ශ්‍රී ලංකාවේ හමුවන ස්තූපඝර : වටදාගේ, කුළුදාගේ හා චේතිය ලෙන් – Stupaghara (Chethiyaghara) of Sri Lanka

The majestic Medirigiriya Vatadage on a rock pedestal

The majestic Medirigiriya Vatadage on a rock pedestal

ස්තුපඝරයක් (චේතියඝරයක්) යනු ස්ථුපයක් වටකොට එහි ආරක්ෂාව සඳහා ඇති ගෘහයක්.  ස්තූපඝර ස්තුපයට පමණක් නොව එය වටා ඇති බුදු පිළිම හා අනෙකුත් නිර්මාණයන් සඳහාද ආරක්ෂාව සැපයුවා. පුරාණයේ මෙය ධාතුඝර ලෙසද හඳුන්වා තිබෙනවා. පුරාවිද්‍යාව හා උරුම සංරක්‍ෂණය ගැන ශ්‍රී ලංකාවේ ප්‍රවීණයෙකු වූ ආචාර්‍ය රෝලන්ඩ් සිල්වා මහතාට අනුව ස්තූපඝර (චේතියඝර) පැහැදිලි වර්ග තුනකට බෙදා දැක්විය හැකිය.

මෙහි මුල් හා ප්‍රචලිත ප්‍රභේදය වටදාගෙයයි. වටදාගෙය ස්තුපය වටා වෘත්තාකාර ලෙස ගොඩනංවා තිබෙනවා. දෙවන ස්තූපඝර ප්‍රභේදය කුළුදාගෙයයි. කුළුදාගෙවල් බොහෝවිට සතරැස් ස්වරූපයක් ගන්නවා. තුන්වැන්න චේතිය ලෙන්ය. මෙම ස්තුප  සාදා තිබෙන්නේ ස්වාභාවික හෝ කණිනලද  ලෙන් තුලය. මෙහිදී ලෙන ස්තුපඝරයේ අවශ්‍යතාවය සපුරනවා.

ශ්‍රී ලංකාවේ වටදාගෙවල්

H.C.P  බෙල්  මහතා 1911 දී වටදාගෙය ශ්‍රී ලංකාවට ආවේනික වූ නිර්මාණයක් බව මතයක් ගෙන එනවා.  රෝලන්ඩ් සිල්වා පෙන්වා දෙන්නේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍ය යුගයේදී ප්‍රාථමික ස්තූපඝර තිබිය හැකි බවයි. නමුත් ඉන්දියාවේ හමුවන ප්‍රාථමික  ස්තූපඝර නිර්මාණ ශ්‍රී ලංකාවේ  නිර්මාණ  හා සමාන නොවන නිසා ඔහු බෙල් මහතාගේ මතයට බොහෝ ලෙස එකඟ වෙනවා.

මහාචාර්‍ය  රෝලන්ඩ් සිල්වාට අනුව ලංකාවේ වටදාගෙවල් 14ක් හඳුනාගෙන තිබෙනවා. මේවා පිලිවෙලින් මෙසේය

  1. ථූපාරාමය
  2. ලංකාරාමය
  3. අත්තනගල්ල 
  4. මැදිරිගිරිය
  5. රාජාංගණය හත්ථිකුච්ජි
  6. කන්දෙගෙදර
  7. තිරියාය 
  8. පොළොන්නරුව වටදාගෙය 
  9. කදුරුගොඩ (කන්තරොඩි)
  10. ඩෙල්ෆ් 
  11. දෙවිනුවර
  12. මිහින්තලේ අම්බස්තල දාගැබ
  13. කවුඩුල්ල
  14. ලාහුගල කිරිවෙහෙර

මීට අමතරව පහල සඳහන් වටදාගෙය ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා.

