වනමැද තනිවුණ කොක්එබේ පුරාවිද්‍යා භූමිය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...
Monastic Ruins of Kokabe
Monastic Ruins of Kokabe
Image source : www.lanka-excursions-holidays.com

අනුරාධපුර දිස්ත්‍රික්කය පුරාණ පුරාවිද්‍යාත්මක ස්ථාන වලින් ගහන වන අතර සාමාන්‍ය සංචාරකයින්ගේ ඇස නොගැටෙන වටිනා පුරාවිද්‍යා ස්ථාන දිස්ත්‍රික්කය පුරාම ජනයා ගමන් නොගන්නා අසුමුලු වල දැකගත හැක.

බොහෝ අය නොදන්නා ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති කොක්එබේ පුරාවිද්‍යා භූමිය එවැනි සංරක්ෂණය කොට ඇති වටිනා ස්ථානයකි. අනුරාධපුර සිට හොරොව්පතාන මාර්ගය හරහා හෝ හබරන සිට පලුගස්වැව හරහා මෙම කොක්එබේ ගම්මානයට පිවිසිය හැකිය. කොක්එබේ විවිධ ස්ථානයන්හි කොක්එබේ, කොක්-එබේ, කොක්ඇබේ සහ කොක් ඇබේ ලෙස විවිධාකාරයෙන් ලියනු දැකගත හැක.

කොක්එබේ ගමට එම නම ලැබුණු සැටි පිළිබඳව මත කිහිපයක් ජනවහරේ පවතී. මෙම ගම්මානය පුරාණයේ මහදුටුවැව නමින් හඳුන්වා තිබේ. ගම්මානය යාන් ඔයට ආසන්නයෙන් පවතින බැවින් වැසි කාලයන්දී යාන් ඔය පිටාර ගලා වලවල් හි වතුර එකතු වී ඇත. ඉබේ සෑදුනු වලවල් යන අර්ථයෙන් මේවා “එබේ” ලෙස හඳුන්වා ඇත. ජලය හිඟ කාලයට ගැමියන් මෙම වලවල් වල එබී නාන බැවින් ඒවා පසුකාලීනව “එබේ” නම ලැබූ බව තවත් මතයකි.

බ්‍රිතාන්‍ය පාළන සමයේ සුදු ආණ්ඩුකාරවරයෙකු දඩයම් සඳහා මෙම ගම්මානයට  පැමිණ කොකුන් සිටින්නේ කොතනක දැයි විමසූ විට ඔවුන් දන්නා ආකාරයෙන් කොකුන් සිටින්නේ එබේ වලවල් වල බව පැවසීමට කොක්කු-එබේ ලෙස පැවසූ බව එලෙසම ගම්මානයේ නමද කොක්එබේ ලෙස පරිවර්තනය වූ බවත් විශ්වාස කරයි.  එලෙසම මිනිසුන් නාන එබේ වලවල් වල කොකුන් බොහොමයක් සිටි බැවින් කොක්එබේ ලෙස මෙම ප්‍රරදේශය නම් වූ බවද තවත් මතයකි.

මෙම පුරාවිද්‍යා ස්ථානයේ බෝධිඝරයක්, ස්ථුපයක්, පිළිම ගෙයක් සහ තවත් ගොඩනැගිලි ගණනාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇත.

මෙම විහාරය සෑදු රජු සඳහන් නොවූවද, මෙහි ලෙන් හි කපනලද කටාරම් මත කොටා ඇති පූර්ව බ්‍රාහ්මී අක්ෂර මත පදනම්ව, මෙම ආරාමික සංකීර්ණය ක්‍රිස්තියානි යුගයට පෙර (අනුරාධපුර යුගයේ මුල් භාගය දක්වා) සිට පැවත එනබව තීරණය කල හැකිය. අද දක්නට ලැබෙන නටබුන් විශ්ලේෂණයෙන් විවිධ යුගවල රජවරුන් කිහිප දෙනෙකු මෙම සංකීර්ණයේ වර්ධනයට සංවර්ධනයට දායක වී ඇති බව පෙන්නුම් කරයි. අනුරාධපුර යුගයේදී සෑම විටම පාහේ ශෛලමය පාශානයෙන් නිමවා ඇති කොරවක්ගල් මෙහි ගඩොලින් කර තිබීමද විශේෂත්වයකි.

කොක්එබේ ගම්මානයේ ප්‍රතිවිරුද්ධ දකුණු දිශාවේ ගල් කන්දක ආරාමයේ සාක්ෂි විසිරී ඇත. එක් පර්වතයක් මත ගල් ඇඳක් පවතී. මේ අසල යකඩ වැටකින් ආරක්ෂා කර ඇති සෙල්ලිපියක් ද ඇත. එම සෙල්ලිපිය කාලයත් සමඟ බොහෝ දුරට මැකී ගොස් ඇත. මෙම සෙල්ලිපියේ සඳහන් වන්නේ අනුරාධපුරයේ රජු විසින් පත් කරන ලද පරිපාලන නිලධාරියෙකු ගැන බව පැවසේ.

මෙම පුරා විද්‍යා භූමිය හා නටබුන් පිළිබඳව කල ගවේෂණ එච්.සී.පී. බෙල් විසින් 1891 දී පුරාවිද්‍යා කොමසාරිස්ගේ වාර්තාවෙන්ද, පරණවිතානයන් විසින් 1933 පුරාවිද්‍යා කොමසාරිස්ගේ වාර්තාවෙන්ද, 1961-62 අතර එඩ්මන්ඩ් ගොඩකුඹුරද, ආර්. එච්. ද සිල්වා විසින් 1979 පුරාවිද්‍යා කොමසාරිස්ගේ වාර්තාවෙන්ද එලි දක්වා ඇත.

පරණවිතානයන් විසින් මෙම පුරාණආරාම සංකීර්ණයේ ලෙන් ලිපි 2 ක් පරීක්ෂා කර ඇති අතර ඒවා Inscriptions of Ceylon – Volume 1 හි වඩකහගලහින්න – කොක්එබේ සෙල්ලිපි ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඉන් පළමුවැන්න (# 162) පේළි 3 කින් ලියා ඇති අතර එය කියැවෙන්නේ “ප්‍රමුඛ සබගේ පුත් රකිගේ ලෙණ සිවුදිගින් පැමිණි නොපැමිණි සංඝයාට පුජා කරන ලදි”. දෙවැන්න (# 1146) පේළි දෙකකින් යුක්ත වන අතර පළමු පේළිය කියවා ඇත්තේ අර්ධ වශයෙන් පමණි. මෙම සෙල්ලිපියේ සඳහන් වන්නේ “ප්‍රමුඛ තිස්සගේ මව ගුත්තගේ ලෙන . . . . . . .” යනුවෙනි. එවකට පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කළ ආචාර්ය ආර්. එච්. ද සිල්වා 1979දී පේලි 13 ක් සහිත බ්‍රාහ්මී පාෂාණ සෙල්ලිපිය පරීක්ෂා කර ඇති අතර මෙම සංකීර්ණයේ පැරණි නාමය ‘හරියද විහාරය‘ ලෙස හඳුනාගෙන ඇත.

මෙම ස්ථානයේ බෝධිඝරයේ/ආසනඝරයේ කැණීම් හා සංරක්ෂණය 1962 දී සිදු කොට ඇත. කොක්එබේ  ගම්වැසියෙකුගෙන් ලද තොරතුරු මත පදනම්ව, ස්පඨික ගලින් නිර්මාණ කරන ලද සිටි පිළිමයක් කොක්එබේ වෙනත් ස්ථානයක තිබී සොයාගෙන ඇති අතර මෙම ප්‍රතිමාව 1961-62 දී අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයට යවා ඇත.

1956 සිට 1967 දක්වා ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කළ එඩ්මන්ඩ් ගොඩකුඹුර (1907-77) බෝධිඝරය ලෙස හඳුන්වන වන එක් ගොඩනැගිල්ලකට විකල්පයක් ඉදිරිපත් කර ඇති අතර එය ආසනඝරයක් විය හැකි බව පවසයි. බුදු පිළිමය තැනීමට පෙර බැතිමතුන් බුදුන්ගේ පාද කැටයම් කරන ලද ගල් පුවරු (ශ්‍රී පතුල් ගල) හෝ විශාල පැතලි ගල් පුවරු (ආසන) බුදුන්ගේ අද්විතීය නිරූපණයන් ලෙස භාවිතා කළහ. පිළිමගෙවල් මෙන්, ආසනඝර යනු බුදුරජාණන් වහන්සේගේ නිරූපණය ලෙස වන්දනාමාන කරන ලද මෙවන් ආසන පිහිටා ඇති ගොඩනැගිලි ය. පළමුවන ශතවර්ෂය පමණ කාලයේදී මේවා ඉවත්වී ඒ වෙනුවට පිළිම ආදේශ විය. ගොඩකුඹුර විශ්වාස කරන්නේ බෝධිඝරයැයි විශ්වාස කෙරෙන ගොඩනැගිල්ලේ දැන් තැන්පත් කර ඇති විශාල ගල් පුවරුව ආසනයක් විය හැකි බැවින් ගොඩනැගිල්ල ඇත්ත වශයෙන්ම ආසනඝරයක් විය හැකි බවයි. එමෙන්ම මෙම ගොඩනැගිල්ලේ මෙම පුජනීය වස්තූන් දෙකම තිබුනාද විය හැක.

1979 දී කොක්එබේ මෙගලිතික සුසානය, ආරාමය හා කටාරම් සහිත ලෙන් ඇතුළු පුරාවිද්‍යා භූමිය තවදුරටත් සංරක්ෂණ හා කැණීම් කටයුතු සිදුකරන ලදී. 1970 දශකය වන විට කොක්එබේ මෙගලිතික් සුසාන භූමියක් ලෙසද ලෙස හඳුනාගෙන තිබුණි. 1979 පුරාවිද්‍යා කොමසාරිස්ගේ පරිපාලන වාර්තාවේ සඳහන් වන්නේ වෘක්ෂලතාදිය ඉවත් කිරීමෙන් පසු මෙහි ශිලා මංජුසා සූසාන 201 ක් සොයාගෙන ඇති බවයි.

කොක්එබේහි වඩකහගලහින්න ගල් කන්ද සංරක්ෂණයේදී ගල්තලාව උඩට කැපූ පියවර 64 ක් දැකගන්නට ලැබිණි. ආසනඝර භූමියේ දෙපස ගවේෂණය කිරීමේදී ගොඩනැගිල්ලක් ආවරණය වන පස් කන්දක් නිරාවරණය වී තිබේ. ආසනඝරයට නැඟෙනහිර දෙසින් ගල්පා කන්ද පාමුල විශාල ගොඩැල්ලක් විය. ආසනඝරයේ බටහිරට වන්නට ගඩොල් කැබලි වලින් පිරුණු කුඩා ගොඩැල්ලක් විය. සෙල්ලිපියට ඊසාන දෙසින් නටබුන් වූ දාගැබක් සොයා ගත් අතර, දකුණු දෙසින් ගල් කන්ද අද්දර පිහිටි ගොඩනැගිල්ලක නටබුන් හමු විය. ආරාමයේ පොකුණ ආසනඝරයට හා කුඩා ගොඩැල්ලට උතුරින් පිහිටා ඇති අතර එය සුන්බුන් වලින් වැසී තිබූ අතර එය නටබුන් වූ පියගැට පෙළකින් සමන්විතය. පොකුණේ ඊසාන දෙසින් නැගී එන භූමිය ගල් පර්වතයන්ගෙන් ගහන අතර එහි ලෙන් 3ක් පවතී. මෙම ස්ථානයේ දෙවන ලෙන් ලිපිය විශාල පැහැදිලි අක්ෂරවලින් මෙහි එක් ලෙනක දැකිය හැක. ආසනඝරයට බටහිර දෙසින් පිහිටි ගොඩැල්ලේ කැණීම් වලින් උතුරු, දකුණු හා බටහිර පැතිවල ගඩොල් ආසන සහිත කුඩා දාගැබක් සොයා ගන්නා ලදී. ආසනඝරයට නැගෙනහිරින් ඇති ගොඩැල්ලේ ගඩොල් වේදිකාවක් අර්ධ වශයෙන් නිරාවරණය විය. වේදිකාවේ උතුරු දිශාවේ ගඩොල් වරි දහතුනක්බොහෝ දුරට නොවෙනස්ව පැවතුනි. ගොඩැල්ල මුදුනේ නටබුන් වූ ගඩොල් ව්‍යුහයක සලකුණු දක්නට ලැබුණු අතර, සැලැස්ම අනුව එහි දකුණු පැත්ත රවුම් ලෙස හඳුනාගත හැකිය.

රාජා ද සිල්වා මහතා සහ කේ. එස්. සිත්‍රම්පලම් මහතා විසින් කරන ලද පර්යේෂණයක සඳහන් වන්නේ කොක්එබේහි සුසාන 200 ක් පමණ ඇති බවයි. ආචාර්ය ශිරාන් දැරණියගල විසින් 1982 දී පල කරන ලද වාර්තාවක, ගල් ආයුධ විය හැකි පාෂාණ පතුරු ඔහු විසින් කොක්එබේහි “වවුල් ලෙන” ගුහාවෙන් සොයාගෙන ඇත. 1984 දී සුදර්ශන් සෙනෙවිරත්න විසින් සිය පර්යේෂණ අනුව මෙහි අක්කර 10-15 ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි ශිලා මංජුසා සුසාන පවතින බව වාර්තා කරයි.

කොක්එබේ මෙගලිතික සුසාන භූමිය පිළිබඳ නවතම අධ්‍යයනය 2016 දී රජරට විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලදී. මෙම භූමියේ මූලික අධ්‍යයනයෙන් අක්කර 25 ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි නිරාවරණය වූ පාෂාණ සුසාන භූමි 267 ක් පමණ අනාවරණය වී තිබේ. කලින් සොයාගත් ශිලා මංජුසා සුසාන වලට අමතරව, ගල් භාවිතා කරන සුසාන භුමි වර්ග හතරක් සොයා ගන්නා ලදී. සමහර භූමදාන ශිලා කේතුක සුසාන (ගල් ගොඩැලි සූසාන) ස්වරූපයෙන් ද, සමහරක් ශිලා මණ්ඩල සූසාන ස්වරූපයෙන් ද, සමහරක් ශිලා පෙළ සූසාන ස්වරූපයෙන් ද, සමහරක් බරණි සුසාන  ස්වරූපයෙන් ද විය.

තෝරාගත් ස්ථාන තුනක තව දුරටත් කැණීම් කරන ලද අතර විවිධ හැඩයන්ගෙන් යුත් කළු සහ රතු මැටිකැබලි, විවිධ වර්ණ වීදුරු පබළු සහ ඇත් දත් පබළු 100 කට අධික ප්‍රමාණයක් සොහොන් භාණ්ඩ ලෙස දේහයන් සමග තැන්පත් කොට තිබී සමු විය. මෙම සොහොන් වලවල් වලින් අඟුරු සාම්පල තුනක් කාබන් කාල නිර්ණය සඳහා ඇමරිකා එක්සත් ජනපදයට යවා ඇති අතර ඒවා ක්‍රි.පූ. 790, ක්‍රි.පූ. 770 සහ ක්‍රි.ව. 50 ලෙස තීරණය වී ඇති අතර එයින් පෙන්නුම් කරන්නේ ක්‍රි.පූ 800 සිට ක්‍රි.ව. 50 දක්වා අවම වශයෙන් අවුරුදු 850 ක් මෙම සුසාන භූමිය භාවිතා කර ඇති බවයි. මෙතෙක් මෙරට හමු වූ පැරණිතම මෙගලිතික් සුසාන භූමිය ද මෙයයි.

The plan of the Asanaghara Building of Kokebe
The plan of the Asanaghara Building of Kokebe
source : Administration report of the archaeological commissioner for the year 1979

ආශ්‍රිත මුලාශ්‍ර

  • De Silva, R. and Karunaratne, W., n.d. Administration report of the archaeological commissioner for the year 1979. 1st ed. Colombo: Department of the Government Printing, p.17-19.
  • Paranavitana, S., 1970. Inscriptions of Ceylon. Volume 1. Containing cave inscriptions from 3rd century B.C. to 1st century A.C. and other inscriptions in the early Brahmi script. 1st ed. Colombo: Department of Archaeology.
  • Lanka Excursions Holidays – Kandy. n.d. Kokabe – archaeological sites off the beaten path in Auradhapura District. [online] Available at: <https://www.lanka-excursions-holidays.com/kokabe.html> [Accessed 13 June 2021].

සම්බන්ධ වෙනත් පිටු

කොක්එබේ පුරාවිද්‍යා ස්ථානයේ සිතියම

ගූගල් සිතියම් පහලින් - ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


කොක්එබේ පුරාවිද්‍යා ස්ථානයට රියදුරු දිශාවන්

අනුරාධපුර සිට කොක්එබේ පුරාවිද්‍යා ස්ථානය දක්වා හබරණ සිට කොක්එබේ පුරාවිද්‍යා ස්ථානය දක්වා
හරහා: මිහින්තලය – කහටගස්දිගිලිය – කෝන්වැව
දුර : කිලෝමීටර 45
ගතවන කාලය : පැය 1
ගත කල යුතු කාලය : පැය 1 පමණ
රියදුරු දිශාවන් : මෙතනින් ගූගල් සිතියමේ බලන්න
හරහා: ගලෙන්බිඳුණු වැව
දුර : කිලෝමීටර 60
ගතවන කාලය : පැය 1.30
ගත කල යුතු කාලය : පැය 1 පමණ
රියදුරු දිශාවන් : මෙතනින් ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com