වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය – Wattarama Sri Arahantha Maliyadeva Rajamaha Viharaya

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.00 out of 5)
Loading...
The stupa discovered in 2012 and restored by the department of achaeology at the Wattarama Sri Arahantha Maliyadeva Rajamaha Viharaya
The stupa discovered in 2012 and restored by the department of achaeology at the Wattarama Sri Arahantha Maliyadeva Rajamaha Viharaya
Photo by : Tharaka Dasun

වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය යනු පොල්ගහවෙල සහ කෑගල්ල අතර වසර 1800 කට අධික ඉතිහාසයක් ඇති විහාරයකි. මෙම විහාරස්ථානය නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අවසාන මහා අරහත් යැයි විශ්වාස කෙරෙන මලියදේව රහතන් වහන්සේ සමඟ ඇති සමීප සම්බන්ධතාවය සලකමිනි.

අංගුත්තර නිකාය මනෝරථ පූර්ණී අටුවාවේ ශ්‍රී ලංකාවේ අවසාන මහ රහතන් වහන්සේ මලියදේව තෙරණුවෝ ලෙස සඳහන් වේ. වට්ටාරම විහාරය පුරාන කාලයේ සිටම මහත් ගෞරවාදරයට පාත්‍ර වූ විහාරයකි. එබැවින් මෙම විහාරය පිලිබඳ විස්තර නොයෙක් පුරාණ ග්‍රන්ථයන්හි සටහන්වේ.

මේවායින් වට්ටාරම් අස්න සහ වට්ටාරම් විස්තරේ පිළිබඳව එච් සී පී බෙල් මහතා කෑගලූ වාර්තාවේ දීර්ඝව සාකච්ඡා කරයි. වට්ටාරම් අස්න ගද්‍යයක් වන අතර වට්ටාරම් විස්තරේ පද්‍යයක් වේ. ඔහුට අනුව මෙම කෘති දෙක මද්‍යස්ත සත්‍යයන් මිථ්‍යා ප්‍රබන්ධ වලින් රසගන්වා ඇති දුර්වල සාහිත්‍ය රචනා ය. මෙම කෘති දෙකම අසල්වැසි ගැමියෙක්ගේ මුවින් මෙම ස්ථානයේ දී අසා දැනගත් කතාවකට අඩු වැඩි වශයෙන් වර්ණනා හා වෙනස්කම් එක්කොට තොරතුරු සපයයි.

එම විස්තරය කෑගලු වාර්තාවේ පහත දැක්වෙන පරිදි සඳහන් වේ ;

දඹදිව යෝනකාරාමයෙහි එක්තරා අන්ධ ස්ත්‍රියක් අනාගත මලියදේව තෙරුන් වන පුත්‍රයෙකු වැදුවාය. ඔහුගේ පියා ද අන්ධයෙක් විය. දරුවා වැඩි මාපියන්ට උවටැන් කළේය. දෙමාපියෝ ඔවුන්ගේ මරණයට පෙර කල් නොයවා තම පුතු සමීපයට කැඳවා මෙසේ පැවසූහ. “වාසනාවන්ත පුත්‍රයාණෙනි, ඔබ විසින් අපට කරනු ලබන පුත්‍රෝපකාර්යය වෙනුවෙන් පෙරළා දිය හැකි කිසිවක් අප සතුව නැත. අපගේ ආශිර්වාදය ඉතුරු කොට ගනුව. එසේ වුවද උතුරු දිගට ඇති මගෙහි යා ගන්න. පැවිද්දෙකුගේ පන්සලක් පිහිටි වනයක් තොපට හමුවනු ඇත. එහි රැඳී සිට උන් වහන්සේට උවටැන් කළ මැනව. උන්වහන්සේ විසින් උගන්වනු ලබන උපදෙස් පිළිපදුව”.

හේ ස්වකීය දෙමාපියන් මළ පසු ඔවුන්ගේ උපදෙස් පිළිපදිමින් තවුස් හිමියන් වෙත ගොස් නමස්කාර කොට සිටියේය. පැවිද්දා කවර රටකින් කුමක් උදෙසා පැමිණියේ දැයි ඔහුගෙන් විමසීය. මලියදේව තුරුනුවා ස්වකීය දෙමාපියන්ගෙන් අණ පිළිපැදි ආකාරය කියා සිටියේය. එවිට තෙරුන් වහන්සේ ඔහු පැවිදි කරවා තමන් වෙත වස්වා ගත්තේය. වසර කීපයකට පසු හෙතෙම ස්වකීය ශිෂ්‍ය මලියදේව සාමණේරයන් කැඳවා “සාමණේරයිනි, මරණය සඳහා මගේ කාලය පැමිණ තිබේ. තොපට දීමට මා සතු කිසිවක් නැත. එහෙයින් මේ දඹරන් පිළිම හා ස්වර්ණමය පිටු සහිත බණ පොත ගනුවයි” කීය. එදින රාත්‍රියේම තෙර නම අපවත් විය.

ඉන්පසුව සතර වරම් දෙවි රජහු දෙව් ලොවින් බැස අවුත් ඔබ වහන්සේ ගෞතම බුදුන් වහන්සේගේ විවරණ දීමෙන් මෙම අනාගත කාලයෙහි උපන්සේක. මනාව අසනු ලැබේවා. මහා බෝධි මූලයන් තුදුස් රියන් උසැති වජ්‍රාසනය මධ්‍යයේ බුදුන් වහන්සේගේ නේත්‍රා ධාතුව වැඩ සිටින රන් කරඬුවක් තැන්පත් කර ඇතැයි පවසමින් උන්වහන්සේට මලියදේව තෙරුන් වහන්සේ යන නාමයද තැබූහ. එසේ මෙහෙයවනු ලැබූ මලියදේව තෙරණුවන් එතැනට ගොස් මහත් උනන්දුවෙන් අයැද සිටි කළ ස්වර්ණමය කරඬුව වැඩම කළේය. මලියදේව තෙරණුවෝ දඹ රන් පිළිම සතද රන් බණ පොතද ගෙන සෘද්දියෙන් අහසින් ලංකාවට වැඩම කොට වැලිගොඩපිටියට ගොඩබට සේක.

පිළිම සත සහ රන් බණ පොත එහි වැල්ලෙහි සගවා රන්කරඬුව පමණක් ගෙන කිසිවකු ඔහු උන්වහන්සේට දානය නොපිරි නැමූ හෙයින් උන්වහන්සේ රජ මාලිගය දෙසට වැඩි සේක. මාළිගාවේ උඩු මහලෙහි සිට තෙරුන් වහන්සේ වඩිනු දුටු රජ තෙමේ උන් වහන්සේ කැඳවාගෙන එනු පිණිස අමාත්‍යයන් යවා උන්වහන්සේගේ දැහැමි බවින් මහත් ප්‍රසාදයට පැමිණියේ සිහසුන හිඳුවා රාජභෝජන වැළඳවීය. අනතුරුව රජ තෙමේ කොහි සිට පැමිණියේදැයි විචාළේ ය. තමන් වහන්සේ යෝනකාරාමයෙහි සිට පැමිණි බවත් තමන් වහන්සේට රජු විසින් පන්සලක් කරවා එය සුදුසු ලෙස පවරා දීමටත් රිසි කරන බව මලියදේව තෙරණුවෝ පිළිතුරු දෙමින් කියා සිටියහ. ගෝඨාභය රජතෙමේ එකල වැව් දෙකක් බඳිමින් සිටින බවද ඒවා නිමවනතුරු රජ මාලිගයේ වැඩ සිටින්නේ නම් මැනවයි සමාව යදිමින් කීය. එහෙත් කසාය වස්ත්‍රධාරී තෙරණුවෝ එක්වරම අහසට පැන නැගී දිගට ඇදී යන කසාවන් හූයක් සේ රජුගේ දුෂ්ටි පථයට දිස්වෙමින් ශක්‍ර භවනට වැඩි සේක.

උන්වහන්සේ සක්‍රයාට මෙසේ කී සේක. දඹදිව සිට මෙහි පැමිණියෙමි. මට අලවතුපිටියෙන් ආරාම සොළොසක් පිරිනමුවට තෙපි බුදුන් වහන්සේ විසින් නො පනවන ලද්දෙහිද? ශක්‍ර දේවේන්ද්‍රයා මෙසේ පිළිවදන් දිණි. ස්වාමීනි නුඹ වහන්සේ සත්‍යක්ම පවසන සේක. සෙට ඉර උදා වී පියවර නමයකින් ඒවා ඉදි කොට ඔබ වහන්සේට පවරා දෙන්නෙමි. එතෙක් මෙහි වැඩ වාසය කළ මැනව. අනතුරුව ශක්‍ර දේවේන්ද්‍රයා විශ්ව කර්ම දිව්‍ය ‍පුත්‍රයා හා මාතලී දිව්‍ය පුත්‍රයා කැඳවා ඔවුන්ට මිහින්තලයට ගොස් ගල්කණු 160ක් තලවතුපිටියට ගෙන යන ලෙස අණ කළේය. ඔවුන් නික්ම ගිය ඉක්බිති ශක්‍ර දේවේන්ද්‍ර තෙම පොළොව මතට සුවඳ හා මල්වැසි වැස්සවීය. යළි ඒ මත තල තෙල් තවරන ලද වැලි බොරළු හා මැටි වැසි වැස්සවීය. විශ්ව කර්ම හා මාතලී ගල් කණු තලවතුපිටියට ගෙන ආහ. ශක්‍ර දේවේන්ද්‍රයා විසින් (සත් රුවන් ආදී) වැසි වැස්සවූ ස්ථානයෙහි මැන සොළොස් භාගයකට සීමා බෙදා එහි ආරාම සොළොසක් තැනවූහ. එවිට ශක්‍රදේවේන්ද්‍රයා හා මලියදේව තෙරුන් වහන්සේ ශක්‍ර භවනයෙහි සිට තලවතුපිටියට පැමිණියහ. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ ආරාම සොළස තෙරුන්ට පුදා කුසල් ද රැස් කොට ගත්තේය.

අනතුරුව තෙරුන් වහන්සේ ගෝඨාභය රජතුමා විසූ පේරාදෙණි නුවරට ගොස් මෙසේ කීසේක. මට විහාරයක් ඉදි කරවා ගතිමි. එහි ගොස් බලා පූජා කරව. රජ තෙමේ ආරාම සොළස නරඹා ඉමහත් ප්‍රීතියට පැමිණ නාරංගල මුදුනේ සිට ලොහෝ බෙර ගසා ඒ හඬ සවන් වැකුණු තෙක්මානයේ ඉඩකඩම් සියල්ල වට්ටාරාමයට පූජා කළේය. රජතෙමේ පේරාදෙණිය නුවරට පෙරළා පැමිණීමෙන් පසුව හඬ සවන් වැකුණේ දැයි මාළිගයෙහි උන් බිසෝවරුන් ගෙන් විමසා සිටියේය. ඔහුගේ හඬ සවනට වැකුණු බව කීහ. එවිට රජතෙමේ මෙසේ පැවසීය. මෙතන ද පුදන ලද්දේ අයත් වෙයි. මෙහි වාසය කිරීම අපට යෝග්‍ය නොවන්නේය. මාගේ බෑවු සිරිසඟබෝ වෙසෙන අත්තනගල්ලට යම්හ. මෙසේ ඔව්හු සියලු දෙනාම පිටත්ව ගියහ

මලියදේව තෙරුන් උපාසක වෙදරාළ කෙනෙකු මහණ කර අනතුරුව වට්ටාරාමයෙහි තිස් එක් වසරක් නැවතී සිට අපවත් විය.

මෙම විස්තරය හා සමාන විස්තරයක් වට්ටාරම් අස්න යෙහි ද දක්වා ඇත ඊට අමතරව විශ්ව කර්ම විසින් ඉදිකරන ලද ගොඩනැඟිලි ද නම් කරයි;

හෙතෙම භූමිය සමාන කොටස් 24 කට බෙදමින් ඒවා යළි මහල් වශයෙන් අනු කොටස් වලට බෙදමින් ද ගොඩනැගිලි නිමවා අනතුරුව අලංකාර ද කළේය. අනතුරුව දකුණු පසට වන්නට මලියදේව තෙරණුවන්ගේ වාසය පිණස තුන් මහල් ප්‍රාසාදයක් තනවා එය හාත්පසින් වට වනසේ උපුලාරාමය, විපුලාරාමය, දක්ඛිණාරාමය, පශ්චිමාරාමය, උත්තරාරාමය, පූර්වාරාමය, ඉසිපතනාරාමය, ජේතවනාරාමය, වේරිය විහාරය, දෙමටමල් විහාරය, මලිය මහාපාය සහ පණ්මුඛ දේවාලය යන ආරාම සොළස ඉදිකොට සියල්ල තෙරුන් වහන්සේට දන්වා පෙරළා දිව්‍ය ලෝකයට ගියේය. අනතුරුව මලියදේව තෙරුන් වහන්සේ බුදු පිළිම සත මලිය ප්‍රාසාදයට ගෙන අවුත් රන්කොත එහි පිහිටුවා ධාතූන් වහන්සේලා තැන්පත් කළ සේක. මහරජතුමා (ගෝඨාභය) සූවිසි ලක්ෂයක් වැය කොට නුවර සරසවා මෙම ප්‍රාසාදය මලියදේව තෙරුන් ට හා දොළොස් දහසක් රහතුන් වහන්සේලාට පිදීය. මේ සියල්ල නිම වූ විට මිහිකත සතුටින් ගුගුලාය. ඉක්බිති ගෝඨාභය රජතුමා හා ඔහුගේ අමාත්‍යවරුන් 60 දෙනෙක් සෝවාන් ඵලයට පැමිණියහ. ශක්‍රදේවේන්ද්‍රයා මෙම ස්ථානයට වට්ටාරාම (ආරාම වලින් වට වූ හෙයින්) යන නම ප්‍රකාශයට පත් කළේය. බුදුවසින් 1691 වැන්නේ ඇසළ මස පුර සතවක සඳුදින ගෝඨාභය රජු විසින් විහාරයට අවශ්‍ය දෑ සැපයීම අරමුණු කොට සතර සීමාව තුළ වූ බොහෝ ගම් හා උයන් වතු වට්ටාරාමයට පිදීය. මේ දිනය සෙල් ටැම් වල සඳහන් කොට ශිලාලේඛන පිහිටුවීමටද රජතුමා කටයුතු කළේය. මහා සම්මත පරම්පරානුගත ශුද්ධ සූර්ය වංශ වංශෝද්භූත ගෝඨාභය මහරජතුමා විසින් වනගුප්ත තෙරුන් වහන්සේට වට්ටාරාම, කෙසෙල්වතුගොඩ, වලගම, බමුණුගම, නාරන්දෙණිය, පානකාව, කුඹුක්ගම, පොහොරඹේ, අඹුවන්ගල, වැලිගොඩපිටිය, පනලිය සහ ගොඩිගමුව පුදන ලද්දේය.

මෙහි සඳහන් ගෝඨාභය රජතුමාගේ රාජ්‍ය කාලය වන්නේ ක්‍රි.ව. 253-266 අතර කාලයයි. එබැවින් එච් සී පී බෙල් මහතා විසින් වට්ටාරම් අස්නෙහි සඳහන් වර්ෂය සාවද්‍ය බව පෙන්වා දෙයි.

මහනුවර ශ්‍රී දළදා මාළිගයේ ප්‍රාචීන පුස්‌තකාලයේ පත් ඉරු අතර ‘මලියමහපාය විස්‌තරය’ නමින් හැඳින්වන පත් ඉරුවක වට්ටරාමය හා මලියදේව තෙරුන් පිළිබඳව විස්තර කරයි. මහනුවර යුගයේ අග භාගයට අයත් සේ සැලකිය හැකි භාෂා ලක්‍ෂණයෙන් යුක්‌ත මෙම කෙටි පත්තිරුව සීතාවක රාජ්‍ය සමයේ සහ මහනුවර සමයේ මුල් හා මැද වකවානුවලදී අතිශයින් ජනප්‍රිය වූ විත්තිකතා ලේඛන ගණයට අයත් වන අතර අගල් 12 ක දිගින් හා අගල් 3 ක පළලින් යුතු පත්ඉරු 3 ක රචනා කර ඇත. කුඩා ප්‍රමාණයේ වටකුරු අක්‌ෂර අඟලකට 5 බැගින් පිහිටුවා තිබේ.

මෙම පත්තිරුවට අනුවද මලියදේව මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ අනුරාධපුරයේ ගෝඨාභය (ක්‍රි. ව. 253 – 266) රජුගේ රාජ්‍ය සමයේ දී දඹදිව යෝනක දේශයෙනි. මෙම විස්තරයද ඉහත බෙල් මහතාගේ වාර්තාවේ ඇති විස්තරයට සමාන වේ.

මලියමහපාය විස්‌තරය’ පහතින් දැක්වේ ;

මලියමහපාය විස්‌තරය

නමෝ බුද්ධාය ! අප බුදුන් පිරිනිවී එක්‌වාදහස්‌ හයසිය අට අවුරුද්දක්‌ගිය පසු ලක්‌දිව සසුන් පිහිටි අටසිය දෙපනස්‌ අවුරුද්දක්‌ ගිය පසු සිරිලක රජ පැමිණි ගෝඨාභය මහරජ අත්තනගල්ලේ තුන්මහල් ප්‍රාසාදය කරවා බොහෝ සේ කෙත්වත් පුදා නැවත සිරිමාල ගංගාවට නුදුරු තැන තලාවතුපිටි යෑයි නම් ලද තැනිතලාව දොළොසාමුණක ප්‍රමාණ බිම සමකොට නැගෙණහිර දික්‌භාගයෙහි මහත් මාලිගා නංවා වින්‍යාසය හා වාසල් හා මිණි කර්මාන්ත කරවා ඊට නුදුරු තැන වනවාසන මහවිහාරයක්‌ කරවා වනගුත්තම මහතෙරුන්වහන්සේ ප්‍රධාන කොට ඇති දොළොස්‌ දහසක්‌ මහසංඝයා වහන්සේ එහි වස්‌ වසවා සිවුපසයෙන් උපස්‌ථානකොට චන්ද්‍රකාන්ති පුරයයි නම් තබා දිව්‍යරාජයෙකු සේ වැඩවාසය කරන සමයෙහි මලියදේව මහතෙරුන් වහන්සේ දඹදිව යෝනකාරාමයෙහි සැටදහසක්‌ රහතුන් පිරිවරා වැඩහිඳ මහා සමාපත්තියෙන් අහසට පැනනැගී ශ්‍රාවස්‌තිපුර මිගාරමාතු ප්‍රාසාදයෙහි තුබූ පස්‌රියන් උස ඝනරන් පිළිම සත්නමක්‌ හා රන්කොත් නවයක්‌ ගෙන ඇවිත් වැලිගොඩපිටියේ තොටට බැස මෙකී සියල්ලම වැලි යට තබා පැන් සනහා සිවුරු ගැටවටු ගන්වා පාත්‍රය අතින්ගෙන ආහාර සි`ගා නුවරට වන් කල්හි කිසිකෙනෙක්‌ වත් දන් නුදුන් හෙයින් රජගෙය කරා වැඩි කල්හි මහරජහු ඒ තෙරුන් දැක පෙරගමන් කොට පසඟ පිහිටුවා වැඳ රජගෙට වැඩමවාගෙන’වුත් අසුන් පනවා වඩාහිඳුවා නොයෙක්‌ රසයෙන් පිළියෙල කළ රාජ භෝජනය වළඳවා අන්තයෙහි පස්‌පළවතින් යුත් බුලත් පිළිගන්වා, ‘ස්‌වාමීනි, කවර තැනක සිට වැඩි සේක්‌ ද? කුමක්‌ පිණිස වැඩිසේක්‌ දැ’යි විචාළ කල්හි ‘මහරජ, අපි යෝනක වසම්හ. ලංකාද්වීපයෙහි රහතුන් කරගන්නා පිණිස ආම් හ’යි වදාළ කල්හි රජ, ප්‍රීතියෙන් සතුටුව තුන්යලක්‌ සාධුකාර දුන්හ.

මලියදේව තෙරුන් වහන්සේ නැවත ශක්‍රභවනට වැඩියාහ. ශක්‍ර දේවේන්ද්‍ර තෙම තෙරුන් වහන්සේ දැක ‘ස්‌වාමීනි, කුමක්‌ පිණිස මෙයට වැඩි සේක්‌දැ’යි විචාළේ ය. ‘ශක්‍රයෙනි, තොපට බුදුන් වදාළතතු සිහි නැද්දැ’යි වදාළහ. ‘ස්‌වාමීනි, වදාළ මැනවැ’යි සැලකළහ. ‘මිහිඳු මාහිමියන්ගේ අනුශාසනයෙන් දෙවැනිපෑතිස්‌ස නරපති හිඳුවා සිලාල භූමියෙහි පොහොය කරන මලිය නම් ප්‍රාසාදය තොප විසින් කරවා දුන මැනවැ’යි භාර කළාහ. ‘එසේය ස්‌වාමීනි, නුඹවහන්සේ දවසට දහසක්‌ මහරහතුන් ඇති කෙරෙති. බුදුන් විසින් වදාළා ඇත. අනුරාධපුර නුවර ලෝවාමහා පාසාදය මෙන් කරවමි. වැඩිය මැනවැ’යි ආරාධනා කළාහ.

තෙරුන් වහන්සේ එම සිරිමාල ගංගාවට වැඩ නුග ගස මුල ස`ගල සිවුර අතුට සැතපී අරුණු නැංගා හා (සමඟ) සක්‌ දෙවුරජ විස්‌වකර්ම දිව්‍යපුත්‍රයා කැඳවා ‘දරුව, තෙපි ගොස්‌ මලියතෙරුන්ට පොහොය ගෙයක්‌ හා වැඩහිඳිනා නොයෙක්‌ පිරිවෙන් හා ඒ වට දොළොස්‌ ආරාමයක්‌ කර එව’යි සම්මත කළහ.

එවිට විස්‌වකර්ම දිව්‍යපුත්‍ර තෙම ‘මැනවැ’ යි පිළිගෙන මිහින්තලාවට ගොස්‌ සිලාල චෛත්‍යයට නුදුරු තැනක පොකුණේ තිබූ සැටපහක්‌ ගල්ටැම් ගෙන මිහිඳු තෙරුන්ගේ ධාතු හා පා සිවුරු ගෙන අහසින් බැස බිම් බලා යහපත් කොට සවිසි ගැබකට බෙදා සතළිස්‌ මහලකින් නිමවා මිණි කර්මාන්ත කොට මලිය මහ ප්‍රාසාදය හා දකුණු දිග වැඩ හිඳිනා තුන්මහල් ගෙයක්‌ එහි වට කරවන ලද හ. උපුල්රාමය, විපුල්රාමය, දක්‍ෂිණාරාමය, පච්ර්මාරාමය, උත්තරාරාමය, කපිලරාමය, පූර්වාරාමය, ඉසිපතනාරාමය, ඡේතවනාරාමය, සම්මුඛ දේවාලය යන දොළොස්‌ ආරාමයක්‌ නිර්මිත කොට නිමවා තෙරුන් වහන්සේට දන්වා තමන් දෙවුලොවට ගියාහ. තෙරුන් වහන්සේ පිළිම පස්‌ නම මලිය ප්‍රාසාදයට වඩා ධාතුවට ආරාමයෙහි නිධන් කළහ.

ගෝඨාභය මහ රජහු නොයෙක්‌ අලංකාරයෙන් නුවර සරහා දොළොස්‌ දහසක්‌ මහා සංඝයා සමඟ ප්‍රසාද සූවිසි ලක්‍ෂයක්‌ ධන පරිත්‍යාග කොට මලිය මහතෙරුන් ප්‍රධානකොට දොළොස්‌ දහස්‌ එකනමක රහතුන් වහන්සේට ප්‍රාසාදය පිදීය. එකෙණෙහිම මහපොළොව කම්පිත වූහ. ඒ ආශ්චර්යය දැක රඡ්ජුරුවන් හා සමඟ සැටදෙනෙක්‌ සෝවාන් වූහ. නැවත එම විහාරයට පුද පවත්වන නිසා සතර මායිමෙන් වට්‌ටාරම, කෙහෙල්වතුගොඩ, වලගම, බමුණුගම, නාරන්දෙණිය, උරුලෑදෙණිය, පානකාව, කුඹුක්‌ගම, පොහොරඹෙ, අඹුඅගල, වැලිගොඩපිටිය, පනලිය, ගොඩිගොමුව මෙකී ගං ගෙවතු වකවානු ඇතුව ශ්‍රී සන්නස්‌ පිහිටුවා ශ්‍රී බුද්ධ වර්ෂයෙන් එක්‌වාදහස්‌ හයසිය අනූ එකක්‌ වූ වර්ෂයට සම්ප්‍රාප්ත වූ ඇසල මස පුර සතවක නම් තිථිය ලත් සඳු දින උත්‍රසල නැකතින් ගෝඨාභය මහරඡ්ජුරුවෝ වට්‌ටාරම පූජා කළාහ. ෙත්‍රෙලෝකතිලක සකලඥෙය සාගරපාරගතාසේසගුණ රත්න මන්දිරය මනා වූ පරදුක්‌ඛ දුක්ඛිත වූ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ අෂ්ඨාර්ය පුද්ගල සංඝයා වහන්සේ යයි යන මලියදේව මහතෙරුන් වහන්සේට විස්‌වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් මලිය නම් ප්‍රාසාදය කරවා පිළිගැන්වීය.

භික්‍ෂු සංඝයා හා සමඟ පොහොය කළ මලියදේව මහතෙරුන් වහන්සේ විනය සංගායනා කළ සේක. එ විනය සංගායාවසානයෙහි අන්ධකාර විද්වංසනය කර, නැගෙනපූර්ණ චන්ද්‍ර මංඩලිකාවන් සේ සකල කෙලෙසුන් නසා සැටදහසක්‌ දෙනා වහන්සේ රහත් වූ සේක.

ස්‌වස්‌ති ශ්‍රී වෛවස්‌ස්‍රත මනුසංඛ්‍යාත මහාසම්මත පරම්පරානුගත ශුද්ධ සූර්ය වංශෝත්භූත වූ ගෝඨාභය මහරජ වනගුත්ත මහතෙරුන් වහන්සේට දෙවා වදාළ කරුණා පනතයි.

ඉහත සඳහන් විස්තරයන්හි අතිශෝක්තිය ඉවත් කොට හරය පමණක් ගත් විට ගෝඨාභය රජතුමා (253-266) පේරාදෙණි නුවර සිට රාජ්‍ය කල අතර ඒ අවට වැව් තැනවීය. හෙතෙම වට්ටාරාම විහාරය වට කොට විහාර දොළහක් තනවා මලියදේව මහා රහතන් වහන්සේට පූජා කොට ඒවායේ පැවැත්ම සඳහා ඒ අවට වූ ගම් පූජා කර ඇත.

මීට අමතරව පොළොන්නරු යුගයේයයි සැලකෙන පුරාණ සඟ සරණ කෘතියේ මලියදේව තෙරුන් පිළිබඳව මලියදේවවත 13 වන කතා වස්තුවේ සඳහන් වේ. මෙහි මලියදේව තෙරුන් කලලග්‍රාමයේ මණ්ඩලාරාම මහා විහාරයේ පාළි භාෂාව ඉගෙන ගනිමින් සිටින කාලයේදී සිද්ධියක් වාර්තා කරයි.

මලියදේවවත

තව ද මලියදේව ස්ථවිරයන් වහන්සේ කලලග්‍රාමයට වැඩ වදාළා මණ්ඩලාරාම නම් මහාවිහාරයෙහි බුදුන් වදාළ පාලි උගන්නා සේයෙක. ග්‍රන්ථධූර පුරණ සේක. දවසක් කලලග්‍රාමයෙහි පිඬුසිඟා වඩනා වූ ඔවුන් වහන්සේට එක් උපාසිකාවක් කැඳ සලරුවක් දී පුත්‍ර සෙනෙහසක් උපදවා තෙරුන් වහන්සේ ඇතුළු ගෙහි වඩා හිඳුවා ප්‍රණීත වූ ආහාර වළඳවා “ස්වාමීනි කවර ගමක වසන සේක්” දැයි කියා විචාළහ. ඔවුන් වහන්සේ “උපාසිකාව, මණ්ඩලාරාමය මහා විහාරයෙහි ග්‍රන්ථධූර පුරමි” යි වදාළ සේකැ. උපාසිකාවෝද “ස්වාමීනි එබැවින් යම්තාක් ග්‍රන්ථධූර පුරන සේක්ද, ඒතාක් මාගේ ගෙහිදීම වළඳා වදාළ මැනව”යි කීව. උන්වහන්සේද එහිදී නිබඳව ආහාර වළඳා අන්තයෙහි අනුමෙවෙනිබණ වදාරණ සෙයෙක් “දුකින් මිදී සුවපත් ව” යන මේ දෙපදයම කියා වඩනා සේක.

මෙසේ ක්‍රමයෙන් ඇතුළු වස් තුන්මස්හි උපාසිකාවන්ට අනුග්‍රහ කරනසේක් තමන් වහන්සේ වැළඳු අහරට පූජා කොට වස් පවරන දවස් සිවුපිළිසිඹියාපත් රහත් බවට පැමිණි සේක. ඉක්බිති මහා ස්ථවිරයන් කෙණෙකුන් වහන්සේ ඇවැත්නි, “අද විහාරයෙහි මහජනයා රැස්වූහ. ඔවුනට ධර්ම දේශනා කරව” වදාළ සේක. තෙරුන් වහන්සේ ද ඉවසා වදාළ සේක. එකෙණෙහි ළදරු සාමණේරයන් වහන්සේ කෙනෙකුන් ද ගොසින් උපාසිකාවන්ට “අද තොපගේ පුතනුවන් වහන්සේ බණ වදාරණ සෙයෙක, විහාරයට ගොස් බණ අසව” වදාළ සෙයෙක. උපාසිකාව ද “ස්වාමීනි හැමදෙනම බණ දන්නාහු නොවෙති. මාගේ පුතනුවන් වහන්සේ මට මෙතෙක් කල් අනුමෙවැනි බණ වදාරණ සේක් ‘සුවපත්ව දුකින් මිදෙව’ යන මේ දෙපදය ම වදාරන සේක. එහෙයින් නාමක් කෙලිය මැනවයි කීය. සාමණේරයන් වහන්සේද “උපාසිකාවෙනි දනුතුදු නොදනුතුදු තොපි විහාරයට ගොස් බලව” යි වදාළ සේක. උපාසිකාවෝද ගඳමල් ගත් අත් ඇතිව විහාරයට ගොස් ගන්ධ මාලාදීන් පූජා කොට පිරිස් කෙරවල බණ අසා හුන්හ.

දහවල් ධම්මකථික වහන්සේද පාඨය කිය වන්නාහු ද තමන් පමණක් කියවා හුස්නෙන් නැගී සිටියාහුය. ඉක්බිති මලියදේව ස්තවිරයන් වහන්සේද ධර්මාසනයේ වැඩ හිඳ විජිනි පත අල්ලාගෙනැ “මහා උපාසිකාවන්ට තුන් මසක් මුළුල්ලෙහි දෙපදයකින්ම අනුමෙවෙනිබණ කීමි. ද සියලු රාත්‍රියෙහි තුන්පිටකයම සම්මශීනය කොට එම දෙපදයෙහිම අන්වර්ථව්‍යාඛ්‍යාන කෙරෙමි”යි සිතා ධර්ම දේශනාවට පටන්ගෙනැ අසන්නා වූ කල්හි අමාවතුරක් නමන්නාසේ සියලු රෑ බණ වදාළ සේක. අරුණෝදයෙහි බනදෙසුම් කෙරවරැ මහා උපාසිකාවෝ සෝවාන් ඵලයෙහි පිහිටියා ය.

මෙසේ තමන්වහන්සේ ලද නිවන් සුවය තමන් වහන්සේට මව්තනතුරෙහි සිටි මහා උපාසිකාවන්ට ද බෙදා දී අනුභව කළ සිවුපිළිසිඹියා පත් රහත් වූ ඔවුන් වහන්සේ ආදී කොට සුපිළි පන් මහා සංඝයා වහන්සේ සරණ යෙමි යි සඟසරණ යා යුතු

සඟ සරණ කෘතිය පොළොන්නරු යුගයේ විද්‍යා චක්‍රවර්තීන් විසින් රචනා කරන ලද සරණ ග්‍රන්ථ ත්‍රිත්වයෙන් (බුත්සරණ, දහම්සරණ, සඟසරණ) තෙවැන්න වන බව සාමන්‍ය මතයයි. නමුත් මෙම ග්‍රන්ථ තුන කාල වකවානු 3කට අයත් බවත් සඟසරණ කතෘවරු දෙදෙනෙකුගේ කෘතියක් බවත් යම් විද්වතුන්ගේ මතයයි.

කලලග්‍රාමය නාමයේ කලල යනු මඩයි. එබැවින් ම ප්‍රදේශය අද හැලමඩ යනුවෙන් හඳුන්වන ප්‍රදේශය බව විශ්වාසයයි. වලගම්බා රජ බැමිණිතියාසාය සමයේ තනසීව සමග කය වෙහෙසවා ගොවිතැන් කරමින් ජීවත් වූයේ හැලමඩ ප්‍රදේශයේ බව කියවේ. අවුරුදු 12ක් පැවති බැමිණිතියාසාය අවසාන වූ පසු දඹදිව ගිය ගිය භික්ෂුන් වහන්සේලාත් මෙරට බික්ෂූන් 60 නමකුත් ආපසු මණ්ඩලාරාමයට එක්වී ධර්ම සාකච්ඡාවක් පැවැත්වූ බව සඳහන් වේ. හැලමඩ ගමේ පවුල් 700 ක් වූ අතර මහාසෝන ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් 700 නමකට නවරියන් පට වස්ත්‍ර සමග දානය ගම්වැසියන් පිළිගැන් වූ හැටි ඥාන විභංග අටුවාවේ සඳහන් වේ.

1904 වසරේ ප්‍රකාශිත කෑගලු වාර්තාවේ මලියදේව මහා විහාරයේ එකල තිබූ නටඹුන් එච් සී පී බෙල් මහතා වාර්තා කොට ඇත

ගොඩනැගිලි උත්තරාරාමහි පිහිටා ඇත. දකුණු දෙස දෙමටමල් විහාරය හා මලිය මහා පායයි. පළමුවැන්න ස්ථූපයකි. දෙවැන්න දැවැන්ත ගල්කණු මත වූ ප්‍රාසාදයකි. නැගෙනහිරින් පිහිටා ඇත්තේ තවත් දාගැබක් වූ පූර්වාරාමයයි. අනිත් ආරාම උතුරු පසට වන්නට ඇතැයි විශ්වාස කෙරේ. විහාර භූමියට පිටින් බටහිර දෙස මහා මාර්ගයේ සිට වැටී ඇති අඩි පාර අසල පිහිටි කුඩා දාගැබ සැලකිය යුතු එකක් නොවුවද විහාරාධිපති හිමියන් විසින් එහි තිබී ලෝකඩ බුදු පිළිම කිහිපයක් සොයා ගෙන ඇත. මින් බුදුපිළිම කිහිපයක් එකල ොළඹ ජාතික කෞතුකාගාරයට පරිත්‍යාග කොට ඇති අතර එහි එක් පිළිමයක සාමාන්‍යයෙන් ඔසවනු ලබන දකුණු අත වෙනුවට වම් අත ඔසවාගෙන සිටින විශේෂිත පිළිමයක් ද වේ.

මෙම පිළිමය මලියදේව මහ රහතන් වහන්සේ විසින් වට්ටාරමට වැඩම කළ බව කියන දඹරන් බුදු පිළිමය බව පොදු විශ්වාසයයි. මෙම බුදු පිළිමය අනාරක්ෂිත ලෙස විහාරස්ථානයේ තිබියදී සොරුන් විසින් පැහැර ගනු ලැබුවේ මීට වසර කීපයකට පෙරය. එහි අත් යුගලය හා සිරස වෙන්කර පිළිමය මාඔයට දමා තිබියදී පොලිසිය විසින් සොයා ගත් අතර, එය දැනට විහාරස්ථානයේ තැන්පත් කර ඇත.

විහාරයට ප්‍රවේශ වූ පසු වම්පස චතුරශ්‍රාකාර විහාරයක් වේ. මෙය ගල්කණු මත ඉදිකොට ඇත. මෙහි බරාඳය අඩි 51 x 30.5 වේ. අවට තිබූ වෙනත් ගොඩනැගිලි වල ගල් කැබැලි එක් කොට ඉදිකොට ඇති පියගැට පෙලකින් සමන්විත මෙම විහාරයේ ප්‍රමාණය අඩි 34 අඟල් 8 x අඩි 15 අඟල් 2කි. එය තුල අඩි 21ක් දිග සැතපෙන බුදු පිළිමයකි. ඉදිරි පියගැට පෙලට මුහුණලා අඩි 6 අඟල් 7ක් උස අඩි 4 අඟල් 10ක් පළල හිඳි පිළිමයකි. බිත්ති දෙපස අඩි 8 අඟල් 3ක් උස හිටි පිළිම 2ක් වේ. වම් හා දකුණු බිත්තිවල පිළිවලින් විෂ්ණු රූපයක් හා මෛත්‍රී දිව්‍යරාජ රූප වේ. මෙම පිළිම ගෙය ගනේපල්ල රටේ මහත්මයා විසින් සාදවන ලද්දකි.

අදද දැකිය හැකි විශාල දැව උළුවස්ස රාජාධිරාජසිංහ රාජ්‍ය සමයේ (1781 – 1798) ලෙව්කේ දිසාව විසින් මෙහි ගොඩනැගූ විහාරයේ කොටස්ය. අඩි 7 අඟල් 4ක් උස අඩි 4 අඟල් 5ක් පළල අඟල් 10ක් පළල උළුවහු කඳේ උඩෙලිපතේ දේව රූපද පාදමේ පනේලයන්හි නැට්ටුවන්ගේ රූපද අඛණ්ඩ ලියවැල් මෝස්තරද මෙම උළුවස්සේ අර්ධ උන්නත් ලෙස කැටයම් කොට ඇත.

විහාරයේ දකුණු පසට වන්නට අඩක් නිමකළ දෙමහල් ධාතු මන්දිරයක් ඔහු විස්තර කොට ඇත. එහි ඇති විශාල ශෛලමය උළුවහු 2ක් ගැන සටහන් කරයි. ඉදිරියේ වූ උළුවස්සේ පැති කණුවක උස අඩි 12කි. ඝනකම අඩි 1 අඟල් 4ක් හා අඟල 10කි. උඩෙලිපත දිග අඩි 6 අඟල් 8කි. අනෙත් දොරෙහි උළුවහු කඳක් අඩි 9 අඟල් 6කි. උඩෙලිපත දිග අඩි 5 අනල් 7කි. පැති දොර රාමුවෙහි කැටයම් පැරණි දැවමය දොර උළුවස්සක අලංකාර පිටපතක් බව සඳහන් කරයි. එෆ්. එච්. ප්‍රයිස් විසින් ඔහුගේ දිනපොතේ වසර 1886 දෙසැම්බර් 15 වන දින තැබූ සටහනට අනුව මෙම ශෛලමය උළුවසු ඔහු දුටු කටුගස්තොටින් ගෙන ආ ශිල්පියාගේ කැටයම් බව උපකල්පනය කල හැක.

ඉහත ගොඩනැගිල්ල සමීපයෙහි අදටත් පවතින් කුඩා විහාර ගෙයක් බෙල් සඳහන් කරයි. මෙහි මකර තොරණකින්හි වටවූ හිඳි පිළිමයක් හා දෙපස හිටි පිළිම අඹා තිබේ.

මෙම විහාරයේ යාර 100ක් පමණ දකුණුපස වන්නට පැරණි බෝ මළුවකි. එයට ඉදිරිපස කතරගම දෙවිදුන්ට කැපවූ කුඩා දේවාලයකි.

පන්සල් භූමියේ දකුණුපස යාර 100 පමණ බැහැරින් දෙමටමල් විහාරය පිහිටා තිබී ඇත. මෙහි වේදිකාවක් මත තැනූ තරමක් විශාල් ස්තූපයක් තිබී ඇති අතර අඩි 31 අඟල් 3ක ප්‍රමාණයේ අඩි 4ක් උස්වූ සම සතරැස් වේදිකාවේ නටබුන් තිබී ඇත.

මෙම ප්‍රදේශයේම තවත් ඔබ්බෙන් අඩි 29 x අඩි 19 අඟල් 3 වූ ස්ථර සතරක් වනසේ සෑදු බෝධි මළුවකි. ඉහලම ස්ථරය අඩි 10 ක් වන සම සතරැස්ය.

මෙයට යාර කිහිපයක් දකුණට වන්නට දැවැන්ත ගල්කණු සහිත මලියමහා පාය ලෙස හඳුනා ගත් හැකි ගොඩනැගිල්ලක නටබුන් තිබේ. මෙහි කණු 10ක් මුල් අයුරින් නැගී පවතී. අනිත් කුළුණු තැනින් තැන කැඩී ගොස් ඇත. එක පේලියක කණු 7ක් වන සේ පේලි 5ක කණු 35ක් භාවිතාකොට මෙම ගොඩනැගිල්ල සාදා තිබූ බව පෙනේ. මෙම කුළුණු පොළොවේ සිට අඩි 10 යි අඟල් 4ක ඉහළට නැගී සිටින අතර ඒවා ඒ ඝණකම අඩි 1යි අගල් 6ක් x අඩි 1යි අඟල් 1ක් වේ. පුරාන කෘතියන්ට අනුව මෙම පාය මහල් 7ක්ට උසට සාදා තිබී ඇත. උඩු මහල් සාදා තිබී ඇත්තේ දැව භාවිතයෙනි.

මෙම ගොඩනැගිල්ල ආසන්නයේ තවත් කුඩා ගොඩනැගිල්ලක් ගල් කණු දැකගත හැකියි. මෙය ගෝඨාභය රජතුමා මලියදේව තෙරුන්ට පූජා කල තුන් මහල් ආවාස ගෙය බව විශ්වාස කෙරේ.

මලියමහා පායට යාර 300ක් පමණ නැගෙනහිර දෙසට වන්නට වනයෙහි පූර්වාරාමයට අයත් පැරණි දාගැබක පස් ගොඩැල්ලක් පවතී. මෙහි පැවති ගල්, දෙමටමල් විහාරයේ වේදිකාව සෑදීමටද ඇතැම් ඒවා විහාරයේ පිය පියගැටපෙල සඳහාද ගෙන ගොස් තිබී ඇත. 2012 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම ස්තූපය නැවත පාදාගෙන සංරක්ෂණය කොට තිබේ. ඒ වන විට නිදන් සොරුන් එම ස්තූපය සාරා නිදන් වස්තූන් කොල්ලකා තිබිණි. එහිදී හමුවූ අනිත් ලක්ෂණ හා සාධක අනුව මෙම දාගැබ අනුරාධපුර යුගයට අයත් බව හඳුනාගෙන ඇත. මේහි කැණීම් වල දී මැටියෙන් කරන ලද නෙළුම් මල් පොකුරක් හොටින් ගත් හංසයකුගේ රුව සහිත පුවරු, වක්‍රාකාර කැටයම් ඇති පුවරු හා වළං කැබලි හමුවී ඇත.

මෙම චෛත්‍යයට නැගෙනහිරින්, ඊසාන දෙසින්, ගිණිකොන දෙසින් හා වයඹ දිශාවට බරව පැරැණි ගොඩනැගිලි තිබූ බවට ගල් කණු දක්නට ලැබේ. එම ස්ථානවල කැණීම් සිදුකරන තෙක් ඒ සම්බන්ධයෙන් අදහසක් දැනට ලබාගැනීම අසීරුය.

බෙල් මහතාගේ වාර්තාවේ මෙහි කියවීමට දුෂ්කර ශිලා ලේඛන සහිත ගල් කණු දෙකක් ඇති බව සඳහන් වේ. මෙම ශිලා ලේඛන වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කියවා ඇත. මෙහි පුරාණම ටැම් ලිපිය ක්‍රිස්තු වර්ෂ 5-6 අතර කාලයට අයත්ය. පරිවර්තිත බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා ඇති මෙම ලිපිය මසගහි වාසය කරන භමන නැමැත්තා වරහල බවින් මුදවා එම පින සියලු සත්වයන් වෙත අනුමෝදන් කරන බව සඳහන් කොට ඇත. දෙවන ටැම්ලිපිය ක්‍රිස්තු වර්ෂ 10වන සියවසට අයත්ය. මධ්‍යකාලීන සිංහල අක්ෂරයෙන් ලියා ඇති මෙය අභය සලමෙවන් රජුගේ (914-923) සත්වන රාජ්‍ය වර්ෂයෙහි මැදින් මස පුර පසලොස්වක දින සුවර අමල්, කාසි සහ වදූර් යන තිදෙනා විසින් ‘දර්ගර්’හි සිරිසගබෝ රජමහා වෙහෙරෙහි වැඩ සිටින භික්ෂූන් වහන්සේලාට දානය සැපයීම සඳහා රං කලං විස්සක් පූජා කළ බව සඳහන්ය. එසේම භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ප්‍රදානය කරන ලද මෙම පූජාව කිසියම් භික්ෂුවක විසින් ගෙන වෙනත් අය සඳහා ආහාර පිළියෙල කර හොත් උන් වහන්සේ විහාරයෙන් නෙරපා දැමිය යුතු බවද එම සෙල්ලිපියේ සඳහන් වේ.

අතීතයේදී සුවිසල් භූමි ප්‍රමාණයක් අයත්ව තිබූ එමෙන්ම සුවිශාල භූමි ප්‍රමාණයක් පුරා පැතිර තිබූ වට්ටරාම ආරාම සංකීර්ණයේ වර්තමානයේ දක්නට ඇත්තේ නටඹුන් හා ගොඩනැගිලි පිහිටි භූමිය පමණකි. ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමෙන්, බලහත්කරයෙන් විවිධ පිරිස් විසින් අල්ලා ගැනීමෙන්, නායක හිමිවරුන් විසින් පරිත්‍යාග කිරීමෙන් හා රජය විසින් අත්පත් කරගෙන වැවිලි සමාගම් වෙත පැවරීමෙන් යනාදී විවිධ කරුණු පදනම් කරගෙන ‍ඓතිහාසික වට්ටාරම භූමියේ මහ රහතුනගේ ස්පර්ෂිත ධාතූන් විනාශයටත්, අවමානයටත් ලක්ව තිබීම සැබැවින්ම ශෝචනීයය.

චෛත්‍ය ගොඩැලි, රජ මාළිගා, වැව්, කටාරං සහිත ලෙන්, ගොඩනැගිලි, විහාර ගෙවල් තිබූ බිමෙහි අලුතින් නිවාස ඉදිකිරීමේදී පුරාවිද්‍යා අවශේෂ බොහොමයක් විනාශයට ලක්කොට ඇත. සමහර ගොඩනැගිලි ඉදිකිරීමේදී අමුද්‍රව්‍ය ලෙස ඉපැරණි ගල් කුළුණු හා පුවරු මෙන්ම ගඩොල් ද යොදාගෙන තිබෙනු දැකිය හැකිය. විහාරය වටා ඇති එවැනි ඉඩම්වල මෙතෙක් අවධානයට ලක්නොවී වැළලී ගිය පුරාවිද්‍යාත්මක වටිනාකම් බොහෝය. දැනට පෞද්ගලික අයිතියේ පවතින භූමිය තුළ විසිරී ඇති පුරාවිද්‍යා වටිනාකමින් යුත් ස්ථාන හා ස්මාරක සුරක්ෂිත කිරීමටත්, සංරක්ෂණය කිරීමටත්,විහාර බිමෙහි කැණිම් කටයුතු සිදුකර වැළලී ඇති උරුමය මතු පරපුරට ආරක්ෂා කර දීමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු වගකීමකි.

separator divider

Wattarama Sri Arahantha Maliyadeva Rajamaha Viharaya is an temple with a history of over 2300 years lying between Polgahawela and Kegalle. This temple is so named due to its close association with Maliyadeva thero who is believed to be last Maha Arahath of Sri Lanka.

According to the Manoratha Purni Atuwa in Anguththara Nikaya (මනෝරථ පූර්ණී අංගුත්තරනිකාය අටුවාව), Maliyadeva Thero has been last Arhath in the ancient Sri Lanka although some dispute this claim.

Maliyadeva Thero had been born to Udapola Bowalapitiye Champaka Bodhiguptha, a decedent of a Kshathiya caste prince who had accompanied theri Sangamitta to Sri Lanka in 249BC. The child had entered priesthood at the temple in Kurunegala and later come to the current Maliyadeva Rajamaha Viharaya. Here he had attained Arhathhood after gaining indeapth knowlage of the Buddhist teachings at a very young age.

According to legend, this temple has been built by king Gotabhaya who ruled the Ruhunu kingdom in the 2nd century BC. However according to Bell’s Kegalle Report this temple has been built by king Gotabhaya (253-266) of Anuradhapura kingdom. But according to palm leaf manuscript, “Wattaram Asna” (වට්ටාර‍ම් අස්න) this temple complex has been built by the deity named Viskam (Vishwa Karma) on the request of Maha Brhama who had divided the land to 12 sections and built 12 aramas at the site.

Unfortunately this temple has been modernized with no regard to the antiquary.  You will find remains of two buildings belonging to the Anuradhapura era today.

Ruins of the ancient Mahamali Paya (මහාමලී පාය) which is said to be built in the model of Lohamahapaya in Anuradhaura. Instead of 1600 pillars, this has been built using 35 granite pillars. The pillars are 10 feet 6 inches high and 1×1 feet in size. Five rows each 0ccuping seven pillars had held the five storied building.  According to legend, this has been a five storied building with the upper floors built with wood.

Close to this ruins of a smaller building  which has been the residence built by king Gotabhaya for Maliyadeva Thero. Escavations carrieds out at this building in 2017 has unearthed rare bronze figures of possibly a guard and a two elephant statue at about a deapth of about 1 meter.

සමිට මලිය දෙව් සැදි තුන් මල්        පාය
මලිය මහා පාය පස් මහලින්        සෑදිය
සමිට මලියදෙව් පිදු ඒ කැප             පාය
එයට බමුණු වඩනා නමකුත්         වේය

In 2012, the department of archaeology excavated an mound of earth in a coconut grove belonging to the temple and unearthed a medium size stupa. This stupa has been built on an octagonal platform with a brick retaining wall. The stupa and the platform has been completely restored now.  However the relics of the stupa had been stolen by treasure hunters long before its recent discovery.  According to the display board erected by the archaeology department, this stupa indicates features of the Anuradhapura kingdom era and based on the legend, this possibly would have been built by king Gotabhaya (253-266).

The hexagonal image house at the temple belongs to to the Kandyan Era. The entrance to this image house is through an exquisitely carved large wooden door frame and a door. The statues and the paintings in the image house still retains the originality even thorough the paintings are now in a dilapidated state due to lack of maintenance.

Another image house from the same era is found with a mandapa in front. In front of this building lies a ancient Siri Pathul gala (foot imprint of of Buddha) and an ancient pillar inscription. This inscription describes donation of twenty kalanda of gold to the Sirisangabo Rajamha Vehera for the provision of meals to the priests on the full moon poya day of month of Medin (March) in the 7th year of King Abaya Salamevan (914-923). It also mention that if any monk give food prepared with this funds to any other outside the monastery, that he will be expelled from the viharaya.

The temple is also one of the four recipients of the pure gold (damba-ran) buddha statues which was carried from India by Maliyadeva Thero. These four statues were kept at Wattarama Rajamaha Viharaya, Kothmale Puhulpitiya Rajamaha Viharaya, Hanguranketha Madanwala Rajamaha Viharaya and Padiyapelella Morapaya Rajamaha Viharaya. This statue was stolen sometime ago and had been recovered sans some parts from the arms which had been cutaway by the plunderers.

You can reach this temple from Polgahawela (5km) through Moragolla and from Kegalle (8km) through Devalagama.

මූලාශ්‍ර

  • H.C.P බෙල් (සිංහල පරිවර්තනය කොත්මලේ කේ. බී. ඒ. එඩ්මන්ඩ් ), 2005. ලංකා පුරාවිද්‍යා ගවේෂණය කෑගල්ල දිස්ත්‍රික්කය පිලිබඳ වාර්තාව (Report On The Kegalle District – 1892 : සිංහල පරිවර්තනය). 1st ed. කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව.
  • මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණේ ගලගම පණ්ඩිත ශරණඩක ස්ථවිර පාදයන් වහන්සේ, 1954. සඟ සරණ (ශුද්ධ කර ලියූ ග්‍රන්ථි පදවිවරණයෙන් යුක්ත). 1st ed. කොළඹ: රත්නාකර පොත් වෙළඳ ශාලාව.
  • විතානාච්චි, චන්දන රෝහණ, 2016. පෞරාණික ස්ථාන හා ස්මාරක : කෑගල්ල දිස්ත්‍රික්කය. 1st ed. කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
  • යටවර, එම්. ඩී. එම්. ඇස්., 2009. කෑගලු කෝරළ පවත : පරණකුරු, කිණිගොඩ සහ ගල්බඩ කෝරළයන්හි ඓතිහාසික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ගවේෂණය. 1st ed. වරකාපොළ: ආරිය ප්‍රකාශකයෝ.
  • නිමේෂ තිවංකර සෙනෙවිපාල, 2013. මලියමහපාය විස්‌තරය අප්‍රකට පුස්‌කොල පිටපතක්‌. [online] දිවයින online edition. Available at: <https://www.divaina.com/2013/01/23/badada03.html> [Accessed 26 December 2020].
  • ඉනෝකා සම­ර­වි­ක්‍රම, 2017. අවසන් මහ රහතුන් වැඩසිටි වට්ටාරම. [online] සිළුමිණ. Available at: <http://www.silumina.lk/2017/05/13/සිත්මල්-යාය/අවසන්-මහ-රහතුන්-වැඩසිටි-වට්ටාරම> [Accessed 26 December 2020].
  • ඔස්වල්ඩ් ගොඩකුඹුර, 2016. අතීත උරුමය යටකොට මොඩ් වුණ වට්ටාරම පුද බිම. [online] දිනමිණ. Available at: <http://www.dinamina.lk/2016/09/23/22742> [Accessed 26 December 2020].

සම්බන්ධ වෙනත් පිටු

වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය රියදුරු දිශාවන්

කෑගල්ලේ සිට වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය දක්වාපොල්ගහවෙල සිට වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය දක්වා
හරහා :මොරගොල්ල
මුළු දුර : කිලෝමීටර් 5
ගතවන කාලය : විනාඩි 10
ගත කිරිය යුතු කාලය : විනාඩි 45-60 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා : දේවාලගම
මුළු දුර : කිලෝමීටර් 8
ගතවන කාලය : විනාඩි 15
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com