කන්නියා උණු දිය ළිං පුරාණ ආරාම සංකීර්ණයේ නටබුන් – Buddhist Ruins at the Kanniya Hot Water Wells in Trincomalee

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...
ත්‍රිකුණාමලයේ කන්නියා උණු දිය ළිං පරිශ්‍රයේ ඇති පුරාණ බෞද්ධ ආරාම සංකීර්ණයේ නටබුන් - Buddhist Ruins at the Kanniya Hot Water Wells in Trincomalee

ත්‍රිකුණාමලයේ කන්නියා උණු දිය ළිං පරිශ්‍රයේ ඇති පුරාණ බෞද්ධ ආරාම සංකීර්ණයේ නටබුන් – Buddhist Ruins at the Kanniya Hot Water Wells in Trincomalee

ඇතිව පවතින අර්බුධකාරි තත්වයක් හේතුවෙන් සංරක්ෂණ හා කැණීම් කටයුතු විධිමත්ව සිදු කර ගැනීමට නොහැකිව පවතින ත්‍රිකුණාමලය කන්නියා උණු දිය ලිං හත ආශ්‍රිතව පිහිටි අනුරාධපුර යුගයට අයත් දා ගැබ, පිළිමගෙය ඇතුළු ආරාම සංකීර්ණය අබෞද්ධයන්ගේ බලපෑමට ලක්ව විනාශයට යමින් පවතින නැගෙනහිර පිහිටි තවත් එක් බෞද්ධ නටබුන් සහිත ස්ථානයකි.

ත්‍රිකුණාමලය අනුරාධපුර මාර්ගයේ කන්නියා ඉරාවනේෂ්වරා දෙමල විදුහල අසලින් වමට හැරි කිලෝමීටරයක් පමණ ගිය පසු හමුවන ස්වභාවික උණු දිය ලිං හත අසල මෙම ආරාම සංකීර්ණය සහිත නටබුන් පෙදෙස හමුවේ.

නටබුන්ව පැවැති දා ගැබ් ගොඩැල්ල කලකට පෙර නිධන් හොරුන් විසින් හාරා විනාශ කර තිබිම නිසා එය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට පුරාවිදයා දෙපාර්තමේන්තුව විසින් කලුගල් මිශ්‍ර කොන්ක්‍රීට් තට්ටුවක් යොදා වසා දමා තිබුණි. එලෙස කොන්ක්‍රීට් යෙදු දා ගැබ මත 2000 වසරේදී කොටි සංවිධානයේද අනුග්‍රහයෙන් ‍ප්‍රදේශයේ අබෞද්ධයන් පිරිසක් විසින් කෝවිලක් තැනීමට ගත් උත්සහය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාගේද මැදිහත්විමෙන් ව්‍යවර්ථ කරනු ලැබීය.

2012 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානයේ කැණීම් ආරම්භ කරනු ලැබීය. නමුත් පැවැති අයහපත් කාළගුණය හේතුවෙන් තාවකාලිකව කැණීම් නවතා දැමීමට දෙපාර්තමේන්තුවට සිදුවිය. පසුව 2013 වසරේදී මෙම ස්ථානය පාදක කර ගනිමින් කැණීම් යලි ආරම්භ කරනු ලැබීය. එකි කැණීම් වලින් වේදිකාවක් මත ඉදිකර තිබු අනුරාධපුර මුල් යුගයේ අවධි දෙකකට අයත් දා ගැබක්, පිළිම ගෙයක් හා ඒ හා විහිදුණු හදුනානොගත් ආවාස කුටි වැනි ගොඩනැගිලි කිහිපයක පැරණි බැමි සාධක මතුකර ගැනීමට පුරාවිදයා නිලධාරින්ට හැකිවිය.

නමුත් මෙම ස්ථානය තුල ඉදිකර ඇති ඇතැම් අවිධිමත් ඉදිකිරිම් හා මෑත කාලයේ ඉදිකල ශිව දේවාලය හේතුවෙන් සම්පුර්ණ ආරාම සංකීර්ණයට අයත් සාධක සොයා ගැනීමට පුරාවිද්‍යා නිලධාරින්ට නොහැකි ව තිබේ. පැහැදිලි වශයෙන්ම දා ගැබ අවට විසිර පවතින පුරාවිදයාත්මක නටබුන් මත ශිව දෙවොල ඉදිකර තිබේ. එය හින්දු කටයුතු දෙපාර්තමේන්තුවේ හෝ ලියාපදිංචි කර ඇති එකක් නොවන අතර දිස්ත්‍රික්කයේ ඇතැම් ‍ඉහල රාජ්‍ය නිලධාරින් මෙම අනවසර ආගමික ස්ථානයේ අලුත්වැඩියා කටයුතු සදහා මෙන්ම පොදු පහසුකම් සපයා ගැනීම සදහාද වක්‍රව උපකාර කරමින් සිටිම කණගාටුවට කරුණකි.

කෙසේ වෙතත් කැණීම් කර මතුකර ගත් දා ගැබ, පිළිම ගෙය හා උණු දිය ලිං හත ඇතුළු නටඹුන් 2011 වසරේ සැප්තැම්බර් මස නම වන දින අංක 1723 දරණ ගැසට් නිවේදනය මගින් පුරාවිද්‍යා ස්මාරක ලෙස නම් කිරිමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබීය.

මෙය එකල පැවැති දියුණු ආරාමයක් බවට සිතිය හැකි සාධක පවතින බව කැණීම් කටයුතු කල පුරාවිදයා නිලධාරින් පවසයි. ආරාමයේ සිටි භික්ෂුන් වහන්සේලා පැන් ලබා ගත් පොකුණ ශිව දේවාලය පිටුපස ඇති වගුරු බිම බව සිතිය හැකිය. එය මේ වනවිට මඩ සහ වෙනත් ඉදිකිරිම් හේතුවෙන් වැසි යමින් පවති.

මෙම ස්ථානයෙහි පිහිටි උණු දිය ලිං හත භාතික අභය රාජ්‍ය සමයට අයත් ක්‍රි. ව. 143 -167 කාලයේ ඉදිකරන්නට ඇති බව සිතිය හැකිය. හින්දු ජන ප්‍රවාදයෙහි රාවණා රජුගේ මෑණීයන්ගේ අවමංගල කටයුතු සදහා ශුද්ධවු ජලය ලබා ගැනීමට මහේෂ්වරයා විසින් මෙම ලිං නිර්මාණය කල බව කියැවෙන නමුත් එම පුවත තහවුරු කිරිමට පිළිගත හැකි සාධක කිසිවක් හමුවි නොමැත.

ඒ කෙසේ වෙතත් පුරාවිද්‍යා සාධක අනුව මෙය රාජ රාජ පරම්පරාව දක්වා දිවෙන බව අනාවරණය වේ ඒ මෙම ස්ථානය අවට පිහිටි අනෙකුත් පුරාවිදයාත්මක සාධක සැසදීමේදි එක හා සමාන කාල පරාසයක සියළු සිද්ධස්ථාන ඉදිවන්නට ඇති බව සිතිය හැකි නිසාවෙනි.

උණු දිය උල්පත් වල ආරම්භය කිව නොහැකි වුවද මෙම ස්ථානය මුල් කරගත් ආරාම සංකීර්ණයක් ක්‍රි.ව. 2 – 3 සියවස් වල පවතින්නට ඇති බවට සිතිය හැකි සාධක පුරාවිද්‍යා කැණීම් වලින් තහවුරුව තිබේ. ඒ අනුව දා ගැබක් පිළිම ගෙයක් ආවාස කුටි සහිත අංග සම්පුර්ණ ආරාම සංකීර්ණයක ලක්ෂණ කැණීම් මගින් තහවුරු කර ගැනීමට පුරාවිදයා නිලධාරින් සමත්ව තිබේ.

මෙම ස්ථානයෙහි පිහිටා ඇති මේ වනවිට කැණීම් කර මතුකර ගනු ලැබු දා ගැබ අවධි දෙකකට අයත් එකක් බවට තහවුරුව තිබේ උණු දිය ලිං පිහිටි මට්ටමට වඩා මීටරයක් පමණ උසින් දා ගැබෙහි අත්තිවාරම ආරම්භව ඇති අතර මතුපිට පොලවේ සිට මීටරයක් පමණ උසින් යුත් වේදිකාවක් මත ‍කුඩා ප්‍රමාණයේ දා ගැබක් ඉදිකර තිබු බව පෙනි යයි. මෙම අවධිය ක්‍රි.ව. 2 – 3 සියවස් වලට අයත් බවට අනුමාන කල හැකි බවත් ඉන්පසු හමුවන යුගය පෙර දා ගැබට කංවුක යොදා ඇති බවට සාධක හමුවන බව පුරාවිද්‍යා නිලධාරින් පවසයි.

මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය කැණීම් කිරිමේදී ක්‍රි. ව. 06 වන සියවස හා 10 වන සියවස දක්වා කාලයන්ට අයත් හින්දු සංස්කෘතියට බොහෝ විට නෑකම් කියන බද කොටස එතරම් ඝනකම් නොවන ඇතුලත හා පිටත මෝස්තර රටාවන් යෙදු දේශීය මැටි බදුන් ස්වල්පයක් හමුව තිබුනි. එමෙන්ම මෙගලතික සොහොන් බිම් වලින් හමුවන පාත්‍රා ගැටි කිහිපයක් ද කාල රක්ත වර්ණ බදුන් යම් ප්‍රමාණයක්ද හමුව තිබේ.

බඳ කොටස ඝණකමින් වැඩි හා විශාල ගැටි සහිත මැටි බදුන් කැබලි වැඩි වශයෙන් හමු වුවද ඒවා කිනම් වර්ගයන්ට අයත් ඒවාද යන්න නිගමනය කල නොහැකි බව පුරාවිද්‍යා නිලධාරින් කියයි.

ඒ කෙසේ වෙතත් මෙම ඝණකම් බදුන් ගබඩා කාර්යන් හෝ ජල පරිහරණය සදහා හෝ භාවිතා කරන්නට ඇති බව සිතිය හැකි බව ඔවුන්ගේ අදහසයි. දා ගැබෙහි අවසන් ප්‍රතිසංස්කරණ අවධියේ සාධක දෙස බැලීමේදී පිළිස්සු රතු දුඹුරු ගඩොල් මිශ්‍ර තිරුවානා ගල් යොදා එහි අවසන් ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇති බව පෙනි යන්නේ යැයි පුරාවිද්‍යා නිලධාරින් පවසයි.

දා ගැබෙහි පළමු අවධිය නිර්මාණය කිරිම සදහා මෝල්ඩින් ගඩොල් යොදා ගෙන ඇති බව දක්නට ලැබේ. දා ගැබ වටා කලුගලින් නිර්මිත මල් ආසනයන් තිබි ඇති අතර මල් ආසන දෙකක් හා සිරිපතුල් ගල් තුනක් ඒ වටා දක්නට ඇත. මුරගලක් පාදම් ගල් හා තවත් ගල් කණු රැසක් හා ඡත්‍ර ගලක්ද දා ගැබ අසලින් හමුව තිබේ.

දා ගැබට මිටර් 100 ක් පමණ දුරින් පිළිම ගෙය පිහිටා ඇති අතර එය නිධන් සෙවිමේ අරමුණින් ඩෝසර් කර ඇති බව පෙනි යයි. එම ස්ථානයෙහි පාදම් ගල් කණු රැසක් යන්ත්‍ර ගලක් හා තවත් කුඩා ගල් කණු කිහිපයක්ම හමුවේ. කිසිවකු විසින් කඩා දමන ලදැයි සිතිය හැකි ශිලා ලිපියක කොටස් දෙකක් පිළිම ගෙය අසලින් මෙම වසරේ මුල් කාලයේදී හමුවු අතර එය ක්‍රි. ව. 2 – 3 සියවස් වලට අයත් අපර බ්‍රාහ්මීය අක්ෂරයන්ගෙන් ලියැවුණු එකකි. මෙම ස්ථානයෙන් හමුවු පළමු ශිලා ලිපිය එය වන අතර එහි මෙසේ සදහන් වේ

“ මහරජ කුජවිය මරුදවිය හ බොජියපති බොජියපති හ ච පල මේ එතකි තනහි සගය දිනි ”

යම් මහරජෙකු විසින් තුරුවිය, මරුද විය, පලවැව ආදි යාබදව පිහිටි වැව් කිහිපයකින් ලද දිය බද්ද මෙම විහාරයට පුජා කල බව ඉන් කියැවේ. මෙම ස්ථානයේ කල කැනීම් වලින් මතුකරගත් අවශේෂ පුරාවස්තු අතරට යුප ගල්, ප්‍රථිමා කොටස්, මැටි බදුන්, මල්ආසන හා මෙවලම් වලට අනුව මෙය මේ ප්‍රදේශයේ පිහිටි පැරණි බොදුනු ආරාමයක් බැව් සාධක සහිතව තහවුරු වේ.

මේ වනවිට මෙම පිළිමගෙ‍යි හා දා ගැබෙහි නටබුන් හානියට පත්වෙමින් පවතින අතර මෙම විනාශය වැලැක්වීමට කටයුතු කිරිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමකි. 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥාපනතේ 48 වැනි වගන්තියට අනුව මෙය පැරණි ස්මාරකයකි එසේම එම පනතේ 23 (2) යටතේ මෙවැනි පැරණි ස්මාරකයන් සංරක්ෂණය කිරිමට කිසිවෙකුත් අවහිර කල නොකල යුතුය.

යම් ඉදිකිරිමක් පැරණි පුරාවස්තු මත ඉදිකර ඇත්නම් ඒවා නොසලකා අනුරාධපුර යුගයේ සිට පැවත එන පුරාවිද්‍යාත්මක නටබුන් සංරක්ෂණය කල යුතු බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්්‍ය පී. බී. මණ්ඩාවල මහතාද අවධාරණය කර තිබේ. ඒ කෙසේ වෙතත් අන්‍යාගමිකයන් විසින් ඇති කරගත් අනවබෝදයත් කපටි දේශපාලකයන්ගේ උසි ගැන්වීමත් මත මෙම ස්ථානයෙහි කැණීම් හා සංරක්ෂණ කටයුතු මේ වනවිට නැවති තිබේ.

රටේ වෙනත් ප්‍රදේශයන්ට හා පුද්ගලයන්ට බලපාන පුරාවස්තු සම්බන්ධ නිතිය නැගෙනහිර ඇතැමුන්ට බල නොපෑම මෙවන් නටබුන් වැනසී යාමට මග පැදී තිබේ එබැවින් මෙම උරුමය අනාගත පරපුරට දැක බලා ගැනීමට අවස්ථාව උදාකර දීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෙට දවසේ වගකීම වේ.

සටහන : ලක්මාල් කේ. බදුගේ

සම්බන්ධ වෙනත් පිටු

කන්නියා උණු දිය ළිං පුරාණ ආරාම සංකීර්ණයේ නටබුන් සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.


ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


කන්නියා උණු දිය ළිං පුරාණ ආරාම සංකීර්ණයේ නටබුන් රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට  කන්නියා උණු දිය ළිං දක්වා

හරහා : නිලාවේලි – කුච්චවේලි
මුළු දුර : කිලෝමීටර් 8
ගතවන කාලය :විනාඩි 15
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com
Comments