බෑන සමුද්‍රය හෙවත් වාහල්කඩ වැව

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
By Ms. Badra Kamaladasa (Former Director General of Department of Irrigation)
By Ms. Badra Kamaladasa (Former Director General of Department of Irrigation)

මූලාරම්භය පිලිබද නිශ්චිත තොරතුරු නොමැති වුවද, මහසෙන් රජතුමා (ක්‍රි පූ 234-301) විසින් කරවන ලදැයි සැලකෙන සොලොස් මහා වැව් අතර සඳහන් වීරවාපී වැව, වත්මන් වාහල්කඩ වැව ලෙස ලෙස ඇතැම්හු සලකති. සිරිවලහස්ස වැව ලෙස ද එය හැඳින්වුනු බව ඉතිහාසයේ සඳහන් වේ. අග්බෝ රජතුමා (ක්‍රි ව 608 -618 ) කාලය තුළ හා මහා පැරකුම්බා රජ සමයන්හි දී (ක්‍රි ව 1153 to 1186) මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ බවට පැරණි ලේඛන වල සටහන් වේ.

එක්තරා අතීත වකවානුවක දී පදවිය වැව ලංකාවේ විශාල ම ජලාශය වූ විට එය මහා සාගරය ලෙසටත් ඊට නුදුරින් වූ වාහල්කඩ ජලාශය බෑණ සමූද්‍රය ලෙසටත් හැඳින්වූ බව පුරාවෘත්ත වල සඳහන් ය. මෙම මහා සමූද්‍රය හා බෑණ සමූද්‍රය එකට යාව තිබූ බවට ගැමියන් විශ්වාස කළ ද එසේ තිබූ බවට භූ විද්‍යාත්මක හෝ වෙනත් තාක්ෂණික සාක්ෂි නොමැත.

වාහල්කඩ වැව ද අතීත වාරි ඉංජිනේරුවරුන්ගේ විස්මිත නිර්මාණයක් බව පෙනී යන්නේ එහි සැලසුම් මනා ව අධ්‍යයනය කිරීමෙනි. මාකිණි කන්ද හා යකිණි කන්ද යන කඳු පේලි අතර තිබෙන මීටර 100 ක් පමණ වූ මිටියාවත හරහා ගලා බසින තවලම් හල්මිල්ලෑව ඔය (යාන් ඔයේ අතුගංගාවක්) හරස් කොට බැඳි කුඩා වැව් බැම්මට අමතරව එකිනෙකට වෙන් වූ තවත් බැමි දෙකකින් මෙම ජලාශය සැලසුම් කිරීම විස්මිත කරුණකි. ගුවන් ඡයාරූප වනි තාක්ෂණික ක්‍රමවේදයකින් තොරව මෙවැනි විශේෂ නිර්මාණයක් කිරීම සුවිශේෂ ය.

වැව ප්‍රතිසංස්කරනයට පෙර ප්‍රකාශිත ටෝපෝ සිතියම් අධ්‍යයනය කිරීමේදී සිදු කල තවත් විශේෂිත නිරීක්ශනයක් වන්නේ යෝධ ඇල ලෙස සටහන් කර ඇති ඇල මාර්ගය වැව ඉස්මත්තෙන් නොනැවතී යාන් ඔය අතු ගංගාවක් වන කපුරුගොල්ලෑ ඔය දක්වාම දිගුව තිබීමයි. වැව බිදීගිය පසුව යාන් ඔයට දිගින් දිගටම ජලය ලබා දීමට එය සිදු කලා විය හැක.

ප්‍රතිෂ්ඨාපනය සඳහා 1950 දශකයේ දී මූලික සමීක්ෂණ සිදු කරන කාලයේ දී මෙම ප්‍රදේශය ඝන වනයෙන් වැසී තිබිණි. තැනින් තැන තිබූ ගම් වැව් හා රජ මහා විහාර කීපයක් හැරුණු විට වගා බිම් ප්‍රදේශයේ ද පැරණි වාරිමාර්ග පද්ධතියක් පිළිබඳ සළකුණු නොවී ය. රඹෑව වැව, පට්ටාව වැව, බුලියන්කුලම වැව හා ගල්කඩවල යන ගම් වැව් කීපයක් වැවෙහි ඉස්මත්තෙහි ක්‍රියාකාරීව තිබූ බව එම තාක්ෂණ වාර්ථා වල සඳහන් ය.

නටබුන් වී ගිය පදවිය වැව මෙන් ම වාහල්කඩ වැව පිළිබඳව ද ආර් එල් බ්‍රෝහියර් මහතාගේ පුරාතණ වාරිමාර්ග කෘතියේ සවිස්තරාත්මක තොරතුරු අඩංගු බැවින් මේ පිළිබඳ ව උනන්දුවක් දක්වන අයට එම ග්‍රන්ථය ද පරිහරණය කළ හැකි ය. H C P බෙල් මහතා 1891 වසරේදී නටබුන්වූ වැව පිලිබද කරුනු නිරාවරනය කල අයුරු හා 1898 වසරේදී ඇරඹි ටෝපෝ සිතියම් ගත කරනය කල බ්ලෙයාර් නම් වූ මිනිම්දෝරුවරයා තබා ඇති සටහන් පිලිබද ඔහු විස්තර කර ඇත.

