
අරත්තන විහාරය හඟුරන්කෙත නගරාසන්නව පිහිටි අතිශය පූජනීය වූත්, බොහෝ විට හඟුරන්කෙත විසූ රාජකීයයන්ගේ විහාරස්ථානය වශයෙන් පැවතියා වූත් විහාරයයි. හඟුරන්කෙතට කිලෝමීටරයක් පමණ දකුණින් පිහිටි මෙම විහාරයේ ඉතිහාසය පිළිබඳ මුල්ම ලේඛනගත සාධක හමුවනුයේ, මෙම විහාරය සන්තක සන්නස් තුන අතුරින් දෙකකිනි.
මින් පළමුවැන්න සෙනරත් රජ සමයෙහි ක්‍රි. ව. 1613 වසරෙහි දී ප්‍රදානය කරන ලද්දකි. රජු මෙම ස්ථානයට සැපත් වූ බවත්, මුලදී මෙම විහාරයට පූජා කරන ලදුව පසුව රාජස්ථව ගියා වූ අරත්තන පිංබත්කුඹුර මෙම විහාරයට ශක වර්ෂ 1535 වැන්නේ දී පූජා කෙරෙන බවත් මෙහි සඳහන් වේ. සෙනරත් රජුට පළමු මෙම කුඹුර අරත්තන විහාරයට පූජා කොට තිබු බව කියා තිබීමෙනුත්, එය රාජස්ථව ගිය බව පැවසීමෙනුත් නිත්‍ය වශයෙන් සාක්ෂාත් වන පරිදි මෙම විහාරයේ සම්භවය සෙනරත් රාජ්‍ය සමයට පෙර කාලයක සිදු වූ බව පැහැදිලිය.
සෙනරත් රජු විසින් කරවන ලද මනහර මැදුර, වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් යළි කරවන ලද බව මන්දාරම් පුර පුවතේ සඳහන් වෙයි. මෙහි මනහර මැදුර යනු ප්‍රතිමා ගෘහය යැයි නිගමනය කළ හැකි වන බැවින්, දැන් මෙහි දක්නට ලැබෙන ප්‍රතිමාගෘහය සෙනරත් රාජ්‍ය සමයට අයත් නිමවුමක් බව නිශ්චය කිරීමට පිළිවන. සෙනරත් රජු විසින් මෙම විහාරයට පූජා කරන ලදැයි පැවසෙන අති අනර්ඝ පෙතිකඩ චිත්‍ර තුනක් විහාරය සතුව පවතී.
දෙවන රාජසිංහ රාජ්‍ය සමයේ මුල් භාගයට හෝ ඇතැම් විට සෙනරත් රාජ්‍ය සමයට අයත් මඟ සලකුණේ මෙම විහාරය පිළිබඳව කිසිවක් සඳහන් නොවීම විමතියට කරුණකි. මෙම විහාරය නිසැකවම මග සලකුණ සන්දේශ කාව්‍යයේ සන්දේශධාරකයා ගමන් ගත් මඟ අබියස පිහිටා තිබීම මීට හේතුවයි. එහෙත් හඟුරන්කෙත නගරය පසු කරන සන්දේශධාරක දූතයාට සිය වම්පසින් දිස්වන අන්කෙළිහින්නේ බෝධි වෘක්ෂය නරඹන්නැයි එහි කතුවරයා ඇරයුම් කරයි.
දැනුදු අන්කෙළිහින්න නමින් ව්‍යවහාර කෙරෙන ස්ථානය පිහිටා ඇත්තේ හඟුරන්කෙත රජයේ ඩිස්පෙන්සරියට යාබද ස්ථානයකය. රජයේ ඩිස්පෙන්සරි ඉඩමේ පිහිටා ඇති බෝගස ඇතැම් විට මඟ සලකුණේ විස්තර වන බෝ ගසම වූවා විය හැකිය. ජනප්‍රවාදයට අනුව අරත්තන විහාරයේ ආරම්භක විහාරය වූයේ අන්කෙළිහින්න බෝගස පිහිටි භුමියේය. මෙම විහාරය ආරම්භයේදී දෙව්රම් වෙහෙර නම් වූ බව එහි වැඩි දුරටත් කියවේ. දෙව්රම් වෙහෙර පොළොන්නරු සමය දක්වා දිවෙන සම්භවයක් කරා ගෙන යාමට මහාචාර්ය එච්. ජී. චාර්ල්ස් උත්සාහ කරයි.
දෙවන විමලධර්මසූර්ය රාජ්‍ය සමයෙහි මෙම විහාරයට පූජා කරන ලද ශක වර්ෂ 1638 (ක්‍රි. ව. 1716) දාතමින් යුත් සන්නසක දැක්වෙන පරිදි එවකට අරත්තන විහාරාධිපතිව සිටි භික්ෂූන් වහන්සේ, රක්ඛංග දේශයෙන් මෙහි උපසම්පදාව ගෙන ආ අවස්ථාවේ මුලින්ම උපසම්පදා වූවෙකි. උන්වහන්සේ, මෙම විහාරයේ වාසය කොට කළුරිය කළ හස සල් වෙහෙරෙහි (අස්ගිරි වෙහෙරෙහි) ගණ නායක (පදවි ප්‍රාප්ත) රාජ නාරායන ඒකනායක මහ තෙරුන් වහන්සේගේ, මුණුබුරකු වූ බව මෙම සන්නසේ වැඩි දුරටත් සඳහන් වෙයි.
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සෙනරත් රජු විසින් කරවන ලද මනහර මැදුර යළි කරවන ලද බවත් (එනම් ප්‍රතිසංස්කරණය කරවන ලද බව). විහාරස්ථාන බිමේ වූ බෝධිය විෂයෙහි අලංකාර පවුරක් කරවන ලද බවත් මන්දාරම්පුර පුවතේ සඳහන්ය. දැන් දක්නට ලැබෙන බෝධි ප්‍රාකාරය නරේන්ද්‍රසිංහයන් විසින් කරවන ලද බෝධි ප්‍රාකාරයම යැයි විශ්වාස කරනු ලැබේ. අනතුරුව රජු ගම්බිම් පුද කිරීමෙන් ද, පූජා තොරණ ඉදි කරනු පිණිස ගම්බිම් නියම කිරීමෙන් ද විහාරය සමෘද්ධිමත් කළේය.

උඩරට රාජධානියට එල්ල වූ ප්‍රහාර හා සහ දන්ත ධාතුව
සෙනරත් රජු විසින් අරත්තන විහාර සන්තක කොට පුජා කරන ලද ඉඩ කඩම් පිළිබඳ අවුල් සහගත තත්වයක් නැවත පැන නැඟුනෙන්, කීර්ති ශ්‍රී රාජසිංහ රජ විසින් එකී ඉඩකඩම් නැවත නිරවුල් කොට විහාරස්ථානයට පුජා කරන ලද්දේය. පුවතේ සඳහන් වන අන්දමට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ශ්‍රී දළදාව මැදපිටියේ (එනම් අරත්තන) අලංකාර දළදා මන්දිරයක වැඩ හිඳුවන ලද අතර දළදාව පිළිබඳ කටයුතු සම්පාදනය කරනු පිණිස කොට්ටව නම් ඇමතියෙකු පත් කරන ලදී. එතෙක් මහනුවර තැන්පත් කර තිබූ දළදාව හඟුරන්කෙත අරත්තන විහාර බිමට ගෙන ඒමට හේතු වූයේ ක්‍රි.ව. 1765 දී මහනුවරට එල්ල වූ ලන්දේසි ආක්‍රමණයයි.
ක්‍රි. ව. 1765 දී ගලගෙදර ඔස්සේ එල්ල කළ ආක්‍රමණයකින් ලන්දේසිට මහනුවර අල්ලා ගත හැකි විය. මේ සිද්ධිය නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජ සිය පිරිවරත් සමග හඟුරන්කෙතට පලා ගියේය. වෑන් ඊක් අගනුවර අල්ලා ගන්නා විට දළදා වහන්සේ සාර ධනය හා බිසවත් රට මැද වූ ආරක්ෂා ස්ථානයකට ගෙන ගොස් තිබු බව අන්ද්‍රියස් නෙල් සඳහන් කරයි.
අස්ගිරිය විහාරයේ ඇති තුඩපතක ද දළදා වහන්සේ හඟුරන්කෙත කරා ගෙන යන ලද පුවත අන්තර්ගතය. රජු සිය සාර ධනය සහ දළදාව රැගෙන හඟුරන්කෙතට පලා ගිය බවත් එතැනින් බදුල්ලට ගිය බවත් දොළපිහිල්ලේ පවසයි. මහනුවර ආක්‍රමණයේ දී ලන්දේසීන් හට දළදාව තැන්පත් කොට තිබූ හිස් දළදා කරඩුව සහ රන්සිවි ගෙය පැහැර ගැනීමේ හැකියාව සැලසුනු අතර, ඊමන් විලියම් පැල්ක් ආණ්ඩුකාරයා විසින් පසුව ඉහත භාණ්ඩ හඟුරන්කෙතට එවා තිබුණේය.
සතුරු වියවුල් සමථයකට පත්වෙත්ම, ශ්‍රී දළදාව නැවත මහනුවර කරා වැඩම වනලද නමුත්, ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය සමයේ දී සිදු වූ ඉංග්‍රීසි ආක්‍රමණ හමුවේ නැවත දළදාව, පැරණි රක්ෂා ස්ථානය වූ හඟුරන්කෙතටම රැගෙන යන ලදී. ලන්දේසින්ට විරුද්ධව අරඹන ලද සටන් වල ප්‍රතිඵල වශයෙන් 18 සියවසේ අගභාගය වන විට ඉංග්‍රීසිහු උඩරට බලය තහවුරු කර ගත්හ.
එහෙයින් ශක වර්ෂ 1746 (ක්‍රි. ව. 1802) දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දළදා වහන්සේ සතුරන්ගෙන් බේරාගනු පිණිස මහනුවරින් පළා ගිය බවත් දළදා වහන්සේ ගම්මානයේ තැන්පත් කළ අයුරුත් තත්කාලීන පුස්කොළ පොතක සඳහන් වේ. හඟුරන්කෙත දක්වා ද සතුරු බිය එල්ලවත්ම දළදා වහන්සේ කිතුල්පෙන් වෑගම ගල්ලෙන් විහාරයට වැඩම වූ අතර සතුරු බිය පහව යත්ම නැවතත් කිතුල්පෙට වැඩම වූහ. මේ වකවානුව තුළ හඟුරන්කෙත අරත්තන මැදපිටියේ විහාරය, වල්ලිවල, කුණ්ඩසාල ආදි ස්ථාන වලට ද දළදා වහන්සේ ගෙන ගිය අයුරුද එහි සඳහන්ය.
ඉංග්‍රීසි හටන නම් වූ කාව්‍ය ග්‍රන්ථයට අනුව හඟුරන්කෙත අසල මැදපිටියේ අරත්තන විහාරය වෙත ගෙන එන ලද දළදාව, ශ්‍රී වික්‍රම රාජසිංහයන් විසින් අලංකාර සදහම් මඩුවක තැන්පත් කරන ලදුව, දළදාව වන්දනා මානනය කරනු පිණිස දිනපතා මැදපිටියට යෑම සිරිතක් කොට ගත්තේය.
1818 වර්ෂයේ දී ඉංග්‍රීසිනට එරෙහිව කැරලි ගැසීමට රොක් වූ කැරලිකරුවන් දිරිමත් කරවනු පිණිස කැප්පෙටිපොල විසින් හඟුරන්කෙත දී දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලදී. එහෙත් මෙම දළදා ප්‍රදර්ශනය පවත්වන ලද්දේ මැදපිටියේ අරත්තන විහාරයේ මද යනු ස්ථිර නැත.
ප්‍රතිමා ගෘහය
මෙම විහාරස්ථාන බිමේ ඇති අනගිතම ස්මාරකය වූ කලී ප්‍රතිමා ගෘහයයි. 19 සියවසේ මුල හෝ අග භාගයේ දී ප්‍රතිමා ගෘහයට ඉදිරිපසින් එක්කරන ලද්දේ යැයි කියනු ලබන හේවිසි මණ්ඩපය හැර, ප්‍රතිමා ගෘහයේ සෙසු කොටස් 17 සියවසට අයත් බව පෙනේ. ප්‍රතිමාගෘහය මැදමාලයකින් ද මැදමාලය වටා දිවෙන භාග බිත්ති වලින් සීමා වන විවෘත බරාදයකින් හා ඉදිරිපස වූ භාග බිත්ති සහිත මණ්ඩපයකින් ද (හේවිසි මණ්ඩපය) සැදුම් ලබන අතර සම්පූර්ණ ගොඩනැගිල්ලේ දිග මීටර 14.35 ක් හා පළල මීටර 6.60 ක් බැගින්වේ.
ප්‍රතිමා ගෘහය තනා ඇත්තේ පොළව මට්ටමේ සිට සෙන්ටි මීටර 80 ක් උස් වූත්, ප්‍රතිමා ගෘහයේ පිට බිත්ති මුහුණතේ සිට සෙන්ටි මීටර 40 ක් පිටතට නෙරා තිබෙන්නා වූත් වේදිකාවක් මතය. මෙම වේදිකා මුහුණතේ ඉහළ සහ පහළ කොටස් වක් වූ සරල බොරදම් තීර වලින් යුක්ත වන අතර බොරදම්වලට මැදි වූ සිරස් ලීස්තරය විරාමයෙන් විරාමය කළ බිතු කුළුණින් සමන්විතය. මෙම වේදිකාවට මඳක් පිටතින්, ප්‍රතිමා ගෘහය වටා භූමියේ සිටුවන ලද සෙන්ටි මීටර 85 ක් බැගින් උස්වන කෙටි ගල් කුළුණු 13 ක් වේ. මුදුනෙහි කුඩුම්බි සහිත මෙම කුළුණු මැදද්දී හා මුදුනේ දී සිවුරැස් ආකාරවත් පහළ සහ ඉහළ දී අෂ්ට්‍රාකාරවත් තනා, බදාම ගල්වා අනතුරුව රතු සහ කහ වර්ණාලේප කර තිබූ බවට සාධක දක්නා ලැබේ.
මැදමාලයෙහි සෙන්ටි මීටර 70 ක් උස් වූ ආසනයක් මත පිහිටුවා ඇති උසින් මීටර 1.50 ක් වූ හිඳි බුද්ධ ප්‍රතිමාවකි. එය දෑලෙහි එකක් උසින් මීටර 2 ක් බැගින් වන විතර්ක මුද්‍රාව දරණ හිටි බුද්ධ ප්‍රතිමා දෙකකි.
හිඳි බුද්ධ ප්‍රතිමාවට පිටු පසින් පිහිටි පසුපස බිත්තියේ ප්‍රතිමාවට නොවැසෙන අවකාශ වල එක් පසෙක ඉරත් අනෙක් පස සඳත් සිතුවමට නගා ඇත්තේය. නැගෙනහිර පැති බිත්තිය සිතුවම් තීර පහකට බෙදා ඉහළම තීරයේ සුවිසි විවරණය නිරූපිත බුදු රූ දොළසකුත්, ඊට පහතින් වූ තීරයේ අතින් පියුම් ගත් සිටි රහත් රූපත්, ඊට පහතින් වු තීර තුනෙහි වෙස්සන්තර ජාතකයත් සිතුවම් අනුසාරයෙන් දක්වා තිබේ.
