කළුතර නගරය ගැන ලංකාවේ අතීත වංශකතාවේ මුලින්ම සනිටුහන් කරන්නේ චූලවංශයේ. අනුරාධපුර රාජධානියේ අවසාන රජු වූ පස්වන මහින්ද රජු (982-1029) දකුණු ඉන්දීය චෝලයන්ගේ ග්‍රහණයට අසුවීමෙන් පසු අනුරාධපුර රාජධානිය බිඳවැටිණි. ඉන් පසුව විජයබාහු චෝලයන් පරවා හැරී කාලය වනතෙක් වූ අතුරු කාලය චූලවංසය මෙසේ සනිටුහන් කරයි.
“විකුම්පඬිය යි ප්‍රසිද්ධ රජ කුමරෙක් එකල බියෙන් සිය රට අත හැර දුළුදිව්හි වසන්නේ ලංකා ප්‍රවෘත්ති දත්තේ රුහුණු පදෙස් අවුත් කළුතොට වෙසෙමින් වසක් රජය කරවී. එකල රාමගොත්‍රයෙහි උපන් ජගත්පාල නමින් ප්‍රසිද්ධ රාජපුත්‍රයෙක් අයෝධ්‍යාපුරයෙන් ආයේ ඒ විකුම් පඬිහු රණභූමියෙදී මරවා මහා බල ඇති ඒ තෙමේ සතර හවුරුද්දක් රුහුණු රජය කරවී. සොලීහු උහුද රණබිමෙහි මරා දියණියන් සහ බිසවද සියළු ධන සාරයද සොලී රට යැවූහ. ඉක්බිති පඬි රජහු පුත් පැරකුම් නම් රජ තෙමේ දෑ අවුරුද්දක් රජය කළේය. සොලීහු යුදකොට උහුද මැරූහ. …….“
ඉහත සටහනට අනුව කළුතර අවම වශෙයන් එක් අවුරුද්දක් රුහුණේ පාලන නගරය ලෙස තිබුණු බව පෙනේ. ඉන්පසුව ජගත්පාල හා පැරකුම් රජද කළුතර සිට රුහුණ පාලනය කළා විය හැක.
චූලවංසය නැවතත් දෙවන පරාක්‍රමබාහු (1236 -1270) සමයේ දේවපතිරාජ මහ ඇමති විසින් දකුණේ කරනා ලද සංවර්ධන කටයුතු අතර කළුගඟ හරහා අසූ හතර රියන් පාලමක් සාදනලද බව සටහන් කොට ඇත. ( සිංහල සංස්කරණයේ අසූ රියන් ලෙස සඳහන් වේ) .
කළුතර බලකොටුව 1622 දී පෘතුගීසීන් විසින් ඉදිකලේ පුරාණ ගංගාතිලක විහාර භූම්යේය. පසුව එය සීතාවාකා රාජධානියේ මායාදුන්න රජු විසින් පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා ලදී. මෙම සටන මෙහෙයවනු ලැබුවේ ඔහුගේ පුත් ටිකිරි රජ්ජුරු බණ්ඩාර (පසුව රාජසිංහ 1 රජු) විසිනි. පෘතුගීසීන් විසින් නැවත එය අත්පත් කර ගත් අතර වෙඩි තැබීමකින් තොරවම 1655 දී ලන්දේසීන්ට භාර දෙන ලදී.
1635 දී පෘතුගීසි රාජ්‍ය වංශකතාකරුවෙකු හා භූගෝල විද්‍යාඥයෙකු වන ඇන්ටෝනියෝ බොකරෝ (António Bocarro) විසින් රචිත පෙරදිග ඉන්දියාවේ සියලුම නගර සහ බලකොටුවල සැලසුම් (Book of the Plans of all the Fortresses, Cities and towns of the State of Oriental India) ග්‍රන්ථයේ Description of CEYLON කොටසේ කළුතර බලකොටුවේ සිතියමක් සහ විස්තරයක් ඇතුලත් කොට ඇත. මෙම Description of CEYLON කොටස ටී. බී. එච්. අබේසිංහ (T B H Abeyasinghe) විසින් පෘතුගීසි භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට 1996 දී පරිවර්තනය කොට ඇත.
ඇන්ටෝනියෝ බොකරෝට අනුව මායාදුන්න රජුගේ ප්‍රහාරයට පෙර මෙය මුර අට්ටාල (bastions) 4 ක් සහිත සතරැස් බලකොටුවක් විය. මෙහි එක් පැත්තක් පේසස් 30ක් (30 paces – මීටර 23ක් පමණ) දිග විය. ප්‍රාකාරය ෆැන්තම් 4ක් (4 fathoms – මීටර 7.3ක් පමණ) උස හා ස්පැන් 6ක් (6 spans – මීටර 1.4ක් පමණ) පමණ පළල විය. මෙය තුල නිවාස සහ ෆ්රැන්සිස්කන් දේවස්ථානයක් තිබී ඇත. ක්‍රි. ව. 1930 දශකයේ මුල කළුතර බලකොටුව පෘතුගීසීන් විසින් නැවත අල්ලා ගත් පසු ගලින් සාදා තිබූ බැමි පොල් කඳන් භාවිතා කර සවිගන්වනවන ලද බව සඳහන් කරයි. බලකොටුව තුල සොල්දාදුවන් 25ක් සිටි අතර මුර අට්ටාල වාසස්ථාන ලෙස භාවිතා කර ඇත.
ක්‍රි. ව. 1642 දී පෘතුගීසින් හා ලන්දේසීන් අතර සටන් ගිවිසුම හරහා මෙම බලකොටුව ලන්දෙසින්ට භාර දෙන අතර ඉන් වසරකට පසුව ලන්දේසීන් විසින් මෙම බලකොටුව අතහැර දමන ලදි. ඉන්පසුව පෘතුගීසින් විසින් මෙම බලකොටුව නැවත ක්‍රි. ව. 1655 දක්වා අත්පත් කර ගත්හ. එම වසරේ ඔක්තෝම්බරයේ ලන්දේසීන් බේරුවල වෙරළට ගොඩබැස කිලෝමීටර 15ක් කළුතරට පාගමන් කොට නැවතත් අත්පත් කර ගන්න ලදී.
ලන්දේසි හමුදාවේ සිටි ජර්මන් ජාතික ෂ්විට්සර් (Schweitzer) 1667දී මෙම බලකොටුවේ රැඳී සිට ඇත. ඔහු සඳහන් කරන්නේ එම වසරේදී මෙම බලකොටුවට නව ප්‍රකාර, දිය අගල් හා සල පාලමකින් සම්පූර්ණ කල වගයි. ඔවුහු දහවල් කාලයේදී ඉදිකිරීම කළ අතර රාත්‍රී කාලයේදී මුර රාජකාරි කල බව සඳහන් වේ.
ක්‍රි. ව. 1796 පෙබරවාරි මාසයේදී ජෙනරාල් ස්‌ටුවට්‌ගේ නායකත්වයෙන් යුත් බ්‍රිතාන්‍ය හමුදාව මෙම ලන්දේසි බලකොටුව අල්ලා ගන්නා ලදී. ඔවුන් මෙම කඳවුර ක්‍රි. ව. 1815 දී මහනුවර යටත් වී ටික කලක් යනතුරැ මෙම බලකොටුව භාවිතා කර ඉන්පසු මෙය අත්හැර දමන ලදී. ඉන්පසු නැවතත් ක්‍රි. ව. 1915දී මෙය කළුතර ඒජන්තගේ නිවෙස ලෙස නවීකරණය කර ඇත.
ක්‍රි. ව. 1960 දශකය මුලදී මෙම ගොඩනැගිල්ල කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් පවරාගෙන දැනට පවතින කළුතර දාගැබ මෙම භූමියේ ගොඩනංවා තිබේ.
ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ
- MANUKULASOORIYA, R.C. DE S., 2004, KALUTARA. Journal of the Royal Asiatic Society of Sri Lanka. 2004. Vol. 50, p. 43-62.
- Abeyasinghe, T. B. H. , 1995, Description of Ceylon in the in the Book of the Plans of all the Fortresses Cities and towns of the State of Oriental India by ATNONIO BOCARRO Dedicated to the Most Serene Royal Majesty Philip IV of the Spains and III of Portugal our Lord the King February 17, 1635. . Journal of the Royal Asiatic Society of Sri Lanka , new series. 1995. Vol. 39, p. 33-38.
- GEIGER, WILHELM, 1929, Cūlavamsa being the more recent part of the Mahāvamsa, Part 1. London.
- GEIGER, WILHELM, 1929, Cūlavamsa being the more recent part of the Mahāvamsa, Part 2. London.
- මහාවංශය (සිංහල), 2010. , 1. Buddhist Cultural Center.
- DE SILVA, RAJPAL KUMAR and BEUMER, WILLEMINA G. M, 1988, Illustrations and views of Dutch Ceylon, 1602-1796. London : Serendib Publications.
- Kalutara, 2020. Voc-sri-lanka.nl [online],
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ බළකොටු ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
amazinglanka.com/wp/heritage-si/(opens in a new tab)
පුරාණ කළුතර බලකොටුව (කළුතර චෛත්‍ය) සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
පුරාණ කළුතර බලකොටුව රියදුරු දිශාවන්
කොළඹ සිට පුරාණ කළුතර බලකොටුව (කළුතර චෛත්‍ය) |
මුළු දුර: කිලෝමීටර 44 ගතවන කාලය : පැය 1.5 – 2 ගත කිරිය යුතු කාලය : පැය ½ – 1 අතර රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |