කුච්චවේලි වනයේ සැඟවුණු නීලපනිච්චන්කුලම බෞද්ධ නටඹුන් (Neelapanichchakulama Buddhist Ruins)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
Lakmal K. Baduge
By Lakmal K. Baduge

කුච්චවේලි හා ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දෙක අතර මායිමේ පිහිටි නීල පනිච්චන්කුලම වැවෙහි වැව් බැම්මේ කෙලවර කදු මුදුනතෙහි පිහිටි මෙම නටඹුන් සංකිර්ණය අනුරාධපුර මුල් යුගයට අයත් බව සිතිය හැකිවේ.

මෙම නටඹුන් කුච්චවේලියට හෝ ගෝමරන්කඩවලට අයත් වන්නේ දැයි සිතා ගැනිමට අපහසු අතර නටඹුන් පිහිටි කදු මුදුනතට යන ගමන් මග පුරාවට පිහිටි වනයේ විසිරි ඇති ලොකු කුඩා ගල් පර්වත සියල්ල හරිත පැහැයක් ගනි.

කදු මුදුනත අක්කර 10 කට වඩා පැතිරුණ සානුවක් සේ දිස්වෙන තැන තැන මදක් උස්ව ගිය මනරම් ගල් තලාවකි. මෙම පර්වතය මුදුනේ විසිරුණ බිමක පැතිර ඇති නටඹුන් අතර නිධන් සොරුන් විසින් ගර්භය හාරා වනසා ඇති පැරණි දා ගැබ් ගොඩැලි දෙකක්, පාදම් ගල් 8 ක්, ගල් කණුවක් හෝ මැකි ගිය මුරගලකට සමාන ගල් පුවරුවක්, විනාශ කරන ලද ස්පටික හුණුගලින් කරන ලද සිරිපතුල් ගලක්, ගලින් කරන ලද වඩා හොඳ තත්වයේ සිරිපතුල් ගලක් හා විනාශ කරන ලද අඩක් පමණක් දක්නට ඇති සිරිපතුල් ගල් දෙකක්, කොටසක් කැඩි ගොස් එහෙත් වඩා හොද තත්වයේ ඇති අඩි 10 ක් දිග අඩි හතරක් පමණ ඉතා විශාල ප්‍රමාණයේ මල් ආසනයක් ජලය පිරීගිය ගල් කෙමි 4 ක්, ජලය පිරි ඇති විශාල පොකුණු දෙකක් ජලය සිදිගිය ගල් කෙමි දෙකක් යුපස්ථම්භ දෙකක් හා මැකිගිය අක්ෂර සහිත පර්වත ලිපි තුනක් ‍දක්නට ලැබේ.

මුළුමනින්ම ගඩොල් යොදා ගනිමින් නිර්මාණය කරන ලද මෙම දා ගැබ් දෙකෙහි එක් දා ගැබක් කදු මුදුනතෙහි දක්නට ලැබෙන අඩි 10 ක් පමණ දිගැති අඩි 6 ක් පමණ පළලැති ජලය පිරි ඇති පළමු කුඩා ගල් කෙමියට ඉහළින් දක්නට ලැබේ එය නිධන් හොරුන් විසින් හාරා ඇත ගර්භය විනාශ කර තිබේ. දා ගැබ් ගොඩැල්ල මැද හාරා ඇති කොටසේ විෂ්කම්භය අඩි 30 ක් පමණ වේ ගැඹුර අඩි 8 ක් හෝ 10 ක් පමණ හාරා ගඩොලු ඉවත් කර ඇත. දා ගැබ පැවැති ගඩොලු වේදිකාවේ එක් කොටසක් තවමත් දක්නට ලැබේ.

දා ගැබ් ගොඩැල්ලට පහලින් පළමු ගල් කෙමිය අසල දා ගැබ හා ගල් කෙමිය අතර පෙරලි ගොස් හෝ පෙරලා දමා ඇති පාදම් ගල් තුනකි. දා ගැබ පසු කර මදක් දුර ගිය පසුව තවත් පොකුණක් හමුවන අතර ඊට සමාන්තරව ගල් තලාවේ උතුරු දෙසට ඉදිරියට ගමන් කල විට විශාල ප්‍රමාණයේ ජලය පිරි ඇති පොකුණක් හමුවේ මෙම පොකුණු දෙක අතර වම්පසට වන්නට පිහිටි ගල් තලාවේ ක්‍රි. ව. 3 – 4 සියවස් වලට අයත් අපර බ්‍රාහ්මිය අක්ෂර සටහන් බවට සිතිය හැකි මැකිගිය ශිලා ලිපි තුනක් දක්නට ඇත.

නටඹුන් පර්වතයේ මැද පිහිටි ප්‍රධාන පොකුණ අඩි 25 ක් පමණ විශ්කම්භයකින් යුත් මනාව ජලය පිරි පවතින එකකි. එම පොකුණට පහලින් වැව දෙසට වන්නට ගල් තලාවේ බෑවුමේ ඕලු මලින් පිරිගිය ගල් කෙමියකි. සමස්ථ නටඹුන් කලාපය තුලම ජලජ ශාඛ පවතින එකම ගල් කෙමිය මෙම ස්ථානය පමණි. ප්‍රධාන පොකුණට ඉහලින් අඩි 50 ක් පමණ ගිය පසුව කදු මුදුනතේ දෙවන දා ගැබ් ගොඩැල්ල හමුවේ එහි ගර්භය හාරා ඇත.

අඩි 10 ක් පමණ ගැඹුරට අඩි පහක් පමණ පලල කෙලින්ම පහලට කැණ තිබේ. මෙම දා ගැබ් ගොඩැල්ලට පහලින් ‍කැලය දෙසට වන්නට එක් යුපස්ථම්භය පෙරලි ඇති අතර දෙවන යුපස්ථම්භය පළමු දා ගැබ් ගොඩැල්ල හා මෙම දා ගැබ අතර පෙරළි ඇත. එකි යුපස්ථම්භයට අඩි 20 ක් පමණ ප්‍රධාන පොකුණ දෙසට වන්නට පිහිටි හදුනා නොගත් විශාල රුකක් පාමුල අඩි 10 ක් දිගින් යුත් අඩි හතරක් පමණ පළලැති සරල නිමාවෙන් යුත් එහෙත් එක් කොනක් කැඩි ගොස් ඇති මල් ආසනයක් දක්නට ඇත.

දා ගැබ් ගොඩැලි දෙක අතර පිහිටි යුපස්ථම්භයට පහලින් ස්පටික හුණු ගලින් නිර්මිතව තිබු එහෙත් මුළුමණින්ම විනාශ කරන ලද සිරිපතුල් ගලකි. දා ගැබේ පාදම අසලට වන්නට විනාශ නොවු ඉතා හොඳ තත්වයේ පවතින සිරිපතුල් ගලක් ළදු කැලයේ දක්නට ඇත. ඊටත් මදක් දුරින් යකුළු පහරින් දෙකඩ කරන ලද වඩා හොද තත්වයේ තිබු සිරිපතුල් ගලක අඩක් හා ඊටත් පහලට වන්නට තවත් සිරිපතුල් ගලක අඩක් දක්නට ලැබේ.

දා ගැබ් ගොඩැල්ලට පහලින් සිදිගොස් ඇති ගල් කෙමිය අසල පාදම් ගලක් දක්නට ඇත. නටඹුන් ප්‍රදේශයේ මැද පිහිටි ප්‍රධාන පොකුණට පහලින් වැව දෙසට වන්නට පර්වත බෑවුමේ පාදම් ගල් තුනක් හා මුරගලකට සමාන අඩි 4 ක් පමණ දිගැති අඩි දෙක හමාරක් පමණ පළලැති අගල් 4 ක් හෝ හයක් පමණ උසැති හදුනාගත නොහැකි ගල් පුවරුවක් පෙරලා දමා ඇත.

කාලයාගේ ඇවෑමෙන් නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්වු මෙම පුදබිම ඔවුන් අතින් වැනසි ගොස් ඇති බව පවතින නෂ්ඨාවශේෂ නිහඩව කියා පායි.

මෙම ස්ථානයට සිදුව ඇති හානිය සොයා බැලිමට මා කැටුව ගිය කුච්චවේලි කණිකාර වෙල්ලික සමුද්‍ර විහාරයේ විහාරාධිකාරි පුජ්‍ය කැප්පෙටියාවේ අරණ විහාරි හිමිට හා නැගෙනහිර ආණ්ඩුකාර සම්බන්ධිකරණ ලේකම් චින්තක විජේවර්ධනයන්ට විශේෂ ස්තුතිය හිමිවේ.

සම්බන්ධ වෙනත් පිටු

නීලපනිච්චන්කුලම බෞද්ධ නටඹුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

නීලපනිච්චන්කුලම බෞද්ධ නටඹුන් රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට  නීලපනිච්චන්කුලම බෞද්ධ නටඹුන් දක්වා
හරහා : නිලාවේලි – කුච්චවේලි
මුළු දුර : කිලෝමීටර් 55
ගතවන කාලය : පැය 1.30 + වනය තුල ඇවිදීමට ඇති කාලය.
ගත කිරිය යුතු කාලය : විනාඩි 45 – පැය 1 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com