බටහිර පැති බිත්තිය සිතුවමි තිර හතරකට බෙදා ඉහළම තීරයේ සූවිසි විවරණය නිරූපිත බුදු රූ දොළසකුත්, පහතින් වූ ඊළඟ තීරයේ පියුම් අතින් ගත් සිටි රහත් රූපත්, පහතම තීර දෙකේ තේලපත්ත ජාතකයත් සිතුවම් කොට ඇත්තේ ය. තේලපත්ත ජාතකයේ එක් ජවනිකාවක් ලෙස යෙදෙන පෙළහරක දර්ශනය බෙහෙවින්ම සිත් ගන්නා සුළු වේ.
එහි පිළිවෙලින් රබන් ක්‍රීඩාවේ යෙදෙන්නෙක්, ගැටබෙරකරුවෙක්, නාග පෙනයක් සහිත හිස් වැස්මක් සහ වෙස් මුහුණක් පැළදි නළුවෙක්, කඩුවක් බැගින් ගත් දෙදෙනෙක්, හිසෙහි පාත්‍රයක් වැනි යමක් සමබරව තබාගත් පුද්ගලයෙක්, ඔළුවෙන් සිටගෙන පිනුම් ගැසීමට සැරසෙන නර්තකයෙක්, රාක්‌ෂ වෙස් මුහුණක් පැළඳි නැට්ටුවෙක්, දවුල් වයන්නෙක් සහ තම්මැට්ටම් වයන්නෙක් ද චිත්‍රණය වී ඇත. නැගෙනහිර බිත්තියේ සහ බටහිර බිත්තියේ ඇතුළු දෙකෙළවර එම ආසනයේ පිහිටි හිඳි බුද්ධ ප්‍රතිමාවට නමස්කාර කරන විලාශයෙන් ඇඳ ඇති සැරියුත්, මුගලන් අග්‍ර ශ්‍රාවක දෙනමගේ සිතුවම් වේ.
ප්‍රතිමා ගෘහයට පිවිසෙන ඉදිරි බිත්තියෙහි දොරටුව දෙපස විෂ්ණු දෙවියන්ගේ හා විශ්ව කර්ම දෙවියන්ගේ සිතුවම් දෙකක් ඇති අතර, විශ්ව කර්ම රුවට පහතින් ඇති සිතුවම් තීරයේ බටහිර බිත්තියේ සිට අඛණ්ඩව ගලා එන තේලපත්ත ජාතකයේ කොටසක් නිරූපිතය.
මැද මාලයට පිවිසෙන දොරටුවේ පිට පැත්ත මෑතකදී (එහි තිබෙන්නට ඇති පැරණි මකර තොරණ වෙනස් කොට) මුළුමනින්ම නවීකරණය කොට අලුතින් මකර තොරණක් සහ සිතුවම් ද එක්කොට ඇත්තේ ය. එසේ වුවද දොරටුවේ යටෙලිපත ලෙස යෙදෙන ශිලාමය පියගැටෙහි ඉදිරි මුහුණත ලියවැල් කැටයමකින් සමන්විතය.
ප්‍රතිමා ගෘහයේ ඉදිරිපස ඇති හේවිසි මණ්ඩපයේ ඇතුළු කොටස, ප්‍රතිමාගෘහය අයත් මුල් කාලයටම අයත් බැව් පෙනෙන අතර, ඉදිරි පස කොටස පමණක් 19 සියවසේ දී (හෝ ඇතැම් විට 18 සියවසේ අවසාන භාගයේ දී) එකතු කරන ලද්දක් බව පෙනේ. මෙම මණ්ඩපයේ පුරාණතම කොටස බව පෙනෙන අභ්‍යන්තර කොටසේ දෙපස කැටයම් සහිත දාරුමය කුළුණු දෙකක් වෙයි.
ඇතුල්මාලයේ පිට බිත්ති මුහුණතේ සිට මීටර 5.45 ක් පමණ ඉදිරියට ප්‍රක්ෂේපණය වන හේවිසි මණ්ඩපයේ, ඉදිරිපස සහ නැගෙනහිර පාර්ශවයේ දොරටුවක් බැගින් වේ. ඉතිරි කොටස නිම වී ඇත්තේ භාග බිත්ති වලින් නැඟෙන ගල්, ගඩොල් හෝ මැටි යොදා තැනූ වෘත්තාකාර කුළු සහිත කොටස් වල බිත්ති පමණක් අර්ධ වෘත්තාකාර ආරුක්කු මට්ටම දක්වා නංවා ඇත්තේය.
හේවිසි මණ්ඩපය
හේවිසි මණ්ඩපයට පිවිසීම සඳහා එහි නැගෙනහිරින් යොදා ඇති පියගැට පෙළ පාමුල දැන් පසින් යට වී තිබීමේ හේතුවෙන් නොපෙනෙන්නා වූ සඳකඩ පහනකි. පියගැට පෙළට අයත් ශිලාමය පඩිවල ඉදිරි මුහුණත් අලංකාර ලියවැල් රටා වලින් සංගෘහිතය. මෙම පියගැට පන්තියෙන් ප්‍රවේශය සැලසෙන දොරටුවේ දෙපස, මණ්ඩපයේ භාග බිත්ති වලට ගිල්වන ලද, ඉහළට ඔසවා ගත් අතකින් කඩුවක් බැගින් දරන රාක්ෂ රූ නිරූපිත අතිශය අනර්ඝ ගල් පුවරු දෙකක් වේ. පළලින් සෙන්ටි මීටර 75 ක් වූත්, උසින් මීටර 1.10 ක් බැගින් වුත් මෙම ගල් පුවරු දෙක, ඒවා ගලින් නිම වූ බව නොපෙනෙන පරිදි කහ පැහැයෙන් වර්ණ ගන්වා, රක්ත වර්ණ රේඛා වලින් විස්තර දක්වා තිබූ බවට සාධක දැනුදු ශේෂව තිබෙයි.
ඇතුළු මාලය වටා දිවෙන භාග බිත්ති සහිත සෙන්ටි මීටර 85 ක් පමණක් පළලැති පටු බරාදයට ප්‍රවේශවනු පිණිස, ප්‍රතිමාගෘහයේ නැගෙනහිර පැත්තෙහි පියගැට පන්තියක් වේ. මෙම පියගැට පන්තිය සඳහා යොදා ඇති ශිලාමය පඬි අතරින් ඉහළම වූ පඩියේ ඉදිරි මුහුණතේ මධ්‍යයේ මලක් ද එහි සිට දෙපසට ගලා යන ලියවැලක් ද වේ.
පඩියෙහි දෙකෙළවර වූ සිවුරුස් පනේල ද්වය තුළ දෑතින් මල් දෙකක් බැගින් ගත් නාරිලතා රුවක් බැගින් වේ. මෙම පියගැට පුවරුවේ යට භාගය ඊට පහතින් වූ පියගැට පුවරුවට ආවරණය වී තිබේ.
යට පියගැටෙහි යෙදෙන කැටයම් ඉහළ පියගැටවල කැටයම්වලට වඩා නොගැඹුරු සහ මඳක්, වෙනසකට ඇත්තේ පියගැටෙහි දෙපස ඇති සිවුරුස් පනේල දෙක තුළ නාරිලතා රූ වෙනුවට, ගොඩනැගිල්ලේ බර දරා සිටිනාකාරයෙන් දෑත් ඉහළට යොමා සිටින කාන්තා රූ දෙකක් යොදා තිබීමයි.
පියගැට පෙළේ මීළඟ පියගැට පුවරුවේ මුහුණත මධ්‍යයෙහි මලක් ද ඉන් ඇරඹි දෙපසට විහිදෙන මල් සහිත ලියවැල් ද, දෙකෙළවර පනේල දෙකෙහි දෑතින් පුෂ්ප දෙකක් බැගින් දරන නාරිලතා රුවක් බැගින් ද වේ. පහතින්ම වූ පියගැට පුවරුවේ ඇති ලියවැල් රටා, දෙපස වූ මකර මුව දෙකකින් ඇරඹි මධ්‍යයෙහි දී එකිනෙක මුණ ගැසෙයි.
අනතුරුව අලංකාර ලෙස කැටයම් කළ මීටර 2.10 ක් පුළුල් වූත්, මීටර 1.50 ක් ඉදිරියට නෙරා යන්නා වූත් සඳකඩ පහනකි. සඳකඩ පහනේ මධ්‍යය වෘත්තය ලියවැල් රටාවකින් ගවසා එහි බාහිර වටය පළාපෙති තීරයකින් සීමා කොට තිබේ. වෘත්තයට බාහිරින් වූ තීරයෙහි ලියවැල් රටාවකි. මීටද පිටතින් වූ තීරය සැදුම් ලබන්නේ සඳකඩ පහනේ දෙකෙළවර වූ මකර මුව දෙකකින් නික්ම ඉදිරියට ගලාවිත් මධ්‍යයෙහි දී, සාම්ප්‍රදායික උද්භිද රටාවකින් කෙළවර වන ලියවැල් යුග්මයකිනි.
මෙම සදකඩ පහණ මූලික ආකෘතිය අතින් ත්‍රිකෝණාකාර හැඩයකට සමීපය. මෙම අලංකාර පියගැට පන්තිය ප්‍රතිමා ගෘහය තැනූ මුල්ම කාලයේ තනන ලද්දක් ද යනු බෙහෙවින්ම සැක සහිතය. මක් නිසාද යත් ඉහත දී සඳහන් කළ පරිදි පියගැට පෙළේ ඉහළම පඩියේ පහත අර්ධය, ඊට පහතින් වූ පියගැට පුවරුවට වැසී තිබීමත්, ඉහළම පියගැට පෙළේ මතුපිට දෙපස උළුවස්සක් සව් කිරීමට ආධාරක වූ කුඩුම්බි සිදුරු දෙකක් දක්නට ලැබීමත්, බරාදයට පිවිසීම සඳහා අතුරු පියගැට පෙළක් යෙදීම වාස්තු විද්‍යානුකූලව නොගැළපීමත් යන කරුණු හේතුවෙනි. තවද මෙම වෙනස් කිරීම මහනුවර අවධියේම යම්කිසි අවස්ථාවක, බොහෝ විට සෙනරත් රජු විසින් කර වූ මෙම ප්‍රතිමා ගෘහය නැවත කරවූ බව කියන නරේන්ද්‍රසිංහ රජුගේ නිමවුමක් වූ බවත්, ඔහු මෙම ස්ථානයේ තිබු හෝ බැහැරින් ගෙන එන ලද ශිලා කර්මාන්ත යොදා මෙම පියගැට පෙළ නිමවීමේ හේතුවෙන් මෙම වාස්තු විද්‍යානුකූලව නොගැළපීම උද්ගත වන්නට ඇති බවත් අනුමාන කළ හැක්කේ ය.
මෙම පියගැට පන්තිය ඔස්සේ නැඟුණු වහාම, බරාඳයේ බාග බිත්තිය අතරින් විවර වූ දොරටුවේ දෙපස, භාග බිත්ති වලට ගිල්වන ලද සිංහ රූපයක් බැගින් වූ කැටයම් ගල් පුවරු දෙකකි. බරාදයේ භාග බිත්තියෙන් නැගී පියස්සට රුකුල් දෙන පේකඩ සහිත කුළුණු 14 ත් හේවිසි මණ්ඩපය තුළ ඇති කුළුණු ද මේවායෙහි සිවුරැස් කොටස් වළ යෙදූ පනේල තුළ හේරුණ්ඩ, ගුරුළු, නරසිංහ, ඇත්කඳ ලිහිණි, දිය කඳුරු, හංස, ගජසිංහ, සැවුල් හා තවත් පක්ෂි වර්ග නිරූපිත කල්පිත සහ අර්ධ කල්පිත රූප ඉතා සියුම් ලෙස කැටයම් කොට තිබේ.
මහනුවර අවධියේ දාරුමය කැටයම් ශිල්පය පිළිබඳ මා හැඟි ආදර්ශකයන් වන මෙම සත්ව රූපවලට අමතරව, කුළුණුවල සෙසු කොටස් එනම් කුළුණේ ඉහළම කොටසේ පැති හතර සාම්ප්‍රදායික පක්ෂි රුවක් බැගින් (හංස?) යෙදීමෙන් ද, පහත අවකාශ උද්භිද රටා සහ ජ්‍යාමිතික රටාවන්ගෙන් ද අලංකාර කර තිබේ. බොහෝ කැටයම් මඳ වශයෙන් ක්ෂයව ගොස් ඇතත්, මේවායෙහි සියුම් විස්තර පවා ඉදිරිපත් කිරීමට ශිල්පියා සමත්ව ඇති බව පැහැදිලි ව පෙනෙන්නට ඇත.
ප්‍රතිමා ගෘහයට නැගෙනහිර දෙසින් දිග පළලින් මීටර 8.50 x 5.50 බැගින් වන පොහොය ගෙයක් වේ. ආරම්භක කාලය අප්‍රකට මෙම ගොඩනැගිල්ලද මහනුවර රාජධානි සමයේ නිමවුමක් බැව් ස්ථිරය. පොළව මට්ටමේ සිට සෙන්ටි මීටර 90 ක් උස් වූ සෙන්ටි මීටර 45 ක් ගොඩනැගිලි බිත්තියෙන් පිටතට නෙරා ඇති වේදිකාවක් මත තනා ඇති පොහොය ගෙහි ඉදිරිපස, මීටර 1.45 ක් පුළුලැති අනාවෘත්ත පටු ආලින්දයකි. පොහොය ගෙය තුළට පිවිසීම සඳහා සුර්ය වංක හැඩැති උඩෙලි පතක් සහිත කැටයම් රහිත දැව උළුවස්සකින් යුත් ද්වාරයකි. ආලින්දය ඉදිරි පස වෘත්තාකාර කුළුණු සතරකි. ඉදිරියෙහි වන පොහොය ගෙය වටා ඊට තරමක් පිටතින් පොළොවෙහි සිටුවා ඇති, සෙන්ටි මීටර 90 ක් බැගින් උස්වන සිවුරැස් ගල් කුළුණු හතරක්ද, ප්‍රතිමා ගෘහය වටා දකිනා ලැබෙන ආකාරයේ සිවුරැස්වුත්, අෂ්ටාකාර වූත් කුළුණු අතන ද දකිනා ලැබේ. සිවුරැස් සහ අෂ්ටාකාර කුළුණු ප්‍රතිමා ගෘහය වටා වූ කුළුණු මෙන්ම බදාම යොදා වර්ණාලේප කොට තිබිණ. එයින් ප්‍රතිමා ගෘහය වටා වූ කුළුණු මෙන් නොව, මුදුනෙහි කුඩුම්බි සහිත කුළුණු මෙහි ඇත්තේ දෙකක් පමණි.
පොහොය ගෙය
ප්‍රතිමාගෘහය සහ පොහොය ගෙය සහිත මළුවේ උතුරු සහ නැගෙනහිර පැතිවල ඇති පනා බැම්ම පුරාණ නිමවුමක් බැව් කියනු ලැබේ. ඉහළින් වූ මළුවේ සිට විහාර මළුවට ප්‍රවේශය සැලසුණේ උතුරු පනා බැමීම මධ්‍යයෙන් යෙදු පියගැට පත්තියකිනි. මෙම පියගැට පන්තිය දෙපස, පනා බැම්මට ගිල්වන ලද රාක්ෂ රූ කැටයමට නැඟු විශාල ප්‍රමාණයේ ගල් පුවරු දෙකක් වේ. පුළුළින් මීටර 1.05 ක් සහ උසින් මීටර 1.50 ක් වූ මෙම කැටයම් පුවරු ප්‍රතිමාගෘහයට සම්බන්ධව ඇති රාක්ෂ රූපමණටම කලාත්මක නිර්මාණ වශයෙන් අගය කළ හැකිවාක් මෙන්ම ප්‍රමාණයෙන් හැරෙන්නට ස්වරූපයෙන් ඒවාට බෙහෙවින්ම සමානය.
අරත්තන විහාරස්ථාන භුමිය තුළ පැරණි ගොඩනැගිලිවලට අයත් නෂ්ටාවශේෂයන් වූ ශිලා කර්මාන්ත, ඒවායේ මුල් පිහිටුමෙන් ගිලිහී තැන තැන විසිරි තිබීම, මෙම ස්ථානය දැන් දක්නට ලැබෙනවාට වඩා පුරාණයේ දී ගොඩනැගිලි ආදියෙන් ආඪ්‍යව පැවති බවට සාධකයක් සේ ගත හැක. එපමණකුදු නොව මෙම ස්ථානයේ අතීත සමෘද්ධිය පිළිබඳ තත් වූ පරිද්දෙන් නොවන වැටහීමක් ලබා ගැනීමට ද මෙම සාධක ප්‍රමාණවත් ය. විහාරස්ථාන බිමේ තවමත් නොවෙනස්ව පවත්නා තවත් ස්මාරකයක් නම්, කෙළවර මකර මුවක් ආකාරයෙන් තැනූ ගල් පිහිල්ලක් සහිත ස්නාන ස්ථානයයි.
පෙතිකඩ චිත්‍ර
අරත්තන විහාරය සන්තකව අතිශය අනර්ඝ වූත්, පරිණත කලා කෞශල්‍යයක් ප්‍රකට කරන්නා වූත් පෙතිකඩ සිතුවම් තුනක් තිබේ. මේවා සෙනරත් රජුගේ පරිත්‍යාගයන් බැව් සාමාන්‍යයෙන් විශ්වාස කරනු ලැබේ. මෙම පෙතිකඩ චිත්‍ර වලට විෂය වන සිද්ධීත්, සිතුවම් ශෛලියත් උඩරට සමයට අයත් විහාර බිතු සිතුවම් වලට බොහෝ දුරට සමය. එහෙත් බිත්තියකට වඩා අතිශය කුඩා වූ පසු තලයක් මත සිතුවම් කරණයේ යෙදෙන්නට සිදු වීමත්, සාමාන්‍යයෙන් විහාර ගෙයක බිත්ති මත අඳිනු ලබන්නා වූ තේමාවන් බොහොමයක් මෙම පෙතිකඩ සිතුවම් තුනට ඇතුළත් කිරීමට අවශ්‍ය වීමත් යන කරුණු වල නිසඟ ප්‍රතිඵලය වූයේ, විහාර බිතු සිතුවම් හා සන්සන්දනාත්මකව ඉතා කුඩා ඉඩක් තුළ මේ සිද්ධි හැමෙකක්ම අතිශය කුඩා පරිමාණයකට දැක්වීමට සිදු වීමයි. එහෙත් එහි ප්‍රතිඵලය මනස්කාන්ත විය. ඉඩකඩ ඉතා සීමිත වුවද විහාර බිතු සිතුවමක එන සියලුම විස්තර ඉතා සියුම් ලෙසත්, කිසිදු අඩුවක් නොමැති ලෙසත් වේවායෙහි සිත්තම් කිරීමෙහි ශිල්පීහු සමත් වූහ. සිතුවම් කරණය උදෙසා භාවිත කොට ඇත්තේ රතු, කහ, නිල්, කලු, සුදු යන වර්ණත්, එම වර්ණවල අතුරු ප්‍රභේදයනුත් ය.
පළමු පෙනිකඩ ලෙස මෙහිලා විස්තර කෙරෙන පෙතිකඩ මෙම පෙතිකඩ තුන අතරින් වඩා අනර්ඝ වූත්, හොදින්ම සුරැකිව තිබෙන්නාවුත් පෙතිකඩ වේ. උසින් මීටර 2.60 ක් පමණ වන්නා වුන්, පුළුලින් මීටර 2.04 ක් වුන් මෙම පෙතිකඩේ ඉහළ මධ්‍ය කොටසේ අලංකාර මකර තොරණක් අරා වැඩ හිඳින බුදුන් වහන්සේ ගේ රුවක් වේ.
මකර තොරණට ඉහළින් ශක්‍ර, බ්‍රහ්ම, විෂ්ණු ඇතුළු දෙව්වරු සදෙනෙක් ද මකර තොරණ දෙපස චාමරධාරී දෙව් රූ දෙකක් ද වේ. මකර තොරණ තුළ හිඳින බුදුන් සිය දකුණතින් විතර්ක මුද්‍රාව දරන්නේය. බුදුරුව සහිත පනේලයට දෙපසින් වූ සිරස් තිර දෙක නැවත තිරස් තීර වලට බෙදා ජාතක කතා දේවවයක් සිතුවම් කොට තිබේ. මෙකී ජාතක කතා ද්වයටත්, බුදුරුව සහිත පනේලයටත් යටින් වූ සම්පූර්ණ ඉඩ පාවිච්චි කොට තිබෙන්නේ වෙස්සන්තර ජාතකය ඉතා විස්තරාත්මකව දැක්වීම විෂයෙහිය. සෙන්ටි මීටර 13 ක් පමණ පුළුල් වූ තිරස් තීර 9 කට බෙදා ඒ තුළ ඇඳ ඇති මෙම ජාතක කතා සිතුවම උඩරට සිතුවම් කලාවේ උචිච්චතම පරිණත භාවය ප්‍රදර්ශණය කරන්නා වූ මාහැඟි නිර්මාණයක් වේ.
දෙවැනි පෙතිකඩ විශිෂ්ටත්වය අතින් පළමු පෙතිකඩ තරම් විශිෂ්ට ගණයේ පෙතිකඩ චිත්‍රයක් ලෙස දැක්වීමට එය බාධා පළමුවැන්න තරම් හොඳින් සුරක්ෂිතව ද නැත්තේ ය. පළලින් මීටර 1.47 ක් ද උසින් මීටර 2.80 ක්ද වන්නා වූ මෙය තිරස් පනේල තුනකට බෙදා මීටර 1.27 ක් පළල් වූ ඉහළම පනේලය තුළ දේවතාරාධනය සිතුවම් ගත කොට තිබේ. අහසෙහි සහ පොළවෙහි නමස්කාර ලීලාවෙන් සිටින්නා වූත්, හිඳින්නා වූත් දෙවිවරුන් 18 දෙනෙකු පිරිවරා සිටින බෝසතුන් අලංකාර තෙමහල් පහයක මකර තොරණක් තුළ වැඩ හිඳින්නේ ය. මීට පහතින් වූ සෙන්නන්ටි මීටර 90 ක් පුළුල් වූ පනේලයෙහි සැරියුත්, මුගලන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම සහ තවත් ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් විසින් පිරිවරන ලද වජ්‍රාසනාරූඪ බුදුන් වහන්සේගේ රුවකි. උන්වහන්සේ සිය දකුණතින් විතර්ක මුද්‍රාව දරන සේක. මීට පහතින් වූ, පෙතිකඩේ පහළම කොටස තිරස් තීර දෙකකට බෙදා ඉන් සෙන්ටි මීටර 24 ක් පළල් වූ ඉහළ තීරයේ සාම ජාතකය බැව් සිතිය හැකි ජාතක කතාවකුත්, සෙන්ටි මීටර 25 ක් පුළුල් වූ පහළ තීරයේ වෙස්සන්තර ජාතකයෙන් අංශු කිහිපයක් දක්වා තිබේ.
පළලින් මීටර 1.46 ක් වූත්, උසින් මීටර 2.55 ක් වුත් තෙවැනි පෙතිකඩ ද ශිල්ප කෞශල්‍යය අතින් දෙවැනි පෙතිකඩට සමවන්නේ ද, පළමු පෙතිකඩ තරම් හොඳින් සුරක්ෂිතව නොමැත්තේ ද වේ. මෙය ප්‍රධාන කොටස් හතරකින් සංගෘහිතය. සෙන්ටිමීටර 17 ක් බැගින් පුළුල් වූ ඉහළම තීර දෙකෙහි සොළොස්මස්ථාන නිරූපණයව තිබේ. ඊට පහතින් වූ සෙන්ටි මීටර 30 ක් පළලැති තීරයේ සිවු බුදුවරුන්ගේ රූපය. එක් එක් බුදුරුවක් දෙපස උන්වහන්සේලා පිරිවරා නමස්කාර ලීලාවෙන් සිටින ශ්‍රාවක රූ දෙකක් බැගින් වේ. වඩා විශාල වූ මීටර 1.76 ක් උස් වූ පටු පනේලය වෙන්කොට ඇත්තේ මකර තොරණක් අරා විතර්ක මුද්‍රාව දරමින් වැඩ හිඳින බුදුන් වහන්සේ නිරූපණය කිරීම විෂයයෙහිය. මකර තොරණේ ඉහළ දෙපස ශක්‍ර, බ්‍රහ්ම, විෂ්ණු ආදී දෙවිවරු සදෙනකි. මකර තොරණ දෑලෙහි චාමරධාරී දිව්‍ය රූප දෙකකි. පෙතිකඩේ සෙන්ටිමීටර 25 ක් පුළුළැති පහළම තීරයේ වෙස්සන්තර ජාතකය සංක්ෂේපයෙන් දක්වා තිබේ.




මූලාශ
- Dissanayake, S. B. (1997). දියතිලක නුවර : පැරණි ස්මාරක හා ස්ථාන. Department of Archaeology, Sri Lanka.
සම්බන්ධ වෙනත් පිටු
හඟුරන්කෙත අරත්තන රජමහා විහාරය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
හඟුරන්කෙත අරත්තන රජමහා විහාරය ගමන් මාර්ගය
| මහනුවර සිට අරත්තන විහාරයට යන මාර්ගය |
| නමුත් : හාරගම දුර : 30 km ගමන් කාලය : පැය 1 යි රිය පැදවීමේ උපදෙස් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)
z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)


