මුලතිවු මන්නකණ්ඩාල් කන්නියාර් කෝවිල් බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1.00 out of 5)
Loading...
මුලතිවු මන්නකණ්ඩාල් කන්නියාර් කෝවිල් බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය - Mannakandal Kanniyar Kovil Archaeological Site in Mulativu
මුලතිවු මන්නකණ්ඩාල් කන්නියාර් කෝවිල් බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය – Mannakandal Kanniyar Kovil Archaeological Site in Mulativu
ජයාරුපය : පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

මුලතිවු දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මන්නකණ්ඩාල් ග්‍රාමසේවා වසමට අයත් කෙරිඩමඩු මන්නකණ්ඩාල් ග්‍රාමයේ මෙම බෞද්ධ සංඝාරාමයේ නටබුන් පිහිටා තිබේ.

මුලතිවු දිස්ත්‍රික්කයේ හමුවන පුරාණ සංඝාරාම අතුරින් මෙම සංඝාරාමය විශාලතම සහ අලංකාරතම සංඝාරාම කිහිපය අතරින් එකකි. ජේ.පී. ලුවිස් විසින් (1895, p. 309) රචිත වන්නිය පිළිබඳව ප්‍රකාශනයක මෙහි විහාරස්ථාන 7ක් වන අතර ජනප්‍රවාදයට අනුව වන්නියේ කන්‍යා ප්‍රධානීන් හතක් සිටි බවත් කියවේ. ඉහත ප්‍රකාශයට අනුව වන්නි ප්‍රාදේශීය පාලකයින් එම ප්‍රදේශ පාලනය කර ඇති අතර ඔවුන්ගේ දියණිවරුන් කන්‍යා ප්‍රධානීන් ලෙස හඳුන්වා ඇති බව පෙනේ. එම නිසා මෙම ස්ථානය කන්නියාර් කෝවිල් ලෙස හඳුන්වනලද ඇතැයි උපකල්පනය කළ හැක.

ජේ. පී. ලුවිස් (1895, පිටු 308-309) ද මෙම ස්ථානය විස්තරාත්මකව මෙසේ දක්වයි:

මයිල් කණු 8 සහ 9 අතර ඇති කුඩා මාර්ගයෙන් ඔබ්බට, මන්නකණ්ඩාල් හි විශාල නටබුන් ප්‍රමාණයක් ඇත. විශාල අත්හැර දැමූ වැවක වේල්ල මාර්ගයට සෘජු කෝණවලින් මාර්ගය හා සම්බන්ධ වේ. නටබුන් පිහිටා ඇත්තේ තරමක් උස් බිමක වන අතර, එහි මුදුන සම්පූර්ණයෙන්ම සමතලා වන අතර, තාප්පයකින් වට කර තිබූ බව පෙනේ. එක ළඟ, සාමාන්‍ය ආකාරයේ විහාර හතක නටබුන්, සමාන්තර හතරැස් කණු පේළි, සහ විවිධ ප්‍රමාණවලින් යුක්තව ඇත. විශාලතම විහාරය ගඩොලින් මුහුණලා ඇති වේදිකාවක් මත ඉදිකර ඇති අතර, එහි දළ සටහන තවමත් ඉතිරිව ඇත. කණු තුළ වට වූ ඉඩ ප්‍රමාණය, අනෙක් සියල්ලන්ගේම මෙන්, සුන්බුන්, ගඩොල්, උළු සහ පස්වලින් ගොඩගසා ඇති අතර, මෙය ඉවත් කළහොත්, සාමාන්‍ය බුද්ධ ප්‍රතිමා පිළිම ගෙය තුළ යටින් හමු වීමට බොහෝ දුරට ඉඩ ඇත. මෙම විශාල විහාරයට පිවිසුම් පියගැටපෙළ සොයා ගත හැකි දැයි බැලීමට මම තීරණය කළෙමි. නැගෙනහිරට මුහුණලා ඇති පැත්ත (ගොඩනැගිල්ල හතරැස් හැඩයකින් යුක්ත වූ අතර, දිගු පැති නැගෙනහිර සහ බටහිර විය) ගත් විට, මතුපිටට ඉහළින් ගලක මුදුනක් දිස්වන බව මම දුටුවෙමි. පස් ඉවත් කිරීමෙන් පසු, එය පියගැටපෙළේ පේකඩවලින් එකක් වන අතර, සාමාන්‍ය හස්ති-හොඬේ හැඩයෙන් යුක්ත බව මම සොයා ගතිමි. පාමුල පොළොවේ මතුපිටට ඉහළින් තවත් ගලක් දිස්වූ අතර, මෙය ඉදිරියෙන් හාරන විට, එහි සාමාන්‍ය ආරක්‍ෂක දේවතාවියකගේ රූපය ගලෙහි ඉතා ගැඹුරට කැටයම් කර ඇති බව මම සොයා ගතිමි. රූපයේ හිස ඇතුළු ගලේ මුදුන කැඩී තිබුණද, එයට ආසන්නවම තිබී මම එය සොයා ගත්තෙමි, නමුත් එයට හානි වී තිබුණි. අනෙක් පේකඩය සහ ගල එහි නිසි ස්ථානයේ (දෙවැන්න ද කැඩී තිබුණි) සහ පේකඩ දෙක අතර පියගැටපෙළ ද මම සොයා ගතිමි.

ඒ අසලම දාගැබක නටබුන් ද ඇත. තවත් විහාරයක ඉදිරිපස ගල් පියගැටපෙළ තුනක් ඇති අතර, ඉහළම පියගැටයේ සිට ප්‍රමාණයෙන් අඩු වේ. මෙය සමස්ත ගොඩනැගිලි සමූහයටම ප්‍රධාන පිවිසුම වන්නට ඇත. ස්ථානය පුරා බොහෝ ගඩොල් සහ උළු විසිරී ඇත. එක් උළු කැබැල්ලක, තෙත්ව තිබූ විට ඇඟිලි පහේ සලකුණු එහි දිගේ ඇඳීමෙන් ඇති වූ සලකුණු එක් කෙළවරක සටහන් වී තිබුණි, මෑතකදී ඉරිසෙන්තිරන්කුලම් සහ නොච්චිකුලම් වලින් සොයාගත් ඒවාට සමානව. මෙම නටබුන් වලින් එතරම් දුරක් නොගොස්, හතර පැත්තම කබොක් වැනි ගලින් ඉදිකර ඇති විශාල හතරැස් පොකුණක් ඇත. මැන බැලීමේදී එය අඩි 90ක් හතරැස් බව සොයා ගන්නා ලදී, නමුත් මුලින් එය අඩි 100ක් වන්නට ඇතැයි මම සිතමි, මන්ද පැති කඩා වැටී ඇත. ඒ අසල අඩි 3ක් දිග සහ අඩි 2ක් පළල සෘජුකෝණාස්‍රාකාර ගලක් තිබුණි, එය නෙරා ගිය මායිම් සහිතව, බුදු පිළිමයක් හෝ බෝ ගසක් ඉදිරිපිට මල් තැබීමට භාවිතා කරන ඒවා වැනි ය.

මෙය කන්නියාර් කෝවිල් නමින් හැඳින්වූවද බෞද්ධ ස්මාරකයන් ගෙන් හෙබි සංඝාරාම සංකීර්ණයක් බව පැහැදිලිය. මෙම ස්ථානයේ කෝවිලක් දක්නට නොලැබෙන අතර එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ගේ පුහුණු පාසලක් සහ කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක් ලෙස එවකට එහි විසූ ප්‍රකාශ කරති.

එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විනාශ කිරීමෙන් පසුව මෙම නටබුන් සහිත ප්‍රදේශය සහ ඒ අවට කන්නියාර් කෝවිල් කුලම වැව අතර ප්‍රදේශය හමුදා කඳවුරක් ලෙස පවත්වාගෙන යනු ලැබේ. එබැවින් අද මෙම නටබුන් ඇත්තේ හමුදා කදවුර තුළ ය.

මෙම භූමියේ ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි නටබුන් ගොඩනැඟිලි 8ක් සහ ඒ වටා ප්‍රාකාරයකින් වටවූ විහාර සංකීර්ණයක් වූබව පෙනී යයි. මෙම ස්ථානයට ඇතුල් වීමේදී මද උස් භූමියක සිටුවා ඇති ගල් කණු සහිත ගොඩනැගිල්ල පවතී. ප්‍රමාණයෙන් මීටර් 4.65×4.65 ක පමණ වන සමචතුරශ්‍රාකාර එම ගොඩනැගිල්ලේ සිටුවා ඇති ගල් කණු ප්‍රමාණය 6කි. මනාව සකසා ඇති මෙම ගල් කණුවක් සෙන්ටිමීටර් 25×25 වට ප්‍රමාණයෙන්ද මීටර් 2ක් පමණ උසකින් ද යුතුය. මෙම ගොඩනැගිල්ලේ දකුණු අන්තයෙහි කඩා වැටී ඇති ගල් කණු කිහිපයක් ද පැරැණි ගඩොල්ද විසිරී ඇත.

මෙම ගොඩනැගිල්ලට බටහිරින් ගරාවැටුණු දාගැබක් පවතී. නිධන් සොරුන් මෙම දාගැබ මධ්‍යයේ විශාල වලක් සාරා ඇත. මෙම දාගැබ් ගොඩැල්ල මීටර 15ක් පමණ විෂ්කම්භයෙන් හා මීටර 3ක් පමණ උසින් දැනට පවතී. ගොඩැල්ලේ දකුණු අන්තයේ ගල් පාදම් කොටසක් දැකිය හැක.

මෙම දාගැබ් ගොඩැල්ල මීටර් පහළොවක් පමණ දුරින් තවත් ගොඩනැගිල්ලක නටබුන් පවතී. මෙම නටබුන් ගොඩනැගිල්ල මත හමුදා කඳවුරේ සෙබලුන් බුදුමැදුරක් සාදා තිබේ මෙම කැණීම් වලින් ප්‍රුරාණ ගොඩනැගිල්ලේ ප්‍රවේශ ද්වාරය මතුකරගෙන ඇත. මෙහි අනුරාධපුර යුගයට අයත් කොරවක් ගල් දෙකක් සඳකඩ පහනක් හා මුරගල් මතු කොට තිබේ. මෙම කොරවක්ගල් හා මුරගල් වල කොටස් කැඩී ඇති අතර අලුතෙන් පියගැටපෙළක් ඉදිකොට ඇත.

මෙතෙක් හඳුනාගත් ගොඩනැගිලි නටබුන් අතරින් ගොඩැලි දෙකක් හැරෙන්නට අනෙත් සියලු ගොඩනැගිලි ගඩොල් ප්‍රාකාර බැම්ම ඇතුලින් පිහිටි බව පෙනේ. මෙම ස්ථානයේ ඇති ශිලා ස්තම්භ වල ඇති ගල්කටු පහර වල ලක්ෂණ අනුව පැහැදිලිව අනුරාධපුරය අවදියේ ලක්ෂණ විද්‍යාමාන වන අතර එක් නටබුන් ගොඩැල්ලක් සමීපව කැටයම් රහිත වැසිකිළි ගලක්ද දැකගත හැක.

මෙම නටබුන් 1916 වසරේ මාර්තු 24දින ගැසට් පත්‍රයක් මගින් පුරාවස්තු ආඥාපනත යටතේ පැරණි ස්මාරකයක් ලෙස නම් කරණු ලැබීය.

ඔඩ්ඩුසුඩාන් සිට පුදුකුඩුරිප්පු මාර්ගයේ කිලෝමීටර 23ක් පමණ ගමන් ගත් විට හමුවන මන්නකණ්ඩාල් මංසන්ධිය හමුවේ. මෙහි යුධ හමුදා මූලස්ථානයේ 641 වන බලකායේ පොදු අපනශාලාවක් පවතී. ඉන් දකුණට හැරී මීටර 750ක් පමණ බොරළු මාර්ගයේ ගමන් ගත් විට කන්නියාර් කෝවිල් කුලම වැව හමුවේ. මෙම වැව් කණ්ඩිය උඩින් ගමන් කොට එහි අවසානයේ යුධ හමුදා 14වන බලඇණි කඳවුරේ ඇතුල්වීමේ ගේට්ටුව පවතී. මෙම ස්ථානයේ කඳවුරු නාම දැන්වීම් පුවරුව අසල නටබුන් සඳහා තවත් දැන්වීම් පුවරුවක් දැකගත හැක. මෙම නටබුන් ඇත්තේ කඳවුර තුලය.

මූලාශ්‍ර :

  1. අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, පි101-104
  2. Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].
  3. Lewis, J. P. (1895). Manual of the Vanni Districts: Vavun̤iya and Mullaittivu of the Northern Province, Ceylon (1st ed.). H.C. Cottle.

සම්බන්ධ වෙනත් පිටු

මන්නකණ්ඩාල් කන්නියාර් කෝවිල් බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ඔඩ්ඩුසුඩාන් මන්නකණ්ඩාල් කන්නියාර් කෝවිල් බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය රියදුරු දිශාවන්

ඔඩ්ඩුසුඩාන් සිට මන්නකණ්ඩාල් කන්නියාර් කෝවිල් බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය දක්වා
හරහා : පුදුකුඩුරිප්පු පාර
මුළු දුර : කිලෝමීටර් 13
ගතවන කාලය : විනාඩි 20
ගත කිරිය යුතු කාලය : විනාඩි 20-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply