Kehelpannala Sri Pabbatharama Purana Tampita Viharaya – කෙහෙල්පන්නල ශ්‍රී පබ්බතාරාම පුරාණ ටැම්පිට විහාරය
කෑගල්ල දිස්ත්‍රික්කය පුරාණ බෙදීම් අනුව ප්‍රධාන කෝරළ 4කට බෙදී පවතී. ඒවා නම් බෙලිගල් කෝරළය, පරණකුරු කෝරළය, කිණිගොඩ කෝරළය හා ගල්බඩ කෝරළයයි. පරණකුරු කෝරළය කෑගල්ලේ සියඹලාපිටියේ සිට අරනායක රහල දක්වා විහිදෙයි.
කෙහෙල්පන්නල (කෙසෙල්පන්නල) අයත්වන්නේ පරණකුරු කෝරළයටයි. අතීතයේදී ඉන්දියාවේ සිට දිවාකර නම් බ්‍රාහ්මණයෙක් තම ගෝලයින් දෙදෙනෙකු සමග ලංකා භූමියට ගොඩබස මෙම කෙහෙල්පන්නල ගම් පෙදෙස තම වාසස්ථානයට තෝරාගෙන ඇත. ඔවුන් ඉදි කළ පැල සඳහා කෙසෙල් කොල භාවිතා කළ හෙයින් මෙම ප්‍රදේශයට කෙහෙල්පන්නල යන නාමය ලැබූ බව විශ්වාස කරයි.
මෙම ප්‍රදේශය අම්බුළුවාව සහ දොළොස්බාගේ කඳු පන්තීන් පාමුල පිහිටීම නිසා වසරේ මාස 12ම ජල ධාරාවන්ගෙන් පෝෂණය ලබයි. එබැවින් මෙම ගම්මානය ඉතාමත් සශ්‍රීක ප්‍රදේශයක් ලෙස අතීතයේ පටන්ම ප්‍රසිද්ධියක් උසුලයි. අම්බුළුවාව කඳු මුදුනට නැගි විට කඳු පාමුල තිබෙන කෙහෙල්පන්නල ගම්මානයේ සරුසාර කුඹුරුයායන් වෙනත් ප්‍රදේශ වලින් කැපී පෙනෙනි.
කෙහෙල්පන්නල ප්‍රදේශයේ සශ්‍රීකත්වය කොපමණ ප්‍රසිද්ධියට පත් වූවා ද යන්න දැක්වෙන ජනප්‍රවාද කිහිපයක් මෙම ප්‍රදේශයේ පවතී. පැරණි රජ දවස රාජ සභාවේ සිටි නිලමේවරුන් කිහිපදෙනෙකුට කෙහෙල්පන්නල රාජකීය ගබඩාවක් කිරීමට අවශ්‍ය විය. මේ අනුව ඔවුන් උපක්‍රමශීලීව රජතුමා අම්බුළුවාව කන්ද මුදුනට ගෙන ගොස් කෙහෙල්පන්නල ගම්මානයේ සශ්‍රීකත්වය පෙන්වා එය රාජකීය ගබඩාවක් ලෙස නම් කිරීමට පෙළඹවීමට ඔවුහු ක්‍රියා කළහ.
රාජකීය ගබඩා ගම් වල ගැමියන් අවුරුදුපතා තම කුඹුරු සහ වතුපිටි වලින් ලැබෙන අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් රජුගේ මහ ගබඩාවට හෝ බිසෝවරුන්ට අයත් පල්ලේවාහල ගබඩාවට දීමට සිදුවේ. එබැවින් ඔවුන්ගේ ගම්මානය රාජකීය ගබඩා ගම්මානයක් කිරීමට ගැමියන් කැමැත්තක් නොදැක්විය.
මේ අතර රජ වාසල දෛවඥයකු ලෙස සේවය කළ ධනසේකර මුදියන්සේ නැමැත්තා කෙහෙල්පන්නල ගම්වැසියකු විය. නිළමේවරුන් කිහිපදෙනෙකු පසුදින රජතුමා අම්බුළුවාව කඳුමුදුනට ගෙන යන බව ආරංචි වී වහාම මෙම පණිවිඩය ගම්මානයට ලබාදුණි. එසැණින් කෙහෙල්පන්නල වැසියෝ තම කුඹුරු යායන් මැද්දේ තැනින් තැන ගස් සිටුවා ලියදි මධ්‍යයේ පැල් තනා එහි සශ්‍රීකත්වය වසන් කෙරීමට කටයුතු කළහ.
පසුදින නිලමේවරුන් සමග රජතුමා කන්ද නගින අතර ඔවුන් පැවසුවේ පරණකුරු කෝරලයේ ගම්මාන අතුරින් ඉතාම සරුසාර ගම කෙහෙල්පන්නල බවත්විශාල ලියදි නිසා හා ඒවායේ රමණීයත්වය නිසා රජුට කඳුමුදුනේ පෙන්වීමකින් තොරවම කෙහෙල්පන්නල ගම්මානය වෙනත් ගම්මාන අතරින් හඳුනාගත හැකි බවය.
කඳු මුදුනට නැගී රජතුමා අවට ගම්මාන නරඹමින් කෙහෙල්පන්නල ගම හඳුනා ගැනීමට තැත් කලත් ගම්වැසියන්ගේ ක්‍රියාවන් නිසා එය හඳුනා ගැනීමට නොහැකි විය. නිලමේවරුන් කෙහෙල්පන්නල ගම්මානය පෙන්වූවත් රජතුමාට එහි සශ්‍රීකත්වය දැකගත නොහැකි විය. එබැවින් මෙම ගම්මානය ගබඩා ගම්මානයක් කිරීමේ තැත අසාර්ථක වී ගියේය.
නිලමේවරුන් ඔවුන්ගේ අවශ්‍යතාවය අත් නොහැරි අතර ටික කලකට පසු කෙහෙල්පන්නල ගමේ ප්‍රධානියෙකුගේ වත්තක විශාල කෙහෙල් කැනක් හටගත් බව ඔවුන්ට සැල විය. ඔහු මිනිසුන් හත් දෙනෙකු යොදවා මෙම විශාල කෙහෙල් කැන මාලිගයට ගෙනයාමට යෙදවීය. ඔවුන් බලාපොරොත්තු වූයේ මෙම අති විශාල කෙහෙල්කැන පෙන්වා ගම්මානයේ සශ්‍රීකත්වය රජුට ඒත්තු ගස්සා එය ගබඩා ගමක් කරවීමය.
මෙම තොරතුරු දැනගත් ගම්වැසියෙක් කෙහෙල්කැන රජවාසලට ගෙන ඒමට පෙර දුවගොස් රජතුමා හමුවී ඔහු ඉදිරියේ වැඳ වැටී පවසා සිටියේ තම ප්‍රදේශයෙන් රැගෙන එන කෙසෙල් කැන ගමේ කොල්ලන් කිහිප දෙනෙක් වැසිකිලි වලක සිටවූ කෙසෙල් ගසකින් හටගත් තැනක් බවත් හා ඒ බව නොදන්වා සිටීම රාජද්‍රෝහී ක්‍රියාවක් බැවින් ඔහු රාජ මාලිගයට පැමිණි බවත් ය. මේ අනුව මෙවර ද කෙහෙල්පන්නල රජකීය ගබඩාවක් කිරීමට ගත තැත අසාර්ථක විය. මීට අමතරව ඉරහඳ පවතින තාක්කල් කෙහෙල්පන්නල ගම ගබඩා ගමක් ලෙසට නොගන්නා බවට රාජ ආඥාවක් පැනවූ බව ද පැවසේ.
මෙය බොහෝවිට ගම්පොළ රාජධානි සමයේ හෝ මහනුවර රාජධානි සමයේ සිදුවූවක් විය හැක.
ගම්පොල සිට හෙම්මාතගම දෙසට කිලෝමීටර 9 හෝ මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොල දෙසට කිලෝමීටර 17ක් ගිය තැන කෙහෙල්පන්නල විදුහල හා ශ්‍රී පබ්බතාරාම පුරාණ විහාරය දෙසට ඇති මාවත හමුවේ. එම මාවත ඔස්සේ මීටර 700ක් පමණ ගමන්ගත් කල ටැම්පිට විහාරය සහිත කෙහෙල්පන්නල ශ්‍රී පබ්බතාරාම විහාරය හමුවේ. මෙම විහාරය මෑත කාලයකදී අලුත්වැඩියා කොට ඇත.
මූලාශ්‍ර
- අදිකාරි, ඒ. වෛද්‍ය, 2019. කෑගල්ලේ සුන්දර කෙහෙල්පන්නල. [online] Lankadeepa.lk. Available at: http://www.lankadeepa.lk/Rasawitha/කගලල-සනදර-කහලපනනල/57-562550 [Accessed 21 November 2020].
- යටවර, එම්. ඩී. එම්. ඇස්., 2009. කෑගලු කෝරළ පවත : පරණකුරු, කිණිගොඩ සහ ගල්බඩ කෝරළයන්හි ඓතිහාසික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ගවේෂණය. 1st ed. වරකාපොළ: ආරිය ප්‍රකාශකයෝ.
සම්බන්ධ වෙනත් පිටු
- ලංකාවේ ටැම්පිට විහාර ලැයිස්තුව – Tampita Vihara Heritage of Sri Lanka
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව – Ancient Heritage Sites of Sri Lanka
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන – Other Places of Interest Within Close Proximity
කෙහෙල්පන්නල ශ්‍රී පබ්බතාරාම පුරාණ ටැම්පිට විහාරය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
කෙහෙල්පන්නල ශ්‍රී පබ්බතාරාම පුරාණ ටැම්පිට විහාරය රියදුරු දිශාවන්
මාවනැල්ල සිට කෙහෙල්පන්නල ශ්‍රී පබ්බතාරාම පුරාණ විහාරය දක්වා |
හරහා : හෙම්මාතගම මුළු දුර : කිලෝමීටර් 17.5 ගතවන කාලය : විනාඩි 45 ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |