අනුරාධපුර මහා විහාරයේ පිළිමගෙය නටබුන් (Ruins of the Image house of the ancient Maha Viharaya)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.00 out of 5)
Loading...

ශ්‍රි ලංකාවේ පළමු වැනි බෞද්ධ ආරාමය වශයෙන් සලකනු ලබන්නේ ක්‍රිස්තු පූර්ව 250 දී මහා මහින්ද තෙරණුවන් සඳහා දේවානම් පියතිස්ස රජතුමා අනුරාධපුරයේ මහමෙව්නා උයනේ ඉදි කළ තිස්සාරාමය හෙවත් මහාවිහාරයයි. උන්වහන්සේ වස්සාන සමයට මිහින්තලේ වාසයට ගියත් නිත්‍ය ආවාසය වූයේ මහාවිහාරයයි. ඉන්පසු ලංකාවේ සියලු බෞද්ධ ආරාම ඉදිකිරීමේදී ආදර්ශය වූයේ මහාවිහාරයයි.

අනුරාධපුර යුගයේ අවසාන භාගයේ රචනා වූ ග්‍රන්ථවල මහාවිහාරයේ වූ ප්‍රධාන බුදු පිළිම ගෙයක් ගැන සඳහන් වෙතත් මේ දක්වා මහාවිහාර භූමියෙන් එකදු බුදුපිළිම ගෙයකවත් නටබුන් සොයාගෙන නොතිබිණි.

ඊට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ මෙරට බ්‍රිතාන්‍ය පාලන යුගයේදී නුවරකලාවිය පාලනය කරන මධ්‍යස්ථානය බවට අනුරාධපුරය පත් කරගැනීමෙන් පසු ශ්‍රී මහා බෝධිය අවට ප්‍රදේශය ඔවුන්ගේ පරිපාලන ගොඩනැගිලි ඉදි කිරීමට යොදාගැනීම ය. එකල අනුරාධපුර මහ දිසාපතිවරයකු වූ අයිවර්ස් දක්වන පරිදි පොසොන් කාලයට වන්දනාකරුවන්ගේ පැමිණීම නිසා අනුරාධපුරයේ තරමක් හෝ හෙළි පෙහෙළි වී තිබුණේ ශ්‍රී මහා බොධිය අවට පමණි.

එම බුද්ධ ප්‍රතිමා ගෘහය ලෝවාමහාපායේ ගිනිකොනදිග මුල්ලට පිටතින් ඒ ආසන්නව ම හා දකුණු දෙසට වන්නට පිහිටා ඇත. දකුණු දෙසින් ශ්‍රී මහා බෝධි මළුවට ඉදිරිපසින් ඉංග්‍රීසි පාලන අවධියේ ඉදි කළ ඩික්මන් පාර නමින් හැඳිවූ මාර්ගය පිහිටා තිබේ. එම මාර්ගයේ ස්මාරකයට ආසන්න කොටස වන වර්තමානයේ ශ්‍රී මහ බෝ මළුවට පිටතින් ඇති කොටස සිමෙන්ති ගල් අල්ලා මෑත දී ඉදි කර ඇති පෙරහර මාර්ගය වේ. ඉදිරියෙන් වයඹදිග මුල්ලට ආසන්න ව ලෝවාමහාපාය පිහිටා ඇත.

පිළිමගෙය පිළිබඳ ප්‍රථමයෙන් සඳහනක් දක්නට ඇත්තේ ක්‍රි.ව. 10 වැනි සියවසේ දී රචිත පාලි මහා බෝධිවංසයේ ය. ක්‍රි.ව. 12 වැනි සියවසේ ඒ සඳහා රචිත මහා බෝධිවංස ග්‍රන්ථිපද විවරණයේත් දේවානම්පියතිස්ස රජතුමා සිංහ වික්‍රාන්තියෙන් (ගමන් කරන සිංහයා දකුණු පැත්තට හැරී පිටුපස බැලීම) යුක්ත ව මහා විහාරයේ ඉදි කිරීම් කළ බව සඳහන් වේ.

එම විස්තරයට අනුව සිංහයාගේ වාලධිය (වල්ගය අග) පිහිටි ස්ථානයේ මහා බෝධිය විය. පසුපස දකුණු පාදය තැබූ ස්ථානය ලෝවාමහාපාය විය. පිටුපස වම් පාදය තැබූ ස්ථානය සන්නිපාත ශාලාව ද නාභිය පිහිටි ස්ථානය ධාතුඝරය ද උදරයේ (පපුවේ) වම්පස පිහිටි තැන රංසිමාලකය ද ඉදිරි දකුණුපය තැබූ තැන මහාථූපය (රුවන්මැලිසෑය) ද උගුර පිහිටි තැන කණ්ඨක නම් පොකුණ ද හිස දකුණු දෙසට හරවා පිටුපස බැලූ කල්හි දෘෂ්ටිය වැටුණු තැන බුදුපිළිම ගෙය ද විය.

ඉහත කී මූලාශ්‍රය දැක්වූ පිළිමගෙය පිළිබඳ මීට පෙර කිසිවෙකු හෝ විසින් කරුණු අනාවරණය කර තිබුණේ නැත. එහෙත් මේ මූලාශ්‍රය ඔස්සේ කළ ගවේෂණයේ දී පිළිමගෙයි නටබුන් හඳුනාගත හැකි විය. මහා පැරකුම්බා රජතුමා ලෝවාමහාපාය විශාල කර ඉදි කිරීමේ දී තිසා වැවේ සිට භූගත මාර්ග මඟින් ජලය ගෙන විත් රැස් කළ පොකුණත් සත් ප්‍රාසාදයට දකුණු දෙසින් වු බවත් ඉන් කොටසක් නව ප්‍රසාදයට යට වී ඇති බවත් මහාචාර්ය පරණවිතාන1949 පුරාවිද්‍යා පාලන වාර්තාවේ සඳහන් කර ඇත.

1964-65 කාලයේ දී ආචාර්ය ගොඩකුඹුර විසින් උක්ත සඳහන් කළ පොකුණේ ජලය රැඳී තිබීමෙන් මදුරුවන් බෝවීම වැළැක්වීමට පිරවීමට ඊට ආසන්නයේ වූ පස් ගොඩැල්ලක් කැපූ බවත් එහි දී ස්මාරකයක නටබුන් හමු වූ බව කියා ඇතත් හමුවූ ස්මාරකය හඳුනා ගැනීමක් කර නැත. තවද ගොඩනැගිල්ලේ නිශ්චිත පිහිටීම දක්වා නැත.

එහෙත් ලෝවාමහාපායේ දකුණු දෙසින් ඊට ආසන්නව එම ස්මාරකය හැර වෙනත් ස්මාරකයක් දක්නට නොලැබේ. තව ද එම පස් ඉවත් කිරීමේ දී හමුවූ ස්මාරකයේ ගල් ඇතුරූ දොරටු තුනක් ඇති බව එම වාර්තාවේ සඳහන් වේ. එහි එක් එක් දොරටුවේ කොරවක්ගල් හා මුරගල් සෑහෙන ප්‍රමාණයෙන් ආරක්ෂා වී ඇති බව සඳහන් වේ.

එසේ ම එම පස් ඉවත් කිරීමේ දී බෝසත් පිළිමයක විය හැකි පිළිමයක බඳ කොටසක් ද පිළිමයක් සිටුවූ හුනුගල් පද්ම පීඨයක කොටසක් ද හමු වූ බවත් එම පීඨයේ තිබිය යුතු විශාල බුදු පිළිමය හමු නොවූ බව ද දැක්වේ. එම පීඨයේ පළල අඩි හතරක් බව සඳහන් ය. එකී නටබුන් තවමත් කැණීමට අදාළ ස්මාරක භූමියේ දක්නට ලැබීමෙන් ගොඩකුඹුර මහතා පස් ඉවත් කර ඇත්තේ එම පිළිම ගෙයි බව සනාථ වේ.

එකී වාර්තාවේ සඳහන් තවත් වැදගත් සාධකයක් වන්නේ ස්මාරකයේ දකුණු පැත්තේ ගල් පුවරු ඉවත් කර ඇති බව හා දකුණු පැත්ත ඩික්මන් පාර නිසා විනාශ වී ඇති බව ය. වර්තමානයේ ද එම ලක්ෂණ එසේ ම දක්නට ලැබේ.

ඉහත කී මහාබෝධිවංස විස්තරය අනුව ක්‍රි.ව. 10 වන සියවසේ දී එම පිළිමගෙය තිබූ බව අනාවරණය වේ. එහෙත් ක්‍රි.ව. 5 වන සියවසේ මහාවිහාරයේ සිට සමන්තපාසාදිකාව රචනා කරන බුද්ධඝෝෂ හිමියන්ගේ විස්තරයක් එම පිළිමගෙයි ආරම්භය සෙවීමේ දී වැදගත් වේ.

සමන්තපාසාදිකාවේ දැක්වෙන පරිදි යම්කිසි විහාර භූමියක් තුළ පිටස්තර කිසිවෙකු කිසියම් ගොඩනැගිල්ලක් ඉදි කරන්නේ නම් එසේ නොකරන ලෙස දැනුම් දිය යුතු ය. එය නොසලකා ඉදි කිරීමක් කරන්නේ නම් එය ගලවා එහි අමුද්‍රව්‍ය ගොඩගසා ඒවා ගෙන යන ලෙස ඔවුනට දැනුම් දිය යුතු ය. එහෙත් බෝධිය හෝ ස්තූපය නොගැලවිය යුතුය යන්නයි. මෙහි දී බෝධිය හා ස්තූපය නොගැලවිය යුතු යැයි දක්වන්නේ ඒවා සැදැහැවතුන් විසින් වැඳුම් පිදුම් කරන දේ වන හෙයිනි. ඒ අනුව වැඳුම් පිදුම් කරන පිළිමගෙයක් ගැලවිය හැකිද? බුද්ධඝෝෂ හිමි සමයේ මහාවිහාරයේ පිළිමගෙයක් තිබුණේ නම් නොගැලවිය යුතු ඉදිකිරීම් අතරට එය ද ඇතුළත් වනු නිසැක ය.

මේ අනුව සැලකිය හැක්කේ ක්‍රිව 5 -10 කාලය ඇතුළත අවස්ථාවක එම පිළිමගෙය ඉදි වන්නට ඇති බව ය. ක්‍රි.ව. 1017 දී අනුරාධපුරය ඇතුළු රජරට සොළීන්ට යටත් වීමෙන් එම වෙහෙර විහාර විනාශයට පත් වූ ආකාරය මහාවංසයේ සඳහන් ය. 12 වන සියවසේදී මහ පැරකුම්බා රජු අනුරාධපුරයේ ආගමික ස්ථාන පිළිසකර කිරීමට පැමිණෙන විට අභයගිරිය වැනි මහා ස්තූප කරා කටුලැහැබ් පීරාගෙන යා යුතුව තිබූ බවත් එවායේ වගවලසුන් ගැවසුණ බවත් මහාවංසයේ සඳහන් ය.

ඒ තත්ත්වය යටතේ එම පිළිමගෙයත් විනාශ වී තිබෙන්නට ඇත. එහෙයින් පිළිමගෙයි පිවිසුම් මාර්ගය ද අත්පත් කරගෙන ලෝවාමහාපාය විශාල කිරීම කර ඇති බව ස්මාරක දෙක අද පිහිටා ඇති අයුරු පිරික්සීමේදි තහවුරු වේ.

පිළිමගෙයි නටබුන් අනුව එහි විශාල උළුවස්සක් තිබෙන්නට ඇති බව සැලකිය හැකි වුවත් එහි උළුවස්ස අද දක්නට නැත.

වර්තමානයේ ඊට ආසන්න ව ඇති ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ උතුරු වාහල්කඬේ විශාල ගල් උළුවස්සක් දක්නට ඇතත් 1894 හෙන්රි කේව් විසින් ප්‍රකාශයට පත් කර ඇති ද රුයින්ස් සිටි ඔෆ් අනුරාධපුර ග්‍රන්ථයේ එම වාහල්කඩේ ඡායාරූපයක් පළ කරමින් එහි ඇති ගල්කණු ආදී සියල්ල විස්තර කරතත් උළුවස්සක් ගැන විස්තර කරන්නේ නැත. ඡායාරූපයේ ද උළුවස්සක් නැත. 1925 වර්ෂයේදී බුලන්කුලම පවුලේ සාමාජිකයන් විසින් එම දොරටුව පිළිසකර කළ බව කියැවේ. එම අවස්ථාවේ ආසන්නයේ තිබූ පිළිමගෙයි ගල් උළුවස්ස එම වාහල්කඩට සවි කරන්නට ඇත.

ලැබෙන සියලු දත්ත නිශ්චිත ලෙස සම්පිණ්ඩනය කර පෙළ ගැස්විය හැකිය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 1964 – 1965 පාලන වාර්තාවට අනුව අදාළ කාලය තුළ දී පුරාවිද්‍යා කොමසාරිස් ගෙඩකුඹුර මහතා මෙහි අවිධිමත් කැණීමක් කර තිබේ. තවද මහාචාර්ය සෙනරත පරණවිතාන විසින් 1949 වර්ෂයේ ලෝවාමහාපායට ආසන්නව දකුණු දෙසින් කළ කැණීමක දී අනාවරණය වූ පොකුණු කොටසක් වසා දැමීමට අවශ්‍ය පස් ලබාගැනීම සඳහා මෙතැන වූ ගොඩැල්ල කපා පස් ලබාගත් බව කියයි.

වර්ෂ 1949 මහාචාර්ය පරණවිතානගේ පුරාවිද්‍යා වාර්ෂික පාලන වාර්තාවේ සඳහන් පරිදි ශ්‍රී මහා බෝධිය දෙස සිට ලෝවාමහාපාය දෙසට ජලය ගෙන ආ භූගත ජල මාර්ගයක් සොයාගත් බවත් එය ලෝවාමහාපායේ දකුණු පස වූ පොකුණකට වැටී ඇති බවත් සඳහන් වේ.

12 වන සියවසේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් දැනට දක්නට ඇති ලෝවාමහාපාය ඉදි කිරීමේ දී ලෝවාමහාපාය ඊට පෙර පැවැති ප්‍රමාණයට වඩා විශාල කිරීම නිසා දකුණු පසින් වූ පොකුණේ වැඩි ප්‍රමාණයක් ගොඩනැගිල්ලට යට වී ඇති බව පරණවිතාන සඳහන් ය.

පොකුණේ ඉතිරි වූ ප්‍රමාණයේ ජලය රැඳී තිබීම නිසා මදුරුවන් බෝ වීමේ ප්‍රශ්නයක් වී ඇති හෙයින් 1964-1965 කාලයේ පොකුණ පිරවීම සඳහා ඊට ආසන්නව තිබූ ගොඩැල්ලක් කපා පස් ලබාගෙන ඇති ආකාරය පාලන වාර්තා ප්‍රකාරව ඉහත දක්වා ඇත.

එම වාර්තවේ දැක්වෙන පරිදි පොකුණු කොටස තිබී ඇත්තේ ලෝවාමහාපායට නිරිතදිගිනි. අනාවරණය කරගත් තොරතුරු අනුව එම ගොඩැල්ල වූ කලී එම පිළිමගෙය පිහිටි භුමියයි.

මහාචාර්ය ටී.ජී. කුලතුංග
www.silumina.lk

සම්බන්ධ වෙනත් පිටු

අනුරාධපුර මහා විහාරයේ පිළිමගෙය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

අනුරාධපුර මහා විහාරයේ පිළිමගෙය රියදුරු දිශාවන්

කොළඹ සිට ප්‍රධාන මාර්ග කිහිපයක් ඔස්සේ අනුරාධපුරයට ලඟා විය හැකිය. නමුත් ප්‍රධාන මාර්ග දෙක ඇත්තේ කුරුණෑගල හා පුත්තලම (පුත්තලම) හරහා ය. පුත්තලම හරහා මාර්ගයේ ගමන් කරන විට වන ලැහැබින් වටවූ දර්ශනීය විල්පත්තු ප්‍රදේශය පසුවේ. කුරුණෑගල සිට අනුරාධපුරයට ප්‍රධාන මාර්ග දෙකක් ඇත. වඩාත් ජනප්‍රිය මාර්ගය දඹුල්ල හරහා ය. අනෙක් මාර්ගය ගල්ගමුව හරහාය. සියලුම මාර්ග වලින් බහුලව භාවිතා වන්නේ කුරුණෑගල – දඹුල්ල මාර්ගය (2 වන මාර්ගය) යි.

කොළඹ සිට අනුරාධපුරයට – මාර්ගය 01කොළඹ සිට අනුරාධපුරයට – මාර්ගය 02
හරහා : මීගමුව – හලාවත – පුත්තලම
කොළඹ සිට දුර : කිලෝමීටර 213
ගමන් කාලය : පැය 3 යි
ගමන් දිශාවන් : මෙතනින් ගූගල් සිතියමේ බලන්න
හරහා: අඹේපුස්ස – කුරුණෑගල – දඹුල්ල
කොළඹ සිට දුර : කිලෝමීටර 221
ගමන් කාලය : පැය 3.15 යි
ගමන් කාලය : මෙතනින් ගූගල් සිතියමේ බලන්න
කොළඹ සිට අනුරාධපුරයට – මාර්ගය 03මහනුවර සිට අනුරාධපුරයට
හරහා: අඹේපුස්ස – කුරුණෑගල – පාදෙණිය – තඹුත්තේගම
දුර : කිලෝමීටර 213
ගමන් කාලය : පැය 3 යි
ගමන් දිශාවන් :> මෙතනින් ගූගල් සිතියමේ බලන්න
හරහා: කටුගස්තොට – මාතලේ – දඹුල්ල
දුර : කිලෝමීටර 139
ගමන් කාලය : පැය 2 යි
ගමන් දිශාවන් : > මෙතනින් ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com