  1. දඩගමුව රජමහා විහාරය

ලංකාවේ මුලින්ම වටදාගෙයක් වාර්තා වන්නේ ක්‍රිස්තු පූර්ව  3වන සියවසට අයත් ථුපාරාමය ස්තුපයේ.  මෙය ලංකාවේ ප්‍රථම ස්තුපය ලෙසද සලකනවා. මෙහි මෙය වට දෙකකින් ගල් කණු 176 කින් සමන්විතව තිබෙනවා. මෙම වටදාගෙය ක්‍රිස්තු වර්ෂ 2වන සියවසට අයත් බවයි විශ්වාසය.

මහාවංශය කනිට්ඨ තිස්ස (164-192) රජු විසින් මණිසෝම විහාරය, අම්බස්ථල විහාරය හා නාග දිවයින විහාරය යන ස්ථාන වල දාගෙය ප්‍රතිසංස්කරණය කලබව පවසනවා. මහාචාර්‍ය  සේනක බණ්ඩාරනායක මනිසෝම විහාරය යනු අද ලංකාරාමය වියහැකි බව “Sinhalese Monastic Architecture: the Viharas of Anuradhapura” කෘතියෙහි පවසනවා. නමුත් පරණවිතානයන්ගේ මතය ලංකාරාමයේ වටදාගෙය 8වන සියවසේදී පමණ ඉදිකර ඇති බවයි. ලංකාරාමයේ වටදාගෙය ගල්කණු 88 කින් සමන්විතයි. .

ශ්‍රීමත් P . E . පීරිස්  නාග දිවයින යනු පසුව යාපාපටුන ලෙස හැඳින්වූ සම්පූර්ණ යාපන අර්ධද්වීපය වියයුතු බව තර්කයක් ගෙන තිබෙනවා. එසේනම් කනිට්ඨ තිස්ස රජු විසින් දෙවන සියවසේ  ප්‍රතිසංස්කරණය කරනලද නාග දිවයින විහාරය කදුරුගොඩ, කයිට්ස් හෝ අද වනවිට සම්පුර්ණයෙන් විනාශවූ හඳුනා නොගත් යාපනය අර්ධද්වීපයේ විහාරයක් විය හැකියි.

අත්තනගල්ල වටදාගේ අෂ්ටාස‍්‍ර හැඩයක් ගන්නවා. මෙම පූජා ස්ථානය 3වන සියවසට අයත්වනබව විශ්වාස කරන්නේ මීට ඈඳී ඇති සිරිසඟබෝ රජුගේ කතා විස්තරය නිසා. මෙම වටදාගෙය 4වන සියවසට අයත් බව විශ්වාසයයි. නමුත් සිරිසඟබෝ රජු සිටි ස්ථානය හස්තිකුච්චි සංඝාරාමය බව විද්යවතුන්ගේ දැන් විශ්වාස කරනවා. දැනට සම්පූර්ණ වටදාගෙයකට ඇත්තේ අත්තනගල්ලේ  පමණයි. නමුත් දැනට පවතිත වටදාගෙය නොයෙක් කාලවලදී විශාල ලෙස වෙනස්කම් වලට භාජනය වී ඇතිබව විශ්වාසයයි.

අත්තනගල්ලට අමතරව දඩගමුවේ  තවත් සම්පූර්ණ වටදාගෙයක් හමුවෙනවා. මෙය රෝලන්ඩ් මහතාගේ විස්තරයේ අඩංගු වන්නේ නෑ.  මෙම වටදාගේ චතුරශ්‍යාකාරයි නමුත් වටදාගෙයක සාමාන්‍ය ලක්ෂණ අඩංගු වනවා. එමනිසා මෙම ගොඩනැගිල්ල වටදාගෙය වර්ගයට ගැනෙන දාගෙයක් ලෙස හඳුන්වන්න පුළුවන්. පුරාවෘත්තයන්ට  අනුව මෙම සිද්ධස්ථානය ගොඩනැගෙන්නේ සුමිත්ත නම් දේවානම්පියතිස්ස රජුගේ (250-210 BC) ඇමතියෙකුගේ අනුග්‍රහයෙන්. නමුත් දැනට පවතින වටදාගෙය මහනුවර යුගයේ අවසාන භාගයේ සෑදුන  බවයි විශ්වාසය. විශාල දැව  කඳන් 4ක් ආධාරයෙන් පල 2 කට මෙහි වහල සාදා තිබෙනවා. දාගේයේ බිත්ති වටා මහනුවර යුගයේ බිතුසිතුවම් දක්නට ලැබෙනවා.

මැදිරිගිරිය පිළිබඳව මුලින්ම සඳහන් වන්නේ කනිට්ඨතිස්ස (164-192) රාජ  කාලය තුලදී. නමුත් චූලවංශයට අනුව මැදිරිගිරිය වටදාගෙය ගොඩනැගෙන්නේ සතර වන අග්ගබෝධි රජතුමාගේ  (667-683) අනුග්‍රයෙන්.

අද සිරිසඟබෝ රජතුමා සැඟවී සිටි ස්ථානය ලෙස සලකන්නේ රාජාංගනය හත්ථිකුච්ජි ආරාමයයි. කන්දේගෙදර හා හත්ථිකුච්ජි වටදාගෙවල් හත්වන ශතවර්ෂයට අයත් බව පරණවිතාණ මහතා පවසනවා. මහාචාර්‍ය  සේනක බණ්ඩාරනායක  පවසන්නේ කන්දෙගෙදර විෂ්කම්භය අඩි  25ක් පමණ ඇති කුඩා වටදාගෙයක් බවයි. එක් වෘත්තයක කණු පිහිටා තිබූන බව පවසනවා. ඇතුළත තවත් කණු වටයක් තිබී ඇති බවත් ඒවා ස්තුපය විශාල කිරීමේදී ගලවා ඇති බවත් ගොඩකුඹුර පවසනවා.

පරණවිතාන මහතාට අනුව තිරියාය වටදාගෙය ගොඩනැගෙන්නේ 7වන  හෝ 8වන ශතවර්ෂ වලදී, පොලොන්නරුව වටදාගෙය 8වන ශතවර්ෂයේදී. පොලොන්නරුව වටදාගෙය 12වන සියවසේදී ගොඩනැගුන බව ශිලාලේඛනගත වී ඇති නමුත් පරණවිතාන අනුකල්පනය කරන්නේ වටදාගෙහි පිට වේදිකාව මෙම කාලයේදී එකතු වී ඇති බවයි.

ස්තූප හා අවට හමුවූ මැටි කැබලි අද්‍යනය කිරීමෙන් කදුරුගොඩ වටදාගෙය 6වන හෝ 7වන සියවස් වලට අයත් බව පරණවිතාන පවසනවා. කදුරුගොඩ ස්තූප අවම වශයෙන්  අවධි 4කට අයත් බව කැනීම් වලින් සොයාගෙන තිබෙනවා. වටදාගෙය නටබුන් හමුවන්නේ වන්නේ 4වන අවධියේ නටබුන් සමගයි. දෙමළ  ත්‍රස්තවාදීන් නිසා මෙහි කැනීම් නතරවී ඇති අතර 2009 දී ත්‍රස්තවාදීන් සහමුලින් අතුගා දැමීමෙන් පසු මෙම භූමිය නැවත එලිගන්වා තිබෙනවා. නමුත් මෙහි වටදාගෙයක නෂ්ටාවශේෂ කිසිවක් අද දකින්නට නැහැ.

ඩෙල්ෆ්හි වටදාගෙයද කදුරුගොඩ වටදාගෙය හා සමාන කාල වකවානු වලදී සදා  ඇතිබව පවසනවා. මෙහි තිබූ වටදාගේ නටබුන් කදුරුගොඩට වඩා තරමක් හොඳ තත්වයේ  දෙමළ  ත්‍රස්තවාදී ක්‍රියාවන්ට පෙර (1980ට පෙර)  තිබුන බව පැවෙසනවා. මෙම වටදාගෙයද මුහුණපා ඇත්තේ කදුරුගොඩට වූ ඉරණමයි.  දෙවිනුවර, කවුඩුල්ල හා ලාහුගල වටදාගෙවල් තවමත් කැණීම්  කර නොමැති නිසා  ඒවායේ කාල නිර්ණයක් කල නොහැකි බව රෝලන්ඩ් මහතා පවසනවා. නමුත් ක්‍රිස්තු වර්ෂ 8වන සියවසින් පසුව නව වටදාගෙවල් සදා නොමැති බවත් සඳහන් කරනවා.

 

ශ්‍රී ලංකාවේ කුළුදාගෙවල්

කුළුදාගේ යනු වටදගෙයින් බිඳී ආ ස්තූප ආවරණ විශේෂයක්. ක්‍රිස්තු වර්ෂ 8  වන සියවසෙන් පසු සාදන ලද වටදාගෙවල් පිළිබඳව වාර්තා වෙන්නේ නැහැ. වටදාගේ නිර්මාණ ශිල්ප පරිහානියට පත්වෙමින් පවතිද්දී ඊට වඩා සරළ හා වියදමින් අඩු කුළුදාගේ නිර්මාණ 12 වන ශතවර්ෂයේ පමණ සිට කලඑළි බහිනවා.

මහාචාර්‍ය  රෝලන්ඩ් සිල්වාට අනුව අදවනවිට ලංකාවේ කුළුදාගෙවල් 17ක් හඳුනාගෙන තිබෙනවා. ඒවා නම්

  1. අහුගොඩ රජමහා විහාරය 
  2. අටබාගේ
  3. බලපිටිය (2)
  4. බුදුමුත්තාව රජමහා විහාරය  
  5.  මහනුවර දළදා මාලිගාව
  6. දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාමය 
  7. ගඩලාදෙනිය රජමහා විහාරය
  8. හඟුරන්කෙත පොත්ගුල් විහාරය 
  9. ජීවාන පුරාණ  විහාරය 
  10. කඩිගමුව ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරය
  11. කොබ්බෑකඩුව රජමහා විහාරය
  12. පළාපත්වල
  13. පනාගමුව
  14. පොලොන්නරුව නිස්සංකලතා මණ්ඩපය 
  15. තෝලංගමුව රජමහා විහාරය
  16. වල්ලහගොඩ රජමහා විහාරය

කුළුදාගේ නිර්මාණ අතුරින් වඩාත්ම අලංකාර නිර්මාණය හමුවන්නේ ගඩලාදෙණිය රජමහා විහාරයේ. ගඩලාදෙණිය 4 වන බුවනකබාහු රජතුමා විසින් 1344 දී ගොඩනගා තිබෙනවා. මෙහි ස්තූපය ගල්තලාවක අඩි   පහක පමණ උස වේදිකාවක් මත නිර්මාණය කර තිබෙනවා. ප්‍රධාන ස්තූපය වටා පරිවාර ස්තූප 4 ක් තිබෙනවා. ප්‍රධාන ස්තූපයට ඉහලින් ඇති වහළ දරා සිටින්නේ විශාල සිලින්ඩාකාර කණු හතරකින්. මෙම කණු දෙකොණින් සිහින්වද මද්‍යයෙන් විශාලවන ලෙසද නිර්මාණය කර තිබෙනවා. පරිවාර ස්තූප සතර පහලින් කුඩා පිළිම ගෙවල් 4ක් වේදිකාව තුලට වනසේ සාදා තිබෙනවා.

මහාචාර්‍ය රෝලන්ඩ් සිල්වා පවසන්නේ මද්‍යයේ ස්තූපයක් සහිත පොලොන්නරුව නිස්සංකලතා මණ්ඩපය කුළුදාගේ නිර්මාණයක් බව විශ්වාසයෙන් කිවහැකි බවයි. දොළොස්වන ශතවර්ෂයට අයත් නිස්සංකලතා මණ්ඩපයේ නෙලුම් දණ්ඩක ආකාරයෙන් සැකසුන ගල් කුළුණු මත වහලක් දරාසිටි බව ඔහු පවසයි.

දඹදෙණිය කුළුදාගෙය 13වන හෝ 14වන සියවස් වලට අයත් බව විශ්වාසයයි. මේ ගොඩනැඟිල්ල අඩි  4ක් උස වේදිකාවක් මත අඩි  6 අඟල් 6 ක් උස ගල්කණු මත වහලය රැඳවීමෙන් ස්තූපය ආවරණ කර තිබෙනවා. පසුකාලවලදී මෙය යම්  අලුත්වැඩියා වලට භාජනය වී තිබෙනවා. අටබාගේ ප්‍රදේශයේ කඩිගමුව හා කොබ්බෑකඩුව කුළුදාගෙවල්ද. වල්ලහගොඩ හා හඟුරන්කෙත  කුළුදාගෙවල්ද 16 හෝ 17වන සියවස් වලට අයත් වනවා.

කඩිගමුව විහාරයේ ඇති පුස්කොළ පොත්වලට අනුව මෙම විහාරය සාදා තිබෙන්නේ හයවන හෝ සත්වන බුවනෙකබාහු රජතුමන් 14 හෝ 15වන සියවස් වලදී. මෙම ස්තූපය තරමක් විශාලයි. එමනිසා කුළුදාගෙය තරමක උසක් ගන්නවා. සතරැස් කුළුණු 4ක් මත පියසි 2ක් සහිතව මෙම ගොඩනැගිල්ල සාදා තිබෙනවා.

පාදෙණිය හා සම්බන්ධ බුදුමුත්තාව රජමහා විහාරය  17 වන සියවසේ හෝ ඉන්පෙර සාදා  තිබෙනවා. බුද්මුත්තාවේ ගඩොලාදෙණිය  හා සමාන කුළුදාගෙයක් තිබූ  බව පවසනවා. ලංකාවේ වීසු  මානවවේදියෙකු වූ හොකාර්ට් (Hocart) 1931දී මෙම පූජාභූමිය සංචාරය කර විටදීද කුළුදාගේ  කඩාවැටී තිබුණ  බව සඳහන්  කරනවා. බෙල් (Bell) මහතා ජීවාන පුරාණ  විහාරයේ කුලුදාගෙයක් පැවිතුන බව සඳහන් කර ඇති අතර රෝලන්ඩ් මහතා පසුව කළ සංචාරයකදී මෙම ගොඩනැඟිල්ල වසර 70 කටපමණ පෙර බිඳහෙලූ බව විහාරාධිපති විසින් පවසා තිබෙනවා. තවද මෙම කුළුදාගෙය  අඩි  10ක් පමණ උස්වූ බව පවසා තිබෙනවා.

අහුගොඩ,  පළාපත්වල හා පනාගමුව කුළුදාගෙවල් වසර 100ක් පමණ පැරණි බව පැවසෙනවා. තෝලංගමුව කුළුදාගෙය මෑත අතීතයේදී  අලුත්වැඩියා වී ඇති නමුත් ගොඩනැගිල්ලේ මූළික ව්‍යුහය තවමත්පවතිනවා. රෝලන්ඩ් මහතා විසින් දළදා මාලිගයේ ස්තූපයද  කුළුදාගෙයක් ලෙස සලකා තිබෙනවා.

 

 

ශ්‍රී ලංකාවේ චේතිය ලෙන්

තුන්වන හා අවසාන චේතියඝර වර්ගය චේතිය ලෙනයි. ඉන්දියාවේ ප්‍රසිද්ධ ලෙන් පාශානය ඇතුලට කපා අවශ්‍ය ඉඩ ප්‍රමාණයන් ලබා ගෙන තිබෙනවා. ලංකාවේ කිහිප ස්ථානයක මෙම ක්‍රමය සුළු වශයෙන් භාවිතා කිරීමට ප්‍රයත්න දරා ඇති නමුත් මුල්බැසගෙන නැහැ. මෙම ප්‍රයත්න පොළොන්නරුවේ විද්‍යාධර ගුහාවේත් මිහින්තලේ අවසන් නොකළ ගුහාවකත්  දැකගත හැක. මීට හේතුව ලංකාවේ පවතින ගල් කුළුවල දැඩි බව හේතුවෙන් ඒවා හැරීමට ඇති අපහසුතාවය විය යුතුය. එමනිසා ශ්‍රී ලංකාවේ වඩා  ප්‍රතලිත වුවේ ස්වභාවික ගල්ගුහා වාසයට හෝ ආගමික අවශ්‍යතාවයන්ට සුදුසු ලෙස වෙනස් කිරීමයි.  එමනිසා චේතිය ලෙන් ශ්‍රී ලාංකික  අනන්‍යතාවක් සමග වැඩුණා.

ගුහාවක් භාවිතයට සුදුසු ලෙණක් ලෙස පිළියෙළ කිරීමේදී ප්‍රධාන අංගයක් වන්නේ කටාරම් කෙටීමයි. මින් වැසි කාලයේදී ගල මතුපිටින් රූරා වැටෙන ජලය ලෙණ තුලට බේරීම වැළකෙනවා. ලංකාවේ ලෙන්වල ආරම්භය දකින්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ හෝ පෙර සිට.  දැනට හමු වී ඇති පැරණිම ලෙන් ශිලා ලේඛනය ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට අයත් වනවා. නමුත්  මුල් වසර 500 කට වඩා කාලයක් මෙම ලෙන් භාවිතා වූයේ වාසස්ථාන ලෙස පමණයි. රෝලන්ඩ් මහතා මෙයට හේතුව ලෙස දක්වන්නේ මහාවිහාරවාසි භික්‍ෂූන් බුද්ධ පිළිම වන්දනාව බොහෝ කල් යනතුරු ප්‍රතික්ෂේප කල නිසා බවයි. එමනිසා ලෙන් පූජණීය  ස්ථාන ලෙස පිළියෙළ වීමට ආරම්භවූයේ ක්‍රිස්තු වර්ෂ 6-7 සියවස් අතර කාලයේදී. ලෙන්විහාර කලාවේ උපරිම වර්ධනයක් පෙන්නුම් කරන්නේ ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසේදී. නැවත ක්‍රිස්තු වර්ෂ 18 වන ශතවර්ෂයේදී එහි විශාල වර්ධනයක් පෙන්වනවා. මීට උදාහරණයක් ලෙස ස්තුප  3 ක් ඇතුලත් දඹුල්ල ලෙන් විහාරය හඳුන්වන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ චෙතිය ලෙන් විශාල ප්‍රමාණයක් තිබෙනනවා. ඉන් සමහරක් පහත දැක්වෙනවා.

  1. දඹුල්ල ලෙන් විහාරය 
  2. දෝව  රජමහා විහාරය 
  3. මරදන්කඩවල රජමහා විහාරය
  4. දනගිරිගල රජමහා විහාරය 
  5. හිඳගල රජමහා විහාරය 
  6. ඉහලගම (නාරම්මල ප්‍රදේශයේ)
  7. අල්ගම ශ්‍රී සංඝරාජ රජමහා විහාරය
  8. බඹරගල (තෙල්දෙණිය ප්‍රදේශයේ)
  9. මැද්දේපොල –  වේරමුණේ ශ්‍රී සුනන්දාරාම රජමහා විහාරය
  10. මාලදෙණිය (ගිරිඋල්ල ප්‍රදේශයේ)
  11. වාරියපොල කැබැල්ල ලෙන රජ මහා විහාරය

 

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • SILVA, ROLAND, 2004, MEMOIRS OF THE ARCHAEOLOGICAL SURVEY OF CEYLON – VOLUME X – PART II : THUPA, THUPAGHARA AND THUPA PRASADA. 1. Colombo : The Department of Archaeology.
  • BANDARANAYAKE, SENAKE, 1974, Sinhalese monastic architecture : The Viháras of Anurádhapura. Leiden : Brill.
  • මහාවංශය (සිංහල), 2010. , 1. Buddhist Cultural Center.
  • PIERIS, P.E. and LITT, D., 1917, Nagadipa and Buddhist Remains of Jaffna. Journal of the Ceylon Branch of the Royal Asiatic Society of Great Britain & Ireland. 1917. Vol. 26, no. 70.
  • GEIGER, WILHELM, 1929, CULAVAMSA BEING THE MORE RECENT PART OF THE MAHAVAMSA PART I. London : Pali text Society.
Comments