ඉපැරණි බිසෝ කොටු දෙකක් සහ පැරණි රලපනා සහිත වැව් බැමි තුනකින් ද ඒ අවට විසිරී ඇති ඉපැරණි විවිධ නටබුන් ද වාරිමාර්ග නිලධාරීන්ගේ අවධානයට යොමු විය. කඩවල බැම්ම ලෙස හැඳින්වෙන කුඩා බැම්ම අසල පැරණි සෙල්ලිපියක් හා බහිරව පිළිමයක් ආරක්ෂිත ව තිබිණි.

උතුරින් පිහිටි මොර ඔය හරහා ඉදි කර තිබුණු ඉපැරණි අමුණක් මගින් ඇරඹි අන්තර් නිම්න යෝධ ඇලක් මගින් වාහල්කඩ වැවට ජලය ලබා දී ඇත්තේ එම වැවෙහි පෝෂක ප්‍රදේශයෙන් පමණක් ලැබෙන ජලය ප්‍රමාණවත් නොවන බැවිනි. මෙම යෝධ ඇලෙහි නෂ්ඨාවශේෂ පමණක් තැනින් තැන නිරීක්ෂණය කළ හැකි අතර එය නැවත ස්ථාපනය නොකිරීමට හේතුව වූයේ මොර ඔය මගින් ජලය ලබා ගන්නා පදවිය වැවෙහි ජල අවශ්‍යතාවය අවදානමට ලක් විය හැකි බැවිනි. මොර ඔය හරහා ඇති ඉපැරණි ගල්පාලම හා යෝධ ඇල හරහා ඉදිකර තිබූ ඉපැරණි පාලම මෙම ප්‍රදේශය අතීතයේ දී ජනාකීර්ණ පෙදෙසක් වූ බවට සාක්ෂි ය.

වියලි කලාපයේ සිදු කරන ලද ක්ෂේත්‍ර ගවේෂන පාදක කොට ගෙන ආචාර්ය විදානපතිරන මැතිනිය 2022 වසරේදී ප්‍රකාශයට පත් කල “ශ්‍රි ලංකාවේ ඓතිහාසික ජල කලමනාකරනය” ග්‍රන්ථය පරිදි, ක්‍රි ව 6 ශතවර්ශයේ හෝ ඊට පෙර පදවිය හා වාහල්කඩ ජලාශ ආශ්‍රිතව “පාචීන නගර” යැයි නම් ලද ඉතා දියුනු වෙළද නාගරික කලාපයක් පිහිටා තිබී ඇත. වාරිමාර්ග අවශ්‍යතා වලට වඩා මෙම ජලාශ මගින් නාගරික අවශ්‍යතා විශේෂයෙන් විදේශ වෙලදුන් ගැවසුනු කුඩා වරායන් හා බැදි ජල අවශ්‍යතා සැපිරීම මෙම ජලාශ මගින් සිදු කරන්නට ඇති බවට ඇය යෝජනා කර ඇත.

වාහල්කඩ වැවෙහි තවත් එක් විශේෂත්වයක් වන්නේ ඉපැරණි පිටවානක සලකුණු එහි දක්නට නොලැබීමයි. ස්වභාවික පිටවාන ලෙස සිතියම් වල සලකුණු කර ඇති වැව් බැම්මේ වම් කෙළවරේ සිට වාන් ජලය බැස ගිය මාර්ග ගැන සාක්ෂි නොතිබීම ය. මෙවැනි ජලාශ බොහෝ විට ගංවතුර වැළැක්වීමේ ජලාශ ලෙස එනම් වැඩි ජල පරිමාවක් දරා ගත හැකි පරිදි නිදහස් ඉඩ ප්‍රමාණයක් සලසමින් වැව් බැම්ම උසින් සකස් කර තිබේ. මේ සඳහා එහි පෝෂිත ප්‍රදේශය පිළිබඳ ව හා ඒ මගින් ජලාශයට ලැබිය හැකි උපරිම ජල ධාරාව පිළිබඳ මනා අවබෝධයක් ඇති ජල විද්‍යා ඉංජිනේරුවරුන්ගේ තීරණය මෙවැනි ජලාශයක් නිර්මාණය කිරීමේ දී අත්‍යවශ්‍ය ය. ශ්‍රී ලංකාවේ ඉපැරණි වාරි තාක්ෂණය තුළ තිබූ තවත් විස්මිත දැනුමක් හා හැකියාවක් මෙයින් තහවුරු වේ.

නූතන ජල විද්‍යා මිණුම් අනුව පෝෂිත ප්‍රදේශයෙන් වාර්ෂිකව ලැබෙන අක්කර අඩි විසි දහසක් පමණ ජලය පමණක් නොව යෝධ ඇල හරහා වැඩි පුර ලැබෙන ජලය පාලනය කළ හැකි පරිදි ඉපැරණි ජලාශය ඉදි කර තිබූ බවට මෙයින් නිරීක්ෂණය වේ.

වත්මන් අවශ්‍යතා අනුව මෙම ජලාශය අක්කර අඩි 45000 ධාරිතාවක් රඳවා ගැනීමට හැකි පරිදි නව සැලසුම් 1960 දශකයේදී පිළියෙල විය. වාරි ප්‍රදේශය ලෙස සැලසුම් කළ භූමියට ජලය ලබා දීමට ඉපැරණි එක් සොරොව්වක් යොදා ගැනීමට ප්‍රතිසංස්කරණ කටයුතු වල දී සැලසුම් කර තිබුණ ද ඉදිකිරීම් සිදු කර ගෙන යන අවස්ථාවේ දී එහි ඇති දුර්වල තත්වය හා එමගින් ඇති විය හැකි අවදානම තේරුම් ගත් නිලධාරිහු ඉපැරණි සොරොව්ව මුද්‍රා තබා නව සොරොව්වක් ඉදිකිරීමට තීරණය කළහ. ජලාශය සඳහා පිටවානක් ද ප්‍රතිෂ්ඨාපන සැලසුම් වල අඩංගු නොවූයේ විශාල ජල ධාරාවක් නොලැබේ යැයි අපේක්ෂා කළ හෙයිනි. අතීත සැලසුම් පරිදිම එය ගංවතුර වැලැක්වීමේ ජලාශයක් ලෙස පමනක් නොව වර්තමාන අවශ්‍යතා පරිදි එය වාරිමාර්ග පහසුකම් සැපයීමට හැකි පරිදි නව සැලසුම් සැකසිනි.1970 වසරේ දී ආරම්භ කරන ලද වාහල්කඩ ජලාශ ප්‍රතිසංස්කරණය 1973 වන විට අවසන් කෙරිණි එහෙත් ජලාශය පළමු වරට පිරවීමේ දී ඉහත සඳහන් කළ ඉපැරණි සොරොව්ව තුළින් ජලය කාන්දු වීමක් සිදු විය. ඒ සඳහා පිළියම් යෙදීම විශේෂඥ ඉංජිනේරු උපදෙස් මත සිදු කෙරිණි.

1972 දී නව ජනපදිකයින් ලෙස පවුල් දහසක් පදිංචි කර වන ලදී. සැලසුම් ගත වාරි පෝෂක ප්‍රදේශය අක්කර දෙදහසක් වුව ද මේ වන විට අක්කර තුන්දහසකට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් මෙම ජලාශයෙන් වාරි ජල පහසුකම් ලබා ගනී. මිරිදිය මත්ස්‍ය වගාවෙන් ද ජීවිකාව සලසා ගන්නා පවුල් ප්‍රමාණය එකසිය පනහකට වැඩි ය.

යුද සමයේ දී මායිම් ගම්මාන ලෙස සනිටුහන් වූ ඩී 7 හා ඩී 8 ජනපද තුළ ජීවත් වූ ගොවි ජනතාව තාවකාලිකව ඩී 4 කොටසේ පදිංචි කළ බවට වාරිමාර්ග වාර්තා දක්වයි. මේ සියලු අභියෝග මැද, දිරියෙන් ජීවත් වන වත්මන් ගොවි ජනතාව දෙකන්නය වී වගා කිරීමෙන් රටට බත සැපයීමට ගන්නා උත්සාහය අගය කල යුතුය.

වාර්ෂිකව කිරි ඉතිරිවීමේ මංගල්ලය හා ශබ්ද පූජා පැවැත්වීම ගොවීන්ගේ වත්පිළිවෙත් වලට අයත් වන අතර පුල්ලෙයාර් දෙවියන් පිදීම හා වන්නි දෙවියන්ට බහිරව පූජා පැවැත්වීම අනිවාර්යය සංස්කෘතික අංග වේ.

සම්බන්ධ වෙනත් පිටු

වාහල්කඩ වැව සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වාහල්කඩ වැව වෙත ගමන් මාර්ග

අනුරාධපුර සිට වාහල්කඩ වැව දක්වා
හරහා : කැබිතිගොල්ලෑව
දුර : කිලෝමීටර 86
ගමන් කාලය : පැය 2
ගත කල යුතු කාලය : විනාඩි 30 -60 අතර
ගමන් මාර්ගය : මෙහි ගූගල් සිතියම තුල බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply