නිදන් කොල්ලකරුවන්ට බිලිවූ මහවැලි ගඟේ ආනකල්ලු ගල් අලියා කැටයම

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (8 votes, average: 3.50 out of 5)
Loading...
1897දී බෙල් මහතා විසින් ගන්නා ලද ඩිගිටල් තාක්ෂණයෙන් වැඩි දියුණු කරන ලද ජයාරූපයේ කටුපිලාන ආනකල්ලු ගල් අලියා මහවැලි ගං තලාවේ ලැග සිටින අයුරු. A digitally enhanced photograph taken by HCP Bell in 1897 of the Katupilana Gal Aliya or "Rock Elephant" on the banks of Mahaweli Ganga in Anakallu

1897දී බෙල් මහතා විසින් ගන්නා ලද ජයාරූපයේ කටුපිලාන ආනකල්ලු ගල් අලියා මහවැලි ගං තලාවේ ලැග සිටින අයුරු.
A digitally enhanced photograph taken by HCP Bell in 1897 of the Katupilana Gal Aliya or “Rock Elephant” on the banks of Mahaweli Ganga in Anakallu

තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ආනකල්ලු ප්‍රදේශයේ මහවැලි ගං ඉවුරේ තිබූ ගුප්තජනක වූ ජීවමාන ප්‍රමාණයේ අලියෙකුගේ ශෛලමය කැටයමක් පිළබඳව එච්. සී. පී. බෙල් (H . C . P. Bell) මහතා 1917 දී Ceylon Antiquary And Literary Register සඟරාවට ලියා තිබෙනවා.

අලියා හෝ ඇතා පුරාණයේ සිටම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සමග බැඳුන සත්වයෙක්. බරවැඩ කිරීමේ සිට ආගමික කටයුතු වලදීත් මුල්තැන ගත්තේ ඇතා යි. පුරාණ රජ වරුන්ගේ චතුරාංගණී සේනාවට ඇතුල් වූයේද ඇත්, අශ්ව, රිය හා පාබල හමුදාවයි.

දඹදෙණි රාජධානියේ ආරම්භය හා දෙවන පරාක්‍රමබාහු රජුන්ගේ කාර්යයන් පිළිබඳ විස්තරයක් දඹදෙණි අස්නේ ඇතුළත් වෙනවා. දඹදෙනි යුගයේ රජකළ දෙවන පරාක්‍රමබාහු රජුට ඇතුන් 990 යුත් ඇත් සේනාවක්‌ සිටි බව මෙම අස්‌න වාර්තාකරනවා.

බෞද්ධ ඉතිහාසයේ අපට අසන්නට ලැබෙන්නේ දේවදත්තයන් විසින් රා පොවා බුදුන් නැසීමට එවූ නාලාගිරි ඇතා පිලිබඳවයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රසිද්ධ ඇත් චරිතය දුටුගැමුණු කුමරුන්ගේ ‘කඩොල්’ හෙවත් ‘කණ්ඩුල’ ඇතාය. දුටුගැමුණු කුමාරයා විජිතපුර බලකොටුව හමුවේ සටන් මෙහෙයවන විට කඩොල් ඇතාගේ පිට මතට දෙමළ සොල්දාදුවෝ ලෝදිය හැළු පසු ඇත් වෙදතුමා ඔහුට බෙහෙත් ගැල්වූ සැටි මහාවංසය මෙසේ දක්වනවා;

ඇත් වෙද තෙමේ ලහටු ගලවා බෙහෙත් කළේය. රජ තෙමේ ඒ ඇතු නැගි අතින් කුම්භස්තලය පිරිමැද “දරුව කණ්ඩුලය! මුළු ලක්දිව රජය තට දෙන්නේ මි” යි ඒ ඇතු තුටු කරවා වර බොජුන් කවා සළුවෙන් වෙලා මනා සන්නාහ ලවා සන්නාහ මතුයෙහි සත් ගුණ කල මීසම් බඳවා මත්තෙහි  තෙල් සම් එලවා ඒ ඇතු මෙහෙයි. ඒ ඇත් තෙමේ සෙන හඬ මෙන් ගුගුරමින් උපද්‍රවයන් ඉවසමින් ගොස් දෙදළින් ලැහැදි බින්දේය. එළිපත පයින් පහළේය. දොරබා සහිත ඒ යදොර ගුගුරාගෙන බිම හිණි. තොරණෙහි ද්‍රව්‍ය සම්භාරය ඇතු පිට හෙන්නා දැක නන්දි මිත්‍ර තෙමේ බාහුයෙන් පෙරලා දැමීය…..

ලංකාවේ බෞද්ධ සංස්කෘතිය හා සබැඳුණ අලි මිනිස් සම්බන්ධය පුරාණ කලාවේද දක්නට පුළුවන්. ඇත් රූප අනුරාධපුර අවධියේ සිට මහනුවර අවධිය දක්වාම පන්සල් හා දේවාල ආශ්‍රිතව බොහෝ විට දක්නට ලැබෙනවා. දුටුගැමුණු රජුන් කරවූ රුවන්වැලි සෑය ප්‍රකාරයේ සිට සඳකඩ පහණ හා බිතු සිතුවම් දක්වා විවිධාකාරයෙන් අපගේ පුරාණ කලාකරුවන් විසින් අලි ඇතුන් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. නමුත් අලියෙකුගේ නිර්මාණ ආගමික පසුබිමෙන් ඔබ්බට දැකගන්න ලැබෙන්නේ ඉතාමත් විරලවයි.

බෙල් මහතා වාර්තා කරන මහවැලි ගඟේ ආනකල්ලු පිහිටි ගලක ජීවමාන ප්‍රමාණයෙන් කැටයම් කර ඇති අලියා ලංකාවේ හමුවන එකම මෙවන් කැටයම විය හැකියි. මෙම කලා නිර්මාණය පිළිබඳව මුල් සටහන ලැබෙන්නේ බෙල් මහතාගේ දිනපොතේ 1897 සැප්තැම්බර් 23 දින තබන සටහනෙන්.

සැප්තැම්බර් 23. උදේ [මුතුගල සිට] තොටුපළට සැතපුම් 1½ ක් පමණ දුරින් ගඟ තරණය කළා. (මහවැලි ගඟ; බටහිර පැත්තෙන් ඔරුවකින්). ලගින්ම ඇති ගම මුස්ලිම් ගම්මානයක් වන කටුවන්විලයි. එය මහවැලිගඟේ එගොඩ පත්තුව ඇති ඉවුරේ දකුණු දෙසට කෙටි දුරකින් පවතී.

ඉන්පසු අප සැතපුම් කාලක් පමණ දුරින් ඇති ගල් අලියා කැටයම ඇති ප්‍රදේශයට දකුණු ඉවුර දිගේ ගඟ ඉහලට ගමන් කළා. මෙම ස්ථානයේ තරමක ප්‍රමාණයේ ගල් හතක් හෝ අටක් එකිනෙකට සමීපව තිබෙනවා.

එක ගලක බෑවුමේ පාදම දිගේ (එය ගිනිකොණ දෙසට ඉහළට නැඟී වර්තමාන ඉහළ ජල මට්ටමට වඩා අඩි 15 ක් පමණ ඉහළින් පිහිටා තිබෙනවා, නමුත් ගොඩබිම පැත්තෙන් අංශක 45 ක කෝණයකින් යුතුය.) ඇලියක් කපා තිබෙනවා. ගල් පර්වතයේ දකුණු කෙළවරේ කුළුණු සඳහා කුඩිම්බි සහිත නොගැඹුරු පියවර නවයක් දෙපස කපා තිබෙනවා.

මෙහි පෙනෙන ආකාරයට යම් ආකාරයක ගොඩනැගිල්ලක් මෙහි තිබී තිබෙනවා. බොහෝ විට මුරගෙයක් හෝ ආරක්ෂක කුටියක් විය හැකියි.

“ගල් අලියා” යනුවෙන් හැඳින්වෙන මූර්තිය කුඩා ගල් පර්වතයක කැටයම් කර ඇති අතර එය ගඟට මඳක් ප්‍රක්ෂේපණය වන අතර අඩි කිහිපයක් උඩින් තිබෙනවා. ක්‍රමයෙන් ඉවුරේ වැලි එකතුවීම නිසා අලියාගේ හිස ප්‍රදේශය දක්වා වැළලී ගොස් තිබුනා. අලියා දකුණු-ගිනිකොණ දෙසට දෙසට මුහුණලා කෙලින්ම පාහේ දිය පහරට මුහුණදී සිටිනවා. අලියා දණනමාගෙන සිටින ස්වරූපයෙන් හා හිස තරමක් දකුණට නැඹුරු වනලෙස (උඩුගම් බලා) නෙලා ඇතිබව මගපෙන්වන්නන් අපට පැවසූවා.

අලියාගේ හිස සමස්තයක් ලෙස විශ්මයජනක ලෙස කැටයම් කර ඇති අතර, එහි සැකිල්ල හා ප්‍රමාණය අතිශය ජීවමානයි . මෙම කාලයේ ගඟ පිටාර ගලා ඇති නිසා ඇස් සහ කන් වලට පහළින් සියල්ලම ජලයෙන් යටවී තිබෙනවා.

ජීවමාන ප්‍රමාණයේ සත්ව මූර්ති ශිල්පයේ අද්විතීය උදාහරණයක් ලෙස දැක්විය හැකි මෙම කැටයමේ කාලය පිළිබඳ නිශ්චිත හෝඩුවාවක් ලබාගැනීම සඳහා යාබද ගල් පර්වතවල කිසිදු සෙල්ලිපියක් සොයාගත නොහැකි උනා.

මෙම ජයාරූපයේ දැක්වෙන්නේ අලියා මත නැගී ප්‍රීතිමත් මුස්ලිම් තරුණයෙකුය. (ඔහු “සවාරිය ප්‍රීති විඳින බව පෙනේ”). ඒ සමග මම මෙහි මිනුම් ගත්තෙමි.

හිස මුදුනේ සිට පිටුපස කොටස දක්වා (අඩි 2 ක බෑවුමකි)        : අඩි 6 අඟල් 0
කණ පිටුපස සිට අනෙක් කණ දක්වා, නළල හරහා                     : අඩි 7  අඟල් 5
කනට ඉහළින් සිට අනෙක් කණට ඉහළින්, හිස් කබල හරහා  : අඩි 3 අඟල් 10
කණ පිටුපස සිට ඇසට                                                                      : අඩි 3 අඟල් 3
කණ                                                                                                     : අඩි 2 අඟල් 7
ඇස් වළ                                                                                               : අඟල් 9 x 6

මීට අමතරව ඔහු මෙම අලියා පිලිබඳව 1917 දී Ceylon Antiquary And Literary Register සඟරාවට මෙසේ පවසනවා ;

එය ඇත්ත වශයෙන්ම මහවේලි-ගංගා ගඟේ වම් ඉවුරෙන් කෙළවර වන පිහිටි ගලෙන් මූර්ති කරන ලද සම්පූර්ණ ප්‍රමාණයේ අලියෙකි. අවට ඇති පරිසරයට පරිපූර්ණ ලෙස අනුවර්තනය වන ලෙස නෙලා ඇති මෙම කැටයම අර්ධ වශයෙන් ජලයෙන් යටවූ අලියාගේ හිස තරමක් උඩුගම් බලා ඇති අතර ගඟ හරහා ඇවිදීමට හෝ පිහිනීමට පෙර නැවත එය දෙස බලන අයරු මයා පායි.

මෙම දිනපොත් සටහනට වසර 10 කට පසු එච්. ස්ටෝරි (H. Storey) විසින් 1907දී පලකරන ලද Hunting and Shooting in Ceylon ග්‍රන්ථයේ ඔහු විසින් 1904 දී මෙම අලියා බැලීමට ගිය ගමන සඳහන් කරනවා.

අප මහවැලි ගඟේ පහලට යනවිට ජලය ඉතා පහත් මට්ටමක තිබීමේ වාසනාව ලැබුණි. ඒ නිසා “අලි හිස” ලෙස හැඳින්වෙන අපූර්ව පෞරාණික වස්තුව කැමරොන්ට පෙන්වීමට මට හැකි උනා. මෙය කෙතරම් කුතුහලයක් ද යත්, මම ඒ පිළිබඳව කෙටි විස්තරයක් ලබා දෙන්නම්. 

ගඟේ බටහිර ඉවුරේ,කටුවන්විල ගම්මානය ඉදිරිපිට (නැගෙනහිර ඉවුරේ) ගල් ගෙඩි සමූහයක් ඇත. සමහර ඒවා ජලයේත් සමහරක් ගං  ඉවුරේත් දැකගන්න පුළුවන්. 

ගං ඉවුරේ ඇති එක් ගල් පර්වතයක සජීවී ප්‍රමාණයේ අලියෙකුගේ හිස සහ උරහිස්, දල සහිතව වක්‍රාකාරව නැවුණු සොඬවැල ඉතා කලාත්මකව කැටයම් කර ඇත. 

ගඟේ වතුර මෙපමණ අඩුවන්නේ ඉතා කලාතුරකින්. මෙවර මෙම කැටයම සම්පූර්ණයෙන්ම මතුවී ඉදිරි පාද මුලුමනිම්ම පෙනුනා. අවාසනාවකට අලියාගේ ඉදිරි පාද එතරම් හොඳින් කැටයම් කර නැහැ. මෙහි කැටයම් කර තිබුනේ දණගසා සිටින අලියා නැගී සිටීමට ප්‍රයත්න දරන අවස්ථාවයි. 

ඊට අමතරව ඔහු මෙම අලියාගේ සාමාන්‍යයෙන් ජලයෙන් යටවන වන කොටස උඩ  කොටස හා සංසන්දනය කරන විට එතරම් නිර්මාණශීලී නොවන බව පවසනවා. පාද හිසේ පමණට සමානුපාත නොමැති බවත් දළ හොඳින් ඉස්මතු කර නොමැති බවත් පවසනවා. තවත් ඔහු එම ගල මතුපිට  යම්කිසි වහලයක් සවිකිරීමට කුඩුම්බි කපා තිබුන බව සඳහන් කරනවා.

ඉන්පසුව මෙම ගල් අලියා පිළිබඳ වාර්තා කරන්නේ ඇස්. ඩී. ද ලැනරෝල් “වන නදිය”  පොතේ . මෙය 1950 දශකයේදී මහවැලි ගඟ දිගේ නුවර සිට ත්‍රිකුණාමලය දක්වා ඔරු වලින් ගිය විස්තරයක්. ඔහු සඳහන් කරන්නේ ජලමට්ටම ඉහල බැවින් ඔහු දුටුවේ හිස හා පිට පමණක් බවයි.

අවාසනාවකට මෙම ශෛලමය සද්ධන්තයා ඉන් පසු කාලයක නිදන් හොරුන්ට ගොදුරු වෙලා. පුරාණ නටබුන් තිබෙන සෑම තැනකම නිදන් සොයන මෙම නින්දිතයන් මුළින් සොඬවැල කඩා නිදන් සොයා ඉන් පසු ඩයිනමයිට් දමා උදරයද පුපුරවා වසර දහස් ගණනක් වනයේ සැඟවී තිබූ අතීත ගල් වඩුවාගේ සුන්දරම නිර්මාණයක් අනාගතයට අහිමි කරලා. අද මෙම ගල් අලියාගේ කිසිම මෙහි කිසිම නෂ්ටාවශේෂයක් ඉතිරිවෙලා නැහැ. ඉතිරිව ඇත්තේ ගල මත තිබුන කුඩුම්බි පමණයි.

පහත ගූගල්  සිතියමේ ලකුණු කර ඇත්තේ මෙම ශෛලමය අලියාගේ කැටයම පිහිටි දළ  ප්‍රදේශය පමණක් බව සළකන්න.

separator

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • BELL, H. C. P., 1917, THE “GAL ALIYA” OR “ROCK ELEPHANT” AT KATUPILANA, TAMANKADUWA. Ceylon Antiquary And Literary Register. 1917. Vol. 3.
  • DE LANEROLLE, S. D., 1996, වන නදිය. Colombo : Suriya.

සම්බන්ධ වෙනත් පිටු

ආනකල්ලු ගල් අලියා සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


ආනකල්ලු ගල් අලියා රියදුරු දිශාවන්

පොලොන්නරුව සිට ආනකල්ලු ගල් අලියා කැටයම

හරහා : කදුරුවෙල – මනම්පිටිය – සෙවනපිටිය – කටුවන්විල
මුළු දුර : කිලෝමීටර් 50
තවන කාලය : පැය 1 + පා ගමනක්
ගත කිරිය යුතු කාලය : පැය ½-1 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com
Comments