කිවුල් ඔය ජලාශ ව්‍යාපෘති ප්‍රදේශයේ හමුවූ හැළඹවැව පුරාවිද්‍යා ස්ථාන – Archaeological Ruins in Welioya Halambawewa Area

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.00 out of 5)
Loading...

මුලතිව් දිස්ත්‍රික්කයේ හැළඹවැව වැලිඔයට කිලෝමීටර 5ක් පමණ අභ්‍යන්තරයෙන් ඇති දුෂ්කර ගම්මානයකි. මෙම ප්‍රදේශය යෝජිත කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ප්‍රදේශයක් ලෙස වර්තමානයේ සංවර්ධනය කෙරෙමින් පවතී.

යෝජිත කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවේ මෙම ව්‍යාපෘතියෙන් බලපෑම් ඇතිවන මුලතිව් දිස්ත්රික්කයේ පුරාවිද්‍යා ස්ථාන පනහකට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. මේ අතර හැළඹවැව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන කිහිපයක් එහි සඳහන් වේ. එම ස්ථාන පහත දැක්වේ.

මෙම පුරාවිද්‍යා ස්ථාන පවතින්නේ හැළඹවැව අලුතින් ඉදිවෙන රණතිස්පුර නැවත පදිංචි කිරීමේ ගම්මානය තුල හා අවට වේ. මෙහි මද්‍යය ගම්මානය ඉදි කිරීම සඳහාද ඒ වටා ඉඩම් කෘෂිබෝග වගා සඳහා බෙදා දීමද එලි කරමින් පවතී. වසර දහස් ගණනක් වනයෙන් වැසී තිබූ මෙම ප්‍රදේශ එලි කිරීමේදී පුරාණ බෞද්ධ සිද්ධස්ථානයන්හි අවශේෂ තැනින් තැන මතු වෙමින් පවතී. පුරාවස්තු ස්ථාන අතරින් නටබුන් යම්තරමක් ඇති ලෙස දක්වා තිබෙන ස්ථාන පහත දැක්වේ. මීට අමතරව පුරාණ ජනාවාස පිළිබිඹු කරමින් මැටි බඳුන් කැබලි හා ගඩොල් කැබලි හමු වූ ස්ථාන කිහිපයක් මෙම වන එලිකිරීම් අතර හමුවී ඇත.

පහත සඳහන් ස්ථානයන්හි GPS ස්ථාන පහත ගූගල් සිතියෙමෙන් බලා ගත හැක.

හැළඹවැව ආරාමික නටබුන් I (Halambawewa Aramic Ruins I)

හැළඹවැව ආරාමික නටබුන් I (Halambawewa Aramic Ruins I)
හැළඹවැව ආරාමික නටබුන් I (Halambawewa Aramic Ruins I)

කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතියට අයත් භූමිභාගයෙහි අවසන් කොටස මෙම නැවත පදිංචි කිරීමේ ගම්මානය වේ. මෙම ගම්මානයේ එක් කොනක ආරාමයක ලක්ෂණ පෙන්නුම් කරන භුමියක් වේ. මෙහි ගල් කණු පාදම්  හතරක්, ගල් කණු කොටස් හා ගොඩැලි දෙකක් දක්නට ලැබේ. මෙහි එක් ගොඩැල්ලක් ස්තූපයක් ලෙස පැහැදිලිව හඳුනාගත හැක.  මෙම ගොඩැල්ල නිධන් සොරුන් විසින් වසර කිහිපයකට ඉහත දී හෑරීමෙන් එහි මධ්‍යයේ මීටර් දෙකක පමණ ගැඹුරකින් යුත් වලක් දක්නට ලැබේ. මෙම ස්ථූපයේ විශ්කම්භය මීටර් දහයක් පමණ වේ.  මෙම ස්තූපය අසල නිදන් සොයමින් කැබලි වලට කඩන ලද විශාල කණු පාදම් ගලක කොටස්ද හමුවේ.

මෙම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු නිසාවෙන් මෙම ස්ථානයට අයත් ගල්කණු හා වෙනත් නටබුන් අස්ථානගත වී ඇති හෙයින් මෙම ස්ථානය පිළිබඳව නිශ්චිත නිගමනයකට ඒමට අපහසු ය.

හැළඹවැව පුරාණ ස්ථූප අවශේෂ ( Halambawewa Ruins of Ancient Stupa)

හැළඹවැව පුරාණ ස්ථූප අවශේෂ (Halambawewa Ruins of an Ancient Stupa)
හැළඹවැව පුරාණ ස්ථූප අවශේෂ (Halambawewa Ruins of an Ancient Stupa)
ජයාරුපය : Proposed Kivul Oya Reservoir Project – EIA FINAL Report.

ඉහත සඳහන් පුරාවිද්‍යාත්මක නටඹුන් ස්ථානයට නිරිත කොන දෙසින් මීටර 150ක් පමණ දුරින් මා ඔය අසබඩ මෙම පුරාණ ස්තූපයේ නටබුන් පවතී. අන් ස්ථාන මෙන්ම මෙම ස්තූපයද නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වී ඇත. ස්තූපය මධ්‍යයේ මීටර් තුනක් පමණ ගැඹුරක් වළකී. ස්තූපය සෑදීම සඳහා භාවිතා කර ඇති එක් ගඩොලක දිග අඟල් 17ක්ද පළල අඟල් 8.5ක්ද උස අඟල් 3.5 ක් පමණද වේ.

ඉහළ හැළඹවැව පුරාවිද්‍යා නටබුන් (Upper Halambawewa Aramic Ruins)

මෙම පුරාවිද්‍යා ස්ථානය මුලින් සඳහන් ආරාමික නටබුන් ස්ථානයට කිලෝමීටරයක පමණ දුරින් වයඹ දෙසින් පිහිටා ඇත. කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතියේ නැවත පදිංචි කිරීම් වලට අදාල ගොවිබිම් ලබාදීමේ යෝජිත ප්‍රදේශයක මෙම නටබුන් පිහිටා ඇත. මෙම ස්ථානයේ කොරවක්ගල් දෙකක් සහිත ගල්කණු, ගඩොල් හා මැටි බඳුන් කොටස් හමුවේ. මෙම ස්ථානයද නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතුවී ඇති හෙයින් බොහෝ පුරාවස්තූන් තිබූ මූලික ස්ථානයන්ගෙන් අස්ථානගත වී ඇත. කොරවක්ගල් ඉතා කුඩා ප්‍රමාණයේ වන හෙයින් මේවා කුඩා ගොඩනැගිල්ලක ද්වාරයේ තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැක. මෙම නටබුන් මීටර් 10×10 ප්‍රදේශයක පැතිරී තිබේ.

හැළඹවැව නැවත පදිංචිකිරීමේ ගම්මානයේ නටබුන් (Ruins at Halambawewa Resettlement Village)

කිවුල්ඔය ජලාශ ව්‍යාපෘතියේ අස්ථානගත වන ජනයා නැවත පදිංචි කිරීමට සකසන හැළඹවැව නැවත පදිංචි කිරීමේ ගම්මානයේ කෘෂි ඉඩම් ලෙස බෙදා දීමට කොටස් කර ඇති බිමෙහි මෙම ස්ථානය පිහිටුවා ඇත. මෙහි මාර්ගය සංවර්ධනය කිරීමේදී ගඩොල් හා ගල් කණු මෙන් ම කණු පාදම් ගල් හමුවී ඇත. ඉන්පසුව නිදන් හොරුන් විසින් මෙහි එක් ස්ථානයක් මීටරයකට වඩා ගැඹුරු වලක් කැන නිදන් සොයා ඇත. ඒ අවටද කණු පාදම් ගල් විසිරී තිබේ. මෙම ස්ථානයට මීටර 75 ක් පමණ නුදුරින් නිරිත දිශාවට වන්නට ස්තූපයක් යැයි සැක කරන ගොඩැල්ලක් හමුවේ. මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීමේ දී හමුවී ඇති මෙම ගොඩැල්ල ද ඉන් පසුව නිදන් හොරුන් විසින් මීටර එකහමාරක් පමණ ගැඹුරු වරක් කපා ඇත. මෙම ස්තූපය ඉතා විශාල ගඩොල් භාවිතා කර නිර්මානය කර ඇති අතර මෙහි සමහර ගඩොල් පේළි අතර බදාමයට මිනිරන් පතුරු එක්කර තිබෙන ආකාරය දැකගත හැක. මෙම නටබුන් මීටර් 100×50 ප්‍රමාණයක පැතිරී ඇත.

හැළඹවැව අක්කරාවලි ආරාමික නටබුන් (Halambawewa Akkarawali Aramic Ruins)

මෙම ස්ථානයේ ස්තූපයක් යැයි අනුමාන කළ හැකි ගොඩැල්ලක් හා කොරවක්ගල් සහිත ස්ථානයක් හා පඩිපෙලක් වැනි ස්ථානයක් වශයෙන් ස්ථාන තුනක් නිධන් හොරුන් විසින් හාරා ඇත. ස්ථූප ගොඩැල්ලක් ලෙස විශ්වාස කරන ස්ථානයේ ඇති වල මීටර් හතරක් පමණ ගැඹුරු ය.

හැළඹවැව වන්නම්මඩුව නටබුන් ස්ථානය (Halambawewa Wannammaduwa Aramic Ruins)

ඉහත සඳහන් ආරාමික නටබුන් ස්ථානයෙන් මීටර දෙසීයක් පමණ දකුණින් මෙම භූමිය පිහිටා තිබේ. මෙම ප්‍රදේශය නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ කෘෂිකාර්මික බෝග ඉඩම් ලෙස සලකුණු කොට තිබුනද තවම සංවර්ධනය කොට නොමැත. මා ප්‍රදේශයද ලෙස හඳුනා ගෙන තිබුණද තවමත් සංවර්ධනය කර නොමැත. මෙම නටබුන් ගොඩැල්ලක් මත පිහිටා ඇත. නිදන් හොරුන් විසින් මෙය මධ්‍යයේ ගැඹුරු වළක් හාරා ඇත. ඔවුන් මෙහි තිබූ නොයෙක් ශිලාමය කණු 5ක් හා උළුවහු පාදම් ගලක් නියමිත ස්ථානයන්ගෙන් ගලවා තැන් තැන්වල දමා ඇත. මුල් ස්වරූපයෙන් ශිලාමය කණු 4ක් පමණක් ඇත. එබැවින් මෙම ස්ථානයේ තිබුණේ කුමක් ද යන්න නිවැරදිව හඳුනා ගැනීමට අපහසුය. ගලවා දමන එක ගල් කණුවක් මීටර තුනක් පමණ උසය පළල සෙන්ටි මීටර 25ක් පමණ වේ.

මූලාශ්‍ර :

  • Mahaweli Consultancy Bureau (pvt) Ltd, 2020. Environmental Impact Assessment Report For The Proposed Kivul Oya Reservoir Project. Final Report. Colombo: Mahaweli Authority of Sri Lanka.
  • 2014. Proposed Kivul Oya Reservoir Project. EIA FINAL Report. Colombo: Mahaweli Authority of Sri Lanka.

සම්බන්ධ වෙනත් පිටු

හැළඹවැව රන්තිස්පුර පුරාවිද්‍යා ස්ථාන සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

හැළඹවැව රන්තිස්පුර පුරාවිද්‍යා ස්ථාන රියදුරු දිශාවන්

පදවිය සිට හැළඹවැව රන්තිස්පුර දක්වා
හරහා :වැලිඔය
මුළු දුර : කිලෝමීටර් 30
ගතවන කාලය : විනාඩි 60
ගත කිරිය යුතු කාලය : –
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com