තොප්පිගල වන තුල සැඟවුණු නරකමුල්ල සංඝාරාම සංකීර්ණය පුරාවිද්‍යා භූමිය – Narakamulla Archeological Site at Toppigala

මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවූර් පත්තුවට අයත් ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන රැසක් තොප්පිගල ආශ්‍රිතව අදටත් දැකිය හැකිය. මෙම සිද්ධස්ථාන අතර තොප්පිගල, නෙලුගල ආදී ප්‍රධාන විහාරාරාමවලට අමතරව නරකමුල්ල ප්‍රදේශයේ සුවිසල් ගල්කුලුවලින් ගහන භූමියක පැතිරුණු දැවැන්ත සංඝාරාම සංකීර්ණයක නටබුන් හමු වේ.
වාලච්චේන සිට මඩකළපුව දක්වා වූ මාර්ගයේ කිරාන් මංසන්ධියෙන් දකුණුපසට හැරී කිරාන් පසුකර තොප්පිගල දෙසට මද දුරක් ගිය විට හමුවන තාරාවිකුලම් යුධ හමුදා කඳවුර අසළින් වූ මාර්ගයේ වනය තුළට කිලෝ මීටර් කීපයක් ගමන් කළ විට අලි ඇතුන් ගහන නරකමුල්ල මහ වනයේ සැඟවුණු මෙම ඓතිහාසික ආරාම සංකීර්ණ වෙත ළඟාවිය හැක.
පසුගිය යුධ සමයේ දී හුදෙකලා ප්‍රදේශයක් වූ නරකමුල්ල එල් ටී ටී ඊ ක්‍රියාකාරකම් බහුලව සිදු වූ ප්‍රදේශයකි. කටාරම් කොටන ලද බ්‍රාහ්මී අක්ෂර සහිත ගල් ලෙන් රැසකින් හෙබි මෙම සංඝාරාම සංකීර්ණයේ ප්‍රතිමා ගෘහය, බෝධිඝරය ඇතුළු විහාරාංග රැසකට අයත් නටබුන් පහළ ගල් තලාව පුරා දැකිය හැක. මෙම ස්ථානයෙන් වහරළ සෙල්ලිපි කිහිපයක් ද හමු ව ඇති අතර ශෛලමය නටබුන් කොටස් චාම් කැටයමින් සරසා තිබීමෙන් හා බ්‍රාහ්මී අක්ෂර සහිත ගල් ලෙන් මඟින් මෙම ආරාම සංකීර්ණය අනුරාධපුර මුල් යුගයට අයත් බවට අනුමාන කළ හැක.
අතීතයේ දැවයෙන් ඉදිකරන ලද කුඩා පාලමක් ද මෙහි ඉදිකර තිබුණු බවට සාධක හමුවේ. වනය හරහා මදක් ඉහළට ගමන් කිරීමේ දී කටාරම් සහිත ගල් ලෙන් රැසක් හමුවන අතර එම ගල් ලෙන් කිහිපයක ආදි මානව සිතුවම් ලෙසට අනුමාන කළ හැකි සිතුවම් කොටස් කීපයක් ද වේ. මෙම ලෙන් සංකීර්ණයට අයත් දැවැන්තම ගල් ලෙන එදවස විහාර ගෙය ලෙසට යොදාගත් බවට සාධක අදත් හමු වේ. වසර කිහිපයකට පෙර විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් මෙහි වූ අතර අද දැකිය හැක්කේ ගාඩොල් ගොඩක් පමණි. මෙම ලෙනෙහි වියන් තලය සිතුවමින් අලංකාර කර තිබූ බවට සාධක අද පවා හමුවේ. මෙම ලෙන් සංකීර්ණයෙන් හමුවන දීර්ඝතම ලෙන් ලිපිය ද මෙහි දැකිය හැකි වන අතර එමගින් මෙම ලෙන පූජාකළ පුද්ගලයා හා ඔහුගේ පරපුර පිළිබඳව තොරතුරු අනාවරණය වේ.ලෙන් සංකීර්ණයට ඉහළ කඳුගැටය මත කළුගලින් නිමවන ලද අද වනවිට නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක් ව ඇති කුඩා ස්ථූපය කි.
සියළුම විහාරාංගයන්ගෙන් සමන්විත නැගෙනහිර පළාතේ පිහිටා තිබූ දැවැන්ත බෞද්ධ විහාර සංකීර්ණයක් වූ මෙම ස්ථානය නිසි ක්‍රමවේදයක් ඔස්සේ සංරක්ෂණයට පියවර ගැනීම අදාල පාර්ශවයන්ගේ වගකීම කි.
සටහන : Nayanajith S. Wickramaarachchi විසිනි
පහත ගූගල් සිතියමේ ස්ථානය දක්වා ඇත්තේ දළ වශයෙනි.
සම්බන්ධ වෙනත් පිටු
- Prehistoric Sites of Sri Lanka
- Ancient Heritage Sites of Sri Lanka
- Other Places of Interest Within Close Proximity
නරකමුල්ල පුරාවිද්‍යා භූමිය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
නරකමුල්ල පුරාවිද්‍යා භූමිය රියදුරු දිශාවන්
පොලොන්නරුව සිට නරකමුල්ල පුරාවිද්‍යා භූමිය |
හරහා : මනම්පිටිය – අරලගංවිල – දමන මුළු දුර: කිලෝමීටර 76 ගතවන කාලය : පැය 2 ගත කිරිය යුතු කාලය : විනාඩි 60 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |