
Source : Loris
කොටියන් බොහෝ දුරට රාත්‍රියේදී ක්‍රියාශීලී වන නමුත්, ඔවුන් උදෑසන, සවස් කාලය සහ දිවා කාලය තුළ ද දැකිය හැකිය. වෙනත් රටවල සිටින කොටියන් මෙන් නොව, ශ්‍රී ලංකා කොටියා (Panthera pardus kotiya) තම ගොදුර කලාතුරකින් ගස්වලට ඔසවා ගෙන යයි. මෙයට හේතුව වන්නේ ඔවුන් දිවයිනේ ප්‍රධාන විලෝපිකයා වීම සහ ඔවුන්ට පහසුවෙන් ගොදුරු සොයාගත හැකි වීමයි.
කොටියන් සාමාන්‍යයෙන් මිනිසුන්ට පහර දෙන්නේ ඔවුන් හදිසියේ බියට පත් වුවහොත්, තර්ජනයක් දැනුණහොත් හෝ තුවාල වී සිටියහොත් පමණි. එසේ වුවද, අනෙකුත් විලෝපිකයන් මෙන්, ඔවුන් මිනිස් ලේවලට පුරුදු වුවහොත්, ඔවුන් මිනිසුන්ව ගොදුරු ලෙස සක්‍රියව සොයා යාමට ඉඩ ඇත.
ශ්‍රී ලංකා ඉතිහාසයේ මිනිස් මස් කෑ කොටියන් සටහන්වන්නේ ඉතා ස්වල්ප දෙනෙකි.
පුනානියේ මිනී කන කොටියා
පුනානි ප්‍රදේශයේ සිටි මිනිසුන් මැරූ කොටියා ශ්‍රී ලංකාවේ වාර්තාගත ඉතිහාසයේ සිටි අතිශයින්ම භයානක මිනිස් විලෝපිකයෙකු ලෙස සැලකේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේනේ නගරයට වයඹ දෙසින් කිලෝමීටර් 15 ක් පමණ දුරින් පිහිටි පුනානි ගම්මානය, මාස හයක් ඇතුළත අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකුගේ ජීවිත බිලිගත් මෙම කොටියා නිසා මහත් බියට පත්වී තිබිණි. සමහරුන්ගේ මතය වන්නේ මෙම කොටියාගේ සැබෑ ගොදුරු සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි වුවද එය නිවැරදිව ගණන් බලා නොමැති බවයි (විල්සන්, 1958).
1924 වර්ෂයේදී පුනානි අවට වනාන්තර මාර්ගවල ගමන් කරමින් සිටි පුද්ගලයින්ට කොටියෙකු පහර දෙන බවට ආරංචි පැතිර ගියේය. මුලින්ම එක් අයෙකු මිය ගිය අතර පසුව තවත් අයෙකු සහ තවත් අයෙකු වශයෙන් සෑම ගොදුරක්ම වන ප්‍රදේශයට ඇදගෙන ගොස් කොටියා ආහාරයට ගන්නා ලදී. එකල වාකනේරි හැරවුමේ සිට පුනානි දක්වා වූ සැතපුම් තුනක මාර්ගය රටේ බියකරුම මාවත බවට පත්විය.
මෙම කොටියාගේ පළමු හඳුනාගත් ගොදුර වූයේ කොන්ත්‍රාත්කරුවෙකු වෙනුවෙන් ගවයන් බලා ගනිමින් සිටි තරුණ මුස්ලිම් පිරිමි ළමයෙකි. ඔහු වැස්සෙන් ආරක්ෂා වීමට ඔහු ගෝනියක් පොරවාගෙන සිටි අතර, නොදැනුවත්වමකොටියාට පහසු ඉලක්කයක් බවට පත් විය. කොටියා මේ ස්ථානයට මුලින් පැමිණියේ ගව පැටවෙකු දඩයම් කිරීමට විය හැක. තම පුතා කොන්ත්‍රාත්කරු විසින් ඝාතනය කර ඇතැයි සිතූ එම දරුවාගේ දෙමාපියන් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කොන්ත්‍රාත්කරු අත්අඩංගුවට ගැනිණි. කෙසේ වෙතත්, කොටියෙකුගේ ප්‍රහාරයක පැහැදිලි සලකුණු සහිතව එම පිරිමි ළමයාගේ සිරුර සොයා ගැනීමෙන් ඔහුගේ සැබෑ ඉරණම අනාවරණය විය.
ඉන් ටික කලකට පසු, තවත් මිනිසෙකු ඒ අසලදී මරා දමන ලද අතර, කොටි ප්‍රහාර දිගින් දිගටම අනපේක්ෂිත ලෙස සිදු විය. ඇතැම් විට සති ගණනක් කිසිදු සිද්ධියක් වාර්තා නොවූ අතර, පසුව කොටියා ඉතා කෙටි කාලයක් තුළ නැවත නැවතත් එම කැලෑ මාර්ගයේ ගමන් ගත් මිනිසුන්ට පහර දුන්නේය. එහි ගොදුරු වූවන් අතර දෙමළ තැපැල්කරුවෙකු, මාර්ග අලුත්වැඩියා සේවකයෙකු සහ ගැල් කරුවන් වූහ.
මෙම කාලය තුළ බ්‍රිතාන්‍ය දඩයම්කරුවන් කිහිප දෙනෙක් මෙම කොටියා සොයා මරා දැමීමට උත්සාහ කළහ. ඉන් පසු කෙටි කලකට ප්‍රහාර නතර වූ අතර, එක් දඩයම්කරුවෙකු සාර්ථක වූ බවට අනුමාන විය . කෙසේ වෙතත්, මාසයක් පමණ ගතවීමෙන් පසු, දුම්රිය මාර්ගය අසලදී කොටියා තැපැල්කරුවෙකුට පහර දෙන ලද අතර, එමගින් එම මෙම මිනී කන කොටියා තවමත් ජීවතුන් අතර සිටින බව ඔප්පු විය.
පළපුරුදු දඩයම්කරුවෙකු වූ රෝපර් ෂෙල්ටන් අගාර් මුලින් එළුවෙකු යොදා කොටියා ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කළ නමුත් එළුවා නිහඬව සිටීම නිසා ඔහුගේ උත්සාහය අසාර්ථක විය. ඉන්පසු ඔහු තාවකාලිකව මෙම දඩයම අත්හැරියේය. දෙවන තැපැල්කරුවා මරා දැමූ විට, අගාර් සිටියේ කඳුකර ප්‍රදේශයේ දඩබ්බර ඇතෙකු පසුපස හඹා යමිනි. නැවත කොටි ප්‍රහාරයක් එල්ල වූ බව ඇසූ ඔහු අවසන් මිනීමැරුමෙන් පැය 29 ක් වැනි කෙටි කාලයකින් මඩකලපුවට පැමිණියේය.
කොටියාගේ භීෂණය අවසන් කිරීමට තීරණය කළ අගාර් තැපැල්කරුවාගේ මළ සිරුර අසල සැඟවී සිටියේය. කෙසේ වෙතත්, ඔහු ගසක මුදුනේ වේදිකාවක් සූදානම් කරමින් සිටියදී, කොටියා නිහඬව එම ගොදුර වනය තුළට තවත් ඇදගෙන ගියේය. අධෛර්යමත් නොවූ ඔහු තවදුරටත් එය පසුපස ගොස්, මළ සිරුර තිබූ නව ස්ථානය අසල නැවතත් වේදිකාවක් පිහිටුවීය. මෙවර ඔහුගේ ඉවසීම සාර්ථක විය. කොටියා නැවත තැපැල්කරුවාගේ සිරුර ආහාර ගැනීමට පැමිණි විට, අගාර් වෙඩි තැබූ අතර, මෙවර ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රසිද්ධ මිනීමරු කොටියාගේ ජීවිතය අවසන් විය.
අනාගත පරපුර ගැන සිතූ අගාර් එම කොටියාගේ හම ජාතික කෞතුකාගාරයට පරිත්‍යාග කළ අතර, එය අද දක්වාම ප්‍රදර්ශනය කෙරේ.
කෝමාරි මිනීකන කොටියා
කෝමාරි යනු පොතුවිල් සිට උතුරට කිලෝමීටර් 15 ක් පමණ දුරින් කෝමාරි කලපුව සහ මුහුද අයිනේ පිහිටි කුඩා ගම්මානයකි. 1936 දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි මෙම නිස්කලංක ගම්මානය මිනීමරු කොටියෙකුගේ ග්‍රහණයට හසු විය. පළමු ගොදුර වූයේ මහලු කාන්තාවක් වන අතර, ඇගේ සපා දැමූ හිස පසුව සොයා ගන්නා ලදී. පසුව කොටියා ගම්වැසියෙකුගේ නිවසකට ඇතුළු වූ නමුත් බියට පත් වූ පදිංචිකරුවාට කිසිදු හානියක් නොමැතිව පැන යාමට හැකි විය. දින කිහිපයකට පසු කොටියා නැවතත් පහර දී තවත් කාන්තාවක් මරා දැමීය. මෙවර කොටියා සිරුර කැළයට ඇදගෙන නොගිය අතර නැවත ආහාර ගැනීමටද පැමිණියේ නැත.
මේ භීෂණය අවසන් වූයේ මහනුවරින් පැමිණ එම ප්‍රදේශයේ වතුයායක් පිහිටුවීමට පැමිණි පුරෝගාමියෙකු වූ ක්ලෙමන්ට් බර්තොලමියුස් නම් අයට මෙම මෘගයා හමුවීමෙනි. කලපුවේ මුරුගන් තේරු කොටස දිගේ ඇවිදිමින් සිටියදී ඔහුට පිටුපසින් යමක් සිටින බවක් දැනුනි. හැරී බැලූ ඔහුට විශාල කොටියෙකු දැකගත හැකි විය – ඔහුට නිසැකවම මේ මිනීමරු කොටියා බව ප්‍රතක්ෂ විය. පළපුරුදු දඩයම්කරුවෙකු වූ ක්ලෙමන්ට් ක්ෂණිකව ඉලක්ක කර කොටියාට වෙඩි තැබූ අතර, එමගින් මෙම කොටියාගේ භීෂණය අවසන් විය.
පොත්තන මිනීකන කොටියා
1950 ගණන්වලදී, දකුණු ශ්‍රී ලංකාවේ කතරගමට යන වන්දනාකරුවන්ට පහර දීමට කොටියෙකු පටන් ගත්තේය. පසුව “පොත්තන මිනීමරු කොටියා” ලෙස හැඳින්වූ මෙම දුර්ලභ විලෝපිකයා පොත්තන ප්‍රදේශයේ ජීවිත කිහිපයක් බිලිගත්තේය. කෙසේ වෙතත්, ප්‍රහාර ආරම්භ වූ ආකාරයටම හදිසියේම, කිසිදු පැහැදිලි කිරීමකින් තොරව එම පහරදීම් නතර වූ අතර, එම මිනීමරු කොටියා නැවත කිසි දිනෙක දැකගත නොහැකි විය.
ලේනම කොටියන්ගේ පුරාවෘත්තය
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ යාළ ජාතික වනෝද්‍යානය අසල පිහිටි දුර බැහැර ගම්මානයක් වන ලේනම, දැනට වඳ වෙමින් පවතින වැද්දා ප්‍රජාව සහ අද්භූත වාමන ජන වර්ගයක් වන පුරාවෘත්තගත නිට්ටෑවන් සමඟ ඇති සම්බන්ධය නිසා ඓතිහාසික වශයෙන් වැදගත් වේ.
ප්‍රවාදයට අනුව, නිට්ටෑවෝ කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වූ අතර, ගුහාවල හෝ කොළවලින් සෙවිලි කරන ලද ගස් වේදිකාවල නිදාගත් අතර දඩයම් කිරීමෙන් ජීවත් වූහ. ඔවුන් කුරිරු වූ බවත්, දිගු නියපොතු වලින් තම ගොදුරු ඉරා දමා අභ්‍යන්තර අවයව අනුභව කළ බවත් කියනු ලැබේ. ඔවුන් සමඟ සහජීවනයෙන් සිටි වැද්දෝ ඔවුන් නිරන්තර තර්ජනයක් ලෙස සැලකූහ.
ලේනාම වැද්දන් සහ නිට්ටෑවන් අතර අවසන් ගැටුමක් පිළිබඳ ජනප්‍රවාදයක් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස වැද්දන් අවසන් නිට්ටෑවන් පිරිස ගුහාවක් තුළ සිර කළහ. ඔවුන් ගුහාවේ දොරටුව අතු රිකිලිවලින් වසා දමා දින තුනක් ගිනි තබා අවසන් නිට්ටෑ වර්ගයා විනාශ කළහ .
තවත් ප්‍රාදේශීය ජනප්‍රවාදයකින් කියැවෙන්නේ යම් කාලයකට පසු කතරගමට වන්දනාවක (පාද යාත්‍රාව) ගිය ලේනම වැද්දන් පිරිසක් ගැනයි. ආපසු පැමිණි පසු ඔවුන් තම අත්දැකීම් විස්තර කිරීමට උත්සාහ කළ නමුත් අනෙක් අය නැවත රඟ දැක්වීමක් ඉල්ලා සිටියහ. උත්සවයේ පූජනීය ගින්න අනුකරණය කිරීම සඳහා ඔවුන් දින පහක් සත්ව තෙල් දහනය කළහ. අවසාන දිනයේදී තෙල් අවසන් වූ පසු ඔවුන් ඒ සඳහා ඌරු තෙල් භාවිතා කළහ.
මෙම ඌරු තෙල් භාවිතය කතරගම දෙවියන් කෝපයට පත් කළ අතර, පළිගැනීමක් ලෙස විශාල කොටියෙකු ගම්මානයට එව්වේය. එම කොටියා මුළු ලේනම වැදි ජනගහනයම ඝාතනය කළ අතර, ඔවුන් කලින් නිට්ටෑවන්ට කළාක් මෙන් ලේනම වැදි ජනයාද සම්පූර්ණයෙන් විනාශයට පත්විය.
මෙම ජනප්‍රවාදය නිසා ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නේ ලේනම කොටියන් ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවල සිටින ඔවුන්ගේ සගයන්ට වඩා විශාල හා දරුණු බවයි.
මූලාශ්‍ර
- Agar, A. S. (1938). The Man-Eating Leopard of Punanai. Loris : A Journal of Ceylon Wild Life, 1(part 1-5), 268–280.
- Crowe, P. K. (1956). Leopards of Lenama. Loris : A Journal of Ceylon Wild Life, VII(3), 160–169.
- Hill, W. C. (1945). Nittaewo -An Unsolved Problem of Ceylon. Loris : A Journal of Ceylon Wild Life, IV(1), 252–262.
- Wilson, C. (1958). The Killing of the Punanai Man Eater. Loris : A Journal of Ceylon Wild Life, VIII(2), 73–77.
සම්බන්ධ වෙනත් පිටු
අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)
z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

