වවුනියාව වන මැද සැඟවුණු කයිලබේ ආරාම නටබුන්

photo source: Sapumalgaskada Pabbatharamaya Facebook Page
මෙම පුරාවිද්‍යා නටබුන් උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයේ වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිරප්පන්මඩුව 213C ග්‍රාමසේවා වසමේ කයිලබේ දුෂ්කර ගම්මානයට අයත් රජයේ රක්ෂිත වනාන්තරය තුල සැඟවී පවතී.
මෙම සංඝාරාම සංකීර්ණය අක්කර 10කට වැඩි භූමි ප්‍රමාණයක විසිරී ඇති අනුරාධපුර රාජධානි යුගයට අයත්යයි සැළකෙන අතිශය වැදගත් භූමි ප්‍රදේශයකි. මෙහි ස්තූප ගොඩැල්ල සහ තවත් ගොඩනැගිලි/ගොඩැලි 15කට අධික සංඛ්‍යාවක් හා පොකුණු 2ක් හඳුනා ගත හැක. මෙහි සිරිපතුල් ගල්, කොරවක් ගල්, කැසිකිළි ගල් ආදී සන්ඝාරාමයන්හි හමුවන විහාරාංගද තැනින්තැන විසිරී තිබී හමුවී ඇත.
මෙහි ඇති දාගැබ මීටර 15ක පමණ විශ්කම්භයකින් යුතුය. උස මීටර 4ක් පමණ ඉතිරි වී ඇත. මෙම දාගැබ මද්‍යයේ නිදන් සොරුන් විසින් මීටර 5ක් ගැඹුර මීටර 3ක් පළල වලක් කපා ධාතු ගර්භය විනාශ කොට ඇත. දාගැබේ දකුණු බෑවුමේ ශෛලමය සමාධි ප්‍රතිමාවක් දැකිය හැක. මෙම පිළිමයද කඩා දමා ඇති අතර සමහර කොටස් අස්ථානගත වී ඇත.
දාගැබට දකුණින් මීටර 25ක් පමණ දුරින් විශාල ශිලා ලේඛනයක් පවතී. මෙහි 2/3ක් පමණ පසට යට වී ඉහලින් ඇත්තේ 1/3ක් පමණි. මෙම පුවරුව මීටර 2.21 උසින් මීටර 1.10ක් පළලින් හා සෙන්ටිමීටර 26ක් ඝනකමින් යුක්තය. මෙහි අක්ෂර සෙන්ටිමීටර 8×7 සිට 12×7 දක්වා විවිධ ප්‍රමාණයෙන් යුක්තව පේලි 8 කට නෙළා ඇත. මෙම ශිලා ලේඛනය පලවන ගජබාහු රජ සමයේ (ක්‍රි.ව. 112-134) කරවන ලද්දකි.
මෙම ශිලා ලිපියට අනුව මහල නම් නගරයේ අනුතිරිගම වැව අනුත්තර (අනුතිරි) දේවිය විසින් සාරවා අනුතිරි අරබ විහාරයේ ස්තූප කටයුතු වෙනුවන් පූජා කොට තිබේ. ගාමිණි අබය රජු (1වන ගජබාහු – ක්‍රි.ව. 112-134) අබය අරම විහාරය කරවා අබය නම් වැව සාරවා එම විහාරයට පූජා කොට ඇත. මීට අමතරව මහ වැවක් අනුතිරි අරබ විහාරයට පූජා කොට ඇත. තවත් ප්‍රදානයන් කිහිපයක් මෙම ශිලා ලිපියේ සඳහන් වූවද එහි පතුරු ගැලවී යාම නිසා කියවා ගැනීමට අපහසු වී ඇත.
මෙම ස්ථානයට ගමන් කිරීම සඳහා වවුනියාව – මාමඩුව – මහකච්චිකුඩිය හරහා බෝගස්වැව – පදවිය මාර්ගයේ ගමන් කොට දකුණට පිහිටි රුවන්මඩුව වැව මාර්ගයේ වැව් බැම්ම අවසානයේ ඇති අඩි පාර ඔස්සේ මීටර 50ක් පමණ ගමන්කොට දකුණට ඇති අඩිපාර ඔස්සේ මීටර 700ක් පමණ ගමන් කළ විට මාර්ගයේ දකුණු පසින් මෙම නටබුන් දැක ගත හැක.
සම්බන්ධ වෙනත් පිටු
කයිලබේ ආරාම නටබුන් සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
කයිලබේ ආරාම නටබුන් ගමන් මාර්ග
වවුනියාව සිට කයිලබේ ආරාම නටබුන් |
හරහා : ඇටඹගස්කඩ – මාමඩුව – රුවන්මඩුව වැව පාර මුළු දුර : කිලෝමීටර් 40 ගතවන කාලය : පැය 1.15 + ඇවිදීමට ගත වන කාලය ගත කිරිය යුතු කාලය :පැය 1-2 රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
ප්‍රතිචාරයක් ලබාදෙන්න