වැලිඔය නිකවැව ශ්‍රී විජයාරාම විහාරය පුරාවිද්‍යා නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 1.50 out of 5)
Loading...

නිකවැව යනු වැලිඔය දෙසට කිලෝමීටර 16ක් දුරින් පිහිටි විශාල ප්‍රමාණයේ වාරි කර්මාන්තයකි. සක්‍රිය තත්වයේ තිබෙන මෙම වැව ප්‍රදේශයේ ගොවිතැන් සඳහා විශාල ජල ප්‍රමාණයක් සපයනු ලැබේ.

නිකවැව වැව් බැම්මේ නැගෙනහිර මෙම විහාරය පවතී. මෙය පුරා වස්තූන් ගෙන් සපිරි කුඩා විහාරස්ථානයකි. වර්තමාන විහාරස්ථානයේ නව බෝධියක් හා කුඩා ආවාස ගෙයක් ඉදිකර ඇත. බුද්ධ මන්දිරයක් තනමින් පවතී.

බෝධිය වටා තනා ඇති බෝධි ප්‍රාකාරය ආසන්නව ගල් කණු කොටස් කිහිපයක් සිටුවා තිබේ. මේවා පසුකලක සිටුවා ඇති බව පෙනේ. ඊට දකුණු පසින් සෙන්ටිමීටර 26×26 ප්‍රමාණයේ සෙන්ටිමීටර 186ක් උසවූ ගල් කණු කොටසක්ද, කඩා දමා ඇති කොරවක්ගල කොටස් දෙකක් හා සෙන්ටිමීටර 118×60 ප්‍රමාණයේ කැටයම් කළ සඳකඩ පහණක්ද දැක ගැනීමට තිබේ. ඊට පිටුපසින් තවත් සෙන්ටිමීටර 20x20cm ගල් කණු කොටසක් සිටුවා ඇත.

බෝධියට ගිනිකොණ දෙසින් විශ්කම්භය සෙන්ටිමීටර 27 ක් වූ යූපගලක කොටසක් සිටුවා තිබේ මෙහි උ.ස cm 125 කි. මේ අයුරින්ම බෝධියට නැගෙනහිරින් හා ඊශාන දිශාවෙන් බෝධි ප්‍රාකාරයට ආසන්නව ගල් කණු කොටස් දෙකක් සිටුවා ඇති අතර ඒ අතර පහන් කුළුණක් බිම පෙරළී ඇත.

බෝධිය ආසන්නයේ දකුණින් පිළිම ගෙයක් යැයි අනුමාන කළ හැකි ගල් කණු සහිත ගොඩනැගිල්ලකි. ශේෂව ඇති කොටස් හා නටඹුන් අනුව ගොඩනැගිල්ල මැද මාලකයක්, වට මාලකයක් හා ආලින්දයකින් සමන්විතය. සෙන්ටිමීටර 275×190 කින් යුත් මැද මාලය වටා දළ වශයෙන් සෙන්ටිමීටර 130ක පමණ පළලින් යුත් වට මාලයක්ද සෙන්ටිමීටර 275×220 පමණ වපසරියකින් යුක්ත වූ ආලින්දයක් මෙහි තිබූ බව පෙනේ.

නැගෙනහිර දිශාවෙන් පිවිසුම තබා ඇති මෙම ගොඩනැගිල්ලේ පිවිසුම් ද්වාරයේ සෙන්ටිමීටර 165×60 ප්‍රමාණයේ සඳකඩ පහනක් සහ ඒ හා සම්බන්ධ පියගැට පෙළකි. විවිධ පළලින් යුත් මෙම ගල් පඩි මීටර 1.8 ක පමණ දිගින් යුක්තය. මෙම ගොඩනැගිල්ලට අයත් උළුවහු පාදම් ගලක කොටසක් සඳකඩ පහණ අසල දැකිය හැක. ගොඩනැගිල්ල වටා හා අවට විවිධ ප්‍රමාණයේ සැකැසූ ගල් කොටස්, ගල් පුවරු කොරවක් ගල් කොටස් හා පැරණි ගඩොල් විසිරී වී ඇත. ඒ අතර සිටුවා ඇති විවිධ ප්‍රමාණයේ දිගින් හා පළලින් යුක්ත වූ ගල් කණු කොටස් දාහතරක් ද දක්නට ලැබේ.

ආවාස ගෙය ඉදිරිපිට නොයෙක් ස්ථානවලින් එක්රැස් කරන ලද පුරාවස්තු කිහිපයක් තබා ඇත. මෙහි වටිනාම පුරාවස්තුව වන්නේ ශීර්ෂය නොමැති ස්ඵටික හුණු ගලින් කළ හිටිපිළිම වහන්සේ නමකි. මීට අමතරව පිළිම පාදම් ගලක්, සිරි පතුල් ගලක් හා හා පාධෝවන ගලක් දැකගත හැක. මෙම පිළිම වහන්සේ වැව තුළ තිබී ගොඩගත් බව ප්‍රදේශවාසීන් පවසයි.

බෝධියට නැගෙනහිරින් මීටර 30 ක් පමණ දුරින් සෙන්ටිමීටර 51×52 ප්‍රමාණයේ කැසිකිලි ගලක් දැකගත හැක. මෙහි ඝණ්ඨාර කුළුණ අසන සෙන්ටිමීටර 79×51 ප්‍රමාණයේ සඳකඩපහණක් තිබේ.

බෝධියට ගිනිකොන දිශාවෙන් විෂ්කම්භය මීටර් 15 ක් පමණ වූ මීටර් 2ක් පමණ උස දාගැබක අවශේෂ පවතී. ගොඩැල්ල මධ්‍යයේ මීටර් පහක් පමණ ප්‍රමාණයෙන් යුතු වලක් මීටර් දෙකක් පමණ ගැඹුරට හාරා ඇත. මෙම ස්තුප ගොඩැල්ලට ගල් කොටස් එකතු කොට ඇති පියගැට පෙළක් එක්කොට ඇති අතර කැටයම් රහිත කොරවක්ගල් දෙකක් ද තබා තිබේ. මළුව තුළ විශාල ශෛලමය මල් ආසනයක් හා පාධෝවන ගලක කොටසක් යැයි සිතිය හැකි ගල් කොටසක්ද පවතී.

විහාරයෙහි එක් මායිමක් නිකවැව වන අතර ජලය එහි වැඩි වන විට විහාරය ඛාදනයට ලක් වේ. යෝජිත කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතියට අනුව මෙම වැවට වැඩි ජල ප්‍රමාණයක් ලබාදීමට බලාපොරාත්තු වන හෙයින් මෙහි ගල් බැම්මක් සාදා පුරාණ විහාර භූමිය ආරක්ෂා කිරීමට යෝජිතයි.

මූලාශ්‍ර :

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, පි155-157
  • 2014. Proposed Kivul Oya Reservoir Project. EIA FINAL Report. Colombo: Mahaweli Authority of Sri Lanka.
  • Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].

සම්බන්ධ වෙනත් පිටු

වැලිඔය නිකවැව විහාරය පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වැලිඔය නිකවැව විහාරය පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්

පදවිය සිට වැලිඔය නිකවැව විහාරය පුරාවිද්‍යා නටබුන් දක්වා
හරහා :වැලිඔය
මුළු දුර : කිලෝමීටර් 17
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply