අනුරාධපුර මිහින්තලේ මහකනදරා වැව

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (25 votes, average: 4.12 out of 5)
Loading...
Sunset over Mahakandara Wewa
Sunset over Mahakandara Wewa
photo by Suranga’s Photo Collection – InstagramSriLanka licensed under CC BY 2.0
By Ms. Badra Kamaladasa (Former Director General of Department of Irrigation)
By Ms. Badra Kamaladasa (Former Director General of Department of Irrigation)

මිහින්තලා ගල් පර්වතයේ සිට නෙත් යොමු කලවිට හාත්පසින් පෙනෙන විශාල වැව් සංඛ්‍යාව අතරින් ඊසාන දෙසට නෙත් යොමුකළ විට පෙනෙන චමත්කාර දර්ශනයක් මවන මහකන්දරා වැව ලංකාවේ සතර දිග් භාගයේ පිහිටි වෙනත් වාරි කර්මාන්ත මෙන්ම අතීත උරුමයකට හිමිකම් දරයි. වැව් කණ්ඩියේ සිට මහියංගන චෛත්‍ය දර්ශනය වන ආකාරයද කෙනෙකුගේ සිත් පහන් හැඟුමෙන් උද්දීපනය කිරීමට සමත්ය.

මහා වංශයට අනුව කනුවාපි, කනවාපි, කනවාරි හෝ කනදියදොර ලෙස වරින්වර හැඳින්වූ මහකන්දරාව පිලිබඳ සටහන්ව ඇත්තේ 3 වන ශත වර්ෂයේ මහසෙන් රජසමයේ සිදුකල වාරි කර්මාන්තයක් ලෙසය. මහකන්දරාව වැව දෙබෑ කරමින් අනුරාධපුර සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ ගමන් ගන්නා කෙනෙකුට මාර්ගය දෙපසම පෙනෙන ජෛව විවිධත්වයෙන් අනුන පරිසර පද්ධතිය රස විදීමට ලැබීම දුලබ අත්දැකීමකි. ජලාශ මැදින් දිවෙන මහා මාර්ග ලංකාවේ ඇත්තේ කිහිපයක් බැවින් එම අත්දැකීම ලබා ගැනීමට මහකනදරාව ජලාශයේ ජල මට්ටම තරමක ඉහලින් තිබිය යුතුය.

12වන ශත වර්ෂයේ ටැම් ලිපියකට අනුව මහකනදරාව බැම්මේ දිග රියන් 1600 ක් ලෙස දක්වන බවද, මිහින්තලාව අසල පිහිටි, දැනට බුලන්කුලම ලෙසද අතීතයේ මහින්ද වැව ලෙස හැදින්වූ කුඩා වැව මහින්ද හිමිගේ පිලිරුවකට උපහාර පිණිස සිදුකල උත්සවක් හේතුවෙන් විශේෂිත වැදගත් කමක් ඉසිලු බවද, පැරණි වාරිමාර්ග ක්‍රම පිලිබඳ ලංකා රාජකීය ආසියාතික සංගමයේ වෙළුමක සී ඩබ් නිකලස් මහතා පෙන්වා දෙයි.

වාරිමාර්ග හා මිනුම්දෝරු දෙපාර්තමේන්තු මගින් පිළියෙළ කල සිතියම් හා සැලසුම් පත් පරීක්ශාවේදී පෙනී යන්නේ වර්ග කි මී 320 කට ආසන්න මහකනදරාව පෝෂිත ප්‍රදේශයෙහි ක්‍රියාත්මක හා අත් හැර දැමූ කුඩා වැව් 300 කට අධික ප්‍රමාණයක් ඇති බවයි.

1859 දී වයඹ හා උතුරු මැද පළාත් සංචාරයකින් පසු සටහන් ඉදිරිපත් කරන ආණ්ඩුකාර වෝඩ් මහතා මිහින්තලාව කඳු මුදුනේ සිට අවට නැරඹු කල දිවයිනේ විශාල ප්‍රදේශයක් ආවරණය වන බවද එහි ඇති චමත්කාරක බව නිසා දෙවන වරකටත් නැවත එහි යාමට පොළඹවන් බවත් සඳහන් කරයි. වෝඩ් මහතාගේ සංචාර සටහන් තුල සාමාන්‍යයෙන් වැඩියෙන්ම සඳහන් වන්නේ වාරිමාර්ග පද්ධති පිලිබඳ වුවද, මිහින්තලේ ප්‍රදෙශයේ පමණක් නොව අනුරාධපුර අවට සංචාරයේ සටහන් වල කිසිදු සටහනක් නොමැති වීමට හේතුව එවකට එම පෙදෙස් ජන ශුන්‍ය වීමත්, වාරි පද්ධති කිසිත් ක්‍රියාත්මක නොවීමත්ය.

1934 දී ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ ඉපැරණි වාරිමාර්ග ග්‍රන්ථයේ ‘මල්වතු ඔයෙහි දිය බැස්ම’ යන මාතෘකාව ඔස්සේ තොරතුරු සඳහන් කරන ආර් එල් බ්‍රෝහියර් මහතා සඳහන් කරන්නේ;

“මල්වතු ඔය හරහා බැම්මක් හෙවත් අමුණක් බැඳීමෙන් මෙම ඇළෙන් බැස යන දිය දහර එක්කොට ඒරු වැවට පමුණුවන ලදී. මෙම වැවේ වාන මගින් ඇළ , උතුරු දෙසට ගෙන ගොස් මිනින්තලේ අසල පාලුවට හැර තිබෙන විශාල වැවක් වූ මහකනදරා වැවට හෙලා තිබේ. යොද ඇලේ මුළු දිග ප්‍රමාණය හැතැප්ම 45 ක් වේ යයි සාමාන්‍ය වශයෙන් කියන්නට් පුළුවන. එය දිය බැස්ම කිහිපයක් පසුකරගෙන ගොස් දුරු කතර පිහිටි මිටියාවතකට ජලය සැපයු බව පෙන්වන ලදී.

මහකන්දරා වැව කැඩී ගොස් මිහින්තලේට හැතැප්ම හයක් සහ ත්‍රිකුණාමල පාරට හැතැප්ම හතරක් දුරින් වන මැද පිහිටා තිබේ. තවම හොදින් තිබෙන කදිම පුරාන ගල් පැන්නුමක් (ගැල්වාන) ඒවා සාදන අන්දම පෙන්වා දෙයි. ඊට ඉහලින් තිබෙන තවත් පුරන වැවක එමෙන්ම පුරන කම්කරුවන්ගේ දක්ෂකම් සිහිපත් කරන -මේ වනතුරු දැනගෙන තිබෙන ලංකාවේ ඉතාම හොඳ නිදර්ශනයක් වූ පළමු පන්තියේ කර්මාන්තයක් ලෙස ගිනිනු ලබන පරණ කළුගල් පාලමක් සංගිලි කන්දරාවේ දිය දොරටුවට යාර තුන්සීයකට පහතින් පිහිටා තිබේ. එය සිරස අඩි 11 කුත් අඟල් 6 පටන් අඩි 6 කුත් අඟල් 9 ක් දක්වාත් පළල ඇති බෝක්කු 10 කින් යුක්තය. උපස්තම්භක බැමි මිට අඩංගු නැත. මින් නොනැසී තිබෙන්නේ කෙලවර බෝක්කුව හා තවත් එකක් පමණි” යයි බෙල් මහතා කියන්නේය.”

මහකන්දරාව වැව පිලිබඳ ඉතිහාස ගත කරුණු සෙවීමේදී මග නොහැරෙන විශේෂිත කරුණක් වන්නේ කන්දරා ඔය හරහා ඉඳි කර තිබු ඉපැරණි ගල් පාලමයි. එය මහකන්දරා වැව ක්‍රියාත්මක වන අවදිවලදී පිට වාන හරහා ගලා යන ජල කඳ තරණය කරන්නට යොදා ගන්නට ඇති බව උපකල්පනය කල හැක. අතීත ශ්‍රී ලංකාවේ මහා මාර්ග පිලිබඳ අගනා කරුණු සමුදායක් ගෙන හැර දක්වන ආචාර්ය පී විදානපතිරණ මැතිණිය මෙම ගල් පාලම පිලිබඳ සටහන් යොදා ඇත. ගෝකනතිත්ත වරායේ සිට අනුරාධපුර නැගෙනහිර ගේට්ටුව යා කල මහා මාර්ගය මෙම පාලම මතින් තිබෙන්නට ඇති බවට එමගින් ඉඟි සැපයේ.

12 වන ශත වර්ෂයෙන් පසුව අබලන් වී කඩා බිදී යාම නිසා හෝ අත්හැර දමා තිබු ජලාශ ප්‍රතිස්ථාපනය කිරීම 19 වන ශත වර්ෂයේ මද භාගයේ ආරම්භ විය. රජයේ ප්‍රතිපාදන යොදමින් විශාල ජලාශ ප්‍රතිස්ථාපනය වඩාත් වේගවත් වුයේ 1930 දශකයෙන් පසුවය. කාර්යක්ෂම මිනුම් ක්‍රම හා ඉදිකිරිම සඳහා යන්ත්‍රෝපකරණ යොදා ගැනීමට හැකිවූ හෙයින් 1940 හා 1950 දශක වලදී වාරිමාර්ග ප්‍රතිස්ථාපනය සීග්‍ර ප්‍රගතියක් අත්කර ගෙන තිබිණ. මහකන්දරාව වැව ප්‍රතිසංස්කරණය ඇරඹුණේ එම ප්‍රබෝධමත් කාලය තුලයි. මහකන්දරව වැව ප්‍රතිස්ථාපනය කිරීමේදී 1958-1961 කාලය තුල නේවාසික ඉංජිනේරු ලෙස සේවය කල D V A සේනාරත්න මහතා ඔහුගේ අත්දැකීම් සමුදායක් වාරිමාර්ග සියවස් සමරු කලාපයට අපූර්ව ලෙස ඉදිරිපත් කර ඇත.

එම්. ඒ. බ්ලොක් යන නිලධාරියා විසින් මෙම වැව ප්‍රතිස්ථාපනය සඳහා වූ මුල් අඩිතාලම වන පැරණි වැව් බැම්ම එලි පෙහෙළි කිරීම හා ඉදි කිරීම් සඳහා කුඩාරම් සකස් කිරීම සිදුකළ බව ඔහු සඳහන් කරයි. 1958-1961 කාලය තුල සිදුකළ මහකන්දරාව වැව ප්‍රතිස්තාපනයට ඇතුලත් වූ මුලික අංග වුයේ සැතපුම් 2ක් වූ ප්‍රවේශ මාර්ගය , නව සොරොව් දෙකක්, අඩි 600 ක් දික්වූ ස්වභාවික ගල්තලාවේ පිහිටි පිටවාන හා අඩි 320ක් දික්වූ අරිය ගේට්ටු සවි කිරීමට හැකිවනපරිදි සැලසුම් කල කොන්ක්‍රීට් පිටවාන ඉදි කිරීමට අමතරව අඩි 40ක් පළලින් යුක්ත වූ බැම්මේ කඩාකඩුව පිරවීමයි.

එවකටද ඝන කැලෑවෙන් වැසි තුබූ වැව් බැම්මේ දකුණු ඉවුරු කොනෙහි තිබු ඉපැරණි පිට වාන ආශ්‍රිතව සිදුකල භූ විද්‍යා සමීක්ෂණ පාදක කොටගෙන නව තාක්ෂනය අනුව සැලසුම් කල කොන්ක්‍රීට් පිටවාන සඳහා සුදුසු ව්‍යුහාත්මක සැලසුම පිළියෙළ කල අයුරු ඔහු විස්තර කරයි.

මහසෙන් රජතුමා ලංකාවේ පළමු අන්තර් ද්‍රෝණි ඇළ ලෙස සැලකෙන නාලන්දා ඔය සිට දඹුලු ඔය හා මිරිස්ගෝනියාව හරහා මල්වතු ඔය දක්වා ජලය ගෙන යාමට දිවෙන ඇළ ඉදිකිරීමට නායකත්වය දුන් අතර පුලියන්කුලම උස්බිමෙහි නැගෙනහිරින් පිහිටි ඒරු වැව නමින් හැදින්වූ වැවෙන් කනදරාව වැවට ජලය ගෙන ගොස් ඇති බව සටහන් කරයි. කන්දරා වැව පළමු සේන රජතුමා විසින් ක්‍රි ව 857 දීද, දෙවන සේන රජතුමා විසින් ක්‍රි ව 866-901 කාල වකවානුවේදීද ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකල බවට මහාවංශය ඇතුළු පැරණි ආශ්‍රිත ග්‍රන්ථ පෙන්වා දෙන බව එතුමා සඳහන් කරයි.

මල්වතු ඔය, කන්දරා උප ද්‍රෝනියෙහි ඉදිකර ඇති ප්‍රතිස්ථාපනය කල වත්මන් මහකනදරාව වැවෙහි දැනට ධාරිතාවය අක්කර අඩි 36,250 කි. පරි සැපයුම් මට්ටමේදී අක්කර 3600 ක් වසා ජල කඳ විහිදී යයි. බැම්මේ දිග සැතපුම් 2.25 ක් වන අතර අක්කර 7000 ක වාරි පහසුකම් සලසයි. ඒ සඳහා සැතපුම් 13 ක් දිග වම් ඇළ හා සැතපුම් 11.3 ක් වූ දකුණු ඇළ සමගින් සැතපුම් 110ක් පමණ දිගින් යුත් බෙදුම් හා කෙත් ඇළ පද්දතියක් ස්ථාපනය කොට ඇත.

මුල් ප්‍රතිස්ථාපන සැලසුම් වලදී සියලු ගොවිබිම් මහා කන්නයේ පමණක් වගා කර, සීමිත ඉඩම් ප්‍රමාණයක් පමණක් යල කන්නයේ වගා කිරීමට කටයුතු කලද කාලය ඉක්මයාමේදී ගොවීන්ගේ අවශ්‍යතාවන් අනුව වැඩි බිම් ප්‍රමාණයක් සඳහා ජලය නිකුත් කිරීමට සිදුවේ. ඒ අනුව මහකන්දරාව වැව නිතර ජල හිඟයෙන් පීඩා විඳින වාරිමාර්ගයක් ලෙස හඳුනා ගෙන ඇත. මේ හේතුව නිසාම නාච්ච්දුවට ඉහලින් පිහිටි ඒරු වැව සිට ඉදි කර තිබු ඉපැරණි යෝධ ඇළ ප්‍රතිස්ථාපනය කිරීමට 1990 දශකයේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව උත්සාහ කලද, ප්‍රතිපාදන හිග වීම හේතුවෙන් එම කාර්ය නිම කිරීමට නොහැකි විය.

නමුත් දැනට ඉදිකිරීම් සිදු කෙරෙන උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යයාපාරය යටතේ ඒරු වැවට හරවා එවන ජලය ඉහත සඳහන් කල යෝධ ඇළ හරහා මහකන්දරාව වැවට ලඟා වනු ඇත.

සේනාරත්න මහතා තමාගේ ලිපිය අවසන් කර ඇත්තේ ඉදිකිරීම් කරන කාලය තුල සිදුවූ කරුණක් සටහන් කරමිනි.

1959 සැප්තැම්බර් මස 14 වන දින එවකට අගමැති වූ එස් ඩබ්. ආර් ඩී බණ්ඩාරනායක මහතා කඩාඩුව ප්‍රතිස්ථාපනය කිරීම සඳහා පැමිණි අයුරුත් එහිදී සිදුවූ කරුණු කිහිපයක මතකයත් පහත අයුරින් සටහන් කොට ඇත.

“ගරු අගමැති තුමා ඇතුල්වීමේ ගේට්ටුව අසලදී මල්මාලාවක් දමා පිළිගන්න ලදී. උත්සව කටයුතු වලට වැඩි කාලයක් ගත නොකොට පොල්තෙල් පහන දල්වා රැස්ව සිටි ජනතාව හා නිලධාරින් ඇමතීම සඳහා බැම්මේ කඩාඩුව වෙත යාම ඔහුගේ එකම අභිලාශය විය. ඔහු රැගෙන යාමට සුදානම් කල රථය පැදවීම මට භාර වූ අතර අමාත්‍ය මෛත්‍රිපාල සේනානායක, නිස්සංක විජේරත්න, වාරිමාර්ග අධ්‍යක්ෂක සිල්වා ගුණසේකර හා තවත් දෙදෙනෙක් ජීප් රථයේ ගමන් කළහ.

ක්‍රි ව 3 ශතකයේ බිසොකොටුවක ආකෘතියක් මෙම උත්සවයේදී ප්‍රදර්ශනය කිරීමට සුදානම් කොට වම් ඉවුරු සොරොව්ව අසල ස්ථාපනය කොට තිබිණ. පැරණි බිසෝ කොටුවේ ඉතිරිවී තිබූ ගල් අධාරයෙන් ඉතා වෙහෙස මහන්සිවී බැම්මෙහි යටි බෑවුමෙහි මා එකලස් කල මෙම ප්‍රදර්ශන ආකෘතිය අගමැති තුමාට පෙන්වීමට තිබු දැඩි උවමනාව නිසාම එම ස්ථානය අසල ජීප් රථය නැවැත්වූ මම ඉපැරණි බිසොකොටුවේ ආකෘතිය දැක බලා ගැනීමට කැමතිදැයි විමසීමි. ඉතා මෘදු ස්වරයෙන් මා කන අසලට ලංවී ඔහු කිවූවේ, ” තරුණ ගැටයෝ, වැලලුණු අතීතයට වැලලෙන්නට ඉඩදී අපි දහවල් කෑම සඳහා යමු” යන්නයි. සති අන්තයේ උතුරු මැද පළාතේ නිරාහාරවම සිදුකල ඉතාම තෙහෙට්ටු ක්ෂේත්‍ර පරීක්ෂාවකින් පසුව අපර භාග 1.30 ට පමණ පිටවූ ඒ වදන් තම දරා ගැනීමේ හැකියාව පෙන්වීමට සිදු කල ප්‍රකාශයක් බව මම තේරුම් ගතිමි. කෙසේ වෙතත් දුරදර්ශි මෙම නායකයාගේ එම ප්‍රකාශය අර්ථ දැක්වීම මම පාථකයාට භාර කරමි.

එකල දෙපාර්තමේන්තුව අනුගමනය කල සම්ප්‍රදායන් අනුව අගමැති තුමාට සිදු කල හැකි උපරිම ගෞරවෙන් සංග්‍රහ කටයුතු සිදු කලෙමි. ඊට දින දොළහකට පසුව මෙම උදාර නායකයා ඝාතනය වූ අතර, මෙම උත්සවය ඔහු එකල සහභාගී වූ එක් අවසන් උත්සවයක් විය. කෙසේ වෙතත් තරුණ නිලධාරින් ලෙස අතීතය කරපින්නා නොගෙන අනාගතය ගැන අවධානය යොමු කර රටට සේවය කරන ලෙස ඔහු දුන් අවවාදය මට තදින් සිතට කා වැදිණි. “

සේනාරත්න මහතා තවත් මතකයක් පිලිබඳ ලියා ඇති සටහනක්ද මෙහි දක්වමි.

“පැය 12ක වෙහෙසබර වැඩ මුරයකට පසුව වැඩ නිම කර අපි සැවොම විවේකයක් ගැනීමට ගියෙමු. පැය දොළහක් තුල කියුබික් මීටර් 200 කට වඩා පස් වැඩ කර වෙහෙසට පත්ව සිටි යන්ත්‍ර ක්‍රියාකරුවෙකු මධ්‍යම රාත්‍රිය ආසන්න වනවිට රාත්‍රී ආහාර ගෙන ශරීර කෘතියකට කඳවුරෙහි නුදුරුවම එලිපහලියට ගොස් ඇත. සුළු මොහොතකින් හිත කීරිගැසෙන හඬක් නඟාගෙන කදවුරට නැවත දිව ආ ඔහු අවට සියළු කුඩාරම් වල සිටි සියල්ලන්ම අවදිවන අන්දමින් කෑ කෝ ගසමින් බිත්ති දිගේ ඉහලට යාම වැනි අසාමාන්‍ය ක්‍රියාවන් වල යෙදෙමින් සිටින බව කාර්මික නිලධාරි තැන මාවෙත එවෙලේම සැලකර සිටියේය. ලඟම ගම්මානයකින් කට්ටඩියෙකු කැඳවා ගෙන එන ලෙස ඔහුට මා උපදෙස් දුනිමි. ඒ අනුව ක්‍රියා කල ඔහු, කැඳවා ගෙන ආ කට්ටඩියා උදය 3 පමණ වනතෙක් වත් පිලිවත් කල පසු බිත්ති දිගේ ඉහලටම යාමට වෙර දරන ආතුරයා තරමක පාලනයකට නතු කිරීමට සමත් වී ඇත.

එහිදී ආතුරයා පවසා ඇත් තේ තමන් කඩවර දෙවියන්ගේ අවතාරය බවත්, තමන්ගේ ‘වාහනය’ වූ හරකා මරා දැමීම නිසා මෙම ආවේශය සිදුවූ බවත්ය. වැඩ පලෙහි ‘ලොක්කා’ ද තමන් වෙත පමුණවන ලෙස දිෂ්ටිය දැනුම් දුන් බව පවසා මාද එහි කැඳවා යාමට කිහිප දෙනෙක් පැමිණියද අධික තෙහෙට්ටුව නිසා මම එහි නොගියෙමි. “වාහනය” මරා දැමීමේ අතපසුවීම පිලිබඳ සමාව ඉල්වා එය බේරුම් කර ගැනීමට ගත් උත්සාහය ඉතා දිගු විය. උදෑසන වනවිට යන්ත්‍රක්‍රියාකරුට පියවි සිහිය ලබා ගත් පසු දැනගැනීමට ලැබුනේ පෙරදින තමන්ගේ ආහාරය සඳහා සාමාන්‍යයෙන් අනුරාධපුරයෙන් ලබා ගන්නා මස් එදින නොලැබුන බැවින්, අසල කැලෑවේ සිටි හරකෙකු ඔවුන් එකතුව නෙලා ගත් බවයි. “

යන්ත්‍ර ක්‍රියාකරුගේ හෘද සාක්ෂියට එම ක්‍රියාව එකඟ නොවීම නිසා කඩවර දෙවියන් ගෙන් සමාව ඉල්වීමට ඔහු පෙලබෙන්න්ට ඇත. ගැමියන් පමණක් නොව වාරිකර්මාන්තයේ යෙදී සිටින බොහෝ අයද මෙවැනි විශ්වාස වල එල්බ සිටිනුයේ ශ්‍රී ලාංකික සංස්කෘතියේ පිළිඹුවක් ලෙසයි.

සම්බන්ධ වෙනත් පිටු

මහකනදරාව වැව සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මහකනදරාව වැව ගමන් මාර්ගය

කොළඹ සිට ප්‍රධාන මාර්ග කිහිපයක් ඔස්සේ අනුරාධපුරයට ලඟා විය හැකිය. නමුත් ප්‍රධාන මාර්ග දෙක ඇත්තේ කුරුණෑගල හා පුත්තලම (පුත්තලම) හරහා ය. පුත්තලම හරහා මාර්ගයේ ගමන් කරන විට වන ලැහැබින් වටවූ දර්ශනීය විල්පත්තු ප්‍රදේශය පසුවේ. කුරුණෑගල සිට අනුරාධපුරයට ප්‍රධාන මාර්ග දෙකක් ඇත. වඩාත් ජනප්‍රිය මාර්ගය දඹුල්ල හරහා ය. අනෙක් මාර්ගය ගල්ගමුව හරහාය. සියලුම මාර්ග වලින් බහුලව භාවිතා වන්නේ කුරුණෑගල – දඹුල්ල මාර්ගය (2 වන මාර්ගය) යි.

කොළඹ සිට අනුරාධපුරයට – මාර්ගය 01කොළඹ සිට අනුරාධපුරයට – මාර්ගය 02
හරහා : මීගමුව – හලාවත – පුත්තලම
කොළඹ සිට දුර : කිලෝමීටර 213
ගමන් කාලය : පැය 3 යි
ගමන් දිශාවන් : මෙතනින් ගූගල් සිතියමේ බලන්න
හරහා: අඹේපුස්ස – කුරුණෑගල – දඹුල්ල
කොළඹ සිට දුර : කිලෝමීටර 221
ගමන් කාලය : පැය 3.15 යි
ගමන් කාලය : මෙතනින් ගූගල් සිතියමේ බලන්න
කොළඹ සිට අනුරාධපුරයට – මාර්ගය 03මහනුවර සිට අනුරාධපුරයට
හරහා: අඹේපුස්ස – කුරුණෑගල – පාදෙණිය – තඹුත්තේගම
දුර : කිලෝමීටර 213
ගමන් කාලය : පැය 3 යි
ගමන් දිශාවන් :> මෙතනින් ගූගල් සිතියමේ බලන්න
හරහා: කටුගස්තොට – මාතලේ – දඹුල්ල
දුර : කිලෝමීටර 139
ගමන් කාලය : පැය 2 යි
ගමන් දිශාවන් : > මෙතනින් ගූගල් සිතියමේ බලන්න
අනුරාධපුර සිට මහකනදරාව වැව දක්වා මාර්ගය
හරහා : පුත්තලම – අනුරාධපුර
දුර : 30 km
ගමන් කාලය: විනාඩි 20 යි
ධාවන උපදෙස් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply