වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කුමාර කන්ද (සුදුකන්ද) රජ මාලිගා භූමිය – Kumara Kanda Palace Ruins in Wasgamuwa

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...

කුමාර කන්දෙන් කපු කෙටූ ගලට

Large Stone Steps towards the streams at Sudukanda photo source : Ruins in Central Eastern Area of Sri Lanka
Large Stone Steps towards the streams at Sudukanda
photo source : Ruins in Central Eastern Area of Sri Lanka

අප මේ ආකාරයෙන් ලිවීමට අදහස් කරන සිදුවීම් හා ස්ථානවල ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත්ද එසේ නොමැතිනම් පොළොන්නරු යුගයට අයත්දැයි කීමට නොදන්නේ අපට දශක කීපයකට පෙරාතු පරම්පරාව ඒ පිළිබඳ සොයා බලා නොතිබූ නිසාය. ජනප්‍රවාද රැසක් මෙම සිදුවීම් සහ ස්ථානවලට අයත් කාලය රාවණා රජ සමය දක්වා රැගෙන යනු ලබයි. භෞතිකව අධ්‍යයනය කිරීමේදී සියවස් ගණනාවකට පෙර ගොඩනඟන ලද ස්ථාන යැයි අනුමාන කළ හැකිය. ඇළහැර, බකමූණ අතරතුර ට්‍රැක් 23 ප්‍රදේශයෙන් වස්ගමුව ජාතික වනෝද්‍යානයට ඇතුළු වී පසුදින හෝරාවකට පමණ කාලයක් ඇවෑමෙන් කුමාර කන්ද මාලිගා භූමියට පැමිණිය හැකි වේ. කුමාර කන්ද යනු පැරැණි රජ මාලිගා භූමියකි.ගඟ වෙත පැමිණෙන මඩ ඇළ ලෙස ගැමියන් විසින් හඳුන්වන ඇළ මාර්ගය ගලා එන්නේ මාලිගා භූමියේ සිට යැයි පැවසෙන අතර මාලිගා භූමියට ප්‍රවිෂ්ට වීමට ඇති පහසුම ගමන් මාර්ගය වන්නේ මඩ ඇළට සමාන්තරව ඉහළට ගමන් කිරීමය. පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් වස්ගමුව ජාතික වනෝද්‍යානයට පිවිසීමේ පහසුකම් නොමැති නිසා නෛතික බාධා, ඇතැත් පුද්ගලයෝ ඒ පිළිබඳ තැකීමක් නොකර වස්ගමුව සමඟ සම සබැඳියාවක් පවත්වනු ලබති. අපද මඩ ඇළ දිගේ ඉහළට ගියේ අබන් ගඟ දෙපසට යෙදූ කඹ ආධාරයෙන් ප්‍රථමව ගඟ තරණය කිරීමෙන් ඉනික්බිතිවය.

පැය කීපයකට පසු ගමනාන්තයට පැමිණියෙමු. දහවල ගෙවී පැය දෙකක් ඉක්මවීමට කලියෙන් වස්ගමුව පුරා අඳුර රජයන්න ගනී. මාලිගාව ගිලී ඇත්තේ අඩ අඳුරකය. පැහැදිලි ලෙස මාලිගාවට ප්‍රවේශ මාර්ග හතරකි. මාලිගාව ආසන්නයේ ඇති වතුර මල් පවා යම් දුරකට සක්‍රියය. පැහැදිලි ලෙස ඒවා ඡායාරූප ගත කිරීමට නොහැකි කරුණ වන්නේ අඩ අඳුර සහ මාලිගාවේ එක් පරිශ්‍රයකට නොදෙවැනි ලෙස අනිත් පරිශ්‍රයේ ඇති මූකලානය. වලසුන් සිය නිවෙස් බවට මාලිගාව පත්කර ගෙන තිබීමද තවත් එක් හේතුවකි.

-0-

මාලිගාට තදාසන්නව ඇති සාමාන්‍ය ප්‍රමාණයේ ගල් පර්වතය මුදුනත තනි පැතලි ස්වරූපයක් ගනී. හඳුනාගත නොහැකි රූප සටහන් පෙළක් පර්වතයේ තැනින් තැන කොටා ඇති අතර පර්වත බිත්තියේ පිහිටීම රළු පරලු නොවේ.

එම පර්වතය පාමුල මීට පෙරාතුව විශාල නා ගස් මණ්ඩියක් පැවැතියා යැයි පවසා සිටියේ මඟ පෙන්වන්නෙකි. ඔහු වඩා විශ්මයට පත් වුණේ නා ගස් මණ්ඩිය පෙරළා මැණික් කෝවවල් කීපයක් ගොඩ දමා තිබූ නිසාය.

මැණික් කෝව ත්‍රිකෝණාකාරය. එය පුරාතනයේ සිට මැණික් නිධන් කර බැංකු ක්‍රමයකට අනුරූප වන ලෙස තැම්පත් කර තිබූ උපකරණයකි. මේවා ගොඩ දාල හොයපු සල්ලිවලින් තමයි බකමූණ නව නගරය වගේ තැන්වල අහස උසට ගිය බිල්ඩින් හැදුණේ. එලෙස කටහඬ අවදි කළේ. මඟ පෙන්වන්නාය.

සිදුවීම් පෙළට අනුරූප වන ලෙස අප යා යුත්තේ යුදඟනාපිටියටය. කුමාර කන්ද මාලිගා පරිශ්‍රයේ සිට යුදඟනා පිටියට යෑමට පැය හතක් පමණ ගත වී යැයි අනුමාන කිරීම නීතිය ඉදිරියේ වධ දෙන ගැටලුවක් බවට රූපාන්තරණය වූ නිසා අපි මඩ ඇළ ඔස්සේ ආපසු පල්ලම් බැස්සෙමු. පළමු දින අවසානය වස්ගමුව, බකමූණ, ගැන ප්‍රවෘත්තිවලින් ගහණ විණි දෙවැනි දිනය බකමූණ, පල්ලේගම හරහා හඳුන්ගමුවට ගොස් එතැන් සිට වස්ගමුවට යා යුතු යැයි යෝජනා කළේ රියැදුරු තැනය. එලෙස කළෙමු. වස්ගමු පිවිසීම් ද්වාරයේදීම තනි මුව රංචුවකින් පලවා හැරියා දෝ සැක කළ හැකි මුව නාම්බෙක් දිස්විණි. ස්වාභාවික වනාන්තරයක සිටිය නොහැකි ගවයන් සහ කුළුහරකුන් මෙලෙස වස්ගමුවේ සිටින්නේ ජනපදකරණයේ අදූරදර්ශී වත්පිළිවෙත් නිසා බවත්, වළසුන් මරා දැමීමට ප්‍රිය කළ ඉංග්‍රීසි ජාතිකයන් වස්ගමුවේ පැළපදියම් වූ අයුරුත් කුළු හරකුන් සහ අට්ටර වී සිටින ගවයන් අල්ලා ගැනීම ජාවාරමක් ලෙස සිදුවීමට නිලධාරීන් ඉඩ නොදීම ගැනත් ආරංචි කන වැකිණි. ප්‍රධාන ද්වාරයේ සිට කිලෝමීටර් 13ක් ගිය තැන යුදඟනාපිටිය පිහිටියේය. එය කර්කශ භූමි භාගයකි. තුරුලතාවෝ නොවැඩෙති. පසෙහි පිහිටීම අමුතුය. බුත්තල, වස්ගමුව සහ රෑ යන ස්ථානවල පමණක් මේ ආකාරයට අන්‍ය වූ ලක්ෂණ පෙන්නුම් කරන පිටි පිහිටි බව දැනගතිමි. මෙම පිටියේ පස් කාබනික පරීක්ෂාවට ලක් කළ විට ‘ටින්’ නමැති ලෝහය සමඟ යපස් සොයා ගත හැකි වුණේලු! දුටුගැමුණු රජු යුද්ධය සඳහා සේනාව සංවිධානය කළ ස්ථානය ලෙසද රාවණ රජුට පහර දීමට ආ ලක්‍ෂ්මණ බැලුම්ගලේ සිට බැලුම්හෙළා යහන් ගල ඔස්සේ ලකේගල දෙපළු වී යන ලෙස හී පහර (විද්‍යාත්මක අවියක්) එල්ල කළේ මේ පිටියේ සිට බවත් පිටියේ පිහිටීම කුමාර කන්ද මාලිගය සහ ලකේගල ත්‍රිකුණාමලය අතර සම රේඛාවක් ඇඳිය හැකි බවත් කිවේ තව පුද්ගලයෙකි. වස්ගමුව වනාන්තරයට ලකේගල පැහැදිලිව දිස්වන්නේ යුදඟනාව පිටියට පමණි. පිටියේ එක් කෙරවලක මුව රංචුවකි. අනෙක් කෙරවල අලි රංචුවකි. මීදුම අතරින් ලකේගල දිස් වේ. ලකේගලේ එක සීමාවක ඇති මී මුරේ පිළිබඳ ‘පාර දිග’ අතිරේකයේ පළ වූ ලිපි පෙළ විශාල පාඨක ප්‍රතිචාරයක් ලබා ගත් අතර මීමුරේට ලකේගලේ අතින් කෙරවල පිහිටි රණමුරේගම සිට ඇත්තේ කිලෝමීටර් 4ක් පමණ බව ප්‍රකාශ කළේ මඟ පෙන්වන්නාය. අපගේ ගමනාන්තය රණමුරේට ඉහළින් පිහිටියේ කපුකෙටූ ගල බව දැන සිටි මා පමණක් රියැදුරුව සහ සහායකයන් දෙදෙනා විශ්මයට පත් කරමින් පවසා සිටියේ අපගේ රාත්‍රි නවාතැන ලකේගල පාමුල බවය.

වස්ගමුවට යළි පැමිණෙන බලාපොරොත්තු ඇතිව අපි පිටව ගියෙමු. හඳුුන්හමුව හරහා පල්ලේගමට ගොස් එතැනින් රණමුරේ හට යෑම අරමුණ වී තිබූ අතර අති දුෂ්කර ඒ මාර්ගය ඔස්සේ රණමුරේට යෑම සඳහා ත්‍රි – රෝද රථයක් ලබා ගත්තෙමු. රණමුරේ ගම හේරත් බණ්ඩා සහ අධිකාරි අයියා අපගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි අතර පසු දින යෑමට ඇති ගමනේ දුෂ්කරතාව සහ අවදානම පිළිබඳ අධිකාරි අයියාගේ දෙසුම ඇරැඹියේ රාත්‍රි දහයත් පසු වූ පසුය. ඔහු පවසා සිටින ආකාරයට අප රණමුුරේ හරහා ගොස් නකල්ස් රක්ෂිතයට පැමිණිය

යුතුය. රක්ෂිතයේ උෟරුකෝවිලට යෑම ලකේගලට පමණක් දෙවැනි වූ කපුකටින ගල ලෙස ගම්මුන් හඳුන්වන විශාල පර්වතයක් ඇත. එම පර්වතය පාමුල පැරැණි රජ දවස ස්වාභාවිකව පැවැතියා යැයි පැවැසෙන කාබනික පාෂාණ ඇත. කළුනික පොකුණ වැසී ගොස් ඇත්තේ රාම රාවණා යුද්ධයේදී ලකේගල කැඩී ගොස් විසිවී ගිය යෝධ ගල් පතුරු නිසාවෙන්ලු!

පසු දින ගමන ඇරැඹූ අපි හයිබි්‍රඩ් එළවළුවලට පල නොකියා පලා බෙදූ ගොවියන්ද, රා මදින්නන්ද ගල් පර්වත මැද්දාවේ ගව ගාල් සුරකින ගොපල්ලන්ද හමුවීමු. අතේ කෙටේරියක් නොමැති නම් ගෝන හක්කක් අහුලා ගත්තා යැයි අධිකාරි කීවේය. මීට පෙර නොදැක තිබූ සුවිශේෂී පරිසර පද්ධතියක් පසුකර අපි ලකේගලින් කඩා වැටුණා යැයි පවසන විශාල පර්වත සමීපයෙන්ද ඒවා අතරින්ද ගමන් කළෙමු. කළුනික පැළෑටිය පැළ වූවා යැයි පැවසෙන කළුනික පොකුණ අදහාගත නොහැකි නිර්මාණයකි.

එතැන් සිට අප යා යුත්තේ කපුකෙටු ගලටය. කපු කෙටු ගල රාවණ පුරාවෘත්තයට නෑකම් කියන්නකි. විශාල පර්වත බිත්තියේ ඉහළින් ඇත්තේ විශාල ගල්ලෙන් දෙකකි. එක ගල් ලෙනක් තුළ මැටි විශේෂයක් වේ. අනෙක් ලෙන පිහිටා ඇත්තේ එම ලෙනට ඉහළිනි. බෑවුම සහ ප්‍රපාතය එක ලෙස නඟිමින් අපි කපු කැටු ලෙන කරා පැමිණියෙමු. ලෙන් ‍ෙදාර පහසුවෙන් ගුවන් යානයක් ඇතුළු කර ගත හැකි තරමට විශාලය. ලෙන ඇතුළත කාමර කීපයකි. ඒවා මැටියෙන් පිරියම් කළ ඒවා ලෙස පැවැතියා යැයි විශ්වාස කළ හැකි සාධක බොහෝය. සුවිශේෂී කරුණ වන්නේ ලෙන තුළ තිබී සොයා ගත් දහයියා බවට අනුවර්තනය වී තිබූ වී ය. ඒවා දුලබ ගණයේ ඒවා යැයි අයෙක් පවසා සිටියේය.

වස්ගමුව මහ කැලේ සැඟවුණු හිටි පිළිමයක් !

උදේ රැයින් ගියේ නැත්නම් හවස් වෙද්දි ආපහු එනවා බොරු. දැන්ම පිටත් වෙමු. රැවුලා අණ දුනි. අඹන් ගඟ තරණය කිරීම සඳහා ඇවැසි කඹය මිලදී ගැනීමට ගිය මා හට කඩ හිමියන් කීපදෙනකු කූද්දවා කඹ ඇත්දැයි විමසා සිටින්න සිදුවිණි. ප්‍රමාදය පිළිබඳව රැවුලා සිටියේ නොරිස්සුම් සහගතවය. “මරුම මනුස්සයව අල්ලගෙන තියෙන්නේ කැලේ අස්සක් මුල්ලක් නෑර පෙන්වයි.” හරියට හනුමා වගේ රැවුලා පිළිබඳ සහතිකපත් නිකුත් කරමින් ත්‍රීවීල් ‘මාතලී’ පවසා සිටියේය. අඹන් ගඟ සැම විටදීම මත් වී ගලනා ගඟකි. ඒ නිසා සුන්දරත්වය පිළිබඳ අටුවා ටීකා ටිප්පනි නොගැළපේ යැයි සිතේ. ගඟක් මත් වී ගලන තැන කෙතරම් සුන්දරද?

සුන්දරත්වය ඇතුළාන්තයේ වූ ආරක්ෂාකාරී බව නිසා මත් වී ගඟ ගලනා ස්ථානය හරහා කඹයක් ඇද ගෙන තරණය කළ යුතු යැයි රැවුලා තීරණය කර තිබිණි. ගං ඉවුරු යා කිරීම සඳහා කඹය එගොඩට රැගෙන යෑම බාර ගත්තේද රැවුලාය. ගඟ දෙගොඩතළා ගිය දිනකට පසු දිනක් වූයේ නම් කඹයක් මඟින් ගඟ තරණය නොකළ යුතු බව සිහි තබා ගන්න යැයි කියූ රැවුලා ගඟ දිය අතරින් නොපෙනී ගොස් නා ගස් මුල් ගොන්නක් අසලින් මතු වුණේය. වස්ගොමුව සහ ජයසිරිපුර ඉම් යා කරන ලද කඹය උපයෝගී කරගත් අපි නඩය ජයසිරිපුරට සමු දුන්නෙමු. කඹයේ එල්ලී ගඟ තරණය අතුරේ යනවාට වඩා අසීරුය. අතුරේ යන විට ආධාරක දෙකකි. ගඟේ යන විට ඇත්තේ දෑත් මත ඇති කඹය පමණි. මහත – දෙහෙත පුද්ගලයකු වුවහොත් කඹය ආන්බාන් කිරීම අසීරු කටයුත්තකි. ඒ මදිවාට කැමරා ආම්පන්නවලට ජලය කාන්දු වීමට ඉඩදිය නොහැකිය. දෙකකුල් ගං පතුලේ වදින විට ලබා ගන්නා වාරුව නොමැති වූවා නම් ගඟ දිය ගැඹුරු කඩඉම පසු කිරීම අපහසු වීමට බොහෝ ඉඩ තිබිණි. එකෙක් පසු පස එකෙක් සේ ගඟ තරණය කරන අප දෙස එගොඩට වී රැවුලා බලා සිටියේ අනපේක්ෂිත කරදරයක් සිදුවුවහොත් මැදිහත් වීම සඳහාය විය යුතුය. කණ්ඩායමේ සියල්ලන් ගඟ තරණය කළේ අපහසුතා රැසක් පරදා යැයි කීම යුක්ති යුක්තය.

මෙතැන් සිට රජයන්නේ සොබා දහමේ නීතියයි. නීතිය මායිම් නොකර වස්ගමුවට පැමිණ සිටින අප සොබාදහමේ නීතියට අනුගත නොවී ක්‍රියා කරන්නේ නම් අනිටු පල විපාකවලටද මුහුණ දීමට හිත හදා ගත යුතු යැයි රැවුලා ඔහුගේ ගම්බද වහරින් පවසා සිටියේය. කුමාරකන්ද මාලිගයට යා හැකි පහසුම මාර්ගය මඩ ඇළට සමාන්තරව ඉහළට යෑම යැයි මා දැන සිටියද ඒ බවක් නොකියා සිටීමට වග බලාගත්තේ කණ්ඩායමේ සිටිය යුත්තේ එක් නායකයකු පමණක් වන නිසාය. එලෙස පැවැසීමට අවශ්‍යතාවක් නොවන බව පසක් කරමින් රැවුලා කටු පඳුරු සහිත යටි රෝපණයක් තිබූ මෙහි කැලෑ මණ්ඩියක් පසුකර මඩ ඇළ කරා කණ්ඩායම රැගෙන විත් තිබිණි. මඩ ඇළ ලෙස හැඳින්වුවද ඇළ සිනිඳු වැලි තලයක් පතුල කරගෙන ගලා යන්නකි. කැලයේ ඉහළ සීමාවට තද වැසි ඇදහැලී ඇති බව පෙන්වා දීමට සේ මඩ ඇළ නව මං උපද්දවාගෙන පහළට ගලා යෑමට යත්න දරයි.

ඒ කාලේ මේ ඇළට මඩ ඇළ කියල කියන්න අරගෙන තියෙන්නේ මාලිගාවේ උදවිය පාවිච්චි කරපු වතුර ගලාගෙන ආපු නිසා කියල තියෙනවා. අපිරිසුදුයි කියන්න ‘මඩ’ උපයෝගී කර ගත්තා වෙන්ඩ පුළුවන්. කොහොමත් ඒ කාලේ කුමාර කන්ද මාලිගාව අවට විශාල ජනාවාසයක් තිබිල තියෙනවා. ජනප්‍රවාදයේ කියැවෙන කතාවක් හැටියට කුමාර කන්ද මාලිගාව ආසන්නයේ තියෙනවාලු. හිටි පිළිමයක්. ඒ පිළිමේ නේත්‍ර ධාතු විහාරයේ සැතපෙන පිළිමේ දෙසට එල්ල වෙලා තියෙනවලු. මම අවුරුදු ගාණක් කැලේ තියෙන ඔය හිටි පිළිමෙ හෙව්ව. ඒත් හම්බවුණේ නැහැ. හැබැයි ඒ පිළිමේ පිහිටි කළු ගලක කෙටූ එකක් වෙන්න බෑ. මොකද කැලෑවේ ඉඳල සැතපෙන පිළිමේ තියෙන හරිය පේන සීමාවේ පිහිටි කළු ගල් නැහැ. වස්ගමුව තමයි ඒ කාලේ ජනාවාස තිබුණේ. අඹන් ගඟයි පරාක්‍රම සමුද්‍රයට වතුර අරගෙන යන ඇළයි අතර ඇළහැර ගොවි ගම්මාන හැදුවාට ඒ කාලේ ගඟේ වතුරත් එක්ක බලපුවාම ඒ හරිය තමයි ගඟයි ඇළයි අතර ගං දිය පිට දාන සීමාව. එතකොට ජනාවාස තිබිල තියෙන්නේ දැන් අපි ඉන්න හරියේ. ඒත් වස්ගමුව සීමාවේ දැන් අපි ඉන්න හරියේ ඉඳල තියෙන්නේ මුක්කරුවෝ. මුක්කරුවෝ කියන්නේ මැණික් ගරන්න පිටරට ඉඳල සංක්‍රමණය වුණ ජන කොටසක්.” මඩ ඇළ දිගේ ඉහළට යෑමේදී එලෙස ඉතිහාසය හාරා ඇවිස්සුවේ රැවුලාය.

ඇළ දිගේ ඉහළට යෑම එක සීරුවට කළ නොහැක්කකි. ඇළ ප්‍රයෝජනයට ගත් අලි රංචු ඇළ දෙපස ඇති ගස්වල අතු කඩා දමා ඇත්තේ වනාන්තරය තුළ මාර්ග තැනීමේ ප්‍රයෝගකාරයන් තමන් යැයි ඒත්තු ගන්වා දීමට මෙනි. ඇළ හරස් කර විශාල ප්‍රමාණයේ අතු තිබූ නිසා කෙටි දුරකට පමණක් අපි දෙපතුල් සිනිඳු වැලි තලයෙන් පිටතට ගත්තෙමු.

“කුමාර කන්දට කිට්ටුයි. අපි එනවා දැනිල වන කුමාරයෝ ටික ඇවිත් ඉඳීද?” රැවුලා එලෙස වන කුමාරයන්ට උපමා කළේ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වන ආරක්ෂක නිලධාරීන්වය. මාලිගා බිමට ආසන්නවත්ම විශාල නාගස් වැටි දෙකක් මැදින් සමාන්තරව යන ගමන් ලතාවකට අනුගත විය යුතුය. කඳ මහත නා ගස අතු රිකිලි දමන්නේ ඉර එළිය හොඳින් උරා ගැනීමට හැකියාව ඇති උසකින් නිසා ඉරඑළිය පොළොවට පතිත වීමක් සිදුවන්නේම නැත. මාලිගා භූමිය පිළිබඳ නා වැටිය සමඟ මැවෙන්නේ ආශ්‍රම ආකාරයේ මනෝ චිත්‍රයකි. ලංකාවේ භූ විසමතාව අනුව ප්‍රභූ නිවාස සහ නා ගස් අතර ඇත්තේ සම සබැඳියාවකි. මේ වනවිටත් ගරු ගාම්භීර ලෙස නැඟී සිටින වලව් සම්ප්‍රදායට අයත් සෑම ප්‍රභූ නිවාසයක් ආසන්නයේම නා වැටියක් වේ. පස්යාල, අත්තනගලු පාර අද්දර සිට නා ගස් එකසිය අසූ තුනක් පසුකර සබරගමු දිසාවේ පිහිටා ඇති නා වැටිය වලව්ව මසිතට නැඟිණි.

නා වැටිය කෝමළ වූයේ ගල් පාදමකිනි. පාදමක් ලෙස භෞතිකව දැක ගත හැකි වුවද එය මතුකර ගැනීම සඳහා මනස් චිත්‍රයක් මවා ගත යුතුවේ. මනස් චිත්‍රය කෙතරම් දුරකට නිවැරැදි වේ දැයි නොදන්නාමුත්, කුමාර කන්ද මාලිගාව ප්‍රවේශ මාර්ග ලෙස සකසන ලද ගල් පඩි පෙළ 3කින්ද විශාල ප්‍රමාණයේ ගැල් කරත්ත ගමන් කළ හැකි මාර්ගයකින්ද සමන්විත වී යැයි උපකල්පනය කළ හැකිය. මාර්ගය වනය විසින් ගිල ගනු ලැබුවද දෙපස ඇති කළුගල් ගල් පඩි මත වැවී ඇත්තේ කටු පඳුරු විශේෂයකි. මාලිගාව පහළින් දිය අගල් කීපයක් වේ. එම දිය අගල් දෙපස සිට බෑවුමේ වේගයට සමානව වතුර ඉහළට රැගෙන යෑමට සකස් කරනා ලදැයි සිතිය හැකි ගල් දිය වැලක් වේ.

කුමාරයා පැනපු ඇල්ල ළඟ පොහොය දවසට සුදු කිඹුලෙක්

එක් පසකින් කටු පඳුරු සහිත කුටියට පැමිණි අපි අනෙක් පස දක්වා දිවෙන ගල් පඩි සෙවීම ඇරැඹුවෙමු. කටු පඳුරු නිසා දෙඅත් රිදුම් දීමට ගත් නිසා එම උත්සාහයද අතරමඟද අවසන් කළෙමු.

නාවැටිය කෙළවරට වන්නට වූ යෝධ නා ගස් දෙකක් පොළොව සිපගෙන ඇත්තේ අකලට යැයි යන්න සාක්ෂි සහිතවය.

“දැනට අවුරුද්දකට කලියෙන් කුමාර කන්දට ආව. එතකොට මේ නා ගස් දෙක කෙළින් තිබ්බේ. දැන් බිම. මොකක්ද දන්නවද හේතුව? නා වැටිය යට මැණික් කෝවවල් වළදාලා තියනව කියන එක දැනගෙන මිනිස්සු නා ගස්වල මුල් යට හාරලා. මේ තියෙන්නේ මැණික් කෝවවල්. මැණික් කෝව කියන්නේ මැණික් ගල් ඔබ්බවල ත්‍රිකෝණයක් හැඩේට කපපු කළු ගලකට. ගල ඇතුළේ මැණික් තැන්පත් කරල හීනි නූලක් වගේ ඉඩක් තියෙනවා. කෝව ඇතුළට වතුර එන්න. එතකොට වතුර පාර එක්ක මැණික් නොමැරී තියෙනවා. මේ මැණික් කෝවවල් දෙකේ මැණික් ඇති පොළොන්නරුව නව නගරය වගේ නගරයක් අලුතින් හදන්න. මේවා ඇතුළෙ තිබ්බ මැණික් අරගෙන යන්න විල්බැරෝ එකක් ඕන වෙන්න ඇති. දැන් ඇළහැර ඉඳල පොළොන්නරුව පැත්තටයි අනෙක් පැත්තෙන් කළු ගඟ දෙසටයි තියෙන ‘ජෙම් හවුස්’වල අයිතිකාරයෝ තමයි වස්ගමුව කැලේ මැණික් නිධන් ඔක්කොම ගත්තේ. එකපාර මුක්කරු සොහොන් කඩල අඩි 7ක් පොළොව යටට හාරලා මැණික් දහය – ‍ෙදාළහ ගත්ත මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ මිනිස්සු අද වෙද්දි ඇවිදින මළ මිනී වගේ. සල්ලි තියෙනවා. ජීවිතේ නෑ.” රැවුලා එලෙස පවසා සිටියේ මඬනා ලද කෝපයෙනි. අප කුමාර කන්ද මාලිගාවේ තදාසන්නයේ ඇති ගිරිකුළු පරීක්ෂා කිරීම ආරම්භ කළෙමු. ලොකු කුඩා සෑම ගිරි කුළකම අක්ෂර හෝ සංකේත කොටා තිබේ. එක් සලකුණක් බ්‍රාහ්මීය අක්ෂර ගණයට පවා නොවැටෙන ඒවාය. ඉබ්බෙක් දියට බසින ලකුණු ඇති එක් සලකුණකි. ගිරි කුළු උස් සම වැටියක් බවට පත්කර ඇතැයි උපකල්පනය කළ හැකි එක් පර්වතයක් වේ. මගී බස් රථයක් පහසුවෙන් නැවැත්විය හැකි මතු පිටක් එම පර්වතයට ඇත.

“කුමාර කන්ද මාලිගාව පරාක්‍රමබාහු රජ සමය දක්වා දිව යනවා කියල සමහරු කියනවා. තවත් සමහරු කියන්නේ ඒක රාවණා රජුගේ කාලයට සම්බන්ධයි කියලා. කොහොමත් රජ කුමාරයෙක්ට සම්බන්ධ ජනප්‍රවාද ගොඩක් තියෙනවා. එකක් තමයි කුමාර ඇල්ල. කුමාර ඇල්ල කියන්නේ ගඟ හරහා පහසුවෙන් පනින්න පුළුවන් තැනට. කොහොම හරි ඔය කියන කුමාරයා ඇල්ල පල්ලට වැටිලා මැරුණාලු. ඒ මැරුණ තැනට පුන් පෝය දාට ආවොත් සුදු කිඹුලෙක් බලාගන්න පුළුවන්ය වගේ ජනප්‍රවාද තියෙනවා. අනික් කාරණය රාවණා රජුගේ කාලයට දිව යනවා. මෙතැන ඉඳලා ගත්තම වස්ගමුවෙ තමයි අනුරාධපුරයටයි මාතලේ පැත්තෙන් ලකේගලටයි යන්නට තියෙන පහසුම මාර්ගය වැටිල තියෙන්නේ. ලකේගලේ ඉඳල වස්ගමුව හරහා කෙළින් බැලුවොත් ත්‍රි’මලය පේනවා. ඒ ස්ථාන තුනම පිහිටලා තියෙන්නේ සරල රේඛාවකට.

ලකේගල ළඟ තියෙන මාන ගලයි යහන් ගලයි කියන්නේ රාවණා රජු එයාගේ තාවකාලික නවාතැන් පොළවල් වගේ පාවිච්චි කරපු තැන්ලු! කුමාර කන්ද මාලිගාවත් එහෙම තැනක් කියල මිනිස්සු කියනවා. ඒත් කවුරු වුණත් ඒ මත දෙකටම ගරු කරනවා මිස එක මතයක් අයින් කරල දාල නෑ. මෙතැන තියන ලොකු ගහකට නැග්ගොත් ලකේගල හොඳට පේනවා. නැවත වරක් එලෙස පවසා සිටියේ රැවුලාය.

මාලිගාව පිහිටි භූමිය ස්වාභාවිකව අඳුරට හුරු වී ඇතත් සවස දෙක පමණ පසු වනවිට තුරු ලතා මතින් හිරුරැස් පෙරී ඒමද අහවර වේ. ඒ වලස්ගොමුවේ ස්වභාවයයි. එම නිසා මාලිගා භූමියෙන් හැකිතාක් ඉක්මනට පිටවිය යුතුය. අපි පය ඉක්මන් කළෙමු.

1938 වර්ෂයේදී නේචර් පෝල් නමැති ප්‍රාදේශීය පරිපාලන නිලධාරියා විසින් කරන ලද ඉල්ලීමකට අනුව වස්ගමුව වනාන්තරයේ අප සිටින කොටස වලස්ගොමුව ලෙස නම්කර දැඩි සොබා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඉන් පසුව මාතලේ දිස්ත්‍රික්කයට සීමා වන කොටස 1948 වර්ෂයේදී වලස්ගොමුවට අෑ¼දා වස්ගමුව ලෙස නම් කර තිබේ. අෑ¼දෑගත් මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් නැවත වරක් හේන් ගොවිතැන සඳහා ජනතාව වෙත නිදහස් කිරීම සිදුව ඇත්තේ 1968 වර්ෂයේදී පමණය. එකලදී මාතලය, හඳුන්ගමුව ප්‍රදේශයට සීමා වන භූමිය සරුසාර හේන් යායකි. 1978 වර්ෂයේදී වස්ගමුවේ පාරිසරික වැදගත්කම අවබෝධ කර ගත් එවක පාලකයෝ මහවැලි කඩිනම් ව්‍යාපාරයට සමගාමීව වස්ගමුව මාතලේ කොටසේ පදිංචිකරුවන්ට ගොඩ ඉඩම් සහ මඩ ඉඩම් ලබා දී අනුරාධපුර දිස්ත්‍රික්කයට පිටත්කොට හැර පොළොන්නරුව කොටසේ දැඩි සොබාරක්ෂිතය වන වලස්ගොමුව සහ මාතලේ භූමි භාගය එක්කර වස්ගමුව ජාතික වනෝද්‍යානය බවට පත්කර ඇත්තේ 1990 දශකයේ මුල් භාගයේදීය.

කුමාර කන්දෙන් බැස එමින් ගමනේදී එම දැනුම කණ්ඩායමේ සාමාජිකයන්ගේ මුවින් නික්මිණි. අඹන් ගඟ වෙත පැමිණි අපි කඹයේ ආධාරයෙන් ජයසිරිපුර වෙත පැමිණියෙමු. අපගේ පැමිණීම අනපේක්ෂිත වූ හිතවතුන් එගොඩට පැමිණි සිටියත්.. ඇඟපතට වධ දෙන විඩාව පලවා හැරීම සඳහා හොඳින් නා – කියා ගතිමු. ඉන් පසු හිමි හිමිහිට වැඩ ඇල්ලුවෙමු.

සුරා විතයි – මී පොතයි අතින් ගෙන
ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ
මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි
සුරංගනාවියන්ගේ සුරංගනාවියන්ගේ

අපගේ සංගීත බරවීම නිසා ගම් වදින්න ආ අලි නැවත කැලයට යන්ඩ ඇති!

රාවණාගේ මාලිගාව සොයා ලකේගලට මව්බිම ගිය ගමන

ගමනාන්තය පිළිබඳ නිරවුල් අදහසක් දැන් මට ඇත. ඒ කපුකෙටූ ගල පෙනෙන්න වූ නිසාය. වෙහෙසකර ගමනක අතිමහත් වූ ප්‍රතිඵලය භෞතික ලෙස ගවේෂණයට අපි සූදානම් වූයෙමු. කපුකෙටූ ගල ලෙස ගැමියන් හඳුන්වන පර්වතය දකුණු දෙසට දළ බෑවුමක් සහිත සැතපුණ එකකි. පර්වතයේ දකුණු බිත්තියේ (ලකේගල සිට බලන කල) විශාල ගුහා දෙකක් ඇතත් එය අන්මානයට අල්ලා ගත නොහැක්කේ ගුහා කටවල් ළැහැබ්වලින් වැසී ඇති නිසාය. කපුකෙටූ ගල පිළිබඳ මධ්‍යස්ථ ප්‍රවාදය කුවේණිය සමඟ සැබැඳි එකකි. එය පිළිගත හැකි හෝ ඉන් ඔබ්බට විශ්වාස කළ නොහැක්කකි. විජය – කුවේණි කතා ප්‍රවෘත්තිය සමඟ අනෙක් පරිසර සාධක ගළපාගත හැකි තැනක නැත. විජය රජු කුවේණිය දුටු මොහොතේ ඇය කපු කටිමින් සිටි බව ඉතිහාස කතාකරු කී නිසා කපුකෙටූ ගලට විජය – කුවේණි කතා පුවත සමපාත කිරීමට යම් උත්සාහයක් පැවැතුණා විය හැකිය. පුරාතන ප්‍රවාදයේදී කපුකෙටූ ගල රාම – රාවණා කතා පුවත සමඟ එක්කාසු වේ. එය පරිසර සාධක සහ මුඛ පරම්පරා ගත කරුණු සමඟ ගළපා ගත හැක්කකි.

රණපුරේ සහ මීමුරේ අතර බිම්කඩ වන ලකේගල යහන් ගල ඇටන්වලය කපුකෙටූ ගල එක් සීමාවකි. අප දැන් වාඩිලා සිටින්නේ එකී සීමාවේය. මඟ පෙන්වන්නා වූ “මුතු” ගම්කාරයාය. ද්විතීයික අධ්‍යාපනයක් තියා හරි හැටි මුල් ළමා විය අධ්‍යාපනයක්වත් නොලද ඔහුට ඉතිහාස කතා පිළිබඳ ඇත්තේ පුදුම සහගත දැනුමකි. ඔහු අත ඇති කුඩා විදුලි පන්දම හැරෙන්නට කිසි දෙයක් නැත. පොතක් පතක් දෙඅතින් අල්ලා කිසි දිනක කියවා නැතැයි කී මුතු කරුණු කාරණා දන්නා සංචාරකයන් පැමිණි පසු ඔවුන් කතා බස් කරනා දෑ ධාරණය කර ගැනීමට තමා වඩ වඩා උත්සාහ ගන්නා බවද පවසා සිටියේය.

මුතුට අනුව ලකේගල, බැලුම්ගල, යහන් ගල සහ කපුකෙටූ ගල කඳු පන්තියේ නිල උරුමක්කාරයෝ යනු ගෝත්‍රිකයෝය. සරලව පවසා සිටියොත් මුතු, හේරත් බණ්ඩා වැනි ගම්කාරයන්.

යක් කියන්නේ යකඩ සංකේතවත් කරන නමක්. ඒ කියන්නේ යකඩ නිෂ්පාදනය කරපු නිර්මාණකරුවෝ. යක් කියන එක නමක් විදියට අයිති සංස්කෘත භාෂාවටලු. ඒකේ තේරුම යක්‍ෂ කියන එක. එතකොට රකුස්් කියලා ජන කොටසක් ගැනත් කියවෙනවා. රකුස් කියන්නේ කුස රැකීමට ගොවිතැන් කළ අයට. යක් සහ රකුස් කියන්නේ එකම මට්ටමේ කුල දෙකක්. කර්මාන්තකරණයේ සහ ගොවිතැනේ නිරත වුණ අය. ඒක පිළිගන්න හේතු ගොඩක් රණමුරේයි මීමුරේයි තියෙනවා. හිතන්න අපහසු නිර්මාණ මේ කඳු මුදුන්වල ඉදි වුණේ ඒ හින්දා. අද බැරි වුණත් අපි යහන් ගලට හරි ලකේගලට හරි නඟිමු. ඒවායේ පඩි පෙළ. රාවණා රජුගේ විමාන නතර කරපු තැන් ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන්. ඒත් ඒවා මම කියන තරම් ලේසි නැහැ. අපිත් යක්‍ෂ පරම්පරාවේ අය වුණත් අපට පාලනය කරන්න බැරි දේවල් මේ නකල්ස් කැලේ සිද්ධ වෙනවා. පොඩි පොදක් ලකේගලට වැටුණට පස්සේ මේ පැත්තට ගඟක් ගලනවා වගේ වතුර ගලාගෙන එනවා. ඒවා මොකක් හරි අමනුෂ්‍ය බලවේගයක් කරන දේවල් නෙවෙයි. හැම පර්වතයක්ම මොකක් හරි වෙනසකට ලක් කරලා වතුර අපතේ නොයවා හදලා තියෙන්නේ. දැන් කපුකෙටුව ගල වටේම වතුර ගලනවා. එතැනින්ම වතුර පාරවල් මහ පොළොවට ගිල ගන්නවා. ඒ ගිල ගන්න වතුර පාර උල්පත් විදියට කිලෝමීටර් ගාණකින් මතු වෙනවා. මේක අපට අරුම පුදුම දේවල් වුණාට ඒ කාලේ අපේ මී මුත්තෝ තාක්‍ෂණ දැනුම භාවිත කරලා කරපු දේවල්. කපුකෙටූ ගලේ ගුහාවට මම මගේ ඉසේ කෙස් ගාණට ආවා. ගුහා බිත්තිය පිළිසකර කරලා තියෙන පස් මේ පැත්ත පළාතක නැහැ. ගුහාව ඇතුළේ තාම වී තියෙනවා. උඩ ගුහාව හැම පැත්තටම අගුල් වෙලා. ඒ ගුහාව පැත්තට කවුරුවත් යන්නේ නැහැ.

අනෙක් කාරණේ තමයි මේ තරම් ඉඩකඩ තියෙද්දී ඇයි රාවණා රජ්ජුරුවෝ එයාගේ වාසස්ථාන විදියට කඳු මුදුන් පාවිච්චි කළේ කියන එක. දැන් අපි ඉන්නේ රිවස්ටන් කඳු පන්තියේ එක කොනක උසම සීමාවේ. කඳු පන්තියක උසම සීමාව තවදුරටත් උස නොවී පැතලි විදියට තියෙන්නේ ඇයි. ලකේගල උඩ පැතලි, යහන් ගල පැතලි, බැලුම්ගල පැතලි. කපුකෙටූ ගල පැතලි නැති වුණාට ගලට පල්ලමේ තියෙන මේ අපි ඉන්නා හිරගේ පැතලියි. ස්වාභාවික විදියට ගත්තම ඇත්තටම මේ උස් මුදුන් පැතලි වෙන්න බැහැ. අපේ රාවණා රජ්ජුරුවෝ කඳු පන්තියක් වාසස්ථානය කර ගත්තට පසසේ ඒක පැතලි කළා. අන්න ඒක තමයි රහස.

අපේ ගම් පළාතේ අය කියන විදියට උස් කඳු මුදුන්වල ජීවත් වෙන අයගේ මනස දියුණුලු! තැනිතලාවේදි මනස පොළොව එක්ක ගනුදෙනු කරනවාලු! ඒත් ඉහළට යනකොට මනස ගනුදෙනු කරන්නේ වායුව එක්ක. වායුව පොළොවට වඩා නිරවුල්. දියුණු ශිෂ්ටාචාරයක් හදන්න වායුවයි, පොළොවයි දෙකම ඕනෑ. දැන් මායා ශිෂ්ටාචාරය අපේ රාවණා යුගය දෙකම තියෙන්නේ උස් කඳු මුදුන්වල. අනෙක රාවණා කියන්නේ හැම දේකටම ආධ්‍යාත්මික ශක්තිය පාවිච්චි කරපු කෙනෙක්.

ඔහු පවසන ලද දෑ සමඟ ගළපා ගත හැකි කරුණු කීපයක් මා සතුය. එයද උස් කඳු මුදුන් පිළිබඳවය. ගෞතම සිද්ධාර්ථයන් බුද්ධත්වය ලැබුවේ කඳු මුදුනකදී නොවේ. එතුමා බවුන් වැඩුවේ තැනිතලාවකය. නිර්වාණවාබෝධයෙන් පසු පිරිනිවන් පෑම යනු පැවත්ම නැති නම් ඉපදීම අවසන් කිරීමය. එහි ප්‍රතිවිරුද්ධ භාෂය නම් නිර්වාණය නැතහොත් පැවැත්ම නම් මහා ශක්තිය තුළට ගමන් කර නැවැත්ම ඉටුකර ගෙන මරණය ළඟා කර නොගෙන එම ශක්තිය තුළ ගාල් වී සිටීමය. එවිට දියුණු මනසේ ශක්තිය ප්‍රයෝජනයට ගෙන තම අරමුණු ඉටුකර ගත හැකි අතර පැවැත්ම තුළද රැඳී සිටිය හැකිය. එය දර්ශනයක් ලෙස සමපාත වන්නේ හින්දු දහමටය. ඒ අරුතින් රාවණා එවැන්නෙකු විය හැකිය. රාවණා නොමළ බවත් සිදු වූයේ සිහිමූර්ඡා වීම බවත් කියවෙන අතරතුර හිමාලයේ සහ ටිබෙටයේ උස් කඳු මුදුන්වල අද දින වන විටද භාවනායෝගීව වසර ගණනාවක් තිස්සේ බවුන් වඩනා යෝගීන් සිටින බවද කියවේ.

රාවණා රජු පිළිබඳ තවදුරටත් භෞතික සාක්‍ෂි සොයා යන මේ ගමනේදී අප පසු කළ කුමාර කන්ද මාලිගාව, යුදඟනා පිටිය සහ කපුකෙටූ ගල එම කතාවට දිරි දුන් සාක්‍ෂි බොහෝ එක් රැස් කර දුනි. කපුකෙටූ ගල පාමුල සිටි අප අපට ප්‍රථම මෙහි ආ පිරිස් පර්වතය තරණය සඳහා යොදා ගත් කැලෑ වැල් පොට සවි ශක්තිමත් දැයි පිරික්්සුවේ ගල ලිස්සනසුලු නිසා නැවැත කඹයක් හෝ තේඩාවක් යොදා ගැනීමට කිසිදු උපකාරයක් නැතිව ප්‍රථමව අයෙකු ගල තරණය කළ යුතු නිසාය.

ගමන් මඟ පෙන්වන්නා කිසිවක් නොකියා කැලෑ වැල්පොට පිරික්සුවේය. එහි සවිය හීන වී ගොස් ඇති නිසා රැගෙන ආ තේ්ඩාව රැගෙන තමා ප්‍රථමව ගල් ගේ කරා ගොස් කඹය බිමට එවූ පසු දෙවනුව පැමිණෙන්න යැයි ඔහු උපදෙස් ලබා දුන්නේය. එය සැබෑ ලෙසම අභියෝගයක් බාර ගැනීමකි. අභියෝගය තුළ අනතුරක සේයාවක්්ද රැඳී ඇත. මුතු ගල් පොතු, පට්ටා සහ කුස්තූර අල්ලමින් ගලේ ඉහළට නැඟ සකසුරුවම් ලෙස තේඩාව භාවිත කළ හැටි මේ මොහොත වන විටද මා හට මැවී පෙනේ.

උපුටාගැනීම : ප්‍රභාත් අත්තනායක
මවුබිම

සම්බන්ධ වෙනත් පිටු

Map of the ruins of the Ancient Palace Complex at Kumarakanda inside the Wasgamuwa National Park

ගූගල් සිතියම් පහලින් - ගූගල් සිතියම් පහලින් - ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වස්ගමුව තුල සැඟවුණු කුමාර කන්ද (සුදුකන්ද) රජ මාලිගා භූමියට ගමන් මාර්ගය

ඉහත ලිපිය මත පදනම්ව මාර්ගය බකමූණ හරහා ය. බකමූණේ සිට අඹන් ගඟ තරණය කරමින් වනෝද්‍යානයට ඇතුළු වේ. මෙම මාර්ගය අවසර ලත් මාර්ගයක් නොව ගම්වාසීන් විසින් භාවිතා කරනු ලබන අනවසර මාර්ගයකි. මෙම ගමනට ඔබව රැගෙන යාමට කැමති බකමූණ ප්‍රදේශයේ මාර්ගෝපදේශකයෙකු සහ නියමිත අවසරයක් ඔබට අවශ්‍ය වනු ඇත.

කොළඹ සිට බකමුණ දක්වා
හරහා : කුරුණෑගල – දඹුල්ල
මුළු දුර : 185 km
ගමන් කාලය : පැය 4-5
ගමන් දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

*