සේරුනුවර සිරිවඩ්ඩනාරාම රජමහා විහාරය පුරාවිද්‍යා ස්ථානය – Serunuwara Siriwaddanaramaya Rajamaha Viharaya Archaeological Site

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...
සේරුනුවර සිරිවඩ්ඩනාරාම රජමහා විහාරය පුරාවිද්‍යා ස්ථානය - Serunuwara Siriwaddanaramaya Rajamaha Viharaya Archaeological Site

සේරුනුවර සිරිවඩ්ඩනාරාම රජමහා විහාරය පුරාවිද්‍යා ස්ථානය – Serunuwara Siriwaddanaramaya Rajamaha Viharaya Archaeological Site

ධාතු වංශයේ සදහන් වන පරිදි ගෝඨාභය රජුන් විසින් මහවැලි ගග දෙපස ඉදිකල බව පැවැසෙන වෙහෙර විහාර 500 න් එකක් විය හැකි යැයි විශ්වාස කරන ත්‍රිකුණාමලය සේරුනුවර, දෙහිවත්ත, එල් බී හය ප්‍රදේශයේ සිරිවඩ්ඩනාරාම විහාරස්ථාන භූමියේ තිබි හමුවු පැරණි දා ගැබ් ගොඩැල්ල කැණීම් කර සංරක්ෂණය කිරිමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කලේය.

මහවැලි ගගෙහි පහල නිම්නයේ මුහුදු මට්ටමින් මීටර් අටක් පමණ උසින් පිහිටා ඇති මෙම දා ගැබ සේරුනුවර ගවේෂණ ව්‍යාපෘතිය හරහා සොයා ගන්නා අවස්ථාවේදී කාලයත් සමග පස් හා මඩවලින් වැසි ගොස් ඒ මත විශාල ශාක හටගෙන ගොඩැල්ලක් බවට පත්ව තිබුණි.

මහවැලි ගගෙහි අතු ගංගාවක් මෙම විහාරස්ථානය අසලින් ගලා බසිනා හෙයින් කාලයත් සමග ගග දෙගොඩ තලා ගොස් එහි මඩ හා පස්වලින් මෙම දා ගැබ අතිතයේ වැසි යන්නට ඇති බවට පුරාවිදයා නිලධාරින් අනුමාන කරති.

මෙම දා ගැබ පිහිටි ස්ථානයේ සිට සේරුවිල රජ මහ විහාරයට සැතැපුම් දෙකහමාරකි. සැතපුම් එකහමාරක් පමණ දුරින් 58 කණුව අසලින් හමුවු පැරණි දා ගැබ් ගොඩැල්ලත් සැතපුම් තුනහමාරක් දුරින් විල්ගම් වෙහෙර පැරණි දා ගැබත් පිහිටා තිබේ. ඒ අනුව අනුරාධපුර මුල් යුගයට අයත් පැරණි දා ගැබ් කිහිපයක්ම මේ අවට දක්නට ඇති බව පෙනි යයි.

මෙම දා ගැබ් ගොඩැල්ල සහිත ස්මාරකය 2012 වසරේ නොවැම්බර් 23 වන දින අංක 1786 දරණ ගැසට් නිවේදනය ප්‍රාකාරව ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කිරිමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති අතර 2016 වසරේදී මෙම ස්ථානයෙහි කැණීම් ආරම්භ කිරිමටත් පසුව 2017 වසරේදී කැණීම් කර එසේ පාදා ‍ගත් දා ගැබ, මළුව හා ප්‍රාකාරය සංරක්ෂණය කිරිමත් ආරම්භ කරනු ලැබුවේ බොහෝ දුෂ්කරතා හා බාධක මැදිනි.

දා ගැබේ ගර්භය, හතරැස් කොටුව, දේවතා කොටුව හා කොත් කැරැල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැළැස්මකට අනුව ප්‍රතිසංස්කරණය කර හුණු බදාම ආලේප කර ඇත.

දා ගැබෙහි පේසාව දිග පළල හා ගණකමින් යුත් විවිධ ප්‍රමාණයේ ගඩොලු යොදා ගනිමින් අභ්‍යන්තරයට මැටි බදාම යොදා සකසා තිබේ. දා ගැබෙහි පේසාවන් අවධි තුනකදී ඉදිකර ඇති බව පැරණි සාධක වලින් අනාවරණය වෙයි. මෙහි පළමු හා දෙවැනි පේසාවන් ප්‍රතිසංස්කරණය කරන ලද ඝණකම බදාම ස්ථරයෙන් දක්නට ඇත. අවසන් වරට එක් කරන ලද පේසාව බොරදම් හයකින් යුක්තව විවිධ ප්‍රමාණයේ ගඩොලු වලින් ඉදිකර ඇත. අවසන් කංචුකයේ පේසාවේ උස අඩි හයකින් පමණ අවසන් වේ.

පේසාවේ ආරම්භක කවයේ දිග අඩි 163 කි. පළමු හා දෙවන අවධිවලදී ඉදි කරන ලද පේසාවන් පාදක කර ගනිමින් මෙම දා ගැබ ඉදිකර තිබේ. පලමු හා දෙවැනි අවධි වල ඉදිකර පේසාවන් සුරක්ෂිතව පවතින අතර තෙවන අවධියේ ඉදිකල පේසාව බෙහෙවින් හානියට පත්ව තිබේ. තෙවන පේසාව ගඩොලු වලින් සකස් කර සිනස් පැන්නුම සහිතව අත්තිවාරම් යොදා සකසා ඇත.

තෙවන අවධියේ ඉදිකල පේසාව බාහිරව පුළුල්ව විහිදෙන අතර මෙම කොටසේ ස්වභාවය අනුව එය මනාව සංරක්ෂණය කිරිමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත දා ගැබෙහි පේසාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා අවැසි හොද තත්වයේ ගඩොලු 2000 ක් පමණ ලබා දීමට සිරිවඩ්ඩනාරාම විහාරාධිපති පුජ්‍ය කලවානේ කෝසල තිස්ස හිමියන් කටයුතු කර තිබුණි.

දා ගැබ පිහිටි මළුව වටා ඇති ප්‍රාකාරයේ එක් පැත්තක දිග අඩි 79 යි අගල් හතකි. මෙය සමචතුරස්‍රාකාර කලුගල් ප්‍රාකාරයකි. අඩි තුන තුනහමාර හතර හමාර හා පහ වැනි විවිධ ප්‍රමාණයන්ගෙන් දිගින් යුත් කලුගල් පුවරු භාවිතා කරමින් එහි අභ්‍යන්තරයට ගඩොල් යොදා සකස් කර ඇත ප්‍රාකාරයේ අත්තිවාරම අඩි තුනයි අගල් තුනක් පමණ වේ. කලු ගල් අත්තිවාරමක් සකසා ඒ මත අගල් හතක සීනස් එකක් ඇතුලු පැත්තෙන්ද පන්නා එය මැද අඩි දෙකහමාරක් පළලට ප්‍රාකාරය සකසා ඇත.

ප්‍රාකාරයෙන් පිටත පැත්ත අඩි එකහමාරක් පමණ උසින් අගල් හයක් පමණ ඝණකමින් යුත් ගල් පුවරු සිටුවා සකසා ඇති අතර එහි ඇතුල් පැත්ත ගඩොලින් නිමවා තිබු බව පවතින සාධක අනුව පෙනි යයි.

මෙම ප්‍රාකාරයේ අත්තිවාරමෙන් සියයට හැටක් පමණ සුරැකිව තිබේ. ඇතැම් ස්ථාන වල අත්තිවාරම් ගල් නොමැත ප්‍රාකාරය පිටත බිත්තියේ ගල් පුවරු සියයට 60 ක් පමණ ආරක්ෂාවි ඇති අතර බටහිර දිසාවට වන්නට ගල් පුවරු නිරික්ෂණය නොවේ. පවතින ගල් පුවරු හා අත්තිවාරම් හානියට පත්ව ඇති බව පෙනි යයි.

සමචතුරස්‍රාකාර ප්‍රාකාරයකින් වටවු මළුව මධ්‍යයෙහි මෙම දා ගැබ පිහිටා ඇත. මළුව වැලි අතුරා තිබි ඇත මළුවට පිවිසිම සදහා ප්‍රාකාරයෙහි නැගෙනහිරින් හා බටහිරින් දොරටු දෙකක් පිහිටා තිබු බවට සාධක පවති. මෙහි වැලි මළුව අක්‍රමවත්ව වල ගොඩැලි ස්වභාවයකින් පවති. දා ගැබට බටහිර දෙසට වන්නට මළුව තුල බිම වැටි පවතින මල් ආසනය දිගින් අඩි පහමාරක් පමණ වේ එය පළල අඩි දෙකක් වන අතර එහි උස අගල් හයකි. ඒ අසල අඩි දෙකක් පළලැති අඩි දෙක හමාරක් දිගින් යුත් අගල් හතරක් උසැති සිරිපතුල් ගලක් හමුවේ එය බෙහෙවින් දිරාපත්ව ගොස් තිබේ. දා ගැබට උතුරු දෙසින්ද සිරිපතුල් ගලක් දක්නට ඇත එය දිගින් අඩි දෙකයි අගල් හතරකි පළල අඩි දෙකයි අගල් හතරකි ඝණකම අගල් හතරක් පමණවේ. මෙම ස්ථානයේම අඩි පහක් පමණ පළලැති අඩි හතරයි අගල් දෙකක් දිග අගල් හතරක ඝණකමින් යුත් කොටසක් කැඩි ගිය ගල් පුවරුවක් දක්නට ලැබේ.

එමෙන්ම නැගෙනහිර දෙසින්ද අඩි දෙකක් දිග අඩි දෙකක් පළල අගල් හතරක් පමණ ඝණකමින් යුත් ඡත්‍රයක් සළකුණු කර ඇති සිරිපතුල් ගලක් හමුවේ. දකුණු දිසාවේ අඩි දෙකයි අගල් තුනක් දිග අඩි දෙකක් පළල ඝණකම අගල් හයක් පමණ වන තවත් සිරිපතුල් ගලක් දක්නට තිබේ. මෙම සිරිපතුල් ගල දා ගැබ පාමුල දක්නට ලැබේ මෙම සියලු පුරාවස්තු දා ගැබ අවට මළුව පුරා විසිර පවති.

සටහන : ලක්මාල් කේ. බදුගේ

සම්බන්ධ වෙනත් පිටු

සේරුනුවර සිරිවඩ්ඩනාරාම රජමහා විහාරය පුරාවිද්‍යා ස්ථානය සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.


ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


සේරුනුවර සිරිවඩ්ඩනාරාම රජමහා විහාරය පුරාවිද්‍යා ස්ථානය රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට සේරුනුවර සිරිවඩ්ඩනාරාම රජමහා විහාරය පුරාවිද්‍යා ස්ථානය දක්වා

හරහා : කින්නියා – මුතූර්
මුළු දුර : කිලෝමීටර් 42
ගතවන කාලය :පැය  1
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com
Comments