දොහොත් මුදුන් තබා වැන්ද නාගලකන්ද පුද බිම (Nagalakanda Mahasen Monastery)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 5.00 out of 5)
Loading...

මින්නේරිය වැව සහ එහි දියවරින් රැකෙන මහා ගොවි ජනපදය පිළිබඳව බොහෝදෙනා දනිති. මින්නේරිය වැව කරවූ මහසෙන් මහ රජු හෙවත් පසු කලෙක හැඳින්වෙන මින්නේරි දෙවියන් තරමට එය ප්‍රකටය. එහෙත් මින්නේරියේ වැව පාමුල පිහිටි සිත නිවන මහා පින්බිම “නාගලකන්ද” පිළිබඳව අප රටේ බෞද්ධ ජනතාව තුළ වුවද එතරම් දැනීමක්‌ හෝ වැටහීමක්‌ ඇතැයි මම නොසිතමි.මිණිහිරි වාපියේ වෑදිය නිල්ල පිසගෙන එන සිහිල් මදනල හා මුසුව මේ බිමෙන් සදහම් සුවඳ විහිදෙනුයේ අනාදිමත් කාලයක පටන්ය. තුරුවදුලින් වැසීගත් මනස්‌කාන්ත සුන්දර පරිසරයේ මොහොතකට වුව සමාධිගත වන්නට හැකිනම් එම ආගමික මෙහෙවර අදටද අඛණ්‌ඩව සිදුවන බැව් ඉඳුරාම පසක්‌ වෙයි.

සියවස්‌ ගණනකට පෙරාතුවද මෙහි විසූ මහීපාලයන්, නරපතීන් මෙහි දෙපා රැඳවූ බවට සැකයක්‌ නැත.

පොළොන්නරුව පුරා විදු උරුමයන් අතර මින්නේරියේ නාගලකන්දටද හිමිවනුයේ මුල්තැනෙකි. පුළුල් පරාසයක්‌ පුරා විසිරී විහිදී පවතිනුයේ බෞද්ධ විහාර ආරාම සංකීර්ණයක අවශේෂයන්ය. කිනම් රාජ සමයෙක, කවුරුන් විසින් කරවූයේද යන්න නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැතත් නාගලකන්ද පුරා විදු බිම මෙරට පුරා විද්‍යාඥයන්ගේ අවධානයට යොමුව ඇත්තේ බොහෝ කාලයක පටන්ය.

මෙහි ශේෂව පවතින ආගමික ගොඩනැඟිලි, බුද්ධ ප්‍රතිමා ආදිය දෙස විමසුම් ඇසින් බලන ඇතැම් පුරා විදු දැනුමැත්තන්ගේ මතය වී ඇත්තේ මෙය අනුරාධපුර යුගයේ මධ්‍ය කාලයට අයත් විය හැකි බවයි. ඒ බවට අනුමාන කරන්නට තිබෙන හේතු සාධක ලෙස ඔවුන් දක්‌වන්නේ නාගලකන්දේ දැනට ශේෂව පවතින බුද්ධ ප්‍රතිමා සහ බෞද්ධාගමික ගොඩනැඟිලිවල අවශේෂයන්හි දක්‌නට තිබෙන කලාත්මක ශෛලිය සහ නිර්මාණයන් අනුවය. එහි ඉදිකිරීම්වලදී භාවිත කර තිබෙන වාස්‌තු විද්‍යා ලක්‍ෂණ බොහෝදුරට පෙර කී අනුරපුර යුගයේ මධ්‍ය කාලයට සමාන කම් දක්‌වන බවද කියති.

නාගලකන්ද පුරා විද්‍යා බිමේ ඓතිහාසික පසුබිම කුමක්‌ වුවද එය පිහිටි පරිසරයේ එකල පැවැති බෞද්ධ ආගමික දියුණුව මෙන්ම සමාජ ආර්ථික දියුණුවද කදිමට විදහා දක්‌වයි. යුනෙස්‌කෝ ශ්‍රී ලංකා සංස්‌කෘතික ත්‍රිකෝණ යෝජනා ක්‍රමය ආරම්භ වීමෙන් පසුව ඇරඹි පොළොන්නරුවේ ආළාහන පිරිවෙණ ව්‍යාපෘතිය යටතේ 2003 වසරේදී නාගලකන්ද පිළිබඳව මතුපිට පුරාවිද්‍යා ගවේෂණයක්‌ කරනු ලැබීය. එම විධිමත් පුරාවිද්‍යාත්මක ගවේෂණය තුළින් මේ බිම පිළිබඳව බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවීම විශේෂත්වයකි. එමෙන්ම එහි ඒ වන විට වැනසී සහ වනසා දමා තිබූ පුරාවිදු ස්‌මාරක රැසක්‌ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමටද හැකි විය.

පොළොන්නරුව හබරණ මහා මාර්ගයේ හබරණ පසුකර පොළොන්නරුව දෙසට පැමිණෙන විට අපට හමුවන බෞද්ධ ආගමික පුරාවස්‌තු සහිත ප්‍රබලතම භූමිය ලෙස මින්නේරියේ නාගලකන්ද හැඳින්වීම නිවැරදිය.මිණිහිරි වාපී දියවරින් පෝෂණය වී එහි දිදුළන නිල්වන් කෙත් යාය දකින විට අදටත් වඩා වැඩි සුවිසල් ජන සමාජයක උරුමය මේ බිමට තිබෙන්නට ඇති බවට සැකයක්‌ නැත.

එම ජනී ජනයාගේ සිත් සතන් තුළට බුදු දහමේ උත්තුංග උගැන්වීම් කාවද්දා නිවැරදි දිශා නීතිය දැක්‌වීමෙන් සමාජය යහ මගට යොමු කළ බවද අනුමාන කරන්නට අපට බොහෝ සාධාරණ හේතු සාධකද තිබේ. ඒ උදෙසා මේ මහා පින් බිම කොතරම් මහෝපකාරී වන්නට ඇත්දැයි අප කල්පනාවට ගත යුතුය.

ධන ධාන්‍යයෙන් පමණක්‌ නොව ආධ්‍යාත්මික ගුණ වගාවෙන්ද පොහොසත් ජන සමාජයක්‌ එදා පැවැති බවට අප ඉදිරියේ ඇති ජීවමාන සාක්‍ෂිකරුවා වන්නේද පෙරළා විමසන විට නාගලකන්ද උතුම් පුද බිමමය. එහෙත් නූතනයේ නාගලකන්ද පුරා විදු උරුමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ ජාතික උරුමයන් පිළිබඳ වගකිව යුත්තන්ගේ එතරම් අවධානයක්‌ යොමුව ඇති තැනක්‌ ලෙස පෙනෙන්නට නැත.

රටේ සෙසු පුරාවිද්‍යාත්මක වටිනාකමින් බිම් සහ බෞද්ධ ස්‌මාරකවලින් සමන්විත ස්‌ථානවලට උරුමව තිබෙන තර්ජන මෙම සුවිශේෂී පුදබිමට අත්ව තිබෙන බව කනගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව තිබේ. විශේෂයෙන්ම නිධන් හොරුන්ගේ ඇල්ම, බැල්ම නාගලකන්දට නොඅඩුව තිබෙන බව නොබෝදා අප එහි කළ නිරීක්‍ෂණ චාරිකාවේදී දැකගත හැකි විය.දැනට ශේෂව පවතින ඉපැරැණි දාගැබ සහ අනෙකුත් පරිවාර ස්‌ථූපයන් අවස්‌ථා ගණනාවක්‌ම නිධන් හොරුන්ගේ නිළ නොවන කැණීම්වලට බඳුන්වී ඇති බව මනාව පැහැදිලි වන්නකි. ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක්‌ වැඩ වසන මේ පින් බිමේ විහාරාධිපති නායක හිමියන් වන ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය එලිබිච්චියේ සීල විමල හිමියන් බැහැ දකින්නටද අපට අවස්‌ථාව ලැබිණි.

මේ වන විට 84 වන වියේ පසුවන උන්වහන්සේ නාගලකන්දේ වර්තමානයේ ඇතිවී තිබෙන ආගමික ප්‍රබෝධය උදෙසා පුරෝගාමීව කටයුතු කළ හිමියන්ය. අදින් අඩසියවසකට පමණ ඉහතදී මෙම වනගත පුදබිම වෙත නාහිමියන් වැඩම කොට ඇත්තේ සඳලංකාව, එලිබිච්චිය නම් ප්‍රදේශයේ සිටයි. ආරණ්‍යවාසී භික්‍ෂුවක්‌ ලෙස පැවිදි ජීවිතය ආරම්භ කළ නාහිමියෝ අම්පාර බුද්ධංගල ආරණ්‍යයේ සිට හිඟුරක්‌ගොඩ ප්‍රදේශයට මීට පණස්‌ වසරකට පමණ පෙර වැඩම කළ අවස්‌ථාවේ මෙම නාගලකන්ද පුද බිම ගැන අසා දැන ගන්නට ලැබුණු බව කීහ.

අනතුරුව ඊට ආසන්න කාලයේම නාගලකන්දට වැඩම කොට දායක පිංවතුන් විසින් තනාදුන් පොල් අතුවලින් කළ ආවාස ගෙයක මුලින්ම වැඩ විසූ බවද පැවැසූහ. පසු කාලයේ ක්‍රම ක්‍රමයෙන් දායක පිංවතුන්ලාගේ ධන පරිත්‍යාගයෙන් මෙහි ආවාස දන් පැන් පහසුව සඳහා ස්‌ථාන බුදු මැදුරු, භාවනා කුටි ආදිය ඉදිවී පෙර පැවැති ආගමික දියුණුව ඇති කරවීමේ වෑයමක නිරත වන බවද කීහ. ගෙවුණු කාල සීමාව මෙම ස්‌ථානයේ ඇතිවී තිබෙන දියුණුව පිළිබඳව තමන් වහන්සේ ඉතාමත් සතුටට පත් වන බව කී සීල විමල නාහිමියෝ නාගලකන්ද පුරා විද්‍යා භූමියේ පිහිටි දැනට ශේෂව පවතින ඉපැරැණි දාගැබ යළි පිළිසකර කර ගැනීම තමන්ගේ එකම බලාපොරොත්තුව බවද කීහ.මේ සඳහා දිවයිනේ විවිධ පෙදෙස්‌හි වෙසෙන දායක පිංවතුන් අවශ්‍ය මූල්‍යාධාර, ද්‍රව්‍යමය ආධාර කිසියම් ප්‍රමාණයක්‌ සපයාදීමට සූදානමින් සිටින බවත්, ඊට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේත්, සංස්‌කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය ප්‍රමුඛ රජයේත් අවධානය යොමු වුවහොත් එම කටයුත්ත සාර්ථක කර ගත හැකි වෙතැයි තමන් වහන්සේ විශ්වාස කරන බවද විහාරාධිපති නාහිමියෝ අප සමග කියා සිටියහ.

ගරා වැටුණු ඉපැරැණි චෛත්‍යයෙහි ගර්භයද එහි සිව් දිශාවන්ද මේ වන විට විවිධ අවස්‌ථාවන්හි කැණීම් කොට වනසා තිබේ. ඉතිරිව තිබෙන ගඩොලු බැමි බිමට සමතලා කරන්නට මත්තෙන් මෙහි සංරක්‍ෂණයක්‌ සිදුවන්නේ නම් එය ඉතාමත්ම කාලෝචිත කාර්යයක්‌ බව අපටද වැටහිණි. නාගලකන්ද ඉපැරැණි පුරා විදු බිමේ ශේෂව පවතින දාගැබ පිළිසකර කරදීමේ කාලීන වුවමනාව එහි විහාරාධිපති නාහිමියන් විසින් මතුකර දෙන්නේද එය මතු පරපුර සඳහා සුරැකිය යුතු බොදු උරුමයක්‌ නිසාද වන්නට ඇත.

කලකට පෙර විශාල ප්‍රදේශයක්‌ පුරා විසිර තිබුණු බව හැඟෙන මේ පුදබිම අද වන විට ඉතා සීමිත බිම් කඩකට කොටුවෙමින් තිබීමද ඉතාමත්ම ශෝචනීය තත්ත්වයකි. පරිසරයේ සුන්දරත්වය රිසිසේ විඳිය හැකි සොබා දහමේ විස්‌මිත නිමැවුමක්‌ ලෙස හඳුන්වන්නට හැකි තැනෙකි, නාගලකන්ද පුද බිමේ පිහිටි ඉපැරැණි බැලුම්ගල. පෙර රජ දවස පවා ආරක්‍ෂක කටයුතු සඳහා අවට වට පිටාව නිරීක්‍ෂණය කරන ලද්දේ මෙහි සිට බැව් ජනප්‍රවාදයන්හි කියෑවේ. එහෙත් මෙම සුවිශේෂී කලාපය මේ වන විට සන්නිවේදන සමාගම් කිහිපයක්‌ම සංඥ කුළුණු ඉදිකොට පවත්වාගෙන යන පුරාණ බුක්‌තියකට සවිවී ඇත. එපමණකුදු නොව ප්‍රදේශයේ සිදුවන නොයෙකුත් ආකාරයේ ඉඩම් ආක්‍රමණ ක්‍රියාදාමයන්ට මෙම පින් බිමද ගොදුරුවී ඇත්තේ වරින් වර දේශපාලන බලයන්ද මුසුවෙමිනි.

නාගලකන්ද ඉපැරැණි පුදබිම වෙත ගිය ගමනේදී එහි නිස්‌කලංක, ශාන්ත පරිසරයේ සමාධිගත වන්නට පවතින තවත් මූලික බාධකයක්‌ ලෙසින් මතකයේ සනිටුහන් වූයේ හාත්පස පරිසරයෙන් ඇසෙන වෙඩි හඬය. ඒ පුදබිම ආසන්නයේ තිබෙන යුද හමුදා කඳවුරු පරිශ්‍රයේ වෙඩිපිටිවලින් නිකුත් වන වෙඩි හඬ බවද කෙනෙක්‌ කීහ.නාගලකන්ද උතුම් පුද බිමෙන් සදහම් සුවඳ විහිදුවන්නට වෙර දරනුයේ මෙවන් අපමණ බාධක කම්කටොළු රැසක්‌ද සමගිනි.

මින්නේරිය වැව පාමුලින් මතුව අහසට නැඟුණු ගිරි ශිඛරය, නාගලකන්ද ඉපැරැණි පුදබිම තුළින් පෙර පැවැති බෞද්ධ ආගමික පුනරුදය යළි ඇති කොට ජන ජීවිත තුළ ගුණ දහම් අස්‌වද්දන පරිසරයක්‌ නිර්මාණය අප සැම තුළ ඇති විය යුතු ප්‍රාර්ථනයකි.

කරුණාරත්න ගමගේ
www.divaina.com

සම්බන්ධ වෙනත් පිටු

නාගලකන්ද මහසෙන් ආරාමයේ සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

නාගලකන්ද මහසෙන් ආරාමයට ගමන් මඟ

කොළඹ සිට නාගලකන්ද මහසෙන් අසපුව දක්වා මාර්ගය දඹුල්ල සිට නාගලකන්ද මහසෙන් අසපුව දක්වා මාර්ගය
හරහා : කුරුණෑගල – දඹුල්ල – හබරණ
දුර : 210 km
ගමන් කාලය: පැය 4.30
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න
හරහා : හබරණ
දුර: 50 km
ගමන් කාලය: පැය 1 යි
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply