වාන් දැමීමේ දී වඩාත් ම චමත්කාර දර්ශනය මවා පාන ලංකාවේ ජලාශ නම් කරන්නට ඇරයුමක් ලැබුනහොත් මගේ පළමු තේරීම නාච්චදූව ජලාශයයි. එලෙසම වාරිමාර්ග නිලධාරීන්ගේ සිත් තුළ දැඩි පීඩනයක් ඇති කරන්නේ ද එම සංසිද්ධිය බව දන්නේ එම අත්දැකීමට මුහුණ දුන් ඉංජිනේරු හා තාක්ෂණ නිලධාරීන් බව ද සඳහන් කළ යුතු ය. ඒ පිළිබඳ හේතු විස්තර කිරීම පසුවට ඉඩ තබමින් මෙහි පුරා විද්‍යාත්මක වටිනාකම සැලකිල්ලට ගත හොත් ජලාශයේ සුන්දරත්වය හා සමාන සුන්දර පුරා වෘත්ත එහි ගැබ් ව ඇත.
කදම්බ නදිය (වත්මන් මල්වතු ඔය) හරහා වේල්ලක් ඉදි කර නිමවා ඇති නාච්චදූව වැවෙහි ඉතිහාසය පිළිබඳ මති මතාන්තර බොහෝමයක් ඇත. 1929 මැයි මස ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය මගින් සංවිධානය කළ අධ්‍යයන චාරිකාවක් වාර්තා කරන ජේ එච් විල්සන් නම් බ්‍රිතාන්‍ය ඉංජිනේරුවරයාගේ සටහනක සඳහන් ව ඇත්තේ ක්‍රිව 853-886 රජකම් කළ දෙවන සේන රජතුමාගේ පාලන සමය තුළ මේ ඉදි වූ බවයි. දැනට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ජලාශය අසල පිහිටුවා ඇති සමරු ඵලකයේ ද සඳහන් වන්නේ ඒ බවයි.
හෙන්රි පාකර් මහතාගේ මතය එය මහසෙන් රජතුමා ඉදි කළ මහාදාර ගල්ල වැව විය හැකි බවයි. තවත් ඉතිහාසඥයින් මෙය දෙවන මොග්ගල්ලාන (ක්‍රිව 535-555) කාලය තුළ ඉදි කර බව යැයි සැලකෙන පට්ටපාසාන වාපී වැව විය හැකි යයි යෝජනා කර ඇත. ධාතුසේන රජතුමාගේ සමය තුළ ඉදි කළ නන්දිවාපී වැව මෙය විය හැකි යයි තවත් මතයකි. එයට හේතු වී ඇත්තේ “නන්දි” යන්නෙහි තේරුම දෙන සතුට සඳහා වෙන් කල දූපත් කිහිපයක් අතීතයේදී වැව මැද තුළ පිහිටා තිබීම ය.
සම්පූර්ණයෙන් ම අභාවයට පත් ව තිබූ නාච්චදූව ව්‍යාපාරයට 1880 සිට මධ්‍යම වාරිමාර්ග මණ්ඩලයේ අවධානය යොමු විය. එහෙත් ඒ පිළිබඳ පූර්ණ මිනුම් කටයුතු අවසන් කර රජයේ ප්‍රතිපාදන වෙන් කිරීම සිදු වූයේ 1900 දී පමණ ය.
ජලාශය හා වාරිමාර්ග පද්ධතිය ඉදිකිරීම 1904 දී වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ආරම්භ කර ඇති අතර එය නිම කරන ලද්දේ 1914 දී ය. අබලන් වූ වැව් බැම්ම හරහා කැඩුම් කඩ හතක් පමණ තිබූ අතර ඒවා පිරවීම, නව පිටවානක් ඉදි කිරීම හා සොරොව් දෙකක් ඉදිකිරීම මේ ප්‍රතිෂ්ඨාපනයේ දී සිදු කළ කටයුතු ය. වැව් බැම්මේ වම් කෙළවරෙහි ඉදි කළ සොරොව්ව මගින් නාච්චදූව ජලාශයෙන් ප්‍රතිලාභ ලබන පවුල් 2500 කට පමන ජීවිකාව සපයන අක්කර 7000 ක ඉඩම් ප්‍රමාණයකට ජලය ලබා දීම සිදු වන අතර දකුණු කෙළවරෙහි පිටවාන සමග ම ඇති සොරොව්ව තුළින් හා ජලාශයේ දකුනු පස පිහිටි කුඩා බැම්මක් ආශ්‍රිතව ඉදි කර ඇතිගේට්ටු දහයකින් සමන්විත සොරොව්වකින් ද නුවර වැවට ජලය ලබා දීම සිදු කරයි.
1904-1914 ඉදිකිරීම් සමය තුළ යන්ත්‍රෝපකරණ නොතිබූ බැවින් බ්‍රිතාන්‍ය රජයේ ඉංජිනේරු රෙජිමේන්තුවේ මිනිස් ශ්‍රමය යොදා ගත් බව සඳහන් ය. එකල ඉඳි කල පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් දැනුදු නාච්ච්දුව් වාරිමාර්ග පරිශ්‍රය තුල දැකිය හැක.
වැව් තාවුල්ලේ පිහිටි කුඩා ගම් වැව් කීපයක් ආශ්‍රිතව ගොවිතැන් කරමින් සිටි සිංහල හා මුස්ලිම් වැසියන් මෙම නව ව්‍යාපාරය යටතේ ඉඩම් ලබා දී පදිංචි කෙරිණි. ඊට අමතරව පිට පළාත් වලින් පැමිණි ගොවි පවුල් 100 පමණ ද පදිංචි කරන ලදී. වාරිමාර්ග බිම් කට්ටි සැලසුම් කිරීම පිළිගත් තාක්ෂණ ක්‍රමවේදයකට අනුව මුලින් ම සිදු කරන ලද්දේ මේ ව්‍යාපෘතියේ දී ය.
තිසාවැව දක්වා ජලය ගෙනගිය කලා වැව යෝධ ඇල මගින් අමතර ජලය 1969 වසරේ දී ලබා දීම ජල හිඟයෙන් පීඩා විඳි නාච්චදූවේ ගොවි ජන පදිකයින්ට විශාල සහනයක් විය. අක්කර අඩි 46000 ක් පමන ජලය ගබඩා කල හැකි වත්මන් ජලාශය අක්කර 4400 ක් බිම් ප්‍රමානයක් වසා පැතිරෙයි. ප්‍රතිලාභ ලබන ඉඩම් ප්‍රමානය අක්කර 7000 ක් පමන වේ.ජලාශය ආශ්‍රිතව සිදු කරන මත්ස්‍ය කර්මාන්තයෙන්ද දිවි රැක ගන්නා විශාල පවුල් සංඛ්‍යවක් ඇත.
1957 ඇති වූ මහා ගංවතුරේ දී වැව් බැම්ම බිඳී ගිය අතර එයට හේතුව වූයේ ඉහත්තෑවේ පිහිටි මානන්කට්ටිය, ඒරු වැව හා එල්ලංගා පද්ධති කීපයක් බිඳී යෑම නිසා එක් වූ ජල කඳ දරා ගැනීමට බැම්මට නොහැකි වීම ය. වාසනාවකට මෙන් පූර්ව දැනුම් දීම් සිදු කිරීමට වාරිමාර්ග නිලධාරීන්ට හැකි වූ බැවින් අනුරාධපුර නගරයේ ජනයාට සිදු විය හැකි ව තිබූ විපත අවම කර ගැනීමට හැකි විය. එමෙන්ම 1958 වසර අවසාන වනවිට ජලාශය නැවත යථා තතවයට ගෙන ඒමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හැකි වූයේ ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට එවකට රජයට හැකියාව තිබූ බැවිනි. නාච්චදූව වැව් බැම්ම බිඳී යාමෙන් ඇතිවූ එම ගංවතුර මට්ටම සිංහ කුලුන අසල පිහිටි දුම්රිය ගොඩනැගිල්ලක දැනුදු සටහන් ව ඇත.
කෙසේ වුව ද අද නව නගරය බිහි වී විශාල ජනතාවක් සිටින ජනාකීර්න නගරයක් බැවින් නාච්චදූව ජලාශය මගින් සිදු විය හැකි හානිය පිලිබඳ වැටහීමක් ඇති නිලදාරීන්ට පැවරී ඇති කාර්ය භාරය අති විශාලය. මේ පිලිබඳ දැනුවත්ව සිටීම හා ජාතික වස්තූන් ලෙස මෙම පද්ධතීන් රැක ගැනීම පුර වැසියන්ගේද මූලික වගකීමකි.
.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ පුරාණ වාරි කර්මාන්ත
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
නාච්චදූව වැව සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
නාච්චදූව වැව වෙත ගමන් මාර්ග
අනුරාධපුර සිට නාච්චදූව වැව දක්වා |
හරහා : දුර : කිලෝමීටර් 21 ගමන් කාලය : විනාඩි 30 ගත කල යුතු කාලය : විනාඩි 30 -60 අතර රිය පැදවීමේ දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (5) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (26) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (13) ස්මාරක (4) සුසාන භූමි (5)
Kingdom of Anuradhapura (1) z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (40) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (9) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (6) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (2) පුත්තලම දිස්ත්‍රික්කය (5) පෘතුගීසි බලකොටු (2) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (2) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)