1818 ඌව වෙල්ලස්ස කැරැල්ල හා මොණරවිල කැප්පෙටිපොළ ස්මාරකය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 4.00 out of 5)
Loading...

1817/18 කැරැල්ල ලෙසද හැඳින්වෙන  ඌව  වෙල්ලස්ස කැරැල්ල 1815 දී ඉංග්‍රීසින් මහනුවර රාජධානිය අල්ලා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ පළමු නිදහස් සටන ලෙස සැලකේ. මහනුවර රාජධානිය ඉංග්‍රීසින්ගෙන් නිදහස් කර ගැනීමේ මෙම සටන මෙහෙයවූයේ මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාවේ විසිනි.

ඌව කැරලි නායක කැප්පෙටිපොල තරම් සිංහල විරුවන් අතරේ කිසිවෙක් අපේ ඉතිහාසයේ බලවත් සලකුණක් තබා නැති බව නොඅනුමානය. විදේශ බලයට අභියෝග කිරීමට ඔහුගේ උත්සාහය බලවත් මෙන්ම අධිෂ්ඨානශීලී විය.

මොණරවිල කැප්පෙටිපොළ ඓතිහාසික හතර කෝරළයට අයත් ගල්බොඩ කෝරළයේ පැරැණි කැප්පෙටිපොළ රාජපක්ෂ වික්‍රමසේකර බණ්ඩාරනායකගේ පවුලෙන් පැවත එන අයෙකි. ඔහුගේ පියා කැප්පෙටිපොළ නිලමේ වන අතර ඔහු ගොලහැල නිලමේ ලෙසද හැඳින්වේ. මව මොනරවිල කුමාරිහාමිය. ශ්‍රී වික්‍රම රණසිංහ රජු විසින් දියේ ගිල්වන ලද ඇහැලේපොල කුමාරිහාමි  ඔහුගේ සොහොයුරිය වූ අතර ඇය විවාහ වී සිටියේ ඇහැලේපොල මහ නිළමේ සමඟය . මොනරවිල කැප්පෙටිපොළ මහ නිළමේ  විවාහ වූයේ  සබරගමුවේ ප්‍රභූ පවුලක දෙල්වල එතනා සමඟය.

මහනුවර රාජධානිය ඉංග්‍රීසීන් අතට පත්වීමෙන් පසු සිංහලයන් ඉංග්‍රීසින්ගෙන් පීඩාවට පත් විය. සෑම විටම ගෞරවයට පාත්‍ර වූ රදළයින්ට දැන් සාමාන්‍ය බ්‍රිතාන්‍ය සොල්දාදුවෙකුගෙන්වත් ගෞරවයක් නොලැබුනි. මේ අතර ඔවුහු  මුස්ලිම්වරුන්ගේ ප්‍රධානියා ලෙස මුස්ලිම් හඩ්ජි  කෙනෙකු පත් කළහ. මොවුන් ශ්‍රී ලංකාවේ පදිංචි වූ අරාබි ජාතික මුස්ලිම් වෙළඳුන් විය.  ඉන්පසුව මුස්ලිම්වරු මෙම හඩ්ජි  තම ප්‍රධානියා ලෙස සළකු අතර එම ප්‍රදේශ භාර දිසාවේගේ පාලනයට නතු නොවීය.

නව යටත් විජිත රජය කෙරෙහි අප්‍රසාදය රදළයින් අතර මෙන්ම සාමාන්‍ය ජනතාව අතර ද පැසෙන්නට විය. මෙම කාලය තුළ රාජධානියේ රදළයින් විසින් විල්බාවේ දොරේසාමි නම්පුද්ගලයෙක්, රාජකීය පෙළපතක් සමඟ ඔටුන්නෙහි උරුමක්කාරයා ලෙස වෙල්ලස්සට ගෙන එන ලදී. ඔහු සමඟ බෞද්ධ භික්ෂූන් වහන්සේලා අට නමක් පැමිණ ඉංග්‍රීසින්ට එරෙහි කැරැල්ලක් සඳහා මිනිසුන් බඳවා ගැනීමට පටන් ගත්හ.

මේ අතර වෙල්ලස්සේ වනයේ නවාතැන් ගත් මෙම “මහලු භික්ෂූන් වහන්සේලා දෙනමක් හා තරුණ වහන්සේලා හයනමක් සමග සිටින ආගන්තුකයෙකු” ගැන බ්‍රිතාන්‍යයන්ට දැනගන්නට ලැබුණි. බදුල්ලේ සහකාර ඒජන්ත විල්සන් විසින් 1817 ඔක්‌තෝම්බර් 10 වැනි දින මෙම නාඳුනන ආගන්තුකයා අල්ලා ගැනීම ඉහත සඳහන් හඩ්ජි, ඔහුගේ සහෝදරයා හා තවත් වෙල්ලස්සේ මුස්ලිම්වරුන් කිහිප දෙනෙකු බදුල්ලේ සිට පිටත් කර එවීය. එන මගදී හඩ්ජි  කැරලිකරුවන් විසින් අල්ලා ගන්නා ලදි. ඔහුගේ සහෝදරයා තුවාල ලැබූ අතර සෙසු හමුදාවන් බේරී නැවත බදුල්ලට පැමිණියහ.

මෙම ආරංච්චියෙන් පසු විල්සන්, ඔක්තෝබර් 14 වැනි දින මැලේ සොල්දාදුවන් පිරිසක් සමඟ වෙල්ලස්ස බලා පිටත් විය. අතරමගදී විල්සන් හඩ්ජිට  කස පහර දී “ආගන්තුකයා” ලෙස හැඳින්වූ පුද්ගලයා වෙත සිරකරුවෙකු ලෙස ඔහු යවා ඇති බව දැනගත්තේය. ආපසු එන ගමනේදී විල්සන් ඊතලයකින් මිය ගිය අතර සෙසු භට පිරිස් නැවතත් බදුල්ලට පැමිණියහ.

මේ වන විට  වෙල්ලස්සේ  දිසාවේ ලෙස කටයුතු කළ මිල්ලව දිසාව මහලු වියේ පසුවූ අතර රාජකාරි ඉටු කිරීමට නොහැකි වූ බැවින් වෙල්ලස  මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේවරයාට අනුයුක්ත්ත කරන ලදිබ්‍රිතාන්‍යයන් මහනුවර යටත් කල ගත් පසු ඔවුන් මොණරවිල කැප්පෙටිපොළ ඌව පළාතේ දිසාවේ ලෙස පත්කොට තිබිණි. එබැවින් ඉංග්‍රීසීන් විසින් කැප්පෙටිපොළ මහ නිලමේවරයා  ඔහුගේම අනුගාමිකයින් 12 දෙනෙකු සමඟ වෙල්ලස්සේ ජනතාව වෙත යවා ඔවුන් නැවතත් බ්‍රිතාන්‍ය පාලනයට යටත් වීමට කටයුතු කළේය. නමුත් අනපේක්ෂිත ලෙස  කැප්පෙටිපොළ මහ නිලමේ  කැරලිකරුවන් සමඟ එක් වූ අතර ඔහු සමග සිටි 12 දෙනා තම තුවක්කු සමගම නැවත බදුල්ලට පිටත් කරන ලදී.

කැප්පෙටිපොළ දොරේසාමිගේ ප්‍රධාන අධිකාරී ලෙස පත් වී (Farlane, 1884) ඉන්පසු ඌව වෙල්ලස්ස කැරැල්ලේ නායකයා බවට පත් වූ අතර මුළු උඩරටම ඉංග්‍රීසින්ට එරෙහිව කැරලි ගැසීමට ඉදිරිපත් විය. කෙසේ වෙතත්, කැප්පෙටිපොළගේ මෙම පත්වීම කැරැල්ලේ අනෙකුත් සමහර ප්‍රධානීන්ගේ සතුටට කාරණයක් නොවීය. කෙසේ වෙතත් ඇති වූ කැරැල්ල ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර සෑම ප්‍රධානියෙක්ම පාහේ එයට සම්බන්ද විය. මෙම වකවානුවේදී කොළඹ සමග සියලුම සන්නිවේදන විසන්ධි වූ අතර කැලණි ගඟෙන් ඇති වූ ගංවතුර කොළඹින් හමුදා පිටත් කර හැරීම වැළැක්විය (උඩුගම,1983).

1817 නොවැම්බර් මස මුලදී බ්‍රිතාන්‍ය හමුදාව විසින් මඩකලපුවේ සිට වෙල්ලස්සට හමුදා කාණ්ඩයක් යවන ලදී. හමුදාව ගම්මාන වෙත ගමන් ගන්න විට බොහෝ ගම්වාසීන්ගෙන් රැගෙන යා හැකි ධාන්‍ය සහ ගවයන් රැගෙන කැලෑවල සැඟවී සිටියහ. මඩකලපුවට සන්නිවේදන මාර්ගයක් විවෘත කිරීම සඳහ බ්‍රිතාන්‍යයන් විසින් මෙම මාර්ගයේ මුරපොලවල් ගණනාවක් ස්ථාපිත කළහ. කට්ටබෝවේ ගම්මානයේ ප්‍රධාන මුරකපොල්ල විය. මෙය දිස්ත්‍රික්කයේ ප්‍රධාන මුස්ලිම් ගම්මානයක් වූ අතර බ්‍රිතාන්‍යයන් විසින් ඔවුනට ආරක්ෂාව ලබා දෙන බවට පොරොන්දු විය.

බ්‍රිතාන්‍යයන් නැවත ගිය විගස මෙම ආරක්ෂාවෙන් ප්‍රයෝජනය ගත මෙම මුස්ලිම්වරු ගම්මාන වලින් පලා ගිය ගම්මුන්ගේ සියලුම ගවයන් අල්ලාගෙන බ්‍රිතාන්‍ය කොමසාරිස් කාර්යාලයට මස් පිණිස විකුනුහ. මේ පිලිබන්ධව මාෂල් මෙසේ ප්‍රකාශ කරයි “කලක් තිස්සේ, බොහෝ බුස්ලිම්වරු දෙබිඩි පිලිවෙතක් අනුගමනය කළ අතර, පෙනෙන විදිහට අවසානයේ දී, දිනන පක්ෂයට සම්බන්ධ වීමට තීරණය කොට තිබිණි. එසේම ගැමියන් නැවත ඉංග්‍රීසි පාලනයට නතු වී නැවත ගම්බිම් වෙත පැමිණියහොත් තමන් කොල්ලකන ලද දේපොළ නැවත ලබා දීමට වෙනු ඇතැයි බියෙන්, රජයට එරෙහිව රැඳී සිටීමට ඔවුන්ව පොළඹවා ගැනීමේ අරමුණින් අපගේ අගතියට බොහෝ දේ බෙදා හරින ලදයි වාර්තා වේ” (Marshall, 1846).

ගංවතුර පහව ගිය විට මේජර් මැක්ඩොනල්ඩ් කඳුකරයේ වැසියන්ට දඬුවම් කිරීමට තීරණය කළේය. බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ගම්මාන ගිනිබත් කරමින්, ගම්වැසියන්ට අයත් සියලුම ධාන්‍ය සහ පශු සම්පත් විනාශ කරමින් හෝ රැගෙන යමින්, පල දරන සියළු ගස් කපා දමමින් ආයුධ සමඟ සොයාගත් සියලුම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අනුකම්පා විරහිතව මලේච්ඡ ලෙස මරා දැමූහ. මේ පිළිබඳව මාෂල් මෙසේ ලියයි: “මෙසේ ඇති කරන ලද විනාශය ගැන වැසියන් භීතියට පත් වූ බවක් පෙනෙන්නට තිබුණි: ඔවුන් හමුදාවන්ට කෑගැසීම හෝ ඔවුන්ට වෙඩි තැබීම නැවැත්වූහ. ඔවුන් අවට උස් ස්ථානවල සහ තැනිතලාවේ අන්තයේ සිට ඔවුන්ගේ වාසස්ථාන දවාලන ගිනිදැල් දෙස නිශ්ශබ්දව බලා සිටිමින්, ඔවුන්ගේ ගවයින් පලවා හරින ආකාරය දැකගත හැකි වූ අතර, ඔවුන්ගේ දේපළවලින් කොටසක් ඉවත් කිරීමට ඔවුන්ට කාලයක් නොතිබුණි . ” (Marshall, 1846)

නමුත් මෙම මලේච්ඡ ඝාතනයක්ගෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබුණු අතර, වෙල්ලස්සේ කැරැල්ල වෙඩි බෙහෙත් බැරලයකට දැමූ ගිනිකූරක් මෙන් එහිදී මුළු කන්ද උඩරටේම පීඩාවට පත් ජනයා කන්ද උඩරට පුරා නැගී සිටියහ. එබැවින් 1818 පෙබරවාරි 21 වැනිදා මහනුවර සියලු පළාත් යුද නීතිය යටතට පත් විය.

1818 පෙබරවාරි-මාර්තු වන විට හතර කෝරළය , තුන් කෝරළය , පහළ සපරගමුව, උඩුනුවර සහ යටිනුවර හැර සෙසු මුළු රාජධානියම ඉංග්‍රීසින්ට එරෙහිව කැරලි ගසමින් සිටියහ. හතර කෝරළය සහ තුන් කෝරළය කැරැල්ලට සම්බන්ධ වීමට සම්භාවිතාවක් තිබූ අතර, එසේ වුවවොත් මහනුවර හා කොළඹ අතර සියලු සන්නිවේදන විසන්ධි වන බව බ්‍රිතාන්‍යයෝට තේරිණි.

අප්‍රේල් මස මුලදී පමණ මොණරවිල කැප්පෙටිපොළ මහ නිළමේ, මඩුගල්ල හෝ පිලමතලාව අල්ලා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් පගෝදා 1,000 ක ත්‍යාගයක් පිරිනමන ලදී.

කැරලි කරුවන්ගේ ප්‍රහාර හමුවේ මැයි, ජූනි ජූලි මාසවලදී බ්‍රිතාන්‍යයන් කඳුකරයෙන් ඉවත් වීමට කල්පනා කරමින් සිටියහ. බ්‍රවුන්රිග් ආර්යාව විශාල පරිවාර හමුදාවක් සමඟ මහනුවරින් ඉවත් කරන ලදී. මහනුවර රෝහලේ ප්‍රතිකාර ලැබූ සොල්දාදුවන් 300-500ක් පමණ පිරිසකට කැරලිකරුවන් විසින් මහනුවරට එල්ල කළ හැකි ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන්හි සෑම සවස්වරුවක්ම අවි ආයුධ සහ පතොරම් ලබා දෙන ලදී.

අගෝස්තු අග වන විට දුම්බර මඩුගල්ලේ මහා දිසාව කැප්පෙටිපොළට එක්විය. නමුත් ඔටුන්නෙහි උරුමක්කාරයා ලෙස හැඳින්වූ දොරේසාමි සැබවින්ම රාජ පෙළපතකට හිමිකම් නොමැති සිවුරු හැරී පූජකයෙකු (හීරලවෙකු) බව ඔහු දැනගත්තේය. මින් දැඩි ලෙස කෝපයට පත් ඔහු කැප්පෙටිපොළගේ නිවසට ගොස් ඔහුව සහ දොරේසාමි සිරභාරයට ගන්නා ලදී. කෙසේ වෙතත් දොරේසාමි මින් නිදහස් වූ පමණින් සිහසුනට හිමිකම ප්‍රතික්ෂේප කොට බින්තැන්නේ වැදි ප්‍රජාවගේ රැකවරණය යටතේ සැඟවී ගත්ග. වසර 12 කට පසුව 1829 දී බ්‍රිතාන්‍යයන් ඔහුව අල්ලා ගැනිණි.

කැරැල්ල අවසන් කාලයේදී විට ඉංග්‍රීසීන් සමඟ සිටියේ සබරගමුවේ එක්නැළිගොඩ දිසාව පමණි. ඔහු සහ ඔහුගේ හමුදා කණ්ඩායමක් උඩරට කැරලිකරුවන්ට පහර දෙමින්, කොල්ලකමින් සහ විනාශ කරමින් සිටියහ. 

1818 ජූනි සහ සැප්තැම්බර් මාසවලදී, සමහර ප්‍රාදේශීය කැරලි නායකයින් බ්‍රිතාන්‍යයන් විසින් අල්ලාගෙන නඩු විභාග කර ඇත. 1818 ඔක්‌තෝබර් 30 වැනිදා කැප්පෙටිපොළ පදිංචිව සිටි ගමට පැමිණි සංචාරක මුස්ලිම් වෙළෙන්දෙක්‌ කළ ඔත්තුවකට අනුව මොනරවිල කැප්පෙටිපොළ මහ නිලමේ සහ පිළිමතලාව නිලමේ අනුරාධපුර ආසන්නයේදී ඉංග්‍රීසීන් විසින් අල්ලා ගන්නා ලදී. මේ වන විට කැප්පෙටිපොළ සමඟ සමාදාන වී සිටි මඩුගල්ලේ මහා දිසාව අල්ලා ගනු ලැබුවේ නොවැම්බර් 01 වැනිදාය . මෙම නායකයන් දෙදෙනා අල්ලා ගැනීමත් සමඟ කැරැල්ල අවසන් විය.

කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ වෙත මරණීය දණ්ඩනය නියම වූ අතර නොවැම්බර් 25 වැනි දින උදෑසන ඔවුන්ගේ ඉල්ලීම මත ඔවුන් දළදා මාලිගාවට ගෙන එන ලදී. එහි අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දළදා මාලිගාවේ සිට සැතපුමක් පමණ දුරින් පිහිටි බෝගම්බර වැව ආසන්නයේ පිහිටි ස්ථානයකට රැගෙන යන ලදී. කැප්පෙටිපොළ ඔහුගේ මුහුණ සහ අත් සෝදා, ඔහුගේ හිස මත ගැටයක් ලෙස කොණ්ඩය බැඳ,  ඔහු බණ පොතක් ගෙන, බණ කිහිපයක් කියවා, එම පොත ස්වදේශික නිලධාරියෙකුට ලබා දී, බදුල්ලේ දී ඔවුන් නිල වශයෙන් එනම් සෝවර්ස් දිසාපති ලෙසත්, කැප්පෙටිපොළ ඌවේ දිසාවේ ලෙසත් සම්බන්ධ වී සිටියදී, ඔහුගේ මිත්‍රත්වයට කෘතගුණ දැක්වීමක් ලෙස, සෝවර්ස් මහතාට භාර දෙන ලෙස ඉල්ලා සිටියේය. පසුව අලුගෝසුවාගේ දෙවන කඩු පහරින් ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර බිම වැටිණි. උඩරට සිරිතට අනුව ඔහුගේ හිස වෙනකොට පපුව මත තබා ඇත.

මඩුගල්ලේ ද එම ක්‍රියාවන්ද සිදු කළ නමුත් කොණ්ඩය ගැටගැසීමට නොහැකි වූ අතර අලුගෝසුවාට ඔහු වෙනුවෙන් එය ඉටු කිරීමට සිදු විය. ඔහු අලුගෝසුවාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේ එක පහරකින් ඔහුව මරා දමන ලෙසටයි. නමුත් ඔහුව මරා දැමීමට අලුගෝසුවාගේ පහර දෙකක් අවශ්‍ය විය. 1816-1821 අතර උඩරට ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා වූ හෙන්රි මාෂල්, කැප්පෙටිපොලගේ හිස් කබල ඔහුගේ භාරයට ගත අතැර එය එඩින්බරෝ හි කපාලලක්ෂණ ශාස්ත්‍ර සංගමයේ කෞතුකාගාරයට භාර දෙන ලදී.

ශ්‍රී ලංකාවට නිදහස ලැබීමත් සමඟ, නිදහසින් දින කිහිපයකට පසු 1948 පෙබරවාරි 9 වන දින ග්ලූස්ටර් ආදිපාදවරයාගේ මූලිකත්වයෙන් මෙම හිස් කබල නැවත ශ්‍රී ලංකාවේ කොළඹ ජාතික කෞතාගාරය වෙත ලබාදෙන ලදී. (Wickramasinghe, 1997).

දළදා මළුවේ මොණරවිල කැප්පෙටිපොළ ස්මාරකය

දළදා මළුව යනු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරිපස උද්‍යානයයි. ඔබ ප්‍රධාන ආරක්ෂක ගේට්ටුවෙන් ප්‍රවේශයට ඇතුළු වන විට, ඔබ මෙම උද්‍යානය හරහා දළදා මාලිගය වෙතට පිය නගන්නේ දළදා මළුව හරහාය.. මේසේ පියමන් කරනවිට මුලින්ම වීර මද්දුම බණ්ඩාර අනුස්මරණ ස්මාරකයත්, ඉන් පසු මාර්ගය මද්‍යයේමොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ ස්මාරකයත් හමුවේ.

19 වැනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨ ජාතික වීරයකු වූ මොනරවිල කැප්පෙටිපොළ මහ නිළමේතුමාගේ හිස් කබල තැන්පත් කර මෙම ස්මාරකය ඉදි කෙරුනේ 1954 සැප්තැම්බර් මස 14 වැනි දිනදීය .

එම අවස්ථාව අතරතුර රජය විසින් නිකුත් කරන ලද ලිපියක මෙම ස්මාරකය පිළිබඳ විස්තර මෙසේය.

“මේ ස්මාරකය සඳහා ආකෘතිය ලබා ගන්නා ලද්දේ සිංහල සංස්කෘතියේ මූලය වන අනුරාධපුර යු‍ගයේ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ස්මාරකය වනාහි උඩරට සම්ප්‍රදාය අනුව තැනුණ අඩිතාලමක පිහිටි එම සම්ප්‍රදායට අයිති ටැඹකි.ඇම්බැක්කේ දේවාලයේ කැටයම් අනුගමනයෙන් සකස් වුණු ජනේල සතරකින් සැදි මධ්‍ය ඝනකයේ එකී ජනේලය යුද වැදුණු සිංහල හේවායකුගේ රූපයෙන් සමන්විත වෙයි. කුලුනු හිස මහනුවර ගඩලාදෙනියෙන් පිටපත් කර ගත් විමානයකින් සංවෘත්ත වූයේය. ස්වකීය මාතෘ භූමිය උදෙසා ජීවිතය පුද කළා වූ වීර අධිපතියාණන් මේ ස්ථම්භයෙන් ප්‍රතිමූර්ත වෙයි. ජනේල කැටයම් එතුමන්ගේ ක්‍රියාව පිළිබිඹු කරන අතර විමානයෙන් මූර්තිමත් කරනුයේ එතුමන් දේවත්වයෙහි ලා සලකනු ලබන බවයි.” (සද්ධාමංගල, 2015)

ආශ්‍රිත ග්‍රන්ථ හා ලිපි

  1. Marshall, H. (1846) Ceylon: A General Description of The Island and of Its Inhabitants With an Historical Sketch of the Colony by the English. London, Britain: William H. Allen And Co.
  2. Udugama, S. (1983) ‘Keppetipola Maha Dissawe, A Great National Hero’, in Sri Lanka : From Legend and History. Colombo, Sri Lanka: Niloo Bhatt, pp. 108–111.
  3. Farlane, C.M. (1844) in Our Indian Empire, its history and present state, from the earliest settlement of the British in Hindostan to the close of the year 1843, by Charles Mac Farlane .. London: C. Knight, pp. 275–281.
  4. Wickramasinghe, N. (1997) ‘The Return of Keppetipola’s Cranium: Authenticity in a New Nation’, Economic and Political Weekly, 32(30), pp. 85–92.
  5. අශෝක  සද්ධාමංගල (2015) කැප්පෙටිපොළ විරුවාගේ ගුණ සැමරුම, දිනමිණ. Available at: https://archives1.dinamina.lk/node/8207 (Accessed: 01 September 2023).

සම්බන්ධ වෙනත් පිටු

මොනරවිල කැප්පෙටිපොල සමරු ස්ථම්භයේ සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මොණරවිල කැප්පෙටිපොල අනුස්මරණ ස්ථම්භය වෙත ගමන් මාර්ගය

කොළඹ නුවර මාර්ගය (මාර්ගය 1) ඉතා මනස්කාන්ත දර්ශන වලින් යුත් මාර්ගයකි. නමුත් බොහෝ ස්ථානයන්හි දී මෙම මාර්ගය තරමක් පටු බැවින් නිවාඩු දිනයන් හිදී තැනින් තැන වාහන තදබදයක් ඇති වේ. කොළඹ නුවර මාර්ගයේ තදබදය මග හැරීමට අවශ්‍ය නම් ඔබ හට මෑතකදී ඉදිකරනලද මධ්‍යම අධිවේගී මාර්ගය (මාර්ගය 2) භාවිතා කළ හැක.

මාර්ගය 1 : කොළඹ සිට මහනුවර දක්වාමාර්ගය : 2 කොළඹ සිට මහනුවර දක්වා
හරහා : කඩවත – වරකාපොල – අඹේපුස්ස – මාවනැල්ල
දුර : කිලෝමීටර් 120
ගමන් කාලය : පැය 3.45
රිය පැදවීමේ උපදෙස් :  ගූගල් සිතියමේ බලන්න
හරහා : කටුනායක අධිවේගී මාර්ගය – මධ්‍යම අධිවේගී මාර්ගය – කුරුණෑගල
දුර : කිලෝමීටර් 150
ගමන් කාලය : පැය 3.20
ධාවන උපදෙස් :  ගූගල් සිතියමේ බලන්න
නුවරඑළිය සිට මහනුවර දක්වා මාර්ගය
හරහා : වලපනේ – රජ මාවතේ
දුර: කිලෝමීටර් 100
ගමන් කාලය: පැය 3.0
ධාවන උපදෙස්:  ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply