දැදුරු ඔය පුරාණ දෝරදත්තික අමුණ – Ancient Doradaththika Amuna

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
පුරාණ දෝරදත්තික අමුණ ඉදිකර තිබුන ස්ථානය

පුරාණ දෝරදත්තික අමුණ ඉදිකර තිබුන ස්ථානය
මූලාශ්‍රය :පුරාණ දෝරදත්තික අමුණ. Ancient Ceylon. 2005

ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය මුල සිටම ගොඩනැගුනේ වාරි ශිෂ්ටාචාරයක් ලෙස. කුඩා පද්ධති වලින් ආරම්භ වුනු වැව්  ක්‍රිස්තු වර්ෂ 1 වන සියවස් වනවිට සංකීර්ණ වාරි පද්ධති බවට පත්විය . පොලොන්නරුව යුගයේ මහා පරාක්‍රමබාහු රජතුමා (1153-1186) ලංකාවේ පිරිහෙමින් තිබූ වාරි කර්මාන්තය හිනි පෙත්තට ගෙන ඒමට සමත් උනා. C .W. නිකලස් (Nicholas) මහතා 1954 දී චූලවංශය භාවිතා කරමින් පරාක්‍රමබාහු රජතුමා අලුතින් තැන වූ හෝ පිළිසකර කළ හෝ වාරි කර්මාන්ත පිළිබඳ සංඛ්‍යා මෙසේ පෙළගස්වයි.

  • මහ වැව් – 163
  • සුළු වැව් – 2376
  • අමුණු – 165
  • ඇළවල් – 3910
  • ගල් සොරොව් – 341
  • අලුත්වැඩියා කරන ලද බිඳුනු තැන් – 1753

පරාක්‍රමබාහු කුමරා දක්ඛිණ දේශය පාලණය  කල සමයේ ඔහු විසින් දැදුරු  ඔය හරහා අමුණු 3 ක් බඳවා ඇළ  මාර්ග වෙත ජලය හරවා ප්‍රදේශයේ කෙත්වතු සරුසාර කලබව චූලවංශය (68 පරිච්චේදය 32-38) සඳහන් කරයි. මෙම අමුණු 3 නම්

  1. කොට්‌ඨබද්ධ අමුණ
  2. සූකරනිඡ්ජර අමුණ
  3. දෝරදත්තික අමුණ

දිවයින එක්‌සත් කළ පසු මීට අමතරව  පසුව  “ජඡ්ජර නඡ්ජර” නමින් තවත් අමුණක්‌ දැදුරු ඔයේ ඉදිකළ බව ද චූලවංසයේ සඳහන් වේ.

චුලවංශයේ “.. හේ තෙමේ දැදුරුඔය දෝරාදත්තික  නම් තැන දිය බස්නාවක් ද මහ ඇලක් ද කරවා එතැන් පටන් ඌරුදොල දක්වාද කෙත් කරවා එසේ එහිද ධාන්‍ය රාශිය රැස්  කළේ ය. ” ලෙස පරාක්‍රමබාහු කුමරා  දෝරදත්තික සිට සූකරනිඡ්ජර අමුණ තෙක් ප්‍රදේශය දෝරදත්තික අමුණෙන් අස්වැද්දු ආකාරය සඳහන් වේ.  මේ අනුව දෝරදත්තික අමුණ පිහිටිය යුත්තේ සූකරනිඡ්ජර අමුණට ඉහලින් විය යුතුය.

සී. ඩබ්ලිව්. නිකලස් මහතා A CONCISE HISTORY OF CEYLON කෘතියේ මෙම අමුණ හක්වටුන්න ඔය සහ කිඹුල්වානා ඔය එක්වන දෙමෝදර පිහිටා ඇතිබවත් මෙහි ඇල  මාර්ගය තලගල්ල වැවට ජලය සැපයු බවත් පවසයි. තලගල්ල වැවෙන් වාන් දමන ජලය නැවත එබවලපිටියට ඉහළින් දැදුරු ඔයට නැවත එක්කර තිබු බවත් එම ජලය නැවතත් රඳවා මාගල් වැවට හරවන ලද බව පවසයි.

පුරාණ දෝරදත්තික අමුණ සහ පුරාණ ඇළ මාර්ගය.

පුරාණ දෝරදත්තික අමුණ සහ පුරාණ ඇළ මාර්ගය.
මූලාශ්‍රය :පුරාණ දෝරදත්තික අමුණ. Ancient Ceylon. 2005

පුරාණ දෝරදත්තික අමුණ ඉදිකර තිබුන ස්ථානය

පුරාණ දෝරදත්තික අමුණ ඉදිකර තිබුන ස්ථානය
මූලාශ්‍රය :පුරාණ දෝරදත්තික අමුණ. Ancient Ceylon. 2005

රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය චන්දන රෝහණ විතානාච්චි මහතා පුරාණ දෝරදත්තික  අමුණ දැදුරු ඔයේ ගල් රෑන නම් වූ ස්ථානයේ තිබූ  බව විශ්වාස කරයි. ගල් රෑන පිහිටියේ හක්වටුවාන ඔය සහ කිඹුල්වානා ඔය දැදුරු ඔයට සම්බන්ධ වන දෙමෝදර නම්වූ  ස්ථානය ආසන්නයේ දීය.  විතානාච්චි මහතා මෙම ස්ථානය ගවේෂණය කර මෙහි පුරාණ අමුණක සාක්‍ෂිද ඊට ඉහලින් පිහිටා ඇති, ඉන් පාහල  ප්‍රදේශයේ කුඹුරු සඳහා ජලය සපයන ඇළද සොයාගෙන ඇත.

ගල් රෑන  ස්ථානයේ දැදුරු  ඔය මීටර 110ක් පමණ පළල් වේ.  මෙහි මැදින් ගල් තලාවක් ඇති අතර ඔයේ ජලය දකුණු හා වම් ඉවුරු දෙපසින් ගලා යයි. අමුණේ සියලුම නටබුන් ඇත්තේ වම් ඉවුර ප්‍රදේශයේ පමණි. මේවායින් බොහොමයක් ස්වභාවික ගලේ කැපුම්ය . දකුණු ඉවුරේ අමුණේ නටබුන් හෝ එකද සලකුණක් නොමැත. මෙම හේතූන් නිසා අමුණ ඉදි කරන කාලයේදී මෙම ස්ථානය දැනට වඩා පටු බව මහතා උපකල්පනය කරයි. වසර දහස් ගණනක් තුල මෙම ඔයේ ගමන් මග වෙනස්වීමෙන් මෙම ප්‍රදේශය දකුණු ඉවුරෙන් පුළුල් වී මැද ඇති ගල් තලාව මතුවී ඇති බව ඔහු උපකල්පනය කරයි. මෙම කරුණ ප්‍රදේශවාසින්ද පවසන අතර ඔවුන් පවසන්නේ ඉවුරැ  පළල්  වීමට හේතුව අධික ලේස වැලි ගොඩ දැමීම බවයි.

වම් ඉවුරේ සිට මැද  ගල්තලාවේ දකුණු කෙලවර දක්වා මීටර 16ක් පමණ ඇත. පුරාණ  අමුණ පිහිටා තිබී ඇත්තේ මේ අතරය. වම්  ඉවුරේ ස්වභාවික ගල්තලාව මත පඩිපෙලක ආකාරයේ කැපුමක් ඇත. පඩි 4 කපා  ඇති මෙම කපුමේ දිග මීටර 4.33 වේ. පළමු පඩිය සෙන්ටිමීටර 25 දිගය. දෙවැන්න සෙන්ටිමීටර 295ක්තෙ, වැන්න සෙන්ටිමීටර 66 ක් හා අවසාන පඩිය සෙන්ටිමීටර 47ක් දිගය. මේවායේ පළල සෙන්ටිමීටර 28කින් ආරම්භවී සෙන්ටිමීටර 47කින් අවසාන වේ. මෙම කැපුමෙන්  ගල් තලාව සමතලා කර අමුණේ ගල් කුට්ටි පහතට ලිස්සා  යාම නවත්වා ඇත. ගල්තලාවේ ජලයට යට වන ප්‍රදේශයේ සෙන්ටිමීටර 10ක්   හා 12ක්  ගැඹුරු සිදුරු 2ක් කපා ඇත. ගල්තලාව පහලම කොටසෙහි විශාල ගල් පුවරුවක් රැඳවීමට හැකිවනසේ කැපුමක් පවතී. මෙම කපුමෙහි රඳවාලියහැකි  ප්‍රමාණයේ ගල් පුවරුවක් ඊට පහලින් රැඳී තිබේ.

මෙවන් කැපුම් සලකුණු හා සිදුරු ඔය හරහා විවධ ස්ථාන වල දැකිය හැක. මේවා ගල් පුවරුවල ස්ථායීතාව සඳහා භාවිතා කර ඇත. මෙම අමුණෙන් ගැලවී ගිය පුවරු කිහිපයක් ඔය පහළින් විසිරී තිබෙනු දක්නට ඇත.  මේ අනුව දෝරදත්තික අමුණ සැදීමට ටොන් 15-20 පමණ ප්‍රමාණයේ ගල් පුවරු භාවිතා  කර ඇතිබව පෙන්නුම් කරයි.

අමුණේ සිට මීටර 80ක් පමණ ඉහලින් ජලය හරවා යවන ලද ඇළ  මාර්ගය පිහිටා තිබේ. වර්තමානයේ මෙම අල “කැප්  ඇළ ” නමින් හැඳින්වේ. මෙම ඇලේ මීටර් 300ක් පමණ ගිය විට තරමක් වයඹ දෙසට හැරී ගමන් කරයි. මෙම ඇළේ ආරම්භක ඉවුරු දෙපස බෙහෙවින් සෝදාපාලුවට ලක්වී ඇත. මෙම ඇළ සාමාන්‍යයෙන් මීටර 6 පමණ පළල වන අතර මීටර් 5ක් පමණ ගැඹුරු ය.

වර්තමානයේ දී මෙම ඇළ සැතපුමක් පමණ දුර ගමන් කොට පලුගස් ඇළ හෙවත් කටුවන්නාව ඇළ හා සම්බන්ධ වෙයි එතැන් පටන් තව සැතපුමක් පමණ ගමන් කොට  වර්තමාන රිදීබැඳි අමුණට ඉහළින් එකතුවේ. නිකලස් මහතා සඳහන් කර ඇති අලගල්ලේ වැව අභාවිතයට ගොස් ඇත.  එම වැවට ජලය සැපයූ ඇළ  මාර්ගයද වර්තමානයේ සොයාගත නොහැක.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  1. විතානාච්චි, චන්දන රෝහණ, 2005, පුරාණ දෝරදත්තික අමුණ. Ancient Ceylon. 2005. No. 18, p. 69-81.
  2. PARANAVITHANA, S and NICHOLAS, C.W., 1961, A CONCISE HISTORY OF CEYLON. Colombo : CEYLON UNIVERSITY PRESS.
  3. මහාවංශය (සිංහල), 2010. , 1. Buddhist Cultural Center.
  4. මහා පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්ත, 2012. Divaina [online],

සම්බන්ධ වෙනත් පිටු

පුරාණ දෝරදත්තික අමුණ සිතියම

පාදෙණිය සිට පුරාණ දෝරදත්තික අමුණ

මුළු දුර: කිලෝමීටර 11
ගතවන කාලය  : විනාඩි 20
ගත කිරිය යුතු කාලය : පැය ½ – 1  අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

පුරාණ දෝරදත්තික අමුණ රියදුරු දිශාවන්


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


© www.amazinglanka.com
Comments