඩ සංස්කෘතිය සම්බන්ධයෙනි. මධ්‍යශිලා යුගය පිළිබඳ සාධක අනාවරණය වන ස්ථාන වශයෙන් ඉරණමඩු පාංශූ සංකීර්ණය මෙන් ම ගුහා නිධි වැදගත් වේ. ගුහා නිධි අතර කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, බුලත්සිංහල ෆාහියන්ලෙන, වරකාපොළ දොරවකකන්ද, අත්තනගොඩ අළුලෙන, බෙලිලෙන-අතුළ, සීගිරිය පොතාන, අත්තනගල්ල පොත්ගුල්ලෙන, එළිමහන් ස්ථාන ලෙස බෙල්ලන්බැඳිපැලැස්ස, පල්ලෙමළල, මහඑළිය, වෙස්සගිරිය, ජේතවනය, මාතොට, අනුරාධපුර ඇතුළුනුවර, මිනිඇතිලිය ආදී ස්ථාන රාශියක් වැදගත් වන බව පෙන්වාදිය හැකි ය. (Deraniyagala 1992 : 709 – 710 ; Mendis 2016 : 16 – 20).
ශ්‍රී ලංකාවේ මධ්‍යශිලා යුගය සමබන්ධයෙන් මෙතෙක් ලැබී ඇති විද්‍යාත්මක කාලනීර්ණ ලෙස බුලත්සිංහල ෆාහියන්ලෙන අදින් වසර 48,000, කුරුවිට බටදොඹලෙනඅදින් වසර 37,000, කිතුල්ගල බෙලිලෙන අදින් වසර 31,000, අත්තනගොඩ අළුලෙන අදින් වසර 10,350, බෙලිලෙන අතුළ අදින් වසර 8,230, කුරුවිට බටතොට දහයියාලෙන අදින් වසර 7,680, බෙල්ලන්බැඳිපැලැස්ස අදින් වසර 12,000 – (6,500), මිනීඇතිලිය අදින් වසර 6000, අනුරාධපුර අදින් වසර 5900, මාතොට අදින් වසර 3800, සීගිරිය අසළ පොතාන අදින් වසර 5800, අලිගල අදින් වසර 5500 වශයෙන් ශ්‍රී ලංකාවේ මධ්‍යශිලා යුගය යුගය සම්බන්ධයෙන් කාලනීර්ණ ලැබී තිබේ (Deraniyagala 2007 : 3 – 7 ; Adikari 1994; Perera : 2010 ).
එම යුගයට අයත්ව එළිමහන් වාසස්ථාන සහ ලෙන් තුළින් හමු වන භෞතික සාධක අතර මානව සැකිලි අතිශයින්ම වැදගත් වන අතර එමඟින් මධ්‍යශිලා මානවයාගේ ශවෝපාචාර ක්‍රම පිළිබ අධ්‍යයනයන් කිරීමට ද ඉන් හැකි වී තිබේ. බළන්ගොඩ මානවයාගේ අභිචාර සහ සුසාන චාරිත්‍ර පිළිබඳ විමර්ශනයේ දී ඔහුගේ භූමදාන කටයුතු වැදගත් වන අතර මිනිසකු මියගිය විට ඔවුන් වළ දමා තිබීම ඒ අතරින් ප්‍රමුඛ වේ.
එසේ මියගිය පුද්ගලයකු වළ දැමීමේ දී නමා හකුළා වළ දැමීම හෙවත් උක්කුටියෙන් වළ දැමීම සුවිශේෂ කරුණක් වන අතර, ඒ බව බෙල්ලන්බැඳිපැලැස්ස, රාවණා ඇල්ල සහ මිනීඇතිළියෙන් හමු වී ඇති සාධක මැනවින් තහවුරු කරයි. එසේම කුරුවිට බටදොඔලෙනෙන් ද භූමදාන කරන ලද පුද්ගලයන් 38 දෙනෙකුට අයත් සාධක පුරාවිද්‍යා කැණීම්වලින් හඳුනාගෙන තිබේ. ප්‍රාථමික දඩයම් ජීවිතයක් ගත කළ බළන්ගොඩ මානවයා විසින් මියගිය පුද්ගලයකු භූමදාන කරන විට වළ දැමීමේ දී බටහිර දෙසට හිස සිටින සේ වළ දමා තිබීම ද අතිශයින් වැදගත් වේ (Deraniyagala 1958 : 64 – 65).
වර්තමානයේ දී ද මිනිසකු මියගිය විට වළ දමනු ලබන්නේද බටහිර දෙසට හිස දමා ය. බළන්ගොඩ මානවයා මියගිය පුද්ගලයකුගේ හිස බටහිර දෙසට සිටින සේ වළ දැමීමට හේතුව පිළිබඳ විමර්ශනය කිරීමේ දී පැහැදිලි වන්නේ එම මිනිසා ස්වභාවික පරිසරයේ දුටු ස්වභාවික සිදු වීම් සිය ජීවිතයට ද ආරෝපනය කර ඇති බවකි. එනම් ඔහු පරිසරයේ ප්‍රධානතම වැදගත් වස්තුව ලෙස දුටුවේ සූර්යා ය. සූර්ය ගමනය නැගෙනහිරින් ආරම්භ වී බස්නාහිරෙන් අවසන් වන බව ඔවුන් දෛනිකව දුටු සිද්ධියකි . එම දෛනික සිද්ධිය මානවයාගේ ජීවිතයට ආරෝපණය කළ කල්හි පෙනෙන්නේ උපත සහ මියයාම ඉන් පිළඹිබු වන බවය.
නැඟෙනහිර ඉපදීමත් බස්නාහිර මිය යෑමත් සංකේතවත් කිරීමේ අරමුණින් බළන්ගොඩ මානවයා මිනිසෙකු මියගිය විට හිස බටහිරට වළ දැමීමෙන් සංකේතවත් කරන්නට ඇති බව උපකල්පනය කළ හැකිය. එසේම එම මානවයාගේ අභිචාර කටයුතු අතර මියගිය පසු වළ දමා මස් දිය වූ අස්ථිවල ගුරුගල් ආලේප කිරීම පිළිබඳ තොරතුරු ද බටදොඹලෙන, බෙලි ලෙන, බෙල්ලන් බැදිපැලැස්ස, බුලත්සිංහල, ෆාහියන්ලෙන, අලවල පොත්ගුල් ආදී ලෙන් මඟින් හඳුනාගෙන තිබේ. එසේම රාවණාඇල්ලෙන් ලැබී ඇති මානව හිස්කබල සිදුරු කිරීමට උත්සාහ කිරීමෙන් ද ඔවුන්ගේ විවිධ අවමංගල්‍ය සහ අභිචාර කටයුතු පිළිබඳව මැනවින් හඳුනාගැනීමට හැකි වී තිබේ (Deraniyagala2007 : 59; Kennedy 2000: 183 – 237 ; Deraniyagala 1992 chap. 5.3.12).
එම පුරාවිද්‍යා තොරතුරු අනුව පැහැදිලි වන්නේ ලංකාවේ අවමංගල්‍ය චාරිත්‍රවල මූලාරම්භය ශ්‍රී ලංකා සමාජය විසින් ලබාගෙන ඇත්තේ ප්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා අවධියේ දී බවය. එම චාරිත්‍රය වර්තමානය දක්වා ම මිනිසකු මියගිය විට වළ දැමීමේ දී බස්නාහිරට හිස දමා වළ දැමීමට භාවිත කරන ක්‍රියාදාමයෙන් අදටත් දෘෂ්‍යමාන වේ.
පූර්ව ඓතිහාසික යුගයේ මානවයාගේ අභිචාර, සුසාන චාරිත්‍ර
ශ්‍රී ලංකාවේ පූර්ව ඵෙතිහාසික සංස්කාතික අවධිය ක්‍රි.පූ 2400 දී පමණ ආරම්භ ව විකාශනය වූ බව පර්යේෂකයන් පෙන්වා දී තිබේ (Somadeva 2006 : 13 ). එම සංස්කෘතික අවධිය හඳුනාගැනීම සඳහා පර්යේෂණ දායකත්වය දැක්වූවන් අතර පෝල් ඊ. පීරිස්, රාජා ද සිල්වා, සුදර්ශන් සෙනෙවිරත්න, පොන්නම්බලම් රඝුපති, ඒස්-කේ. සිත්රම්පලම්, සිරාන් දැරණියගල, සේනක බණ්ඩාරණායක, නිමල් පෙරේරා, ප්‍රියන්ත කරුණාරත්න, රාජ් සෝමදේව, ගාමිණී අදිකාරී, ඩී. කේ ජයරත්න, රංජිත් බංඩාර දිසානයක, තුසිත මැන්දිස් ආදි පර්යේෂකයන් පෙන්වාදිය හැකි ය. එම පර්යේෂකයන් සිදු කර ඇති පර්යේෂණ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියට අයත් සුසාන සම්බන්ධ කාලනිර්ණ මෙසේ ලැබී තිබේ.
බෙරගල කළුපහණ වත්ත ක්‍රි.පූ 2400, හල්දුම්මුල්ල ක්‍රි.පූ 1750 ( මනමේන්ද්‍ර ආරච්චි හා අදිකාරී 2014 : 227), රංචාමඩම ක්‍රි.පූ 1359 ( Somadeva ; Ranjith Disanayake and Resta Fernando 2006: 13) , කොක්එබේ ක්‍රි.පූ 790 ( මැන්දිස් : 2017ථ 177 – 179), ඉබ්බන්කටුව ක්‍රි.පූ 700-400 ((Bandaranayake and Kilian in Deraniyagala 1992 : 734 ), ඉහළ කලවැල්ලාඋල්පත (සීගිරිය) ක්‍රි.පූ 520 ( Jayaratne , D. K. 2014 : 25 – 40 ), තම්මැන්නාගොඩැල්ල ක්‍රි.පූ ( Disanayake :2013) නිකවලමුල්ල ක්‍රි.පූ 400 ( Perera : 1996, සම්මුඛ සාකච්ඡාව 2016 ), කලඔටුවාව ක්‍රි.පූ. 130 (Deraniayagala 2007:69), පිංවැව ගල් සොහොන් කනත්ත ක්‍රි.පූ. 112 ( Deraniayagala 2007:69 ), කුලියාපිටිය (දුම්මලසූරිය) ක්‍රි.ව100-350 (Perera : 2014 සම්මුඛ සාකච්ඡාව 2016), වශයෙන් ලැබී තිබේ. පූර්ව ඓතිහාසික අවධියේ පැවති සුසාන චාරිත්‍ර වැදගත් වන්නේ ඊට පෙර පැවති සංස්කෘතියට එනම් මධ්‍ය ශිලා යුගයට වඩා වඩා විධිමත් ආකාරයට එම කටයුතු හඳුන්වාදීම නිසා ය. පුර්ව ඓතිහාසික සංස්කෘතිය තුළ ජීවත් වූ මිනිසුන් විසින් ශ්‍රී ලංකා සමාජයට හඳුන්වාදුන් විධිමත් භූමදාන ක්‍රමවේද සහ සුසාන චාරිත්‍ර ඉතා වැදගත් වේ. එම යුගයේ දී ශ්‍රී ලංකාවෙන් හඳුනාගත හැකි ශවෝපාචාර ක්‍රම අතරින් විධිමත් ලෙස ස්ථාපිත කරනු ලැබූ සුසාන ආකෘති ගණනාවක් තිබේ. පර්යේෂකයන් විසින් හඳුනාගෙන ඇති ආකාරයට එම සුසාන ආකෘති අතර මැටි ඔරු සුසාන (Clay canoe / Clay cist), ශිලා මංජුසා සුසාන (Cist burial ), ශිලා මණ්ඩල සුසාන ( Cairn circle ), ශිලා කේතුක සුසාන (Cairn mound / Cairn heap), ශිලා පෙළ සුසාන (Alignment), ශිලා ටැඔ සුසාන (Men hire) , බරණි සුසාන ( Urn pot ), ශිලා මඤ්චක සුසාන (Delmenoid) යන සුසාන ආකෘති ශ්‍රී ලංකාව ඇසුරින් හඳුනාගත හැකි වී තිබේ (Senavirathne 1984 : 237 – 306 ; Senavirathne 2007 : 135 – 167; මැන්දිස් 2016 : 150 – 153).
සුසාන ආකෘති
- මැටි ඔරු සුසාන (Clay canoe / Clay cist)
- ශිලා මංජුසා සුසාන (Cist burial )
- ශිලා මණ්ඩල සුසාන ( Cairn circle )
- ශිලා කේතුක සුසාන (Cairn mound / Cairn heap)
- ශිලා පෙළ සුසාන (Alignment)
- ශිලා ටැඔ සුසාන (Men hire)
- බරණි සුසාන ( Urn pot )
- ශිලා මඤ්චක සුසාන (Delmenoid)
මැටි ඔරු සුසාන (Clay canoe / Clay Cist)
ශ්‍රී ලංකාවටම ආවේණික සුසාන ක්‍රමයක් වන මැටි ඔරු හෙවත් මැටි මංජුසා සුසාන ශ්‍රී ලංකාවේ පූර්ව ඉතිහාසයේ සුවිශේෂ සුසාන වර්ගයක් ලෙස පෙන්වාදිය හැකි ය. 1952 වසරේදී පී- ඊ -පී දැරණියගල මාතර බණ්ඩත්තර දී පළමුවෙන් මෙම සුසාන වර්ගය වාර්තා කර තිබේ (Wanninayake 2016: 216 ). නමුත් මෙය සුසානයක් ලෙස නිශ්චිත ලෙස ඔහු එවකට හඳුනාගෙන නැත.
1982 වර්ෂයේ දී ඉබ්බන්කටුව සුසාන භූමියෙන් මෙවැනි සුසානයක් හමු වූව ද ද එකල හඳුනාගෙන ඇත්තේ ගිනි දල්වන ලද ස්ථානයක් ලෙසය. එම සුසානය තුළ තිබී කානීලියන් පබළු හමු වී ඇති අතර එයින් ලබාගත් අඟුරු සාම්පල ආශ්‍රිත ව සිදු කරන ලද කාලනීර්ණවල දී එම සුසානය ක්‍රි .පූ 720 ට කාල නීර්ණය වී ඇති බව නිමල් පෙරේරා විසින් ප්‍රකාශ කරන ලදි ( පෙරේරා සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාව 2017 ). 1996 වර්ෂයේ දී නිමල් පෙරේරා විසින් අත්තනගල්ල වාරණ ලෙන ආසන්නයේ ඇති ඕගොඩපොළ නමැති ස්ථානයේ හමු වූ සුසානයක් කැණීම් කර එය ක්‍රි.පූ 250 ට අයත් වන බවට කාබන් කාලනීර්ණ අනුව පෙන්වා දී ඇත. රංජිත් දිසානායක විසින් නිකවලමුල්ල සුසානය ආශ්‍රිත ව කැණීම් සිදු කර එය ක්‍රි.පූ ක්‍රි .පූ 400ට අයත් බව කාලනිර්ණය කර තිබේ ( දිසානායක , 2011සම්මුඛ සාකච්ඡාව 2016). 2006 වර්ෂයේ රාජ් සෝමදේව ඇඹිලිපිටිය රංචාමඩම සුසාන කැණීම් කර එම සුසානය ක්‍රි-පූ 1359 (Somadeva 2006 : 13 ) පමණ බව තහවුරු කරගෙන තිබේ. දියතලාව හල්දුම්මුල්ල සුසානය කැණීම් කර එය ක්‍රි .පූ 1750 ක් පැරණි බව හා බෙරගල කළුපහණවත්ත ක්‍රි.පූ 2400 කාලනීර්ණය කර ඇත. (මනමේන්ද්‍රආරච්චි හා අදිකාරී 2014 : 227 ).
2013 වර්ෂයේ නිමල් පෙරේරා විසින් හලාවත දුම්මලසූරිය ප්‍රදේශයේ සුසාන ආශ්‍රිත සිදු කරන ලද කැණීම අනුව එම සුසානය ක්‍රි.ව 350ට අයත් බවට කාල නීර්ණය කර ඇත. මෙවැනි අකෘතියේ සුසාන ඉන්දියාවේ ද නැති බව ඉන්දීය පුර්ව ඉතිහාසය සම්බන්ධ විශේෂඥයකු වන මහාචාර්ය කේ. රාජන් විසින් ද පෙන්වා දී තිබේ. ඒ අනුව ඉතා ඈත ඉතිහාසයේ සිටම ඓතිහාසික යුගය දක්වා මැටි ඔරු සුසාන ආකෘතිය ශ්‍රී ලංකාව තුළ බලපවත්වා තිබේ. මැටි ඔරු සුසාන බොහෝ දුරට ස්ථාපිත වී ඇත්තේ කඳුකර කලාපයේ හා අන්තර් මධ්‍යම කලාපයේ ය. එම සුසාන තුළ මළ මිනිය හෝ මානව අස්ථි කොටස් දවා තිබීම හෝ මුට්ටි තුළ බහා දැවීම සිදු කළ බව එහි අභ්‍යන්තරයේ හමු වන තැන්පතුවලින් හඳුනාගත හැකි වේ.
මෙගලිතික සුසාන
ශ්‍රී ලංකාවෙන් හමු වන පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන අතර මෙගලිතික සුසාන සුලභ ලෙස වාර්තා වී තිබේ. මෙගලිතික යන වචනය පුරාවිද්‍යාඥයන් භාවිතයට ගනු ලබන්නේ 19 වැනි සියවස අග භාගයේ සිටය. මෙහි පුරෝගාමියා වන්නේ ප්‍රංශ ජාතික ග්ලීන් ඩැනියෙල්ය. Meges යන ශ්‍රීක වචනයෙන් නිෂ්පන්න මහා යන්නත් Lithic යන වචනයෙන් නිෂ්පන්න ශිලාමය යන්නත් එකතු කර Megalithic හෙවත් මහා ශිලා යන්න නිර්මාණය වී ඇත. ගෝල්ඩන් චයිල්ඩ් විසින් මහා ශිලා යන්නෙන් ස්මාරකය ඉදි කිරීමට භාවිත කරන ලද ද්‍රව්‍ය ගම්‍ය නොවන බවත් එමගින් අවමංගල්‍ය හෝ අනුස්මරණ විධියක් නිරූපණය වන බවත් පෙන්වා දී ඇත. මෙගලිතික සුසාන සඳහා ශිලා මාධ්‍ය භාවිත කර ඇති අතර ඒ සඳහා ශිලා පුවරු , ශිලා ටැඹ, ශිලා කුට්ටි භාවිතා කර සුසාන ඉදි කර තිබෙන බැවින් එම සුසාන මෙගලිතික සුසාන වශයෙන් අර්ථ දක්වා තිබේ.
ශිලා මංජුසා සුසාන (Cist Burial )
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියෙන් බහුල ලෙස වාර්තා වී තිබෙන මෙගලිතික සුසාන වර්ගය ලෙස ශිලා මංජුසා සුසාන (Cist burial ) පෙන්වාදිය හැකි ය. එම වර්ගයේ සුසාන යාපන අර්ධද්වීපය, උතුරු මැද, වයඹ, අග්නිදිග හා නැඟෙනහිර පළාත්වලින් වාර්තා වී තිබේ. ශිලා මංජුසා සුසාන ඉදි කිරීම සඳහා ශිලා පුවරු භාවිත කර තිබෙන අතර ඒවා තරමක් විශාල සහ කුඩා ප්‍රමාණවලින් ද යුක්ත වේ. සිරස් අතට සිටුවන ලද ශිලා පුවරු හතරක් පෙට්ටික් ලෙස සකස් කර එම සුසාන ඉදි කර තිබේ. එසේ සකස් කරනු ලබන ගල් පෙට්ටිය හතරැස් හා සෘජු කෝණාස්රාරාකාර හැඩවලට සකස් කර තිබෙන අතර සමහර ශිලා මංජුසා සුසාන ස්වස්ථිකාකාර ලෙස ද සකස් කර තිබේ.
එසේ සකස් කරන ලද සෙල් පෙට්ටිය අභ්‍යන්තරයේ මැටි මුට්ටි තුළ බහාලනු ලැබූ මානව අස්ථි හෝ මලමිනිය දහනය කරන ලද අඟුරු තැන්පත් කර ඒ සමඟ මියගිය පුද්ගලයා භාවිත කරන ලද පලඳනා මෙන්ම ඊ හිස්, නියන්, තල ඇතුළු විවිධ උපකරණ පූජා මුට්ටි තුළ බහා සොහොන අභ්‍යන්තරයේ තැන්පත් කර විශාල පියන්ගලකින් වසා තිබේ. එය එක් අතකින් අභිචාර කටයුත්තක් ලෙස සැලකිය හැකි අතර එමඟින් මියගිය පුද්ගලයාගේ මරණින් මතු ආත්මය පිළිබඳ ඔවුන් තුළ වූ ආකල්පයක් විය හැකි බව පේන්වාදිය හැකි ය. ශ්‍රී ලංකාවේ ශිලා මංජුසා සුසාන වැඩිම ප්‍රමාණයක් දැනට වාර්තා වන්නේ මල්වතු ඔය, යාන් ඔය, කිරිඳි ඔය, දැදුරු ඔය ආදී ගංගා නිම්න ආශ්‍රිතවය. ඒ අතරින් යාන්ඔය මධ්‍ය නිම්නයේ වර්ග කිලෝමීටර් 1400 භූ වපසරිය තුළ වැඩිම ප්‍රමාණයක් මෙගලිතික සුසානස්ථානගත වී තිබේ. එම නිම්නයේ පමණක් මෙගලිතික සුසාන ස්ථාන 29ක් පමණ පවතින බව මේ වන විට වාර්තා කර ඇත. ( මැන්දිස් 2017 : 105).
යාන්ඔය නිම්නය ආශ්‍රිත ව පූර්ව ඓතිහාසික සංස්කෘතියට අයත් මුළු සුසාන ප්‍රමාණය 32 වේ. ඒ අතරින් මධ්‍ය යාන් ඔය නිම්නයේ සුසාන ස්ථානගතව ඇති ස්ථාන ලෙස තම්මැන්නාගොඩැල්ල, ගල්ඇඳකටුව, කල්පෙ, ගුරුගල්හින්න, නෙළුගොල්ලාකඩවල, ඇලපත්වැව, මහපොතාන, බෙරවායගල, කොක්එබේ, පන්වත්ත, පඩරැල්ලාව, දිවුල්වැව, රබෑව, මල්පෝරුවල, කිරිමැටියාව, ඕලුවැව, නෙතුගොල්ලව, කනගහඋල්පත, කරුවලගස්වැව, වාහල්කඩ, මාවතවැව, ගුරුගල්හින්න, කොක්එබේ, මරදන්මඩුව, පරංගියාවාඩිය, දික්වැව, ඇතාබැඳිවැව, පන්කැටියාව, පළුකැටිවැව( නිකවැව ), ආදී ස්ථාන පෙන්වාදිය හැකි ය.
එම සුසාන භූමි අතරින් 1970 දශකයේ දී රාජා ද සිල්වා විසින් ගුරුගල්හින්න ආශ්‍රිතව කැණීම් සිදු කර තිබෙන අතර එම සුසානය විද්‍යාත්මක ලෙස කාලනීර්ණය කර නැත. 2013 වර්ෂයේ දී රංජිත් දිසානායක තම්මැන්නාගොඩැල්ල ආශ්‍රිත ව පුරාවිද්‍යා කැණීම් සිදු කර එම සුසාන භූමිය ක්‍රි. පූ. 490ට එනම් අදින් අවුරුදු 2510ක් පැරණි බව තහවුරු කර ගෙන තිබේ ( රංජිත් දිසානායක සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාව 2016).
එසේම 2016 වර්ෂයේ දී තුසිත මැන්දිස් විසින් කොක්එබේ මෙගලිතික සුසාන භූමිය ආශ්‍රිතව සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම්වලට අනුව එම සුසානය ක්‍රි.පූ 790ට අයත් බව කාල නීර්ණය කර තිබේ ( මැන්දිස් 2017 : 177 – 179).
එම කාලනීර්ණය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මෙගලිතික සුසාන සම්බන්ධව ඇති පැරණිතම කාලනීර්ණ වන අතර මීට පෙර පැවති පැරණි කාලනිර්ණය ඉබ්බන්කටුවෙන් වාර්තා විය. එම කාලනීර්ණය වූයේ ක්‍රි.පූ 750 ලෙස ය (මනමේන්ද්‍රආරච්චි සහ අදිකාරී 2014 : 21). මෙයට අමතරව ශිලා මංජුසා සුසාන මාමඩුව, අලුත්බෝඹුව, කදිරවේලි, ඉබ්බන්කටුව, ගල්ගමුව අන්දරවැව, වට්ටක්කවාඩිය, පිංවැව ගල්සොහොන් කනත්ත, පොල්පිතිගම, ආනෙයිකොඩ්ඩායි, ගලේවෙල යටිගල්පොත්ත, හම්බන්තොට තඹරව ආදී ස්ථානවල ද පවතින බව පෙන්වාදිය හැකිය.
ශිලා මණ්ඩල සුසාන (Cairn Circle)
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මෙගලිතික සුසාන අකෘති අතර හඳුනාගත හැකි තවත් වැදගත් සුසාන ආකෘතියක් වන්නේ ශිලා මණ්ඩල වර්ගයේ සුසාන ය. එම සුසාන නිර්මාණය කිරීමේ දී ශිලා මංජුසා සුසානයක් තනා එය වටා රවුමට ශිලා කුට්ටි කවයක් ලෙස හෝ කව දෙකක් ලෙස යොදා සුසානය නිර්මාණය කර තිබේ. එිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිවැනි සුසාන වව්නියාව මාමඩුව ප්‍රදේශයේ පවතින බව සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇති අතර (Senavirathne 2007 :135 – 191) රංජිත් දිසානායක හා තුසිත මැන්දිස් පෙන්වාදෙන ආකාරයට මෙවැනි සුසාන කහටගස්දිගිලියට නුදුරු පළුකැටිවැව (වලහවිද්දවැව) පවතින බව පෙන්වා දී තිබේ ( මැන්දිස් 2016:152).
ශිලාකේතුක සුසාන (Cairn mound / Cairn heap)
ශිලාකේතුක වර්ගයේ සුසාන පූර්ව ඓතිහාසික යුගයේ දී මෙ රට ශවෝපාචාර කටයුතුවල දී නිර්මාණය කර ඇති තවත් සුවිශේෂ සුසාන විශේෂයක් ලෙස පෙන්වාදිය හැකි ය. එම සුසාන නිර්මාණය කිරීමේ දී මියගිය පුද්ගලයාගේ භෂ්මාවශේෂ සහ ඔහු භාවිත කරන ලද ආභරණ ඇතුළු අනෙකුත් භාණ්ඩ මැටි බරණි සහ පූජා මුට්ටිවල දමා වළදමා ඒ මත කැටගල් හෝ ගල් පුවරු කන්දක් ආකාරයට ගොඩගසා සුසානය සකස් කර තිබේ. එවැනි සුසාන ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තා වී ඇත්තේ කහටගස්දිගිලියට නුදුරු කොක්එබේ, හොරොව්පොතානට නුදුරු නිකවැව (පරංගියාවාඩිය), මොරගොඩයාය, ගොරකපැලැස්ස, නීලගිරිසෑය, කෝවිල්තැන්න, සෙට්ටිිවත්ත, මාමඩුව යන ස්ථානවලින්ය.
ශිලා පෙළ සුසාන (Alignment)
ශ්‍රී ලංකාවෙන් හමු වන ශිලා පෙළ වර්ගයේ එකම සුසානය පිහිටා ඇත්තේ කහටගස්දිගිලියට නුදුරු කොක්එබේ මෙගලිතික සුසාන භූමියේය. මීටර් එකක් පමණ උස ශිලා පුවරු සිරස් අතට පොළොවේ සිටුවා තිරස් අතට පෙළක් ලෙස මීටර් 15ක් පමණ දිගට සකසන ලද ශිලා පෙළක දෙපැත්තේම සුසාන බරණි සහ පූජා මුට්ටි වළදමා තිබේ. මෙය සුවිශේෂ සුසාන ක්‍රමයක් වන අතර එය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන දුර්ලභ සුසාන වර්ගයක් ලෙස ද හඳුන්වාඳිය හැකි ය.
ශිලා ටැඹ සුසාන (Men hire)
ශ්‍රී ලංකාවේ හමු වන දුර්ලභ ගණයේ සුසාන විශේෂයක් ලෙස ශිලා ටැඹ සුසාන හැඳින්විය හැකි ය. දැනට වාර්තා වන අන්දමට එවැනි සුසානයක් මැදවච්චිය හොරොව්පොතාන මාර්ගයේ තම්මැන්නාගොඩැල්ල ස්ථානයේ පිහිටා තිබේ.
එම සුසානය ඉදි කර ඇත්තේ විශාල ශිලා ටැඹක් සිරස් අතට සිටුවීමෙනි. එම ශිලා ටැඹ වටා මැටි මුට්ටි තුළ භෂ්මාවශේෂ සහ මියගිය තැනැත්තා භාවිත කරන ලද ආභරණ ඇතුළු සුසාන තැන්පතු පූජා මුට්ටි තුළ බහා තැන්පත් කර තිබේ. රංජිත් දිසානායක විසින් තම්මැන්නාගොඩැල්ල තුළ ඇති එම සුසානය 2013 වර්ෂයේ කැණීම් කර ඇත. එය ශිලා ටැඹ සුසානයක් ලෙස උපකල්පනය කරනු ලැබේ. වර්තමානය වන විට එය කඩා දමා තිබෙන අතර එය වටා කඩා දමන ලද ශිලා කොටස් එම ස්ථානයේ හඳුනාගැනීමට තිබේ.
බරණි සුසාන (Urn pot)
පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වූ මිනිසුන් සිය අවමංගල්‍ය කටයුතු සඳහා භාවිත කරන ලද තවත් සුසාන විශේෂයක් ලෙස මැටි බරණි තුළ භෂ්මාව ශේෂ හෝ අස්ථි තැන්පත් කර වළ දැමීම පෙන්වාදිය හැකි ය. එම සුසාන ක්‍රමයේ දී සිදු වන්නේ මියගිය තැනැත්තාගේ භෂ්මාවශේෂ හෝ සැකිලි කොටස් මහා කුම්භයක බහා වළ දැමීමය. එම බරණි ප්‍රමාණයෙන් විශාල බඳුන් වන අතර ඒවා කාල රක්ත වර්ණ මෙන්ම සාමාන්‍ය රක්ත වර්ණ බඳුන් වේ. ශ්‍රී ලංකාවෙන් එවැනි සුසාන තෙක්කම්, කරම්බන්කුලම, මාකේවිට, කොක්එබේ, ඉබ්බන්කටුව, තම්මැන්නාගොඩැල්ල, ගල්අතර, පොම්පරිප්පුව, අන්දරවැව ආනෙයිකොඩ්ඩායි ආදී ස්ථානවලින් වාර්තා වී තිබේ.
පොම්පරිප්පුව සුසාන භූමිය ආශ්‍රිතව කැණීම් කරන ලද විමලා බෙග්ලි විසින් පෙන්වා දී තිබෙන ආකාරයට එම සුසාන බරණි තුළ තිබී මානව අස්ථි, දත්, පබළු, තඔ වළලු, යකඩ කොටස් වාර්තා වී ඇත. (Begly 1981: 51 – 95 ). මෙම සුසානයේ බරණි නිර්මාණය කිරීමේ දී සමහර සුසාන බරණිවල පතුල උල් ආකාර ලෙස ද සමහර සුසානවල බරණි රවුම් ආකාර ලෙසට නිර්මාණය කර තිබේ.
ශිලා මඤ්චක සුසාන (Delmenoid)
ශිලා මඤ්චක වර්ගයේ සුසාන ද පූර්ව ඓතිහාසික අවධියේ ශ්‍රී ලංකාවේ ශවෝපාචාර කටයුතු සඳහා ඉදි කරන ලද සුසාන විශේෂයකි. එම සුසාන ආකෘතිය ශිලා මංජුසා සුසාන ක්‍රමවේදයට සමාන ලෙස ඉදි කර තිබුණ ද එයින් වෙනස් වන්නේ පොළොවෙන් ඉහළට සිරස් අතට සිටුවන ලද විශාල ගල් පුවරු ගල් ගෙයක් ආකාරයට ඉදි කර එම ගල්ගෙය අභ්‍යන්තරයේ සුසාන බරණි තැන්පත් කර තිබීමය.
මෙවැනි සුසානයක් රඹුක්කනට නුදුරු පදවිගම්පොළ නම් ස්ථානයෙන් වාර්තා වන අතර පදවිගම්පොළ සුසානය තරම් විශාල නොවූ මෙවැනි සුසාන හොරොව්පොතානට නුදුරු වාහල්කඩ ප්‍රදේශයේ සහ කහටගස්දිගිලියට නුදුරු ගල්ඇඳකටුව නම් ස්ථානයේ ද දක්නට තිබේ (Senavirathne 1984 : 237 – uekaosia 2016 : 150- 153).
එම සුසානයේ විශේෂත්වය වන්නේ එහි ඉදිරිපස විවෘතව තැබීම හෝ ඉදිරිපස වසාදමා තිබීමයි. වසාදමන ලද සුසානයක නම් වසාදමන ලද ඉදිරිපස පාෂාණ පුවරුවේ වෘත්තාකාර සිදුරක් හෝ සෘජුකෝණාස්රාකාර කවුළුවක් තබා තිබේ. ශ්‍රී ලංකාවෙන් හමු වන එම සුසාන නිධන් හොරුන් විසින් දැඩි ලෙස විනාශකර තිබෙන බැවිඒ එම තත්ත්වය හඳුනාගැනීමට නොහැකි වී තිබේ.
සෘජුකෝණාස්රාකාර සුසාන (Rectanguler Burial)
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මෙගලිතික සුසාන අකෘති අතර හඳුනාගත හැකි තවත් වැදගත් සුසාන ආකෘතියක් වන්නේ සෘජුකෝණාස්රාකාර වර්ගයේ සුසානයන්ය. එම සුසාන නිර්මාණය කිරීමේ දී සුසානය වටා සෘජුකෝණාස්රාකාර ආකාරයට ශිලා කුට්ටි තබා සුසානය නිර්මාණය කර තිබේ. මෙවැනි සුසාන කහටගස්දිගිලියට නුදුරු ඇලපත්වැව ප්‍රදේශයේ පවතින බව රංජිත් දිසානායක පෙන්වා දී ඇත ( රංජිත් දිසානායක සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාව 2016 )
සුසාන අභිචාර
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ අවමංගල්‍ය චාරිත්‍ර පිළිබඳ විමර්ශනය කිරීමේ දී මිනිසකු මියගිය පසු ව ඔහුගේ මතු ආත්මභවය වෙනුවෙන් සිදු කරන ලද අභිචාරමය ක්‍රියාවලිය එම යුගයේ සුසාන ඇසුරින් හඳුනාගත හැකිය. ඒ අතර සුසානයට රැගෙන එන මියගිය පුද්ගලයාගේ දේහය සුසාන භූමියේ තබා යම්කිසි ආගමික කටයුත්තක් සිදු කළ බවට හඳුනාගත හැකි සාධකයක් තම්මැන්නාගොඩැල්ල සුසානය තුළ පවතී.
එම සුසාන භූමිය මැද කොටසේ ඇති වෘත්තාකාර ලෙස සකස් කරන ලද ශිලාමය නිර්මාණ දෙකක් (විශාල හා කුඩා) හඳුනාගත හැකි අතර එම ශිලා නිර්මාණය ගැටියක් සහිත ව නිර්මාණය කර තිබේ. එය එසේ නිර්මාණය කරන්නට ඇත්තේ සුසාන භූමියට රැගෙන එන මෘත දේහය ඒ මත තබා ආගමික චාරිත්‍ර ඉටු කිරීමේ උවමනාවෙන් විය යුතු බව උපකල්පනය කළ හැකි ය. තම්මැන්නාගොඩැල්ල මැද ඇති එම නිර්මාණය තුළ අඩි හයක පුද්ගලයකු පහසුවෙන් දිගාකර තැබිය හැකි අතර එයට වඩා කුඩා රවුම තුළ කුඩා දරුවකු ඒ ආකාරයටම දිගාකර තැබිය හැකිය.
සුසාන තැන්පතු
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන ආශ්‍රිතව ඒවායේ තැන්පත් කර තිබී හමු වන තැන්පතු අතර ප්‍රධාන වශයෙන් ම විවිධ වර්ගයේ පබළු දක්නට ලැබේ. එම පබළු අතර කානීලියන්, ඇගේට්, ඔනික්ස්, රන්, වීදුරු, හා බෙල්ලන් ආශ්‍රිතව තැනූ පබළු වර්ග ඉබ්බන්කටුව, තම්මැන්නාගොඩැල්ල, කොක්එබේ, ගලේවෙළ, පොම්පරිප්පුව, ආනෙයිකොඩ්ඩායි, රංචාමඩම ආදී ස්ථානවලින් වාර්තා වී තිබේ. එසේම සුසාන තැන්පතු අතර යකඩින් නිර්මිත වළළු, කරාබු, ඊ හිස්, තල, හා විවිධ කෘෂි උපකරණ වාර්තා වී ඇත. එසේම තඹවලින් නිර්මාණය කරන ලද වළලු න්ම ඇස් අලංකරණය සඳහා භාවිත කරන අංජන කූරු තම්මැන්නාගොඩැල්ල සුසානයෙන් තැබී තිබේ.
පොම්පරිප්පුවල විමලා බෙග්ලි විසින් සිදු කරන ලද කැණීම්වල දී තිරුවානා හා කහඳවලින් නිර්මාණය කරන ලද ශිලා මෙවලම් ලැබී තිබේ (Begly 1981: 69 – 81) . පී. ඊ. පී දැරණියගල විසින් කොල්ලන්කනත්ත සුසානය ආශ්‍රිත ව සිදු කරන ලද කැණීම්වල දී හක් බෙල්ලන් සහ මුතු එම සුසාන තුළ තැන්පත් කර තිබූ බව පෙන්වාදී ඇත. (Deraniyagala 1955 – 56 : 133). එසේම පොම්පරිප්පු සුසානය ආශ්‍රිතව මිනිරන් හමු වීම සහ තඹ කැබලි හමුවීම ද සුවිශේෂ වේ. (ASCAR 1957 : 30 – 31 ).
එම සුසාන තැන්පතු බොහෝවිට කාල රක්ත වර්ණ මැටි බඳුන් හෝ කාල වර්ණ හෝ රක්ත වර්ණ බඳුන්වල බහා තැන්පත් කර තිබීම ද සුවිශේෂය. එමඟින් එකල සමාජය මියගිය තැනැත්තා භාවිත කළ ද්‍රව්‍ය සහ උපකරණ සුසාන තුළ තැන්පත් කර තිබීමෙන් මියගිය තැනැත්තාගේ මතු ආත්මය සුඛිත කිරීමට අදහස් කරන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය.
ඩී. තුසිත මැන්දිස් පුරාවිද්‍යා මහාචාර්ය, අධ්‍යනාංශ ප්‍රධාන, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ, අනුරාධපුර තදාශ්රිත ප්‍රදේශ ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන