ඇතිමලේ, කොටියාගල සහ පානම පුරාණ වැව්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
By Ms. Badra Kamaladasa (Former Director General of Department of Irrigation)
By Ms. Badra Kamaladasa (Former Director General of Department of Irrigation)

මොණරාගල හෙලබඩ බෝවිටිය කඳු වැටියෙන් ආරම්භ වන විල ඔය නැගෙනහිර මුහුදට එකතු වන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ පානම අසලිනි. විල ඔය ද්‍රෝණියේ වඩාත් වැදගත් වන්නේ එහි ‌ෙඑතිහාසික පසුබිම දුටුගැමුණු රජසමය දක්වා දිව යන බැවිනි. දැනට විල ඔය ද්‍රෝණියේ ක්‍රියාත්මක වන වාරිමාර්ග පද්ධති වලින් ප්‍රධාන වාරිමාර්ග වන්නේ ඇතිමලේ කොටියාගල හා පානම යන වැව් ය. ඉපැරණි අතීතයට හිමිකම් ඇති කැඩී බිඳී ගිය ගම්බඳ වැව් බොහෝමයක් ද වල් බිහි වී තිබෙන බව මිණුම් සටහන් පොත් පෙන්වා දෙයි.

ජනප්‍රවාද වලට අනුව ගැමුණු රජතුමා නැගෙනහිර හා ගිණිකොන ප්‍රදේශ සංවර්ධනය සඳහා බාර දී තිබුණේ තම මයිලණුවන් වන සද්ධාතිස්ස කුමාරයාට ය. ඔහු මෙම ප්‍රදේශය ජල පහසුකම් අතින් සංවර්ධනය කොට එහි ජනතාවට ආහාර හිඟයකට මුහුණ නොපෑමට හැකිවන පරිසරයක් බිහිකර තිබිණ.

කෘෂිකර්මාන්තයෙන් ප්‍රදේශය සරු බව ලබා ඇති ද යන්න පරීක්ෂා කිරීමට ඉටා ගත් ගැමුණු රජතුමා එක් පුද්ගලයෙකුට වී මල්ලක් දී එය විකුණා ගෙන එන ලෙස නියෝග කර ඇත. දවස පුරා ප්‍රදේශයේ සෑම අස්සක් පුරාම ඇවිද ගිය ඔහුට එය මිල දී ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ හෙයින් ඔහු ඒ බව රජතුමාට සැළ කර සිටියේ ය. සෑම නිවසක් ම තමන්ගේ අස්වැන්නෙන් ස්වයං පෝෂිත වී ඇති බව මෙයින් අවබෝධ කර ගත් ගැමුණු රජ තම මයිලනුවන් ආපසු කැඳවා ඇත්තේ “ඇති-මලේ” සඳහන් පණිවිඩයකින් බව පැවසේ. එබැවින් මෙම ප්‍රදේශයට ඇතිමලේ යන නම භාවිතයට පටන්ගෙන ඇති අතර එහි ප්‍රධාන වැව ඇතිමලේ වැව ලෙස නම් වී ඇතැයි සැළකේ.

ඇතිමලේ වැව

කෙසේ වෙතත් මෙම ප්‍රදේශය ශතවර්ෂ ගණනාවක් වල් බිහි වී ජනශුන්‍යව තිබූ අතර වාරිමාර්ග දෙපර්තමේන්තුව එම ප්‍රදේශයේ ජල සම්පත් සංවර්ධනය සඳහා 1950 දශකයේ මුල සිට අධ්‍යයන කටයුතු සිදු කර ඇත. 1958 වසරේදී ඇතිමලේ වැව ප්‍රතිසංස්කරණය ආරම්භ කර බදුල්ල වැලිමඩ හා මොණරාගල ප්‍රදේශ වලින් ගොවි පවුල් 334 ක් තෝරාගෙන ඔවුනට ඉඩම් බෙදා දීමට කටයුතු කර ඇත. 1964 වන විට ඇල පද්ධතිය නිමා කර ගොවීනට ජලය ලබා දීමට හැකි විය.

තාක්ෂණිකව සැලකූ කල ඇතිමලේ වැව සඳහා යොදා ගෙන ඇති තාක්ෂණය ද විස්කම් සහිත ය. ජලාශයේ ජලය රඳවා ගැනීමට යොදා ගෙන ඇත්තේ කඳු ගැට හතරක් එකිනෙකට යා කරමින් සෑදූ බැමි තුනකිනි. වැවෙහි සොරොව්වෙන් නිකුත් වන ජලය කෙළින් ම වගා බිම් වලට නොව විල ඔයට නිකුත් කරන අතර කිමී 4.5 ක් පහළින් පිහිටි අමුණක් මඟින් එසේ නිකුත් කරන ජලය ප්‍රධාන ඇල මාර්ගයක් මගින් වගා බිම් වලට රැගෙන යයි. වගාබිම් දක්වා ජලය ගෙන යාමේ දී කිමී 2 ක පමණ දුරක් විල ඔයට සමාන්තරව ප්‍රධාන ඇල දිවෙන අතර බෙදුම් ඇලවල් මඟින් කුඹුරු සඳහා ජලය නිකුත් කරන්නේ ඉන් අනතුරුව ය. පද්ධතිය තුළ පිහිටා ඇති කුඩා වැව් කීපයක් මඟින් මෙසේ බෙදා දෙනු ලබන ජලය රැස් කර විටින් විට කුඹුරු වලට නිකුත් කිරීමක් සිදු වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිදු කළ භූ විද්‍යා සමීක්ෂණ වලින් පෙනී යන්නේ මෙම ප්‍රදේශයේ ඇති භූ ලක්ෂණ අනුව පාදම තුළින් හෝ කඳු ගැට අතරින් ජලය කාන්දු වීමට ඉඩ ඇති බවයි. 1984 දී ඇතිමලේ වැව් බැම්ම බිඳී ගියේ කඳු ගැටයක් හා වැව් බැම්ම අතර තිබූ මෙවැනි දුර්වල ස්ථානයකින් සිදු වූ ජල කාන්දුවකිනි. ඇතිමලේ ්‍රදේශයේ සංචාරය කළ අයෙකුට නම් මේ ප්‍රදේශය පුරා ඇති ගල් පර්වත මතකයට නැගෙනු නොඅනුමාන ය.

කොටියාගල වැව

විල ඔයෙහි පිහිටි කොටියාගල වැව ද ‌‌ෙඑතිහාසික වැවක් බවට තොරතුරු ඇත. 1960 වසරේ දී පමණ ප්‍රතිස්ථාපනය කොට වාරිමාර්ග පද්ධතිය සකස් කිරීමෙන් පසු එහි පදිංචි කරවා ඇත්තේ එම ප්‍රදේශයේම හේන් ගොවිතැනින් ජීවත් වූ ජනතාව ය. දැනට කොටියාගල වාරිමාර්ග ව්‍යාපාරය යටතේ ගොවි පවුල් දෙසීයයක් පමණ ජීවත්වන අතර කුඹුරු අක්කර ක් 450 පමණ අස්වද්දයි.

පානම වැව

විලඔයෙහි පහලින්ම පිහිටා ඇති පානම වැවෙහි තොරතුරු සෙවීමේදීද පහත සඳහන් තොරතුරු වර්තමාන වාරිමාර්ග ඉංජිනේරු තිලීපන් මහතා (2021) වෙත ලබා දුන්නේ දැනට එම ව්‍යාපාරයෙහි ජීවත්වන 94 වියැති තෙහෙමි හීන්බණ්ඩා සහ 93 වයසැති වසන්ත හාමි යන ගොවි මහතුන්ගෙනි. (අපහට රසවත් තොරතුරු ලබාදුන් එම දෙපලට මාගේ ආචාරය ද නීරෝගී ජීවිතයකට ආසිරිද මෙමගින් එක් කරමි.)

1915-16 වැනි වර්ෂ වලදී පමණ මාර්කණ්ඩි නම් මඩකලපුවෙන් පැමිණි මුදලාලි පානමට පැමිණ ඇත්තේ සීනි දුම්කොල ආදී වෙළඳාම් සඳහා ය. දීර්ඝ කාලයක් තිස්සේ පැමිණි ඔහු සීනි දුම්කොල වලටම කුඹුරු කැබැල්ලක් ගෙන ගොවිතැන් කර ඇත. එයින් ලාභ ලැබූ ඔහුට කුඔුරු කිරීමේ ආසාව මත ම කුඹුරු අක්කර 14 ක ප්‍රමාණයක් මිලට ගෙන ඇත. මාර්කණ්ඩි මුදලාලි පානම ගමේ මිනිසුන්හට කුලී ගෙවා පානම වැව සාදන්නට මූලික වී ඇත. ඒ කාලයේ පස් කියුබ් එකක් සඳහා සත පනහක මුදලක් ලබා දී ඇත. මෙලෙසින් මාර්කණ්ඩු මුදලාලි ද ඉන්පසුව ඔහුගේ පුතා වන සුබ්‍රමනියම් පෙරකදෝරු මහත්මා ද මෙම වැව සැකසීමට ප්‍රයත්න දරා ඇත. ඉන්පසු ගමේ මිනිසුන්ට ද කුඹුරු ඉඩම් අයිතිය තිබූ හෙයින් ඒ අයගේ ද වෙහෙස මහන්සියෙන් ඉතා කුඩාවට මේ පානම වැව තනා ගෙන ඇත. ඒ කාලයේ මුල්ල කාරයා නැතහොත් කංකානම් තැන මුළු වෙල්යායම පාලනය කරයි. ඒ සමගම ගංනිලේ තැනැත්තන්ට වෙල්යාය පනහකට බෙදා දී ඒ අය ගොයියන් පස් දෙනෙකු ද ලබා දී ඇත්තේ කුඹුරු වැඩ කිරීම සඳහා ය. මේ අය මුල්ලකාර තැනටත් ගන්නිලේ තැනැත්තන්ටත් කුඹුරු වැඩ කර වී ලබා දීම එකල කළ යුතු ව තිබුනි. රාළහාමි මුතුබණ්ඩා යන අයට ද කුඹුරු තිබුණු අතර වැවේ වතුර තිබී ඇත්තේ අඩි හතක් පමණ ය. වැව් කණ්ඩිය ඉතා පටු වූ අතර එහි තිබුනේ අඩි පාරකි.

ඒ කාලයේ අද මෙන් ගෝනි බෑග් කූඩ ආදිය නොවී ය. වැවේ පස් ඉවත් කළේ හල්මිල්ල ගස් වල පට්ටා (පතුරු) ගෙන එකට තබා පස් පිරවීමට හා ඇදීමට ඒවා උදව් කර ගනිමිනි. පස් මැටි ගසා පිට ආර රැක වතුර ගෙන ඇත. ඒ 1927 වැනි කාල වකවානුවක ය. 1924 වර්ෂයේ සිට 1933-34 කාලයේ දී පස් බැමි වලින් බැම්ම සකසා ගෙන තිබූ අතර ඒ කාලයේ පුරන් වෙලෙහි අක්කර 18 ක් මහ වෙලෙහි සූරියාන ආදී කුඹුරු අක්කර හාරසීයයක් පමණ වගා කර ඇත. 1944 දී ඩී එස් සේනානායක මහත්මයාගේ කාලයේ සංවර්ධනය සිදු විණ. පසු කාලයේ සිමෙන්ති වලින් පිටවාන සකසා තිබූ අතර වැව විශාල කිරීම තුළින් මේ වන විට අක්කර 460 ක ප්‍රමාණයක් සඳහා ඉතා පහසුවෙන් ජලය ලබා ගනී. මේ වන විට ලුණු පුරන, මහවෙල, සූරියාන, තප්පුලියාන කුඹුරු යාය, පුරන්වෙල ආදී විශාල කුඹුරු ප්‍රමාණයක් අස්වද්දා ගනී. වැව් බැම්මේ සහ වැවෙහි ආරක්ෂාව සඳහා ගොඩනැගිල්ලක් ද වැව ආශ්‍රිතව සකසා ඇති අතර එහි එදා මෙන් ම අද ද මුරකරුවන් යොදා වැවෙහි ආරක්ෂාව සළසා ඇත.

වර්ග කිමී 490 ක ද්‍රෝණි ප්‍රදේශයක වාර්ෂිකව ලැබෙන වර්ෂාපතනය මිමි 1400 සිට 1600 දක්වා වේ. මහ කන්නය තුළ එනම් සැප්තැම්බර් සිට පෙබරවාරි කාලය තුළ වාර්ෂික වර්ෂාපතනයෙන් තුනෙන් දෙකක් ම ලැබෙන නිසා ඉතිරි මාස වලදී ජල හිඟයකට මුහුණ දෙන විල ඔය සමහර කාල වල දී වියලී යයි. විල ඔයෙහි ඇති ජල හිඟයට පිළියම් ලෙස නව ව්‍යාපෘති කීපයක්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පිළියෙල කර ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් යෝජනා කර ඇති නව ජලාශ ව්‍යාපාරයක් වන්නේ මධ්‍යම ප්‍රමාණයේ යැයි සැළකිය හැකි විල ඔය ජලාශයයි. දැනට ක්‍රියාත්මක කිරීමට නියමිත කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතියෙන් කුඹුක්කන් ඔය ද්‍රෝණියේ සිට විල ඔය ද්‍රෝණිය දක්වා අන්තර් නිම්න ඇල මාර්ගයක් ඔස්සේ ජලය යැවීමට නියමිත ය. මෙමගින් ඇතිමලේ හා කොටියාගල වාරිමාර්ග ව්‍යාපාර වල ජල හිඟයට පිළියමක් ලැබෙනු ඇත.

සම්බන්ධ වෙනත් පිටු

ඇතිමලේ වැව ජලාශයේ සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ඇතිමලේ වැව හරහා කොටියාගල වැව වෙත ගමන් දිශාවන්

බුත්තල සිට කොටියාගල වැව දක්වා
හරහා : හුලංදාව
දුර : කි.මී. 52
ගමන් කාලය: පැය 1.5
ගත කිරීමට කාලය: සෑම ස්ථානයකම විනාඩි 15-30 අතර
දිශාවන් : ගූගල් සිතියම් තුළ මෙතැනින් බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply