අම්බලන්ගොඩ ඕලන්ද අශ්ව ඉස්තාලය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...

කොළඹ සිට අම්බලන්ගොඩ දක්වා ගමන් කිරීමේදී ධර්මාශෝක විද්‍යාලයට පෙර මාර්ගය “L ” හැඩයක වංගුවක් ගන්නවා. මෙම වංගුව නොහරවා කෙලින්ම ගමන් කලොත් ඔබ ඇතුළුවන්නේ අම්බලන්ගොඩ මහ වීදියටයි. මහවීදිය දිගේ කිලෝමීටර 1 ක් ගමන් ගත් කල මුහුද දිශාවට කටුපඳුරින් වැසුන හිස් ඉඩමක් දැකගත හැකියි. මෙය අම්බම්ලන්ගොඩ තානායම භූමියයි.

මෙම සියවස ආරම්භය වනවිටත් මෙම පුරාණ තානායම පවත්වාගෙන ගියත් පසුව එය වසාදමා 2008 දී තානායම පැවති ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් කඩාදැමනු ලැබුවා. ලන්දේසි යුගයේ සිටන් පවතී මෙම වටිනා ගොඩනැගිල්ල කඩා දැමුවේ  දක්ෂිණ පළාත් සභාව සමග එක්වී දකුණු පළාත් රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපතිගේ සැලසුමකින් බව චෝදනා කරනවා. මෙම ගොඩනැගිල්ලේ වටිනා දැව දොරවල්, උළුවහු,  දොර කණු, බාල්ක හා ගෘහභාණ්ඩ සියල්ල මෙම සභාපතිවරයා විසින් ඉවත් කරගෙන ඇති අතර අම්බලන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරු මාසික රැස්වීම්වලදී මේ සම්බන්ධව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඉහත කී පුද්ගලයා රුපියල් 75,000ක් වැනි සුළු මුදලක් නගර සභා ගිණුමට බැර කරතිබෙන බව වාර්තාවල සඳහන් වෙනවා.

අම්බලන්ගොඩ හිටපු නගරාධිපති හෝ කිසිම නාගරික මන්ත්‍රීවරයකුගේ අනුදැනුමක් නොමැතිව මෙම ගොඩනැගිලි කඩා දැමීම සම්බන්ධව අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට දන්වා ඇතත් දේශපාලන බලපෑම් මත කිසිම රාජකාරී කටයුත්තක් මේ වනතුරුත් සිදු වී නැති බව පැවසෙනවා.

මෙම අර්බුද  අතර මින් වසර 2කට පමණ පසු එවක අම්බලන්ගොඩ නගර සභා සභාපති විසින් මෙම ඉඩම සංචාරක හෝටලයක් තැනීමට පුද්ගලික සමාගමකට බදු දී තිබෙනවා.  නමුත් මෙම ගිවිසුමද නගර සභා රැස්වීම් වලදී සභාගත කර නැති බැවින් එහි වලංගුතාවය අභියෝගයට ලක් කර තිබෙනවා. මෙම තත්වය යටතේ අද මෙම භූමිය ලඳු කැලෑවෙන් වැසී එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ ලොරි ගාලක් බවට පත්වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගය කාලයේදී අම්බලන්ගොඩ හා අවට ප්‍රදේශ විශාල කුරුඳු වතු වලින් ගහන වූවා. ලන්දේසි පරිපාලකයින් විසින් කුරුඳු කර්මාන්තයේ ඒකාධිකාරිත්වය ලබාගත් අතර, කුරුඳු සැකසුම් හා ඇසුරුම් පරීක්ෂා කිරීම සඳහා එකල කුරුඳු නගරය ලෙස හැඳින්වූ අම්බලන්ගොඩ ප්‍රදේශයට  නිතිපතා ගිය ඉහළ නිලධාරීන්, කුඩා කඳු ගැටයක් මත ඉදිකරන ලද මෙම තානායම භාවිතා කළා.

මෙම භූමියේ පසෙක පවතින තවත් ගොඩනැගිල්ලක් වාසනාවට අද ඉතිරි වී තිබෙනවා. කිසිවෙකුටත් ඇස  නොගැටෙනා මෙය, අද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථානයක් ලෙස නම් කොට එහි පුරාවිද්‍යා පුවරුවක් රඳවා තිබෙනවා.

වසර 1899දී  ප්‍රකාශිත රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා  ශාඛාවේ සඟරාව – 15 වැනි වෙළුමේ  (Journal of the Ceylon Branch of the Royal Asiatic Society – volume  XV)  මෙම ගොඩනැගිල්ලේ ඇති පුවරුව පිළිබඳව සඳහන් කරනවා. එම පුවරුවේ සඳහන්ව ඇත්තේ

GEBOUWD DOOR
ADRIAAN OOST
DYCK ONDERK
EN OPS DER GA
LE CORLA 1750.

මෙහි තේරුම ලෙස “1750 වසරේදී ගාල්ල කෝරලය භාර පාලක හා ආණ්ඩුවේ ගැනුම්කරු  වන එඩ්රියන් ඌස්ට්යිඩයික් විසින් ගොඩනගන ලදී. ” (Built by Adriaan Oostdyck, Onderkoopman and Superintendent of the Galle Corle, 1750) ලෙස එහි සඳහන් වෙනවා.

නැවතත් වසර 1913දී ජේ. පෙන්රි ලුවිස් (J. Penry Lewis) විසින් ප්‍රකාශිත “අනුස්මරණය නොකළ නමුත් දේශීය හෝ ඓතිහාසික වැදගත්කමක් ඇති පුද්ගලයින්ගේ ලංකාවේ සොහොන් ගල් හා ස්මාරක ලිපි ලැයිස්තුව”  (List of inscriptions on tombstones and monuments in Ceylon – of historical or local interest, with an obituary of persons uncommemorated) නමැති ග්‍රන්ථයේ මෙම ගොඩනැගිල්ල ගැන සඳහන් වෙනවා.

ඔහුට අනුව අම්බලන්ගොඩ තානායමට යාබදව පවතින මෙම ගොඩනැගිල්ල කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන්නන්ට සුපුරුදු දසුනක්. එවකට ගබඩාවක් හා ඉස්තාලයක් ලෙස පෙනුන මෙම ගොඩනැගිල්ල ඉදි ඉදිකොට ඇත්තේ ලන්දේසීන් විසින් ග්‍රාමීය පල්ලියක් ලෙසයි. දිගටි හැඩයක් ගත් මෙම ගොඩනැගිල්ල ලන්දේසින් විසින් සාදනලද වෙනත් කුඩා පල්ලි හා සමාන ආකෘතියක් ගන්නවා. මෙම පල්ලිය  වටේටම කෙටි බිත්ති මත ගරාදියක් සහිතව කණු මත වහලය ගොඩනංවා තිබෙනවා.

ඕලන්ද පාලන සමයේ මෙහි සිංහල භාෂාවෙන් නිතර පූජා පැවැත්වූ අතර විටින් විට මිෂනාරී පාසල් අධ්‍යනය කිරීමට ගාල්ලෙන් පැමිණෙන පූජකයින් ලන්දේසි භාෂාවෙන් පූජා පවත්වා තිබෙනවා.

සමරුවේ සඳහන් වන එඩ්රියන් ඌස්ට්යිඩයික් ඕලන්ද ඩච් ඊස්ට් ඉන්දියා සමාගමේ කුරුඳු වෙළඳාම පිළිබඳව ඉහල තනතුරු දැරුවෙක්. මෙම ගොඩනැගිල්ල සාදන විට දරන ලද තනතුර ගාල්ල ප්‍රධාන පාලකට පමණක් දෙවැනි වූවක්. ඔහුට රාජකාරි සඳහා නිතර අම්බලන්ගොඩ කොස්ගොඩ හා බෙන්තොට ප්‍රදේශ වලට යාමට සිදු වූවා.  බොහෝවිට මෙම ප්‍රදේශ වල ඔහුට දිනගණන් සිටීමට සිදු වූවා. එම කාලවලදී අම්බලන්ගොඩ තානායම ඔහුගේ තාවකාලික වාසස්ථානය කල ගන්නට ඇති බව පෙන්රි ලුවිස් පවසනවා.

මෙම පල්ලියේ පොලවේ එකල තවත් වැදගත් කිහිපයක දෙනෙකුගේ ගලින් කල සොහොන් ස්මාරක ලිපි කිහිපයක් තිබී තිබෙනවා. නමුත් පසු කලක බදාම තට්ටුවකින් පොලොව මට්ටම උස්සා ඇති අතර මෙම සොහොන් ගල් පොලවට යට වී තිබෙන බව ඔහු සඳහන් කරනවා.

මේ ගොඩනැඟිල්ල බ්‍රිතාන්‍ය යුගයේදී ගම්සභා උසාවියක් වශයෙන් පාවිච්චි කර තිබෙන අතර පසු කලෙක මෙය උසාවි ගොඩනැඟිල්ලක් ලෙසද භාවිතා කොට තිබෙනවා.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • de Vos, F., 1899. MONUMENTAL REMAINS OF THE DUTCH EAST INDIA COMPANY IN CEYLON. Journal of the Ceylon Branch of the Royal Asiatic Society, XV, p.272.
  • Lewis, J., 1913. List Of Inscriptions On Tombstones And Monuments In Ceylon, Of Historical Or Local Interest. 1st ed. Colombo: H.C Cottle, Government Printer, p.204.
  • Kaviratne, W., 2015. Bulldozed…. And Now Abandoned. [online] Archives.sundayobserver.lk. Available at: <https://archives.sundayobserver.lk/2015/06/28/fea11.asp> [Accessed 21 June 2020].
  • ඤාණදාස, ආ., 2016. ම්බලන්ගොඩ නගරය මැද දිරන ලන්දේසී ගොඩනැඟිල්ල. [online] dinamina.lk. Available at: <http://www.dinamina.lk/2016/11/30/26125> [Accessed 21 June 2020].

සම්බන්ධ වෙනත් පිටු

අම්බලන්ගොඩ ඕලන්ද අශ්ව ඉස්තාලය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

අම්බලන්ගොඩ ඕලන්ද අශ්ව ඉස්තාලය රියදුරු දිශාවන්

කොළඹ සිට අම්බලන්ගොඩ ඕලන්ද අශ්ව ඉස්තාලය දක්වා
හරහා : දක්ෂිණ අධිවේගී මාර්ගය
මුළු දුර : කිලෝමීටර් 110
ගතවන කාලය : පැය 2-2½ ක්  පමණ 
ගත කිරිය යුතු කාලය : විනාඩි 15  පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply