
මොණරාගල දිස්ත්රික්කයේ බුත්තල නගරය ආසන්නයේ පිහිටි රහතන්කන්ද කිලෝමීටර 2.5 කට වඩා දිගින් යුත් මීටර 450 ක් පමණ උස් වූ කඳු යායකි. අක්කර හැත්තෑවක් පමණ වසා රහතන් කන්ද වන සසුන පවතී. වසර දහස් ගණනක් පැරණි ගසින් සෑදුනු වනයකින් මෙම කඳු පන්තිය වසාගෙන ඇත.
මහාවංශයට අනුව කාවන්තිස්ස රජු මිය ගිය පසු ඔහුගේ පුත් සද්ධාතිස්ස, රජතුමාගේ අවසන් කටයුතු තිස්සමහාරාමයේ කරවා ඔහුගේ මෑණියන් වන විහාර මහාදේවියද රාජකීය ඇතාද රැගෙන දීඝවාපියට නැවත ගියේය. දුටුගැමුණු කුමරු මලය රටේ සිට රෝහණයට පැමිණ ඔටුණු පැළඳ ඔහුගේ සහෝදර සද්ධාතිස්ස කුමාරයා වෙත පණිවුඩයක් යවමින් ඔවුන්ගේ මව සහ රාජකීය ඇතා නැවත එවන ලෙස දැන්විය. එසේ යවන ලද පණිවුඩ තුනකට ප්‍රතිචාරයක් නොමැතිතැන දුටුගැමුණු කුමරු හමුදාව කැඳවා තිස්ස කුමරු හා සටන් වැදිණි. මෙම සටන ඇති වූයේ චූලංගනී ප්‍රදේශයේය. එය අද යුදගනාව ලෙස හැඳින්වේ.
මෙම සටනින් දුටුගැමුණු කුමරාගේ හමුදාව බොහෝ සේ මරණයට පත්විය. දුටුගැමුණු කුමාරයා, ඔහුගේ තිස්ස ඇමති හා දීඝථූණිකා නම් වෙළඹ යුදබිමෙන් පලා යන විට තිස්ස කුමරා ඔවුහු පසුපස ලුහු බැන්දේය. රහතන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් මෙම යුද්ධය නැවත්වූ බව මහාවංසය සඳහන් කරයි.
නමුත් සද්ධර්මාලංකාරයට අනුව එක්වරම විශාල කන්දක් කණ්ඩායම් දෙක මධ්‍යයෙන් මතුවීය. මෙය රහතන් වහන්සේලාගේ ක්‍රියාවක්යි දැනගත් සද්ධාතිස්ස, ගැමුණු කුමරු ලුහුබැඳීම නැවැත්වීය.
රහතන් වහන්සේලා විසින් මැවූ මෙම කන්ද අද රහතන්කන්ද ලෙස හඳුන්වන බව විශ්වාසයයි.
මෙම කන්දේ ඇති ගල්ලෙන් හා පරිසරය ආරණ්‍යවාසී භික්ෂූන්ට ඉතා උචිත පරිසරයක් නිර්මාණය කර දී තිබේ. පුරාණයේ රහතුන් වහන්සේලා වැඩ සිටි හෙයින් මෙම කන්ද රහතුන් කන්ද ලෙස හඳුන්වනවා ද විය හැක.
පැරණි බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා ඇති එක් ලෙනක ගාමිණි හා ලෙන ලෙස ද තවත් ලෙනක තිස්ස යන්න ද කියවා ගත හැකිව තිබේ එසේම දුටුගැමුණු රජුගේ දස මහ යෝධයන් අතර ඔහු පුස්සදේව යන නම තවත් ලෙනක සෙන්පති පුසදේව ලෙන් ලෙස සඳහන්ව ඇත. එබැවින් ෙම ආරණ්‍ය යම් විට මුල් යුද්ධයෙන් පසුව ගාමිණි කුමරු සහ තිස්ස කුමරු එක්ව සංඝයාට පූජා කළා ද විය හැක.
මෙම වන සෙනසුනට ඇතුළු වීමේදී මුලින්ම හමුවන්නේ 1992 වසරේ බුත්තල ගම් උදාවට සමගාමීව ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් කරවන ලද අනුරාධපුර ථූපාරාමයට සමානව කරන ලද ස්තූපය හා වටදාගෙය කණු ආකෘතියයි.
කඳු පාමුල සිට වනාන්තරය තුළින් ඉහලට දිවෙන පියගැටපෙළ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවස දක්වා වූ උරුමය කට ගෙනයයි.
රහතන් කන්ද වන සෙනසුනෙහි පෙරදා රහතන් වහන්සේ 500ක් පමණ වැඩ සිටි බව කියැවෙයි. මෙහි කටාරම් කොටා ඇති ලෙන් 70ක් පමණ පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබේ. තවත් ලෙන් බොහෝ සංඛ්‍යාවක් වන ගහනයෙන් වසන් වී ගොසිනි. වනවාසී භික්ෂූන් වහන්සේගේ පැන් පහසුව සලසා පොකුණු 15ක්, ගිරග මත දාගැබ් දෙකක්, සක්මන් මළු, පැරණි පියගැට පෙළ, උස්තලයක පැරණි බෝධීන් වහන්සේ ආදී වූ වනසෙනසුනක ප්‍රධාන අංගයන්ගේ නෂ්ටාවශේෂ සටහන් කරන්නේ එදා පැවැති අභිමානවත් පූජනීය සෙනසුනක සැමරුම් ලකුණු ය.
මූලාශ්‍ර
- මහාවංශය සිංහල
- වෙත්තසිංහ, ජ., 2018. වන අසිරිය මැද සිසිලස රහතන් කන්ද වන සෙනසුන. [online] silumina.lk. Available at: <http://www.silumina.lk/2018/06/30/සිත්මල්-යාය/වන-අසිරිය-මැද-සිසිලස-රහතන්-කන්ද-වන-සෙනසුන> [Accessed 22 November 2020].
සම්බන්ධ වෙනත් පිටු
රහතන්කන්ද ආරණ්‍ය සේනාසණ සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
රහතන්කන්ද ආරණ්‍ය සේනාසණ රියදුරු දිශාවන්
බුත්තල සිට රහතන්කන්ද ආරණ්‍ය සේනාසණය දක්වා |
හරහා මුළු දුර : කිලෝමීටර් 2.3 ගතවන කාලය : විනාඩි 5 ගත කිරිය යුතු කාලය : විනාඩි 60-120 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |