මුලතිවු ගුරුකන්ද රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් – Mulativu Gurukanda Rajamaha Viharaya Archaeological Ruins

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1.00 out of 5)
Loading...
මුලතිවු ගුරුකන්ද රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන්  -  Mulativu Gurukanda Rajamaha Viharaya Archaeological Ruins
මුලතිවු ගුරුකන්ද රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් – Mulativu Gurukanda Rajamaha Viharaya Archaeological Ruins

මුලතිව්හි නයාරු ග්‍රාමයේ ගුරුකන්ද රජමහා විහාරය 2019 වසරේ විශාලලෙස ආන්දෝලනාත්මක සිද්ධීන්ට මුහුණදුන් විහාරයකි. එල්ටීටීඊ සංවිධානය 2009 දී පරාජය වීමෙන් පසුව ඇති වූ සාමකාමී වාතාවරනය තුල උතුර නැගෙනහිර ප්‍රදේශවල බෞද්ධ විහාර දෙමළ අන්තවාදී අදහස් දරන දේශපාලන පක්ෂ වලින් බේරා ගැනීමට එහි වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලාට විශාල මෙහෙවරක් කිරීමට සිදුවිය.

ජනප්‍රවාදයට අනුව ගුරුකන්ද රජමහා විහාරය කිත්සිරිමෙවන් රජ දවස බුදුන්ගේ දන්ත ධාතුව හේමමාලා සහ දන්ත කුමරුන් ලංකා පටුන ඔස්සේ ශ්‍රී ලංකා භූමියට ගෙන ඒමෙන් පසුව ගමන් ගත් මාර්ගයේ ඔවුන් විවේක ගත් ස්ථානයක් ලෙස පිළිගැනේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඒ. බී. මණ්ඩාවල මහතාට අනුව මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරය පිහිටා ඇත්තේ වසර 2000 කට වඩා පැරණි සංඝාරාමයක් පැවති සහ තවමත් ශේෂව ඇති බෞද්ධ නටබුන්වලින් ගහන පුරාවිද්‍යා භූමියක් මතය.

ගුරුකන්ද රජමහා විහාරයේ නටබුන් අතර මාර්ගයේ වම්පස ගඩොල් ඉදිකිරීම් සහිත ගොඩ දෙකක් දක්නට ලැබේ. මේවා දාගැබ් ගොඩැලි බව හඳුනාගෙන ඇත. මෑතදී සිදුවූ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ගොඩැලි වලට විශාල වශයෙන් හානි සිදු වී ඇත. නයාරු මාර්ගය කපා ඇත්තේ මෙම පුරාවස්තු භූමිය දෙකඩ වන ලෙසය. වසර 2015දී මෙම මාර්ගය නැවතත් විශාල කොට තිබේ. එම මාර්ග කැණීම් වලදී මතු වූ පුරාවිද්‍යාත්මක වස්තූන් විශාල ප්‍රමාණයක් මාර්ගයේ වම්පස ඉදිකරන ලද කුටියක තැන්පත් කොට තිබේ. මෙම පුරා වස්තූන් අනුරාධපුර රාජධානි අවධියට අයත් බව නිගමනය කොට ඇත.

මාර්ගයට දකුණු පසින් සාදා ඇති ගුරුකන්ද විහාරයේ ආවාස ගෙය ගොඩනංවා ඇත්තේ පැරණි ස්ථූප ගොඩැල්ල හෝ වෙනත් ගොඩනැගිල්ලක් මතය. මෙම ගොඩනැගිල්ල ආසන්නයේ කණු පාදම් ගලක් ද වේ.

මෙම නටබුන් ස්ථානයේ දකුණුපසට මීටර් සීයක් පමණ ගමන් කිරීමේදී සම්පූර්ණයෙන්ම ඩෝසර් කරන ලද ථූපයක් හමුවේ. මෙහි විශ්කම්භය ආසන්න වශයෙන් මීටර් දහයක් පමණ විය හැකි බව විසිරී ඇති ගඩොල්වලින් නිගමනය කළ හැක. එම ස්ථානයේ දැකිය හැකි ගඩොල් ප්‍රමාණය අනුව මෙය තරමක් විශාල දාගැබක් විය යුතුය. මෙම ස්ථානයේ අනුරාධපුර අවධියට අයත් මුළු කැබලි හා රක්ත වර්ණ බඳුන් කොටස්ද බහුල ලෙස හඳුනාගත හැක.

ඉපැරණි බෞද්ධ නටබුන් රාශියක් පිහිටා තිබෙන මෙම භූමිය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගත් පසු එහි වැඩම කරවූ සේරැවිල සරණකිත්ති නාහිමියන් තාවකාලික මඩුවක් ඉදිකොට වැඩවාසය කරන්නට වූ අතර පසුව යුද හමුදාව විසින් විහාරයේ ගොඩනැගිල්ලක් ඉදිකොට විහාරස්ථානය වෙත පූජාකරනු ලැබීය.

සේරුවිල සරණකිත්ති නාහිමිගේ අපවත්වීමෙන් අනතුරුව ගුරුකන්ද විහාරස්ථානයේ වගකීම උන්වහන්සේගේ ගෝල ශිෂ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමි භාරගන්නා ලදී. උන්වහන්සේ විහාරයේ පිළිමවහන්සේ නමක් නිර්මාණය කිරීමට යාමේදී අන්තවාදීන් පිරිස් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය යනු කෝවිල් භූමියක් බවත් එය ඉපැරණි කෝවිලක් බවත් පවසා විහාර භූමියේ දේවාලය අත්පත්කරගෙන වැඩවාසය කරන බවත් පවසා විහාරාධිපති හිමියන් ඉවත් කිරීමට උත්සාහ දැරූහ. එහි ප්‍රතිඵලයක් වූයේ කෝවිලක් බව පවසමින් පැමිණෙන අන්තවාදී පිරිසකගෙන් තම විහාර භූමිය බේරාගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට උන්වහන්සේට සිදුවීමය.

2019 සැප්තැම්බර් මස මේධාලංකාරකිත්ති මා හිමියන් අපවත් වීම සමඟ කෝවිලේ පූජක වරුන් උසාවියට ඇපෑලක් ඉතිරි ඉදිරිපත් කරමින් මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහනය ගුරුකන්ද විහාරය තුළ කිරීමට එරෙහි තහනම් නියෝගයක් ලබා ලබාගත්හ.

එම අවස්තාවේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි මෙම භුමිය පිළිබඳව මෙසේ අදහස් දක්වා තිබේ;

මුලතිව් නයාරු ගුරුකන්ද කියන්නේ අක්කර 93ක පූජා භූමියක්. සුදු අධිරාජ්‍යවාදී සමයේදී ඔවුන් මේ භූමිය වෙන්කර සිතියම් ගතකර තිබෙනවා. යුද්ධය නිසා මේ භූමිය අත්හැරිලා තිබුණේ. දෙමළ භාෂාවෙන් කොට්ටාරම්පත්තුව කියලා මේ ප්‍රදේශය හඳුන්වනවා. ඒකෙ තේරුම කෝටියක් ආරාම තිබූ භූමියක් කියන එකයි. 2007 දී පමණ මේ භූමියට ගිය කොළඹ මේධාලංකාරකිත්ති හාමුදුරුවන්ගේ හිතවත් හිමිනමක් මේ ස්ථානය සුද්ධ පවිත්‍ර කර විහාරයක් පිහිටුවනවා. උන්වහන්සේ අපවත් වුණාට පසුව මේධාලංකාරකිත්ති හාමුදුරුවෝ එම විහාරය භාරගෙන පන්සලක් විදිහට ලියාපදිංචි කර තිබෙනවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මේ භූමිය තහවුරු කොට තිබෙනවා.

මේ හාමුදුරුවෝ ජීවිතයේ වැඩි කාලයක් කැපකළේ ගුරුකන්ද පුරාවිද්‍යා භූමිය ආරක්ෂා කිරීමටයි. දානේ වේලක් නැතුව අහළ පහළ දමිළ ජනතාවටත් උදව් උපකාර කරගෙනයි මේ හාමුදුරුවෝ හිටියේ. කිසිම දවසක මෙතන කෝවිලක් තිබිලා නෑ. වෙනත් ස්ථානයක තිබුණු පුල්ලෙයාර් දෙවියන්ගේ ප්‍රතිමාවක් හාමුදුරුවෝ මේ ස්ථානයට ගෙනැවිත් තැන්පත් කර තිබෙනවා. දෙමළ බෙදුම්වාදීන්ගේ ජාතිවාදී අරමුණු මුදුන්පත් කරගන්නට මේ හරහා පිරිසක් උත්සාහ කරනවා. ආගමික කාරණයක් කියන්නේ බොහොම සංවේදී දෙයක්. නූගත් දමිළ ජනතාව රැවටීම සඳහා ප්‍රදේශයේ දමිළ ජනතාව නියෝජනය කරන දේශපාලනඥයන් මේක අවස්ථාවක් කරගෙන තිබෙනවා. මේක සත්‍ය වසන් කළ අධිකරණය නොමඟ යැවූ කඩාකප්පල්කාරී සිදුවීමක්. බෙදුම්වාදී දේශපාලන න්‍යායපත්‍රයට අවශ්‍ය දෙයක් තමයි ඉෂ්ඨ කළේ. මේ හාමුදුරුවන්ගේ නිත්‍ය පන්සල ගුරුකන්ද. ලංකාවේ හාමුදුරු නමක් අපවත් වුවහොත් තමා වැඩ සිටි පන්සලේ ආදාහන කටයුතු කිරීම රටේ සංස්කෘතිය.

හාමුදුරුවෝ මැදිහත් වෙලා පන්සල් බිමට ගෙනාපු දේව ප්‍රතිමාව වටේට එකතු වූ පිරිසක් තමයි විරෝධය කළේ. පොලිස් පැමිණිල්ල අනුව දෙපාර්ශ්වය කැඳවලාවත් නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර දීලා තිබුණා එක ස්ථානයක ආදාහනය කිරීමට. නමුත් අධික වර්ෂාව නිසා රැස්ව සිටි සංඝ සභාව හා දායක සභාව තීරණය කරලා තිබුණා ඉක්මණින් ආදාහනය කිරීමට. අපි මේ ප්‍රශ්නේදී රටවැසියන්ට කියන්න අවශ්‍යයි මේක දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලනඥයන් පිරිසකගේ උසිගැන්වීමට කළ විරෝධයක් බව. එහෙම නැතුව සිංහල දෙමළ මහජනතාව අතර ගැටුමක් නෑ.

ඒ අතර ගුරුකන්ද විහාරස්ථ දායක සභාවේ ලේකම් මානෙල් කරැණාරත්න මෙම විහාරස්ථානයේ අතීතය පිළිබඳව මෙසේ පවසනවා;

ක්‍රි.පූ. 4 වැනි සියවසේ තරම් ඉතිහාසයක් මේ පුණ්‍ය භූමියට තිබෙන බව මහා වංශයේ සඳහන් වෙනවා. “පදවි අසභ” කියන සෙල්ලිපියේත් මේ පිළිබඳව කරුණු සඳහන් වෙනවා. 1832 වසරේ මුද්‍රිත සිලෝන් සර්වේයර් සිතියම අප සතු වෙනවා. එයට අනුව මේ බිම Red Hill (රෙඩ් හිල්) නමින් හඳුන්වනවා. රතු පස් තියෙන නිසා තමයි එහෙම නම් කරලා තියෙන්නේ. ඉස්සර “නකනගර” කියලා මෙතන හඳුන්වලා තියෙනවා. නාග නගරය කියන නම එහෙම උච්ඡාරණය කර තිබෙන්නේ. පසුකලෙක නයාරු වශයෙන් හඳුන්වා තිබෙනවා. 1899 ලංකා සිතියමේ මේ භූමිය විහාරයක් විදිහට දක්වා තිබෙනවා. එම නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රජය පාර්ශ්වයෙන් කියනවා මෙතන පුරාණ පන්සලක නටබුන් තිබෙන බව. ඒක අපට ඔප්පු කරන්න පුළුවන්.

නමුත් කිසිම තැනක හින්දු කෝවිලක් තිබෙන බවට සඳහනක් නෑ. යුද්ධය අවසන් සමයේ හමුදාව මගින් මේ පන්සල සංවර්ධනය කරලා තිබෙනවා. හැමෝගේම ආගමික විශ්වාසය මත ඔවුන් තමයි මෙතන දේවාලයක් හදලා තියෙන්නෙත්. ඒකට හාමුදුරුවෝ මැදිහත් වෙලා තිබෙනවා. මේ තොරතුරු එතන තිබෙන සමරු ඵලකයේ තිබෙනවා. බුදුමැඳුර හා දේවාලයේ වහළ එකිනෙක ගැටෙනවා. පුල්ලෙයාර් දෙවියෝ සිංහල හින්දු හැමෝම අදහනවා. 2018 තෛපොංගල් දිනයෙන් පසුව තමයි ගැටලුවක් මතුවෙන්නේ. යුද්ධය නිසා අධ්‍යාපනය කඩාකප්පල් වූ දරුවෝ ඉන්නවා. ජාති භේදයෙන් තොරව අපි හාමුදුරුවෝ සමග එකතුවෙලා ඔවුන්ට ඉගැන්වීමට කටයුතු කළා. භාණ්ඩ හා ආහාර පවා දුන්නා. මෙහෙම තියෙද්දී ද්‍රවිඩ දේශපාලනඥයන් දරුවන්ට හා පවුල්වලට කියලා තිබෙනවා පන්සලෙන් ගත්තු හැමදේම නැවත ලබාදෙන්න කියලා. ඔවුන්ට අවශ්‍ය ජාතිවාදය ඇවිස්සීමයි. සිංහල දෙමළ ජනතාවට ගැටලු නැහැ. එහෙම ගැටුමක් හදන්න දේශපාලකයන් උත්සාහ කරනවා. ඒක ඔවුන්ගේ පැවැත්ම.

ප්‍රසිද්ධ දේශපාලනඥන් මෙතැනට ආවා. ප්‍රාදේශීය සභාවේ අයත් ආවා. ප්‍රසිද්ධ අය විතරයි අපි රූපෙන් අඳුනන්නේ. පන්සලේ තියෙන දේව රුපයට වඳින්න හින්දු භක්තිකයන්ට එන්න එපා කියලා නෑ. ගිය වසරේ තෛපොංගල් දවසේ මුල්ගලක් තිබ්බා දේවාලය සංවර්ධනය කිරීමට. ඊට පස්සේ තමයි ආක්‍රමණය කරන්න උත්සාහ කළේ. බෞද්ධ අපි ඒ අයගේ භූමිය අල්ලාගෙන ඉන්නවා කියලා.

මෙසේ ජාතිවාදීන්ගෙන් බැටකන මුලතිවු ගුරුකන්ද රජමහා විහාරයේ ස්වාමීන් වහන්සේලා මෙම පුරාවිද්‍යා භූමිය රැකගැනීමට දරන උත්හාසය ශ්‍රී ලාංකික සියල්ල අගය කල යුතු අතර මුලතිව් ප්‍රදේශයට ඔබ යනවානම් අනිවාර්යයෙන් යායුතු ස්ථානයක් ලෙස මතක තබා ගත යුතුයි.

මුලත්වූ නගරයේ සිට කෝකිලායි දෙසට කිලෝමීටර 18ක් පමණ ගමන් කිරීමේදී නයාරු දියමංකඩ හමුවේ. මෙම දියමංකඩ පසුකොට මීටර 500ක් පමණ ගමන් ගත් විට මාර්ගයේ දකුණු දිශාවට මෙම පුරාණ විහාරය හමුවේ.

මූලාශ්‍ර :

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, පි120-122
  • Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].
  • ප්‍රදීප් විල්තෙර, ස. and චතුරංග, ස., 2019. ගුරුකන්ද විහාර භූමියේ අරගලය. [online] දේශය. Available at: <http://www.deshaya.lk/article/43/features/13196/ගුරුකන්ද-විහාර-භූමියේ-අරගලය> [Accessed 18 October 2020].
  • colombotoday.com. 2019. මුලතිව් ගුරුකන්ද විහාරය වසර 2000 කට වඩා පැරණි බෞද්ධ නටබුන් සහිත භූමියක් – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් උසාවියේදී කියයි. [online] Available at: <http://www.colombotoday.com/මුලතිව්-ගුරුකන්ද-විහාරය-2/> [Accessed 18 October 2020].

සම්බන්ධ වෙනත් පිටු

මුලතිවු ගුරුකන්ද රජමහා විහාරය සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මුලතිවු ගුරුකන්ද රජමහා විහාරය රියදුරු දිශාවන්

මුලතිවු සිට ගුරුකන්ද රජමහා විහාරය දක්වා
හරහා : කෝකිලායි පාර
මුළු දුර : කිලෝමීටර් 19
ගතවන කාලය : විනාඩි 20
ගත කිරිය යුතු කාලය : විනාඩි 20-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com