පතුලේ සිට මුදුන නොපෙනෙන කුරුඳු ඔය ඇල්ල

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (9 votes, average: 3.78 out of 5)
Loading...
Kurundu Oya Ella Falls (Maturata Ella) - කුරුඳු ඔය ඇල්ල (මතුරට ඇල්ල)
Kurundu Oya Ella Falls (Maturata Ella) – කුරුඳු ඔය ඇල්ල (මතුරට ඇල්ල)
උස :මීටර 189
දිස්ත්‍රික්කය :නුවර එළිය

කුරුඳු ඔය දිය ඇල්ලේ උස මීටර් 189කි. අඩි 676 කි. කුරුඳු ඔය දිය ඇල්ල පිළිබඳ තොරතුරු ඉතාමත් අප්‍රකටය. එය තිබෙන්නේ කොහේද කියාවත් දන්නා අය ඇත්තේ අතළොස්සකි. එසේ නම් එය නරඹා ඇති අයගේ සංඛ්‍යාව පිළිබඳ කුමන කතාද? කුරුඳු ඔය දිය ඇල්ල මෙතරමටම අප්‍රකට වීමට ද හේතුවක් තිබේ. එය පිහිටා ඇත්තේ පහසුවෙන් හෝ දුෂ්කරව වුවද සමීප වීමට හැකි ස්ථානයක නොවේ. සුවිශාල වනාන්තරයකය. වාහනයකින් ගමන් කොට පහසුවෙන් නැරඹීම සඳහා ඉදිවූ මාර්ග නොමැත. කඳු, හෙල් පල්ලම්, ප්‍රපාත ඔස්සේ අසීරුවෙන් යා හැකි අඩිපාරවල් කීපයක් පමණි දිය ඇල්ල වෙත විහිදී ඇත්තේ.

මෙරට වැඩිම උසින් පිහිටි පිදුරුතලාගල කන්දේ උතුරු බෑවුමෙන් ඇරඹී උතුරු දිශාව බලා ගලා බසින කුරුඳු ඔය හයිෆොරස්ට් නම් වූ කඳු වැටියෙන් ද ඇරඹී ගලන ශාඛා දිය දහරා එක්කර ගනිමින් පෝෂිතව බොහෝ දුරක් තේ වතු මැද්දෙන්ම ගලා බැස මතුරට එක් අන්තයකදී ග්‍රැනයිට් පාෂාණයෙන් නිර්මිත ගල් පව්වක් දිගේ මහල් දෙකකින් යුක්තව ඇද හැලෙමින් කුරුඳු ඔය දිය ඇල්ල නිර්මාණය කොට ඇත. මෙම හේතුවෙන් කලක් මෙය හැඳින්වූයේ මතුරට දිය ඇල්ල නමිනි.

කුරුඳු ඔය ඇරඹෙන්නේ ශීතාධිත ප්‍රදේශයකින් වුවද දිය ඇල්ල ඇදහැලෙන්නේ මධ්‍යම කඳුකරයේ වියළි කලාපයට අදාළව වියළි කර්කශ දේශගුණයක් පවතින ප්‍රදේශයකය. දිය ඇල්ල අයත් ප්‍රදේශය වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි. මෙතරම් වියළි පෙදෙසක, මෙතරම් ජලයෙන් පොහොසත් දිය ඇල්ලක් තිබිය හැකිදැයි ඇතැම්මු මවිතය පළ කරති.

දුෂ්කරත්වයේ හා කටුකත්වයේ මුදුනේම දිය ඇල්ල පිහිටියා සේම ඒ ආසන්නයට යාමට ප්‍රධාන මාර්ග කිසිවක් ද නොමැත. ප්‍රධාන මාර්ගවලින් දුරස්තරව පිහිටීම ඊට හේතුවයි. නුවරඑළිය – රාගල මාර්ගයේ බෲක්සයිඩ් හන්දියෙන් හැරී මහකුඩුගල, ගෝනපිටිය හරහා මතුරටට පැමිණිය හැකිය. එහි සිට ජීප් රියක්, ත්‍රීවීලරයක් වැනි රථයක් යාමට සුදුසු මාර්ගයක් දිගේ කිලෝ මීටර් 05 ක් පමණ ගමන් කොට අනතුරුව ඉතිරි දුර අඩිපාරක් දිගේ යාමට සිදු වේ. අඩිපාර බසින්නේ දැඩි අගාධයකටය. එක අඩියක් හෝ ලිස්සා ගියහොත් ඔබ ප්‍රපාතයේ පතුලට පෙරළී යනවා නොඅනුමානය.

එසේ ගොස් ඔබට මහල් දෙකකින් ඇදහැලෙන දිය ඇල්ලේ ඉහළ මාලය නැරඹිය හැකිය. ජල කඳ ඉතා වේගයෙන් දෝංකාරවත්ව ඇදහැලෙයි. එහි පිහිටි ගල්තලාවේ නෙත්තියට ඔබ නොයා යුතුය. එම ගල්තලාව දිය ඇල්ල පතුලට ඇදහැලීම සඳහා දෙවන මහලේ ශීර්ෂය නිර්මාණය කොට ඇත. එසේ වුවද දිය ඇල්ලේ පහළ (දෙවන) මහල එහි සිට ඔබට නැරඹීය නොහැකිය. දැඩි අගාධය හේතුවෙන් ගල්තලාවේ එහා-මෙහා යාමට හෝ ඔබට නොහැකිය. එබැවින් ඉහළ මහල නැරඹූ ඔබ ආ මඟ දිගේම කන්ද නැඟ ආපසු යා යුතුය.

කුරුඳු ඔය දිය ඇල්ල නැරඹීම සඳහා වලපනේ නගරයේ සිට ද මාර්ගයක් විහිදෙයි. එය රළු භාවිතයට යෝග්‍ය ජීප් රථ හා ත්‍රීවීලර් සඳහා පමණක් යෝග්‍යය. වලපනේ ජපන් සාම චෛත්‍යය හරහා වට වංගු රැසක් තනමින් කඳුකරය නැඟ කිලෝ මීටර් 05 ක් පමණ ගිය පසු දිය ඇල්ලේ ඉහළ මාලය පෙනෙන මානයට පමණක් ඔබට යා හැකිය. දුර සිට ඉහළ මාලය නරඹනවා විනා කිසිසේත්ම ඉහළ මාලයට සමීප වීමට නම් ඔබට නොහැකිය. එහි ගොවියන්ගේ වගාබිම් ද පවතිනු ඔබට දැක ගත හැකිය. එසේ වුවද එතනට දිය ඇල්ලේ පහළ මාලය නම් පෙනෙන්නේම නැත.

දිය ඇල්ල වෙත සමීප විය හැකි තවත් මාර්ගයක් තිබේ. වලපනේ නගරය හා හරස්බැද්ද ගම අතර පිහිටි මහඌව වත්තේ පිහිටි දෙමළ විද්‍යාලයට යන පාර දිගේ කිලෝ මීටර් අටක් පමණ දුර ගමන් කිරීමේ දී ද ඔබට දිය ඇල්ල වෙත තරමක් දුරට සමීප විය හැකිය. තේ වත්ත මැදින් විහිදි මෙම මාර්ගය අතිශය දුෂ්කරය. ජීප් රථවලට හා ත්‍රීවිලර්වලට පමණක් උචිත මාර්ගයකි.

මෙමඟ දිගේ යාමේදී ද දුරින් පෙනෙන දිය ඇල්ලේ ඉහළ මාලය පමණක් නැරඹිය හැකිය. එහෙත් කිසිසේත්ම එහි පහළ මාලය නම් එතනට ද නොපෙනේ.

දිය ඇල්ලක මෙම පිහිටීම අතිශය මවිතකරය. එහෙත් එම ස්ථානය අසලින් ප්‍රපාතයක් කරා කුඩා අඩිපාරක් විහිදෙයි. එය ද වට වංගු සාදමින් ඇදෙන අඩිපාරකි. ගන වනාන්තරය මැදින් විහිදි අඩිපාර දිගේ කිලෝමීටර් තුනක් පමණ ගමන් කිරීමෙන් ඔබට දිය ඇල්ලේ පහළ මාලයේ පතුලටම සමීප විය හැකිය. අඩිපාර විහිදෙන්නේ සදාහරිත තෙත් වනාන්තර කුට්ටියක් හරහාය.

පිටත සිට බලන විට නිල්වන් වන පෙත මනහරය. එහෙත් එතුළ බියකරුය. ගෝනා, දිවියා, වල් ඌරා වැනි වන සතුන්ගේ රජදහනක් වූ මේ වනාන්තරයේ ඉතාමත් සෝදිසියෙන් මෙන්ම පරිස්සමෙන් ද ගමන් කළ යුතුය.

දිය ඇල්ලේ පහළ මාලයේ පතුලට යන ඔබ වේගවත්ව ඇදහැලෙන දිය දහරේ දෝංකාරවත් හඬින් බියපත් වනු නිසැකය. ජල දහරාවක් නොව සුදෝසුදු මිහිඳුම් කඳක් මෙන් ඔබට දිය ඇල්ල පෙනෙනු ඇත. කිලෝමීටර් ගණනක් පයින්ම ඇවිද ඔබ විඳි වෙහෙස – මහන්සිය හා විඩාව දිය ඇල්ල දැකීමත් සමඟම පහව යනු ඇත. ඒතරම්ම අලංකාරවත් ලෙසින් දිය ඇල්ල ඇද හැලෙයි. දිය ඇල්ලේ පතුලට එහි මුදුන නම් කිසිසේත් ම පෙනෙන්නේ නැත. මෙය අතිශය දුර්ලභ පිහිටීමක් වන්නේ එබැවිනි.

සිරිසේන දේවපි‍්‍රය – සිළුමිණ

කුරුඳු ඔය ඇල්ල වීඩියෝව

නඩේ ගුරා සංචාරක හා සංරක්ෂණ සමිතිය විසින් සපයන ලද තොරතුරු සහිත වීඩියෝ පටයක්

සම්බන්ධ වෙනත් පිටු

කුරුඳු ඔය ඇල්ල සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


© www.amazinglanka.com

Leave a Reply