දළදා මාලිගාවක් වූ කෑගල්ල බෙලිගල පර්වතය – Archaeological Ruins of Beligala Rock

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.00 out of 5)
Loading...
දළදා මාලිගාවක් වූ කෑගල්ල බෙලිගල පර්වතය  - Archaeological Ruins of Beligala Rock
දළදා මාලිගාවක් වූ කෑගල්ල බෙලිගල පර්වතය – Archaeological Ruins of Beligala Rock
source : www.dinamina.lk

ශ්‍රී ලංකා වංශ කථාවේ වරෙක රජ මාලිගයක් ලෙස ද වරෙක බලකොටුවක් ලෙස ද වරෙක දළදා මාලිගාවක් ලෙසද පැවැත්වුණු බෙලිගල අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අමතක වූ නිධන් හොරුන්ගේ තෝතැන්නක් වී ඇත. කොළඹ නුවර පාරේ කෑගල්ල බෙලිගස් හංදියේ සිට බෙලිගල මාර්ගයේ කිලෝමීටර තුනක් පමණ ගමන් ගත් කල විශාල බෙලිගල පර්වතය හමුවේ. බෙලිගල දකුණු පසට වන්නට පිහිටි මිටි කඳු ශ්‍රේණියකින් සමන්විතවේ. බෙහෙවින්ම සමීප වූ කන්ද කුඩා බෙලිගලයි. එය මහා බෙලිගල කන්දට සමාන හෙයින් එසේ හැඳින්වේ. එය යාර දෙතුන් සීයක් තරමට ළං වන නමුත් විවර වූ දුර්ග මාර්ගයකින් වෙන්ව පවතී.

මෙම ප්‍රදේශයට බෙලිගල නාමය නම් බැඳීම පිළිබඳව නොයෙක් ජනප්‍රවාද පවතී. කඩයිම් පොත පැරණි ග්‍රන්ථයේ මෙම නාමය ලැබුනේ මුතු, පබළු හා සත්රුවන් (රන්, රිදී, මුතු , මැණික්, දියමන්ති, වෛරෝඩි, ප්‍රවාල – gold, silver, pearls, gems, diamonds, cats-eyes and coral) බෙලි, දිවුල් ගස් වල හා ගල් ගුහා ආදියෙහි පහලවූ හෙයින්ද මෙහි මායිම් සලකුණු කිරීමට බෙලි ගෙඩි කෙටූ ගල් කණු සතරක් වූ නිසාද, කෙළෙඹි පුත්‍රයෙක් පෙර මහරජුන්ට බෙලි ගෙඩියක වස්තුව පුරවා දී මෙම බිම මිලදී ගත් නිසාද, බෙලිගල පායට බස්නාහිර දෙසින් බෙලිගල පර්වතයේ පැල්මක බෙලි රුකක් තිබූ නිසාද රජුට බෙලිමල් සපයන වතු මෙම ප්‍රදේශයේ තිබූ නිසාද බව සඳහන් කරයි.

දෙවිසි වැනිව කියන ලද බෙලිගල රාජ්‍යය නම් බෙලි ගිවුල් ආදියෙහිද ගල් ගුහා ආදියෙහිද මුතු හා පබළු හා සත්රුවන් පහළ වූ හෙයින් බෙලි පල කෙටූ ගල් ටැම් සතරක් සතර කොන කඩවසමට තිබූ හෙයින් පෙර රජෙකුට බෙලි පලයක් පුරාවස්තු දී ප්‍රවේණි සැලැස්මට එක්තරා කෙළෙඹි පුත්‍රයෙක් බිම ගත් හෙයින් ද බෙලිගල් පායට ඉඳුරු දිග ගල් පර්වත ජිද්රාවක බෙලි රුකක්ක පිහිටි හෙයින්ද සෑම මල් වතු පිහිටි හෙයින් ද රජුන්ට බෙලි මල් පසිඳු නා හෙයින් ද බෙලිගල් රාජ්‍යයයි නම් ලද බෙලිගල් පර්වතයට බටහිර දෙණිපතක මල්වත්තක් සැදූ හෙයින් මල්දෙණිය නම් පියසක් ඇත.

කඩයිම් පොත

බෙලිගල හා සම්බන්ධ වන මුල්ම රජ වන්නේ 1වෙනි ගජබා රජතුමාය (112-134). ඔහු තම පියාගේ රාජ්‍ය කාලයේ සොලී දේශයට රැගෙන ගිය දොළොස් දහසක් සිංහල නිදහස් කරවාගෙන ඊට වන්දි වශයෙන් දොළොස් දහසක් දෙමළ සිරකරුවන් රැගෙන ලංකාවට නැවත පැමිණි අයුරු රාජාවලියේ සඳහන් වේ.

කුරුණෑගල විස්තරයේ 1වන ගජබා රජතුමා නැවත ලංකාවට පැමිණි පසු බෙලිගල පර්වතයේ නවමහල් ප්‍රාසාදයක් හා ඒ හා සම්බන්ධ නිවාස හා වෙනත් ගොඩනැගිලි ගොඩනංවා දැඩිගම නුවර පාළුකොට බෙලිගල නුවර ගොඩනැඟූ අයුරු දැක්වේ.

“මෙසේ සකල කලබා නරේන්ද්‍රයාගේ අති ජය වූ ගජබාහු රජ කුමරුවා සොළොස් වන අවුරුදු වයසට පැමිණි කල මහරජ තනා දුන් යකදාව ගෙන පින් බලයෙන් සයුරට බැස ජලය දෙබා කොට සොලී රටට ගොස් දොළොස්දහස් විසිහතරදාහක් අල්ලාගෙන මෙරටට ගොඩ බැසි දැඩිගත් නුවර පාළු කරවා බෙලිගල නුවර කරන්ට පටන් ගත්තේය. විහාරයට නැගෙනහිරින් පළලින් එකසිය විසි රියනකුත් හා දිගින් එකසිය විසි රියනකුත් හා නවමහල් ප්‍රාසාදයක් තනා එවාට කුළු ගෙවල් පන්සියයක් තනා අසූ එකක් ගබඩා ගෙවල් හැටපහක් අරමුදලේ ගෙවල් හා මෙසේ විස්තර වශයෙන් නුවරක් තනා අසූරියනක් බෝධි කොටුවක් ……. “

කුරුණෑගල විස්තරය

මේ අනුව දෙවන ශත වර්ෂය වන විට බෙලිගල රාජ මාලිගයක් සහිත සම්පූර්ණ නුවරක් වී ඇති බව පෙනේ.

එවකට කෑගල්ලේ සහකාර ඒජන්තව සිටි ආර්. ඩබ්ලිව්. අයිවර්ස් මහතා බෙලිගල පිළිබඳව දීර්ඝ විස්තරයක් රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ 1884 වර්ෂයේ ප්‍රකාශිත සඟරාවේ පලකොට ඇත. ඔහු මෙහි නාම සම්භවය පිළබඳව මෙසේ පවසයි. පර්වතය බෙලි ගෙඩියක් සේ දිස්වන බැවින් මෙම නාමය ලැබූ බව පෙනී යයි. දිස්ත්‍රික්කයේ අලගල, බතලේගල, ඌරාකන්ද වැනි පර්වත නාමාවලිය විමසීමෙන් එය සිදුවිය හැකි බව පැහැදිය. ඊට අමතරව ජනප්‍රවාදයේ එන කතාවක එක්තරා බ්‍රාහ්මණයෙක් බෝ පැලයක් රැගෙන ගමන් කරද්දී මෙම ප්‍රදේශයේ තිබූ බෙලි ගසක් අසළ විඩා නිවීමට එම බෝ පැලය බෙලි ගසේ අත්තක තබා ආහාර ගැනීමට බැහැරට ගියේය. ඔහු නැවත බෙලි ගස වෙත පැමිණ බෝ පැලය ගැනීමට තැත් කරනා විට බෝ පැලය එය බහාලූ පාත්‍රයද හිල් කොට ගෙන බෙලිගසේ ඔබ්බෙන් පොළොවට මුල් ඇදගෙන ඇතිබව පෙනිණි. නමුත් අද මෙම පර්වතයේ බෙලි හෝ බෝ ගසක් නොමැත.

ඔහු රාජාවලිය උපුටා ගනිමින් බෙලිගල සම්භවය පිලිබඳව මෙසේ අදහස් පල කරයි;

කාලිංග නුවර ගුහසීව රජුගේ බෑනා දන්ත කුමරු හා දුව රන්මාලී කුමරිය දන්ත ධාතුව සමග ලක්බිමට ගොඩබැස දළදාව කිත්සිරිමෙවන් රජුට භාරදී එම පරපුරේ අය බෙලිගල කෝරලයේ කීරවැල්ල පත්තුවේ ක්‍රි.ව. 310දී පංදිචි විය. ඔවුන් රාජකීය පවුල් සමග ආවාහ විවාහ වෙමින් 15වන ශත වර්ෂය තෙක් එම ප්‍රදේශයේ ජීවත් වූහ. දේශීය පුරාවෘත්ත වලට අනුව බෙලිගල ගොඩනැගිලි මෙම කාලිංග අධිපතිනට පවරයි. මෙම කුමාරවරුන් බෙලිගල පර්වතය බලකොටුවක් ලෙස භාවිතා කලබව සැක කිරීමට කිසිදු හේතුවක් නොපෙනේ.

රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ 1883-84 වසර සඟරාව

ඉක්බිති සුළුවංශයට ආදියෙහි මහසෙන් රජ පිත් කිත්සිරිමෙවන් රජහු රාජ්ජය ලත් නව වැන්නෙහි කලිඟු නුවර ගුහසීව නම් රජ අත දකුණු දළදාසාමීන් තිබුනා දැනගත යුතුයි. ඒ කලිඟු රජ දළදාසාමීන් වැඳ පුදා සිටියා දැනගත යුතුයි. ඒ දළදාසාමීන් ගන්නට සැවැත් නුවර රජ සටනට ආ විට කලිඟු රජ තුමාගේ දුව රන්මාලි නම් කුමරිය ඒ රජුගෙ බෑනා දන්ත නම් කුමාරයාට බාර කර දි , ඒ රජු තමාගෙ දූටත් බෑනටත් කියනුයේ මාගේ යාළුවා කිත්සිරිමෙවන් රජ ලකට රජකම් කරනවාය . මම යුද්ධයට ගොසින් පරාජය වී නම් රතු කොඩි බඳනවාය. මේ ධාතූන්වහන්සේ ඒ සතුරු රජුට නොදී තොපි දෙදෙනා ආඬි වෙස් ගෙන දළදා ගෙන ගොස් කිත්සිරිමෙවන් රජුට දෙවයි කියා යුද්ධයට ගොසින් කලිඟුරජ පරාජය වූ විට රතුකොඩි බැඳ කොට වැටුණාහ. ඒරජ කී සැටියට රතු කොඩි දැකලා දුවත් බෑනාත් දළදාසාමීන් ගෙන ආඬි වෙස් ගෙන අතරමග ගෙවා තූත්තුකුඩියෙන් නැව්නැඟී මේ ලංකාවට ගොඩබැස කිත්සිරිමෙවන් රජහට දළදා දීලා සිටි සඳ එකුමාරයාට කුමාරියටත් බෙලිගල් කෝරළේ කීරවැල්ල යන ගම ඉන්ඩ සලස්වා දී බොහෝ උපකාර දී උන්නාහ දැනගත යුතුයි. කිත්සිරිමෙවන් රජ දළදාසාමීන් ගෙන දළදා ගෙයක් කරවා දළදා ගෙට ගම් පූජා කොට නිත්ත නිරන්තරයෙන් පූජා කර ඒ රජ අටවිසි අවුරුද්දක් රාජ්ජය කෙළේය.

රාජාවලිය

ඉන්පසුව බෙලිගල පිළිබඳව සඳහන් වන්නේ 3වන විජයබාහු රජුගේ කාලයේදීය. වර්ෂ 1215 දී සිදු වූ කාලිංග මාඝ ආක්‍රමණයෙන් පොළොන්නරු රාජධානිය සම්පූර්ණයෙන් බිඳ වැටිණි. මෙසේ වසර 24ක් වෙහෙර විහාර, වැව් අමුණු විනාශ කරමින් කෲර පාළනයක් පැවතුනි.

කාලිංග මාඝගේ ආක්‍රරමනයත් සමගම මහා සංඝරත්නය බුදුන් වහන්සේගේ දළදා ධාතුව හා පාත්‍රා ධාතුව පොළොන්නරුවෙන් ඉවත්කොටගෙන මායා රටට වැඩමකොට රහසේ කොත්මලේ පොළව යට නිදන් කොට ඔවුන් පඬි හෝ සොලී දේශයන්ට ගියහ. මාඝගේ පාළනය දුර්වළ වෙද්දී වසර 1232දී 3වන විජයබාහු තම රාජධානිය දඹදෙණියේ පිහිටුවා ගත්තේය. පසුව ඔහු අමාත්‍යන් යවා ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශ වල විසූ මහා සංඝරත්නය නැවත මෙරටට ගෙන්වා ගත්තේය. එසේ ගෙන්වා ගත් මහා ස්ථවිරයන්ගෙන් වැඳ ඔවුන්ගෙන් ධාතූන් යුගලය පිළිබඳව විමසු කල ඔවුන් එම ධාතූන් වැඩසිටිනා ස්ථානය දන්නා බව රජුට පැවසූහ. රජතුමා මහත් සතුටින් මහා සංඝරත්නය සමගින් කොත්මලේට ගොස් ධාතූන් යුගලය ලබාගෙන මහත් පුද පූජා පවත්වා උත්සවාශ්‍රියෙන් දළදා හා පාත්‍රා ධාතුව දඹදෙණියට වැඩමවා ගෙන එන ලදී.

ඉන්පසුව ඔහු මෙහි ආරක්ෂාව තරකිරීම සඳහා බෙලිගල පර්වතය වටා ආරක්ෂක පවුරු බැඳ දෙව් විමනක් හා සමාන ධාතු මන්දිරයක් හා ඒ වටා ප්‍රාසාද, මන්දිර, ශාලා සාදා ධාතු ආරක්ෂක මහා සංඝයාට සියළු අංගෝපාංග සහිත සංඝාරාමයක් තනවා දළදා හා පාත්‍රා ධාතුව බෙලිගල පර්වතයේ නව ධාතු මන්දිරයට ගෙනයන ලදි.

ඩබරයෙහි අනිකක් වීමට පෙරාතුව පොලොන්නරුවවෙන් ශාස්තෘහුගේ පාත්‍රා ධාතුව හා දන්ත ධාතුව ගෙණ වාගීශ්රාදී සියලු මහා ස්ථවිරයෝ නික්ම මායා රටට එහි කොත්මලය නම් පව්වෙහි එක පියසෙක්හි නිර්භය වූ ස්ථානයක්හි සාදර වූවෝ ඒ ධාතු යුග්මය භූමිගත කොට නිධාන කළෝ ඉක්බිත්තෙන් ඔවුන් අතරින් වාගීශ්වරවාදි මහා ස්ථවිර කෙනෙක් ශාසනස්ථිතියට කාරණා වූ ලංකාරක්ෂාව සොයමින් අතිශයින් කම්පිත වූ රළමාලා ඇති මහා සමුද්‍රය තරණය කොට පඬි සොලී ආදී රටට ගියාහුද, කරුණාවට ආකාර වූ ඒ විජයබාහු නරේන්ද්‍ර තෙම මහා මාත්‍යාදීන් යවා ඒ සියලු වහන්දෑ ම නැවත ඒ රටින් මෙහි කැඳවූයේය. හේ තෙමේ ආවා වූ ඒ මහ තෙරුන් වැඳ “දන්තධාතු පාත්‍රා ධාතු ද තිබුණේ දැ”යි විචාළේය. අසවල් තැනය යි උන් වහන්සේලා වදාළ කල්හි නරේශ්වර තෙමේ එම ස්වනක් ප්‍රීතියෙන් සම්පූර්ණ වූ සර්වාංග ඇති වූයේය. ඒ මිහිපති තෙම ඒ මහ තෙර සමූහයා පෙරටු කොටගෙන කොත්මල පව් වලට ද සෙන් සමග වැඩියේය. පර්වතය හාත්ප්‍ය මහපුද කරවා සතුටු සිත් ඇත්තේ දංෂ්ට්‍රාපාත්‍ර ධාතු යුග්මය එහි දුටු යේය. එකල්හි පෘථිවිශ්වර තෙමේ චක්‍රරත්නාදී රත්නයක් හෝ මහා නිධානයන් ලබන්නා මෙන්ද නිර්වානයට පැමිණෙන්න මෙන්ම සතුටු වූ සිත් ඇත්තේ මන්ධධාතු නරේන්ද්‍රයන් සමාන සම්පත් ඇත්තේ ඒ ධාතු යුග්මය ගෙන මහත් සැණකෙළියෙන් යුක්තව ගමින් ගමට පුරයෙන් පුරයට ගෙන සත් ජනයා විසින් ආරබ්ධ දර්ශනීය මහෝත්සව ඇත්තාවූ රම්‍ය වූ දඹදෙණියට ගෙන ආ සේය.

පණ්ඩිත වූ රජ තෙමේ මේ ධාතූන් වහන්සේලාට මහත් වූ පූජාවිධිය දවසක් දවසක් පාසා පවත්වන්නේ ඉක්බිත්තෙන් මෙසේ සිතූසේ ක. “සර්වප්‍රකාරයෙන් අනාගත කාලයෙහි අන්‍ය නරේන්ද්‍රයෙක් වූ කලී මේ බුද්ධ ධාතූන්ට පරසතුරන්ගෙන් යම්සේ පීඩා නොවන්නේ යි ද එපරිද්දෙන් අතිශය නිර්භය ස්ථානයක් සකසා කරවන්නෙමි” සිතා යම්සේ අහස්හි දෙවියන් විනා පොළොවෙහි පස මිතුරු මිනිසුන් විසින් යනු නොහැකි වේද එපරිද්දෙන් බෙලිගල හාත්පසින් පව් ආදියෙන් සුරක්ෂිත කොට ඒ ගල මත්තෙහි උතුම් වූ දංෂ්ට්‍රාධාතු මන්දිරයක් දෙව්ලොවින් ආවා වූ දෙව් විමනක් මෙන් මනරම් කොට කරවාථ ඒ හාත්පස ද නානාවිධ ප්‍රාසාද මණ්ඩලාන්විත වූ රාත්‍රී ස්ථාන දිවා ස්ථාන ප්‍රතික්‍රමණ ශාලාවෙන් ශෝභන වූ වැව් පොකුණින් යුක්තවූ සංඝාරාමයක් කරවා පණ්ඩිත වූ රජතෙමේ ඒ ධාතු මන්දිරයෙහි දංෂ්ට්‍රා පාත්‍රධාතු යුග්මය මහත් වූ සැණකෙළියෙන් ආදර සහිත පිහිටු වූයේ ය. ධාතු රක්ෂාවෙහි නියුක්ත වූ ස්ථිරශීලී වූ ස්ථවිරයන්ට ඒ සංඝාරාමයද දී දන්වැට ද තැබ්බ වූයේය. දවසක් දවසක් පාසා ධාතුන් වහන්සේලාට උතුම් වූ පූජා විධි මහෝත්සවය මනාකොට පවත්වනු පිණිස ව්‍යවස්ථා කරවූයේය. ඉක්බිත්තෙන් පෘථිවිශ්වර තෙමේ සම්‍යක් සම්බුද්ධ ශාසනයට ශ්‍රද්ධාවෙන් උපකාර කරන්ට පටන් ගත්තේ ය. එය කෙසේ දැයි කියනු ලැබේ.

මහාවංශය සිංහල

මෙසේ ලංකාද්වීපය ගිනිගත් ගෙයක් සේද එක් වළහම්ගෙයක් සේද කරවා ගම ගමදෙමළුන් ලවා බලාහත්කාරයෙන් පැහැර රජ කරණ කල්හි නැවත ලක්දිව සිසාරා මහේශාක්‍ය දෙවියන්ගේ සහාය බලයෙන්දෝ හෝ යට කී මහබෝ වඩා ආ සිරිසඟබෝ වංශයෙන් නොනැසී ආ සිරිලක රජ පැමිණි මාඝ නම් ලද පූර්වාභිධාන ඇති කාලිංඝ විජයබාහු නම් මහ රජ මායා රජයෙහි හිද වැසි අන්දකාරයෙහි තේජස් කදක් සේ පැන නැගි සියළු බල පිරිස් ගෙණ ගම ගම හුන් දෙමළුන් මරා ලුහුබඳවා පිහිටි රට හැර මායා රජය තැන්පත් කොට එහි ජම්බුද්‍රෝරණි නම් පුරයක් කරවා එහි හිද රජ කරනුයේ යට කී දොළොස් රජුන් කාලයෙහි ලක්දිව දෙමළුන්ට ගෙ‍ාස් දෙමළ වියවුලෙන්-

මෙසේ නසන ලද පොත් පත් ආදිය ඇති පාසිවුරු දමා ශරණානෙවෂිව මායා රජයට පැමිණි මහා සංඝයා වහන්සේට චීවරාදී චතුර්විධප්රයත්ය යෙන් උපස්ථාන කොට දෙමළ පරාජකයෙහි පොළොන්නරුවෙන් දළදා පාත්‍ර ධාතුන් වහන්සේ ගෙණ මහා ගල්වල නැගී වනදුර්ග, ගිරිදුර්ග, ජලදුර්ගයෙන් දුර්ග වූ කොත්මල ගොස් එහින් රැකලියනොහී භූමිගත නිධානගතකොට සොළී පාඬි රජයට ගිය මහා ස්ථවිර ගණයා (කාලිංග විජයබාහු නම් මහරජ) මායා රජයට (දඹදෙණියට) ගෙන්වා දළදා පාත්‍ර ධාතුන් වහන්සේ නොනට පවත් අසා අති සන්තෝෂව එකෙනෙහි මහ සඟ ගණ හා මහා සෙනඟ ගෙණ ගොස් මහත් වූ පූජොත්සව‍යෙන් කොත්මල ගොස් දළදා පාත්‍ර ධාතුන් වහන්සේ ගෙණ සක්විති රාජ්ජය ලද්දාක් මෙන් උදාර වූ සන්තෝෂයෙන් ගම ගම මහත් වු පූජා කරවමින් වඩා ගෙණවුත් මතු අරාජකයෙහි නොනස්නා සේ දළදා පාත්‍ර ධාතුන් වහන්සේට ක්ෂේමස්ථානයක් කරවමියි සිතා බෙළිගල සිසාරා පවුරු පදනම් වලින් සුරක්ෂිත කොට ආකාශයෙන් මනුෂ්‍ය කෙනෙකුන් වැද්ද නොහැකි සේ ඉතා සුරක්ෂිත කොට පර්වත මුදුනෙහි දෙවිලොවින් බට දිව්‍ය විමානයක් සේ අසමාන වූ දළදා ගෙයක් නන්වා සිසාරා, රත්පත් සුළුපා මහපා, චන්ක්‍රමණ පැන් පොකුණු ආදියෙන් යුක්ත වු සංඝාරාම කරවා මහත් වූ මංගල්‍යයෙන් දළදා පාත්‍රා ධාතුන් වහන්සේ ගෙට වඩා ධාතු ආරක්ෂාවෙහි නියුක්ත වූ ස්ථවිරවරයන්ට සංඝාරාමය පිළිගන්වා දානවෘත්ති තබා දී දවස් පතා පූජා පෙළහර කරණ සේ නියම කොට නැවත තමන් නමින් විජයසුන්දරාරාම නම් මහා විහාරයක් කරවා තවද තමන් නමින් විජයබාහු නම් රජමහා විහාරයක් කරවා තවද වත්තල තමන් නමින් නැවත බදවා කොත් පළඳවා එම විහාරයෙහි බොහෝ පිළිම ගෙවල් ජරාවාස හරවා අනිකුදු මායා රජයෙහි දෙමළුන් නැසූ බොහෝ විහාර කරවා නැවත ලක්දිව මහා සංඝයා රැස් කොට බොහෝ දවසක් අසමගි වූ සංඝයා සමගි කොට මහළුකම් කරවා තුන් රජයෙහි සියළු සංඝයාට නොවරදවා අටපිරිකර දී සත් දවසක් මහළුකම් පූජා කරවා දෙවෙනිව ශාසනෝපකාරයට පටන් ගෙණ ලක්දිව පොත්පත් දෙමළුන් නැසූ හෙයින් සංඝයාගේ අකුරු බණ ප්රරමාද සේ අසා පළමු දෙවනපෑතිස්ස රජු කාලයෙහි පටන් මේ පාළි ධර්මය බොහෝ මහා ස්ථවිරයෝ සිත්හි ලා ධරා වැඩ මෑත වළගම් අභා මහරජහු කාලයෙහි පොත් සංඝායනා කළහ.

රාජාරත්නාකරය

“මතු අරාජිතයෙක පරසතුරන්ගෙන් පීඩාවක් නොවනසේ දළදා ස්වාමීන්ට ක්ෂේමතානයක් කරවමි” යි සිතා බෙලිගල සිසාරා පවුරු පදනම් වාසලින් සුරක්ෂිතකොට, පර්වත මුදුනෙහි දෙවුලොවින් බට විමානයක් සේ අසමානාවූ දලදාගෙයක් නංවා සිසාරා රන්පත්-සුළුපා-මහාපා-චංක්‍රමන=මණ්ඩප-පන් පොකුණු ආදී වූ සංඝාරාමයන් කරවා,මහත් වූ මංගල්‍යයෙන් දළදා ස්වාමීන් එගෙට වඩා, දන්තධාතු අරාක්ශාවෙහි නියුක්ත වූ ස්ථවිරයන්ටසංඝාරාමය පිළිගන්වා, දාන වෘත්ති නංවා දවස් ඔඅතා පූජා පෙරහැර කරන සේ ව්‍යවස්ථා කොට රජගෙන්-බුදුන්ගෙන් සම සමයෙහි රැකවල් ලවා, අප්‍රමාන පුජා කළහ.

පූජාවලිය

යටගිය දවස සියලු දසදහසක් යොදුන් දඹදිව ට නායක වූ සූර්ය වංශයට තිලකාභරණයක් වැනි වූ ධර්මාශෝක නම් රජු විසින් තමන් හට මිත්‍ර වූ දෙවන පෑතිස් රජ හට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩා ගෙනෙන දවස් කැටුව එවන ලද තමන් හා සමාන වූ ගෝත්‍ර ඇති රාජ කුමාරවරුන් ගෙ දරු මුණුපුරන් පරම්පරාවෙන් පැවත ආවා වූ විජය මල්ල නම් රාජෝත්තමයාහට පුත්‍ර වූ විජයබාහු නම් මහ රජ තෙමේ විශේෂයෙන් දන්නා ලද සියලු සමයාන්තර ඇත්තේ නිරන්තරයෙන් ස්වකීය වූ ඥාන ශක්තියෙන් පුරුදු කරන ලද ලෝකනීති ධර්මනීති සංඛ්‍යාතනීති මාර්ගයෙන් ඇත්තේ සමෘද්ධ වූ චතුරාංගනී සේනාව ඇත්තේ දඹදෙණි නම් නුවරක් කරවා එහි වාසය කරන්නේ මහත් වූ සිව්රඟ සෙනගින් ජය ගන්නා ලද පරසතුරන් ඇත්තේ කොත්මලයේ හි නිධාන කළ දළදා පාත්‍ර ධාතුන් වහන්සේ ගෙන්වාගෙන දිව්‍ය විමානයක් හා සමාන වූ විශේෂයෙන් බබළන්නා වූ දළදා ගෙයක් කරවා එහි දළදා පාත්‍ර ධාතුන් වහන්සේ වඩා මහත් වූ පූජා සත්කාර කිරීමෙන් ආදර සම්භාවනා කරන්නේ භාග්‍යවතුන් සර්වඥයන් වහන්සේගේ සුවාසුදහසක් ධර්මස්කන්ධය ට එපමණම වූ ක්ෂාපණයෙන් පූජා කොට බුදු සස්නෙහි මහත් වූ කුශල චරිතයන් කරන්නේ

අත්තනගළුවංශය ( 11 පරිච්චේදය 3 කොටස)

ඉන්පසුව මහාවංශයට හා පූජාවලියට අනුව අනුව විජයබාහු පුත් වූ පණ්ඩිත පරාක්‍රමබාහු (1236 -1270) විසින් ඔහුගේ මලනුවන් හා යුවරජ වන බුවනෙකබාහු විසින් බෙලිගල්වෙහෙර බුවනෙකබාහු නමින් ප්‍රාසාද මණ්ඩප ආදියෙන් හෙබි සංඝාරාමයක් කරවූ බව සඳහන් කරයි.

නමුත් පසුව පණ්ඩිත පරාක්‍රමබාහු (1236 -1270) රජු විසින් දළදා හා පාත්‍රා ධාතුන් දෙනම බෙලිගල සිට විජයසුන්දරාරාමයහි තැනු දළදා මාලිගයට වැඩම කරවාගෙන ගිය බව මහාවංශය හා රාජරත්නාකාරය සඳහන් කරයි.

අයිවර්ස් මහතාගේ සංචාරයේ වාර්තාවන්ට අනුව 1880 දශකය කාලයේ බෙලිගල පිළිබඳව මෙසේ දැක්වේ.

බෙලිගල පර්වතය මුදුනට යාමට අඩි පාර ඇත්තේ පර්වතය පාමුල ජීවත්වන වියපත් කෝරාළගේ නිවසේ මිදුල හරහා ය. ඔහු වූ මෙම ඉඩම වගා කටයුතු සඳහා 1862 දී රජයෙන් ලබාගෙන ඇත .

පර්වත මුදුනට යන මාර්ගයේ අඩක් (පමණ) ගිය විට යාර 18ක් ගැඹුරු යාර 5ක් පළල ගල් ලෙනක් හමුවේ. ජනප්‍රවාදයට අනුව මෙය මුර ගෙයකි. තවත් ඉහලට ගිය විට සීගිරියේ කොටුපවුර අනුව යමින් ගොඩනඟා ඇති ශෛලමය කොටුපවුරක නටබුන්, කැඩී බිඳී ගිය කුළුණු රැසක් හා පියගැට පෙලක් හමුවේ. මෙය යම්කිසි ද්වාරයක නටබුන් විය හැක. මේ නම් පසුකරන විට යාර 50×20 පමණ ප්‍රමාණයක සමතල බිම් කොටසක් වේ. ගමන් මාර්ගය රාජ මාලිගාව පිහිටි මේ භූමිය හරහා ගමන්කොට පර්වතයේ දකුණු පසින් පර්වත මුදුනට ළඟා වේ.

මෙම පර්වතය මුදුන අක්කර අටක් – දහයක් හෝ ඊට වැඩි විය හැක. මුදුනේ ඇති දළදා මාලිගාවේ නටබුන් ගල් කණු රාශියක් සහ සරල කැටයම් සහිත කණු ශීර්ෂ ශේෂව පවතී. මෙහි ගල්කණු කිහිපයක් කෝරාළ විසින් වී බිස්සක්, කමතක් හා පියගැට පෙළ සඳහා කිතුල් කඳන් යොදා පහළට ගෙන තිබේ. මෙම කණුවල කැටයම් හෝ කලාත්මක අගයක් නොමැත. සාමාන්‍යයෙන් පියගැටපෙළක දක්නට හැකි ගලින් කැටයම් කල ඇත් සොඬ (කොරවක් ගල්) දෙකක් මෙහි දක්නට තිබේ. මීට අමතරව අඩි එකහමාරක් පළල ශෛලමය පාත්‍රාවක් ද පවතී.

මීට අමතරව අඩි හය හමාරක් දිග තුනහමාරක් පළල විශාල කුතුහලය දනවන ගල් ලෑල්ලකි. එහි සෑම කෙළවරකම තව්වකට සවි කිරීම සඳහා කුඩුම්බි කපා ඇත. එහි මධ්‍යයේ ඉහළට නෙරා සිටින සේ කදිම කැටයමකින් යුත් උත්ථානයකි. මෙය ද්වාරයක් පැති කණුවක්ද විය හැක. එහෙත් ඒ කාර්‍ය සඳහා අනවශ්‍ය අයුරින් පළලව ඇත. එසේ වුවද අනුරාධපුරයේ ඇතැම් ඒවා මීට වඩා පළල් ය.

එච් සී පී බෙල් මහතා කෑගලු වාර්තාවේ සඳහන් කරන පරිදි ඉහත සඳහන් කොරවක් ගල් දෙක එම ස්ථානයට ගෙන ගොස් ඇත්තේ මියගොස් සිටි කෝරාල විසිනි. ඒවා කුමන ස්ථානයකින් ගෙන ආවාදැයි අදහසක් නොමැත. අයිවර්ස් මහතා සඳහන් කළ ශෛලමය පුවරුවේ නිවැරදි දිග අඩි 5යි අඟල්10ක් ද පළල අඩි 2යි අඟල් 9ක් ද ගැඹුර අඟල් 6ක් ද වේ. මෙහි කුඩිම්බි තිබුණේ එක කොනක පමණය. මධ්‍යයේ නෙරුම විකසිත වූ පද්මයකි. අඩි 1ක විශ්කම්භයකින් යුත් එය සුන්දර ලෙස නොගැඹුරු කැටයමින් නෙළන ලද්දකි. මල් පොරුවකට මිස අන් දෙයකට ගන්නා ලද යැයි අනුමාන කිරීම දුෂ්කරය.

දළදා මාලිගාව යයි සැලකෙන නටබුන් වලට දකුණු දිශාවෙන් පර්වතය හරහා ගල් දෙබොක්කාවකි. එම ගල් දෙබොක්කාව දෙකොනින් වසා ජලය එක්රැස් කරන පොකුණක් ලෙස භාවිතා කොට ඇත. අයිවර්ස් මහතා මෙහි සංචාරයක් කරන විට මෙම පොකුණ සිඳී තිබිණි. මෙම ගල් දෙබොක්කාව පසු කල විට පර්වතය මුදුනේ පස් නොමැති ගල්තලාව හමුවේ. මෙම ගල්තලාව පුරා තැනින් තැන දිගැටි අඟල් 2ක් පළල අඟල් 4ක් දිග අඟල් 3ක් පමණ ගැඹුරු කුහර සාරා තිබෙනු දැකිය හැක. මෙම කුහර අහඹු ලෙස තැනින් තැන සරා ඇති අතර ඒවායේ කිසිම ක්‍රමානුකූල බවක් දක්නට නොලැබේ. මෙම වලවල් බොහෝ විට යාර දෙකකට අඩු දුරින් යම් විට ඊටත් වඩා ලඟින් හාරා ඇති බව පෙනේ. අයිවර්ස් මහතා උපකල්පනය කරන්නේ මෙම වළවල්වල ලී කණු සිටවා ඒ මත වේදිකාවක් සාදා තිබිය හැකි බවයි.

එච් සී පී බෙල් මහතා පවසන්නේ පර්වත මුදුන අඩි 20ක් ගැඹුරු අඩි15ක් පළල විවරයකින් දෙකඩ වී ඇති බවයි. දළදා මාළිගාව පිහිටියේ බෙලිගල මේ කොටසේය. ගලෙහි කපන ලද පියගැට ලකුණු වලින් පෙනෙන්නේ මෙය පර්වතයෙහි දකුණු දෙස ඉස්මත්ත සමග පාලමකින් සම්බන්ධ කොට තිබුණු බවයි. නියම ධාතූන් වහන්සේලා පිහිටවූ සිද්ධස්ථානය මෙතන තිබෙන්නට ඇති අතර බැතිමතුන් අගල හරහා අතේ දුරින් එම ධාතූන් වහන්සේලා වැද පුදා ගන්නට ඇත.

අයිවර්ස් මහතා නිරීක්ෂණය කල ක්‍රමානුකූල බවිත් තොර ගල් කුහර එච් සී පී බෙල් මහතා ඒවායේ යම් පිළිවෙළක් ඇතිබවත් එම කුහර නොයෙක් ගොඩනැගිලි සඳහා භාවිතා වී ඇති අයුරු සඳහන් කරයි.

බෙලිගල පර්වතයේ නටබුන් ස්ථාන පිළිබඳ දළ සටහනක් <br>A rough sketch of the Beligala Rock and the ruins published by Ievers in 1886
බෙලිගල පර්වතයේ නටබුන් ස්ථාන පිළිබඳ දළ සටහනක්
A rough sketch of the Beligala Rock and the ruins published by Ievers in 1886

අයිවර්ස් මහතා අඳින ලද බෙලිගල දළ සටහනේ පොකුණ (C) බටහිර දෙසට වෙන්නට සලකුණු කර ඇති නමුත්එය මුඩු පර්වතයත් රාජ මාලිගය (D)ත් අතර වඩාත් නිරිතදිග වන්නට පිහිටා ඇත. වියළි කාලවලදී හැරෙන්නට එහි ජලය රඳා පවතී.

අයිවර්ස් මහතාගේ සටහනේ රාජ මාලිගය (D) නිවැරදිව සටහන් කොට ඇති බව බෙල් මහතා සඳහන් කරයි. කෙටි ගල්කණු පේළි තුනක් පර්වතයේ උසම පැත්තෙ දකුණේ සිට පේලි තුනකින් ආපසු දිවෙයි. මෙම පේලි තුනේ පළල එක සමානය. එනම් අඩි 10 කි. එහෙත් අතරෙහි වූ ඉඩ ප්‍රමාණයන් වෙනස්ය. වම් පසෙහි වූ පේළිය මැද පේළියේ සිටි අඩි 60ක් ඔබ්බෙන් පිහිටා තිබේ. මේ දුරින් අඩකින් එය දකුණු පසින් වූ තුන් වැනි පේළියෙන් වෙන් වී ඇත.භූමි භාගයේ පවත්නා අවදානම් තත්ත්වය හේතුකොටගෙන මෙය සිදු කළා විය හැක. ගල් ටැම් 30 කින් යුත් වම් පේළියේ සියල්ල පැරණි තත්ත්වයෙන්ම පවතී. මැද පේළියේ ඇත්තේ ගල් කිහිපයකි. මෙහි සැලැස්ම අනුව දකුණු පසට හා වම් පසට වන්නට යහන්, ගබඩා, මුළුතැන් ගෙවල්, හා ගබඩා ගෙවල් යනාදිය සහිත වූ ප්‍රධාන ශාලාව මැද පේළිය පිටිපස වූ උස් ගොඩැල්ල මත ඉදිකොට තිබුණා විය හැක.

අයිවර්ස් මහතාගේ සටහන අනුව බෙලිගල පර්වතයේ ගිනිකොන දිශාවට වන්නට පොකුණු දෙකක් දක්නට ලැබේ. මින් එකක් අඩි 25ක් දිග අඩි 10ක් පළල අඩි 6ක් ගැඹුරු ගලේම කපන ලද ශෛලමය පොකුණකි. ඊට පහළින් අඩි 20ක පමණ විශ්කම්භයකින් යුත් වෘත්තාකාර පොකුණක් පවතී. මෙය විශාල වේල්ලකින් සාදා ඇති අතර ඒ මත විශාල ගස් පැලවී ඇති හැකි ආකාරය දැකගත හැක. අයිවර්ස් මහතා බෙලිගල විමර්ශනය කරන කාලයේ දී මෙම පොකුණු දෙකම ජලය රඳා පවතින තත්ත්වයේ පැවති බව පවසයි.

පර්වතයේ ඊසාන දිග දිශාවෙ විශාල ගල් ගුහාවක් ඇති බව අයිවර්ස් මහතා පවසයි. මෙහි කුඩා පොකුණ ආසන්නයේ ඟල් 6 x 3 ප්‍රමාණයෙන් යුත් ගලෙහි කොටන ලද විභ්නයක හෝ එසේ නැතහොත් අකුරක ලකුණක් පවතී. බෙල් මහතා මෙය සිංහල “” යන්නෙහි පැරණි රූපය බව පවසයි. එබැවින් එය ඇතැම් විට සීමාකරණීය වැදගත්කමක් පවතින්නට ඇත. තණ ඇතිරිය මුළුමනින්ම ඉවත් කළහොත් ඇතැම්විට ශිලා ලේඛනයක් දක්නට පුළුවන් වනු ඇති බව ඔහු පවසයි.

බෙල් මහතා පවසන්නේ මෙම ප්‍රදේශය හා රජමාලිගය එකම මට්ටමක පවතින අතර කුඩා මුත් ඝන රුක් ලැහැබකින් විචිත්‍රවත් කොට ඇති බවයි. මෙය සිතාමතාම කළ බවට සැකයක් නැති අතර ඇතැම් විට එය බිසෝවරුන් උදෙසා කළ විවේකාගාරයක් විය හැකි බව අනුමාන කරයි.

අයිවර්ස් මහතා මෙම පර්වතය මුදුනේ ඇල් වී හා සමාන කඳුකර වී වර්ගයක් ලැබී තිබූ බව පවසයි.

බෙල් මහතා දළදා මාලිගාව යයි සැලකෙන ප්‍රදේශයේ කැණීම් කර ඇති අතර හමුවී ඇති නොයෙක් පුරාවස්තූන් අතර මාලයක ස්වර්ණමය පබුලු කිහිපයක්ද සාහසමල්ල රජුගේද ( 1200-1202) ලීලාවතී රැජිණගේද (1209-1210) ධර්මාශෝක දේව රජුගේද (1208-1209) තඹ කාසි 37 හැරෙන්නට වෙනත් වටිනා කිසිවක් හමු වීනොමැති බව වාර්තා කරයි.

අයිවර්ස් මහතා අවසානයේ මෙසේ පවසයි;

බෙලිගලහි ගොඩනැගිලි විනාශ කිරීම පිළිබඳව අපට කිසිදු තොරතුරක් නොමැත. නමුත් මම සිතන්නේ අපට ඒවායේ විනාශය ස්ථිර වශයෙන්ම අත්හැර දමන ලද දළදා මාලියක් පවා නොරුස්සන ආගමික අන්තවාදයක් සහිත පෘතුගීසීන්ට පැවරිය හැකි බවයි.

රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ 1883-84 වසර සඟරාව

මෙසේ වසර ගණනාවක් මහා බලකොටුවක්, දන්ත ධාතු මන්දිරයක් , රජ මාලිගාවක් හා විශාල සන්ඝාරමයක්ව පැවති සීගිරියට නොදෙවෙනි බෙලිගල අද කිසිදු අවුහරණක් නොමැතිව නිදන් සොරුන්ගේ රජ දහනක්ව පවතී. මෙම පර්වතය නැගීමට ඇති දුෂ්කරතාවය නිසා සාමන්‍ය ජනතාව හෝ ගැමියන් මෙහි ගමන් කරන්නේ කලාතුරකිනි.

1973 දෙසැම්බර් 28 වැනිදා අංක 92 දරණ ගැසට් පත්‍රයෙන් පුරාවිද්‍යා නටඹුන් සහිත ස්ථානයක් ලෙස බෙලිගල නම් කොට ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසන්නේ දැදිගම කාර්යාලය හරහා වර්ෂයකට දෙවතාවක් මෙම භූමිය සේවකයන් යොදවා එළිපෙහෙලි කරවන බවය. නමුත් මෙහි වාර්තාවන පුරාවිද්‍යා විනාශය ඉමහත්ය. එබැවින් මෙම අප්‍රකට නමුත් ඉතාමත් වැදගත් බෙලිගල පුරාවිද්‍යා ස්ථානය රැක ගැනීම සඳහා නොවලහා පියවර ගත යුතුය.

මූලාශ්‍ර

  • H.C.P බෙල් (සිංහල පරිවර්තනය කොත්මලේ කේ. බී. ඒ. එඩ්මන්ඩ් ), 2005. ලංකා පුරාවිද්‍යා ගවේෂණය කෑගල්ල දිස්ත්‍රික්කය පිලිබඳ වාර්තාව (Report On The Kegalle District – 1892 : සිංහල පරිවර්තනය). 1st ed. කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව.
  • R. W. Ievers, 1886. BELIGALA. JOURNAL OF THE CEYLON BRANCH OF THE ROYAL ASIATIC SOCIETY, VIII, pp.346-368.
  • n.d. මහාවංසය සිංහල සංස්කරණය. 1st ed. දෙහිවල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • පණ්ඩිත කිරිඇල්ලේ කඥානවිමල හිමි, 1951. මයුරපාද පිරිවෙනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් රචිත පූජාවලිය.
  • Si.wikibooks.org. 2021. රාජාවලිය – රාජාවලිය II – Wikibooks. [online] Available at: <https://si.wikibooks.org/wiki/රාජාවලියරාජාවලිය_ii> [Accessed 3 January 2021].
  • Si.wikibooks.org. 2021. එළු අත්තනගලු වංශ විවරණය- iii – Wikibooks. [online] Available at: <https://si.wikibooks.org/wiki/එළුඅත්තනගලුවංශවිවරණය-_iii> [Accessed 3 January 2021].
  • Si.wikibooks.org. 2021. රාජාරත්නාකරය-i – Wikibooks. [online] Available at: <https://si.wikibooks.org/wiki/රාජාරත්නාකරය-i> [Accessed 3 January 2021].

සම්බන්ධ වෙනත් පිටු

කෑගල්ල බෙලිගල පර්වතයේ පුරාවිද්‍යා නටබුන් සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


කෑගල්ල බෙලිගල පර්වතයේ පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්

අඹේපුස්ස සිට බෙලිගල පර්වතය දක්වාඅඹේපුස්ස සිට බෙලිගල පර්වතය දක්වා
හරහා :ගලිගමුව
මුළු දුර : කිලෝමීටර් 12
ගතවන කාලය : විනාඩි 20
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-60 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා :අලව්ව
මුළු දුර : කිලෝමීටර් 15
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-60 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com