කිරිඇල්ල පෘතුගීසි බලකොටුව නටබුන් – Ruins of the Kiriella Portuguese Fort

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1.00 out of 5)
Loading...
කිරිඇල්ල පෘතුගීසි බලකොටුවේ නටබුන්  -  Ruins of the Kiriella Portuguese Fort
කිරිඇල්ල පෘතුගීසි බලකොටුවේ නටබුන් – Ruins of the Kiriella Portuguese Fort

කළුගඟ දිගේ පෘතුගීසීන් රට අභ්‍යන්තරයට පැමිණියේ, මෙරට සිරි නැරඹීමට නොව, සිය වාණිජ හුවමාරු කටයුතු සඳහා අවශ්‍ය කුළුබඩු ද්‍රව්‍ය රැස්‌කර ගැනීමට සහ රට අභ්‍යන්තරයේ ද බලය තහවුරුකර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ය. එහි එක්‌ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔවුන්, කළු ගං දෑලෙහි කුඩා සහ මධ්‍ය ප්‍රමාණයේ බලකොටු ඉදිකළ බව, අපේ ඉතිහාස තොරතුරු අධ්‍යයනය කිරීමේ දී අනාවරණය වේ. අඟුරුවාතොට, නම්බපාන, ඇල්ලගාව, කිරිඇල්ල, රත්නපුර සහ බටුගෙදර එසේ ඉදිකළ බලකොටු ය.

කිතු වසින් ගෙවී ගිය 1505 නොවැම්බර් මස 15 වැනි දින, ලක්‌බිමට අහම්බෙන් මෙන් බටහිර රකුසෙකු ගොඩ බටුයේ ය. ඔවුන් නමින් පෘතුගීසීන් හෙවත් පරංගින් ය. සුදු තිරුවානා ගල් කමින් ලේ බොන ඔවුන්ගේ මාතෘ භූමිය වූයේ පෘතුගාලය යි. ඔවුන් මෙරටට ගොඩ බසින අවස්‌ථාවේ, මෙරට රජ කළේ, 08 වැනි වීරපරාක්‍රමබාහු (ක්‍රි(ව(1484-1506) රජතුමා ය.

මේ වකවානුව වනවිට ලංකාවේ කුරුඳු, කරාබු නැටි, කරඳමුංගු, සාදික්‌කා, වසාවාසි, පුවක්‌, ගම්මිරිස්‌ වැනි කුළුබඩු මෙන්ම ඇත් දළ වැනි දේ ද මිල දී ගැනීමේ ඒකාධිකාරය පැවතුණේ මුහුදු මාර්ගයන් ඔස්‌සේ පෙරදිගින් පැමිණි මුස්‌ලිම් වෙළෙඳුන් අත ය. ලංකාවේ කුළුබඩු ඉතාමත් අනර්ඝ උසස්‌ තත්ත්වයෙන් යුතු ඒවා විය. මුස්‌ලිම් වෙළඳුන් සහ පෘතුගීසීන් අතර ද වෙළෙඳ භාණ්‌ඩ හුවමාරු සිදු වූ අතර, මෙතරම් අනර්ඝ කුළුබඩු ගෙන එන රට දැන ගැනීමට පෘතුගීසීන් ද අවශ්‍ය විය. එහෙත් මුස්‌ලිම් වෙළෙඳුන් මෙම දිවයින පිහිටි දිසාව හෝ ඔවුන්ට නොපවසන්නට වග බලාගත්හ. පෘතුගීසීන් මෙහි පැමිණියහොත් තමන් බලය රඳවා ගෙන සිටින මෙරට වෙළෙඳ ඒකාධිකාරයට පහර වදිනවා පමණක්‌ නොව, එම කටයුතු ඔවුන් අතට පත් කර ගනී යෑයි යන සැකය නිසා, මුස්‌ලිම් වෙළෙඳුන්, පෘතුගීසීන් මග හැරිය හ. කැලිකට්‌ නුවරට යාත්‍රා නො කොට, ඒඩ්න් සහ පර්සියානු බොක්‌කට යාත්‍රා කළහ. මෙයින් කෝපයට පත්, ෆ්‍රැන්සිස්‌කෝ ද අල්මේදා සිය පුත්‍රයා වූ ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රධාන නාවික කණ්‌ඩායමක්‌, ක්‍රි:ව:1505 දී මුස්‌ලිම් වෙළෙඳුන්ගේ නැව් අත්අඩංගුවට ගැනීමට පිටත්කර හැරියේ ය. පෘතුගීසීන් ආක්‍රමණික නාවිකයන් පිරිසක්‌ ය.

එසේ පිටත්ව ගිය ලොරෙන්සෝ ද අල්මේදාගේ නැව් හමුදාව මහ මුහුදේ දී දරුණු කුණාටුවකට හසුවී අහඹු ලෙස ගොඩ ගැසුවේ කොළොම්තොට වරායට ය. එහෙත් මෙරට වැසියන් ගෙන් අල්මේදාගේ පිරිසට යහපත් ප්‍රතිචාරයක්‌ හිමි වූයේ නැත. අවසානයේ කාලතුවක්‌කු වෙඩි පත්තු කිරීම නිසා බියට පත් සිංහලයන් පරංගින්ට මෙරටට ගොඩ බැසීමට ඉඩ දුන්නේ කැමැත්තකින් නොවේ. තමන් සිටින ගොඩබිම කුමක්‌දැයි සොයා බැලු අල්මේදා ඇතුළු පිරිසට දැනගත හැකි වූයේ, මෙතෙක්‌ කලක්‌ තමන් සොයමින් සිටි -සෙයිලාන් නම් රටට තමන් අහම්බෙන් වුවත් ගොඩ බැස ඇති බව ය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ, රජතුමා හමුවට දූත ගමනක්‌ යැමට කටයුතු සකසා ගැනීම ය.

පරංගීගේ පැමිණීම මෙන්ම ඔවුන්, රජතුමා හමුවීමට යැම මුස්‌ලිම් වෙළෙඳුන්ට බියක්‌ ගෙන දෙන කරුණක්‌ විය. එම නිසා රජතුමා හමුවුණ ඔවුන් එතුමන්ට කියා සිටියේ, පරංගීන් සහ ගිවිසුම්වලට නො එළඹෙන ලෙසත් ය. රජතුමා හමුවුන පරංගීන් එතුමා ගෙන් ඉල්ලා සිටියේ, මුස්‌ලිම් ජාතිකයන්ට මෙන්, තමන්ට ද සෙයිලමේ වෙළෝදාම් කිරීමට අවසරය ලබා දෙන මෙන් ය. මෙයට ප්‍රති උපකාර වශයෙන් රටේ සියලුම නාවික වරායන් ආරක්‍ෂාකර දෙන බවටත් ඔවුන් රජතුමාට පොරොන්දු වූහ. මේ කපටින්ගේ බහට රැවටුණු, රජතුමා ගිවිසුමකට එළඹුණා පමණක්‌ නොව, වාර්ෂිකව කුරුඳු තොගයක්‌ ද කප්පමක්‌ වශයෙන් දීමට එකඟ විය. පෘතුගීසීන්ගේ ප්‍රධාන අවශ්‍යතාවය වී තිබුණේ ද ලංකාවේ කුරුඳු ලබා ගැනීම ය.

එසේ අහම්බෙන් කොළොම්තොට වරායෙන් ලක්‌දිවට ගොඩ බසින ලද පරංගීන්, ලක්‌දිව පළමුවෙන්ම බලකොටුවක්‌ ඉදිකළේ, කොළඹ වරාය ආශ්‍රිතව ය. ඉන් අනතුරුව, ඔවුන් ක්‍රමක්‍රමයෙන් වෙරළබඩ තීරයේ වරායවල් ආශ්‍රිතව සිය බලකොටු ඉදිකළේ රජවරුන්ගේ ද නියෝගයන්ට ද අභියෝග කරමින් ය. රට වටේ බලකොටු ඉදිකළ පරංගීන්, රට මැද ද කුඩා සහ මධ්‍ය ප්‍රමාණයේ බලකොටු ඉදි කළහ. ඔවුන් එම ඉදිකිරීම්වලින් බලාපොරොත්තු වූයේ, ආරක්‍ෂාව මෙන්ම, එක්‌රැස්‌කර ගන්නා කුළුබඩු වර්ග ගබඩාකර තබා ගැනීම යි.

කළුතර ඔවුන්ගේ එක්‌ බලකොටුවක්‌ විය. එකල කළුගඟ දිගේ රට මැදට ද පිවිසි පරංගීන්, රට අභ්‍යන්තරයෙන් ද කුළුබඩු මෙන්ම තවත් වෙළෙඳ භාණ්‌ඩයන් එක්‌රැස්‌ කළහ. එසේ රැස්‌කර ගන්නා, ද්‍රව්‍යයන් ගබඩා කිරීමට කළුගඟ දෑලෙහි ද බලකොටු ඉදිකළ බව අපගේ ඉතිහාස පුවත්වල සඳහන් වේ. එම තොරතුරුවලට අනුව, අඟුරුවාතොට, නම්බපාන, ඇල්ලගාව, කිරිඇල්ල, රත්නපුර සහ බටුගෙදර එසේ බලකොටු ඉදිකර තිබෙන අතර, කළුගඟේ ප්‍රධාන අතු ගංගාවක්‌ වූ, කුරුගඟේ ඉහත්තාවට වෙන්නට දෙල්ගමුවේ සහ තෙප්පනාවේ ද බලකොටු ඉදි කළහ. මේ සෑම කොටුවකම පාහේ ගබඩා කාමර ද විය.

රට අභ්‍යන්තරයෙන් එක්‌රැස්‌කර ගන්නා වාණිජ ද්‍රව්‍ය ඉහත සඳහන් ගබඩාවන් හි ගබඩාකර තබා පසුව, අදාල ගංගා ඇළ දොළ ඔස්‌සේ ඔරු, පාරු සහ තෙප්පම් මඟින් ගෙන ගොස්‌ ඔවුන්ගේ කළුතර පිහිටි ප්‍රධාන ගබඩාවෙහි ගබඩා කර තැබූහ. ඉහත නම් සඳහන් ආරක්‍ෂිත බලකොටු ගැන යම් යම් තොරතුරු සඳහන්ව ඇතත්, සමහර ඒවා නාම මාත්‍රික ය.කිරිඇල්ලේ පෘතුගීසි කොටුව මෙයට වසර ගණනාවකට පෙර, කිරිඇල්ලේ පෘතුගීසි කොටුවක්‌ ගැන පළමුවෙන්ම මා දැනුවත් කළේ, එවකට කිරිඇල්ල ලේක්‌හවුස්‌ සමූහ වාර්තාකරු වූ, ප්‍රවීණ මාධ්‍යවේදී ක්‍රිෂ්ණ විඡේබණ්‌ඩාරයන් ය. එහෙත් විවිධ හේතූන් නිසා එම ස්‌ථානය පරීක්‍ෂා කිරීමට යැමට නො හැකි විය. කාලයත් සමග රජයේ සේවයෙන් විශ්‍රාම ගියත්, පැරණි ස්‌මාරක සෙවීමේ කටයුතු අත් නො හළේ, රත්නපුර ඈත සියවස සම්බන්ධයයෙන් මා ලියනු ලබන ග්‍රන්ථ මාලාවට අවශ්‍ය කරුණු එක්‌ රැස්‌කර ගැනීම සඳහා ය. ඒ අනුව, 2019.04.26 වැනි දින, කිරිඇල්ලේ කොටුව පරික්‍ෂා කර බැලීමට යාමට හැකි වූයේ, මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ රත්නපුර ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් පිරිසක්‌ ද සමඟ ය. කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් ඉඩම්ගොඩ (කිරිඇල්ල) නගර මධ්‍යයේ විද්‍යාල මාවතේ සිට කිලෝ මීටරයක්‌ පමණ දුරින් මෙම පැරණි බලකොටුව පිහිටා ඇත. කොටුගොඩැල්ල නමින් අද හඳුන්වන මෙම පරංගි බලකොටුව අක්‌කර භාගයකට වඩා වැඩි භූමි ප්‍රමාණයක්‌ පුරා පවතී. රත්නපුරයේ සිට කළුතර දෙසට ගලා බසින කළුගඟේ නැම්මක දකුණු ඉවුර දෑලේ උස්‌ බිම්කඩක මෙම ඓතිහාසික පුරාස්‌මාරකය පිහිටා ඇත. සාමාන්‍ය පොළෝ මට්‌ටමේ සිට මෙම ස්‌මාරකයේ මුදුනත උස අඩි 40 කට පමණ ආසන්න වේ. වගා කටයුතු, නිදන් සොරුන් සහ තවත් මානව ක්‍රියාකාරකම් නිසා මෙම පැරණි කොටුව බොහෝදුරට විනාශයට පත්වෙමින් පවතී. මෙම බලකොටුව සුවිසල් කළුගල් කුට්‌ටිවලින් බැඳ ඇති බව තැන් තැන්වල දක්‌නට ඇති ගල් කුට්‌ටිවලින් පැහැදිලි වේ. එමෙන්ම කොටුව මුදුනත ළිඳක්‌ තිබූ බවට සැක කළ හැකි වළක්‌ දැක ගන්නට හැකි අතර, නිදන් හොරුන් සෑරූ වළවල් කිහිපයක්‌ ද විය. ස්‌ථානය තරමක්‌ දුරට වන වැදී ඇති නිසා, වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට නො හැකි විය. ප්‍රදේශවාසීන් ගෙන් දැනගත හැකි වූයේ, බලකොටුවේ සිට පහළට බැසගත හැකි ගල් පඩි පෙළක ශේෂයන්, ගඟේ ජල මට්‌ටම බැස ඇති දිනවලට දැකගත හැකි බව ය.

කිරිඇල්ල කොටුව ගැන පෙම්බර ලංකා කෘතියේ එන සඳහන;

කිරිඇල්ල කොටුව ගැන තරමක්‌ දුරට හෝ විස්‌තරයක්‌ සඳහන් වන්නේ, බ්‍රිතාන්‍ය පාලන සමයේ, මෙරට සිවිල් නිලධාරියෙකු වශයෙන් සේවය කළ, ආර්. එච්. බැසට්‌ (Ralph Henry Basset) විසින් 1929 දී ප්‍රකාශයට පත් කරන ලද, Romantic Ceylon නම් ග්‍රන්ථයේ ය. (මෙම ග්‍රන්ථය -පෙම්බර ලංකා නමින් ප්‍රේමචJද්‍ර අල්විස්‌ මහතා විසින් පරිවර්තනය කර, සූරිය ප්‍රකාශනයක්‌ ලෙසින් 2002 සැප්තැම්බර් 27 වැනි දින ප්‍රකාශයට පත්කර ඇත.) බැසට්‌ මෙම ග්‍රන්ථයට කරුණු උපුටා ගෙන ඇත්තේ, රිබෙයිරෝගේ විස්‌තරයක්‌ උපුටා දක්‌වමින් ය. එම පොතට අනුව කිරිඇල්ල පෘතුගීසි කොටුව ගැන මෙසේ සඳහන් වේ.

පානදුර සිට රත්නපුරට යන මාර්ගයේ කිරිඇල්ල පිහිටා ඇත. කිරිඇල්ලේ දී කළු ගඟේ නැගෙනහිර ඉවුරබඩ ඉතාමත් තියුණු නැම්මක උස්‌ බිමක ඉදිකළ සුවිසල් පෘතුගීසි බලකොටුවක්‌ දැක ගන්නට ඇත. ඉතාමත් සුන්දර පරිසරයක පිහිටා ඇති මෙම බලකොටුව, සවිමත් බවෙත්, අලංකාරත්වයෙත් සංකලනයක්‌ යයි කිව හැකි ය. මෙතැනට කළු ගඟේ විශාල ප්‍රදේශයක්‌ දැක ගන්නට පුළුවන. පුවක්‌, කුරුඳු ඇතුළු අනෙකුත් කුළුබඩු වර්ග එක්‌රැස්‌කර තැබීම සඳහා ගබඩාවකුත්, මෙහි අණදෙන නිලධාරිs (Commandant of Kiriella‌) සඳහා අලංකාර නිල නිවාසකුත් ඇත. එම නිවසේ ගඟ පැත්තේ ජනෙල් කවුළුවලින් පිටත බලන විට, පහළින් ගඟ දෙසට යොමු වුණු පුළුල් වූ වේදිකාවක්‌ ඇති අතර, එහි සිටින්නෙකුට කුකුළු කෝරළයේ කඳු වැටිත් මැනවින් පෙනෙන්නේ ය. සවස්‌ භාගයේ රාජකාරි කටයුතුවලින් මිදුණු පෘතුගීසි අණදෙන නිලධාරියාට සහ ඔහුගේ බිරිඳට, වේදිකාවේ ආරක්‍ෂිත තාප්පය අසළ සිට, හමන සිසිල් මඳනල සමඟ සැඳෑ සුවය විඳින්නට හැකි ය. මෙම බලකොටුව ආයතචතුරශ්‍රාකාර ය. සෝදා පාළුව වැළැක්‌වීමට ගං ඉවුර දිසාවෙන් බැඳි ආරක්‍ෂිත තාප්පය සඳහා, විශාල ගල් කුට්‌ටි ගෙනැවිත් ඇත්තේ ඈත දුර සිට අලි ඇතුන් මඟින් ය. එසේ ගෙනැවිත් ගිල්වන ලද ගල් කුට්‌ටිවලින් පියවර 60ක්‌ පමණ දුරට සහ උසට ආරක්‍ෂිත වට ප්‍රාකාර බැම්මක්‌ බැඳ ඇත. ගිනිකොණ දිසාවෙන් හැර අනෙක්‌ සෑම පැත්තකින්ම බැස්‌ටියන් හෙවත් මුර අට්‌ටාල ඉදිකර තිබේ. නැගෙනහිර පැත්තෙන් ඇති දොරටුවේs සිට ගං ඉවුර තෙක්‌ වැටුණ මංපෙත අවසන් වූ තැන බලකොටුවේ රැකවරණය සඳහා ආරක්‍ෂක අඟුල් සේවයක්‌ යොදවා ඇත. බලකොටුවට වයඹ දිසාවෙන් කෘතිමව බිම සමතලාකර ඇත්තේ යුධ අභ්‍යාස භූමිය සඳහා ය. නැගෙනහිර සහ බටහිර දෙසින් වූ ගැඹුරු ඇළවල් දෙක සම්බන්ධකර ඇත්තේ, කලින් තනවන ලද දිය අගලකට ය.

රිබෙයිරෝගේ සඳහන : මෙම බලකොටුවේ සිටින පරංගි සෙන්පතියාගේ මූලික රාජකාරිය වූයේ, පෘතුගීසීන් විසින් කුකුළු කෝරළයෙන් මහා පරිමාණයෙන් එක්‌රැස්‌ කරන හකුරු, පුවක්‌ සහ අනෙකුත් කුළුබඩු වර්ග නිසි පරිදි සිදුකරන්නේ දැයි අධීක්‍ෂණය කිරීම යි. එම නිසා කිරිඇල්ල බලකොටුව ඔවුන්ට ඉතාමත් වැදගත් තැනක්‌ විය. උපරිම බලයකින් යුත් හමුදා භට පිරිසක්‌ කොටුව වටේට යොදවා සිටි අතර, හත් සියයක පමණ යුද සෙබළුන් රැසක්‌ මෙහි රැඳී සිටි බවත්, ඒ මෙවැනි කාර්යයක්‌ සඳහා යොදවන උපරිම සෙබළ සංඛ්‍යාව බව රිබෙයිරෝ සඳහන් කරයි. මෙහි දී රිබෙයිරෝ තවදුරටත් සඳහන් කරන්නේ, ඔවුන්ට වැටුප් ගෙවන්නේ වසරකට දින දෙකක්‌ පමණ ය. ඒ නත්තල් දිනයෙ දි සහ සැන් ජො ආඕ මංගල්‍ය දවසේත් පමණි. වැටුප් මුදල් පාවිච්චි කළේ සෙබළුන්ගේ ඇඳුම් සැපයීමට ය. එමෙන්ම නිල රාජකාරි තනතුරු ගැන සැලකීමක්‌ නොමැතිව, සෑම අයකුටම මාසයකට පර්දාවෝ (Pardao) 01 ක්‌ සහ දිනකට හාල් සේරු එක හමාරක්‌ ආණ්‌ඩුකාරවරයා විසින් සපයන ලදී. එම සහල් කපිතාන්වරු අතට පත්වීමෙන් පසු, ඔව්හු සොල්දාදුවන්ට දිනකට ආහාර වේල් 03ක්‌ සැපයූහ. තම කඳවුරට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම, එළදෙනුන්, කිකිළියන්, කුකුළු මස්‌, වෙඬරු සහ කුළුබඩු සපයා ගැනීම සඳහා එක්‌ කපිතාන්වරයෙකුට ගම් දෙක බැගින් පැවරී තිබුණ අතර, සපයා ගන්නා දේ වෙනුවෙන් ඔවුන් ගම්මුන්ට මුදල් ගෙවූහ. කිරිඇල්ල බලකොටුව භාරව සිටි කපිතාන්වරයා වටිනා වෙළෙඳ භාණ්‌ඩ අතපත ගෑ බැවින් ඔහු ධනවතෙකු වූ අතර, ඔහු වටා ඉතාමත් ශක්‌තිමත් සේනාවක්‌ නිරන්තරයෙන්ම රැඳී සිටිය හ. මොහුගේ නිවසේ රන් ආලේපිත ඇඳන් කිහිපයක්‌ ද ඉතාමත් වටිනා දැවයෙන් නිර්මාණය කළ ගෘහ භාණ්‌ඩ රාශියක්‌ විය. ඒ අතර කැටයම් කරන ලද මේස, පුටු මෙන්ම විහාරස්‌ථානවලින් පැහැරගත් නොයෙකුත් විසිතුරු භාණ්‌ඩ රාශියක්‌ ද විය. ලන්දේසීන් කොළඹට පැමිණීම නිසා, කිරිඇල්ල බලකොටුවේ කපිතාන්වරයාට අගනගරයේ බලකොටුව ආරක්‍ෂා කිරීමට යාමට සිදු විය. මොහු කොළඹට යැමට පෙර, තමා සතුව තිබූ වටිනා භාණ්‌ඩ රාශියක්‌ බලකොටුවට පහළින් ගලා බසින කළුගඟේ ඉතා ගැඹුරු වක්‌කලමකට විසිකර දැමුවේ ය. මෙම වළේ ගැඹුර කෙතෙක්‌දැයි කියතොත්, දිග නූල් පන්දු 03 ක්‌ එකට ගැට ගසා දැමුවත් එහි ගැඹුරාන්තයට යාමට දිග මඳි ය. දියට විසි කළ වටිනා දෑ අතර, කාලතුවක්‌කුවක්‌ සහ -පූනෑවක්‌ ද විය. පූනෑව යනු නාග හිස්‌ දොළසකින් අලංකාර කරන ලද භාජනය කි. ගඟේ ජලය බැස ගිය එක්‌ අවස්‌ථාවක, ගඟ පත්ලේ තිබී පෘතුගීසීන්ගේ පිත්තල කාලතුවක්‌කුවක්‌ හමුවූයෙන්, මෙම කතාවේ සත්‍යතාවයක්‌ ඇති බව පිළිගත හැකි ය. මේ වටිනා භාණ්‌ඩ යළි කිසි කලෙක හමු නොවනු ඇත. සමහර සඳ ඇති රාත්‍රියට නාගයන් දොළොස්‌ දෙනෙකුගේ හිස්‌ දිය මතුපිටට පෙනෙන බවත්, එමෙන්ම කලකට උඩ දී මියගිය පරංගි සෙබළුන්ගේ අවතාර රාත්‍රී කාලයේ දී මෙම වක්‌කලමේ දියබුං ගසමින් සෙල්ලම් කරන අයුරු ද දැක ගන්නට ඇති ගම්වාසීන් පවසන බව, රිබෙයිරෝ උපුටා දක්‌වන බැසට්‌ සඳහන් කරයි. කිරිඇල්ල බලකොටුවේ අණදෙන නිලධාරියාට කුළුබඩු ද්‍රව්‍යවලට අමතරව තවත් වටිනා කියන වෙළෙඳ ද්‍රව්‍ය එක්‌රැස්‌ කිරීමට හැකි විය. හකුරු, පැණි, මැණික්‌, ඇත් දළ මෙන්ම අලි ඇතුන් ද ඒ අතර විය. මේ නිසා මෙහි සිටි කපිතාන්වරයා පොහොසතකු ද විය.

පෙළපතක ආරම්භය : මේ දෙවැනි රාජසිංහ රජ දවස යි. රාජ නියෝගයන් සහ ගිවිසුම්වල සඳහන් කොන්දේසි උල්ලංඝනය කරමින් පෘතුගීසීන් රට තුළ කටයුතු කළේ අත්තනෝමතිකව ය. මොවුන්ගේ ක්‍රියා කලාපයන් නිසා රජතුමා ඔවුන්ට විරුද්ධව යුද වැදුණු අතර, මේ සඳහා එතුමන්ට සහයෝගය ලබාදුන්නේ, මේ වන විට ලක්‌දිව තුළ යම් තරමක බලයක්‌ ස්‌ථාපිත කර ගෙන සිටි ලන්දේසීන් ය. මේ වන විට කිරිඇල්ල කොටුවේ සිටි පරංගීන් ද කටයුතු කළේ හිතුවක්‌කාරි ලෙස ය. ගම්මුන්ගේ අටු කොටුවල තිබෙන භව භෝග මෙන්ම, ගව පට්‌ටිවල සිටි ගවයන් හොරෙන් මෙන්ම බලහත්කාරයෙන් ගෙන යාම වැනි කරුණු නිසා ඔවුන් ද කිරිඇල්ලෙන් නෙරපා දැමීමට රජතුමා කටයුතු කළේය. රජතුමා මේ කටයුත්ත භාර දුන්නේ, එතුමන්ගේ විශ්වාසවන්තයෙකු මෙන්ම අංගම් පොර සටන් වලදී ද දක්‍ෂතා දැක්‌ වූ, සියනෑ කෝරළේ, දොම්පේ ග්‍රාමවාසි, යුද මුලාදෑනියෙකු වූ සමරි නම් අයෙකුට සහ ඔහුගේ පුත්‍රයෙකුට ය. මොවුන් දෙදෙනා මෙයට පෙර, උඩරට රාජ්‍යයට පක්‌ෂව, පරංගීන්ට විරුද්ධව කළ සටන්වල දී හටන් බිමේ දක්‍ෂතා දැක්‌ වූ පිය පුතු දෙදෙනෙකි. යුද සේනාංකයක්‌ සංවිධානය කරගත් ඔවුන් කිරිඇල්ලට පැමිණ පරංගීන් සමඟ යුද වැදී ඔවුන් පරාජයට පත්කර කොටුවේ බලය සියතට ගත්තේ ය. මෙම ජයග්‍රහණයෙන් සතුටට පත් රජතුමා, සමරි ට සහ ඔහුගේ පුත්‍රයාට කිරිඇල්ල ප්‍රදේශයෙන් නින්දගමක්‌ ලබා දි, ඔවුන් දෙදෙනාට ජයසුන්දර මුදියන්සේ නම් පෙළපත් නාමය ලබාදුන් බව, එම පෙළපතේ වර්තමානිකයකු වන, සමරිගේ වත්තේ පදිංචි, ඡේ. එම්.ආරියවංශ බණ්‌ඩාර මහතා ප්‍රකාශ කළේය. බණ්‌ඩාර මහතාට අනුව, ඔවුන් ප්‍රසිද්ධ වූයේ, කිරිඇල්ලේ ජයසුන්දර මුදියන්සේ නමින් ය. මේ පිය පුතුන් දෙදෙනා, කිරිඇල්ලේ වලව්වක්‌ ඉදිකර ගත් අතර, එම වලව්ව කිරිඇල්ලේ ජයසුන්දර වලව්ව නම් විය. එය ඉදිකළේ -සමරිගේ වත්ත ඉඩමේ ය. එම භූමිය අද ද හඳුන්වන්නේ, -සමරිගේ වත්ත නමින් ය. (හඳුනා ගැනීමේ පහසුව තකා මේ පිය පුතු දෙදෙනා, ජයසුන්දර මුදියන්සේ I, සහ ජයසුන්දර මුදියන්සේ සස වශයෙන් හඳුන්වමු.) ජයසුන්දර මුදියන්සේ (II) විවාහ වූයේ කිරිඇල්ල ප්‍රදේශයෙන් ය. ඔහු විවාහ වී පෘතුගීසි බලකොටුව පිහිටි ඉඩමේ නව නිවාසයක්‌ ඉදිකර ගෙන එහි පදිංචි වූ අතර, එම නිවස -මාහේන වලව්ව නම් වූ අතර, එම ඉඩම අද ද හඳුන්වන්නේ, මාහේන නමින් ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස හෙවත් ක්‍රි:ව:1761 දී, ලන්දේසීන්ට විරුද්ධව කටුවන-මාතර සටනට කළේ, සබරගමුවේ සිංහල යුධ නායකයන් 13 න් දෙනෙකු පෙරමුණ ගැනීමෙනි. පෙරමුණ ගත් නායකයන් 13 නාගෙන් එක්‌ නායකයෙකු වූයේ, -කිරිඇල්ලේ ජයසුන්දර මුදලි ය. මොහු පෙර සඳහන් කළ ජයසුන්දර මුදියන්සේ සස ගේ පුත්‍රයෙකු හෝ මුනුබුරෙකු යයි විශ්වාස කරති. කිරිඇල්ලේ ජයසුන්දර පෙළපතින් බෙදීගිය අතු ඉති බොහෝමයකි. පෘතුගීසීන් ගෙන් පසු ලන්දෙAසීන් ද මෙහි කලක්‌ සිටි බව ජනප්‍රවාදවල සඳහන් වේ.

ඇල්ලගාව දුවහේන කොටුව :පරංගීන් කළු ගඟ දිගේ ඔරු පාරු මඟින් රට මැදට එද්දී, ඇල්ලගාව ප්‍රදේශයේ දී කුඩා දූපතක්‌ සහ ගං ඉවුර විශාල පුස්‌වැලකින් අවහිර වී තිබුණේ ය. ගමනාගමනයට බාධාවක්‌ වූ මේ පුස්‌වැල ඔවුන් විසින් කපා දැමූ නිසා, මෙතෙක්‌ ගං ඉවුර හා බැඳී තිබුණ දූපත වෙන් විය. එමෙන්ම එතෙක්‌ ගඟ ඉහළ රැඳී තිබූ ජලය බැස ගියෙන් ගඟේ ජල මට්‌ටම ද පහළ බැස්‌සේ ය. පරංගීන් විසින් ප්‍රදේශයෙන් එකතුකර ගන්නා පැණි සහ හකුරු, කූඹීන් ඇතුළු කෘමි සතූන් ගෙන් ආරක්‍ෂාකර ගැනීම සඳහා ගඟ මැද වූ ඉහත සඳහන් දූපතේ, -හකුරු අටුවක්‌ තනා එහි තැන්පත් කර තැබූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එම ස්‌ථානය අද දූවහේන නමින් හඳුන්වයි. එමෙන්ම ගංවතුර ගලා ගඟ දෙගොඩතලා ගිය දිනෙක, ඉහත අටුවේ තිබූ හකුරු පැණි සියල්ලම දිය වී ගඟ පහළට ගලා ගොස්‌ ඇත. පැණි ගලා ගිය ස්‌ථානය -පැණිගල ඇල්ල නමින් අද ද හැඳින් වේ. රත්නපුර-පානදුර මාර්ගයේ 24 වැනි සැතපුම් කණුව ආසන්නයේ හෙවත්, ඇල්ලගාව දේවාලය ප්‍රදේශයේ මෙම ස්‌ථානය පිහිටා ඇත. මෙම කොටුවේ සිටි සොල්දාදුවන්ගේ අපද්‍රව්‍ය ගෙන ගොස්‌ දමා ඇත්තේ, තරමක්‌ නුදුරින් පිහිටි කුඹුරු යායකට ය. එම කුඹුරු යාය අද ද හඳුන්වන්නේ, -ගූ කුඹුර නමින් ය. පුරාවිද්‍යා වටිනාකමකින් යුතු මෙම කිරිඇල්ල බලකොටු ස්‌මාරකය ආරක්‍ෂා කර ගැනීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ වගකීම කි. මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ රත්නපුර දිස්‌ත්‍රික්‌ කාර්යාලයේ ව්‍යාපෘති කළමනාකාරිනී දයා අබේගිරි, එම අරමුදලේ පුරාවිද්‍යා නිලධාරීන් වන සුමේධ, ඉන්දික මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදී ක්‍රිෂ්ණ විෙ-බණ්‌ඩාර, කිරිඇල්ලේ රංජිත් උඩුමුල්ල, මානිපුර, ෙ-. එම්.ආරියවංශ බණ්‌ඩාර යන මහත්ම මහත්මීන්ට අපගේ ස්‌තුතිය හිමි වේ.

සටහන : රත්නපුරේ එච්. එම්. ජයන්ත විඡේරත්න
විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරි

මූලාශ්‍රය :

සම්බන්ධ වෙනත් පිටු

කිරිඇල්ල පෘතුගීසි බලකොටුව නටබුන් සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කිරිඇල්ල පෘතුගීසි බලකොටුව රියදුරු දිශාවන්

කොළඹ සිට කිරිඇල්ල පෘතුගීසි බලකොටුව දක්වා
හරහා : කඩුවෙල – බණ්ඩාරගම – ඉංගිරිය – කිරිඇල්ල
මුළු දුර : කිලෝමීටර් 80
ගතවන කාලය : පැය 2
ගත කිරිය යුතු කාලය : විනාඩි 20-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com