සංගමුව රජමහා විහාරය – Sangamuwa Rajamaha Viharaya

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 3.00 out of 5)
Loading...

ලෝකයේ විවිධ ස්‌වරූපයේ යුද ගැටුම් තුළ නොයෙකුත් ආකාරයේ සම්මුති, සාම සාකච්ඡා හා සාම ගිවිසුම් බිහි වුවද, ලෝකයේ ප්‍රථම හා එකම සෙල්ලිsපි ගත සාම ගිවිසුම ඇත්තේ ශ්‍රී ලංකාවේ බැව් බොහෝ දෙනා නොදන්නවා විය හැකිය.

මීට වසර 868 කට පෙර එනම් ක්‍රි.ව. 1132 දී පළමුවැනි පරාක්‍රමබාහු සහ දෙවැනි ගජබා රජු අතර ඇති කරගත් මෙම සාම ගිවිසුම කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ, ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් ගොකරැල්ල ගම්මානයේ සිට සැතපුම් දෙකක්‌ පමණ දුරින් මැද්දෙකැටිය වැව ඉස්‌මත්තේ පිහිටි ඓතිහාසික සංගමුව රජමහා විහාරස්‌ථානයේ ගල්තලාවක කොටා තිබේ.

-0-

පළමුවැනි පරාක්‍රමබාහු සහ දෙවැනි ගජබා අතර රජරට ප්‍රදේශයේ එවකට පැවැති යුද්ධය මෙම ගිවිසුමට අනුව නතර කෙරුණු බැව් මහාවංශයේ සඳහන් වේ.

ප්‍රදේශයේ උස්‌ කඳු මුදුනක පිහිටි, එහෙත් පහසුවෙන් ළඟාවිය හැකි ස්‌ථානයක මෙම විහාරස්‌ථානය පිහිටා තිබේ. විහාර භූමියට ඇතුළුවනවාත් සමගම මුලින්ම හමුවන්නේ ඓතිහාසික වැදගත්කමකින් යුතු මෙම සෙල්ලිපියයි. ලංකා ඉතිහාසයේ බොහෝ දේ සඟවාගෙන සිටින සංගමුව විහාර භූමිය අවට ස්‌වභාව ධර්මයේ අසිරිය ඕනෑම අයෙකුගේ මනැස, මසැස පිනවන නිස්‌කලංක පරිසරයකින් සමන්විතය.

අක්‌කර 52 කිsන් යුත් විහාර භූමිය පුරා නටබුන් රැසක්‌ විසිර පවතී.

සංගමුව විහාරස්‌ථානය දේවානම්පියතිස්‌ස රාජ්‍ය සමයේ ඉදිකරන ලද්දක්‌ සේ සැළකේ.

සංගමුව ගම්මානය උතුරින් කිඹුල්වානා ඔයෙන්ද, දකුණින් ගොපල්ලව පන්සල් කන්දෙන්ද, බටහිරින් අරගම කඳු යායෙන්ද, නැගෙනහිරින් මැද්දෙකැටිය වැවෙන්ද මායිම් වේ.

12 වැනි සියවසේ භාවිතා කෙරුණු අක්‌ෂර මාලාවකින් ලියා ඇති සංගමුව සාම ගිවිසුම මෙසේය.

1. (ස්‌වස්‌ති) ශ්‍රී මහා සම්මත පරම්පරා, 2. (සෙන්) නොපිරිහී ආ සත්‍යධන වූ ගජ, 3. බා(හු) පරාක්‍රමබාහු දෙසුරුබඩු වම්, 4. හ. අප කළ සන්ධානයට ජීවනාන්ත, 5. දක්‌වා විග්‍රහයක්‌ නොකරම්හ. ඔවු, 6. නොවුන් අයාමෙහි පළමුවැ කෙනෙකුන්, 7. ගෙ…… පසු වූවන් අත් පත්, 8. (වන්න)……. එක්‌ කෙනෙකුන්….. 9. (වැ) මෙ….. රාජ්‍ය වී (ලුප්ත) වන නියායෙ, 10. න්…… (අප) දෙදෙනා කෙරෙන්, 11. එක්‌ කෙනෙකු(න්) හට සතුරු වූ රජදරු කෙ, 12. නෙක්‌ ඇත්නම් දෙදෙනාටම සතුරහ. මේ, 13. ට විරුද්ධයක්‌ කළමො නම් තුනුරුවන් ආඥ, 14. මැකුවම් හ. නරකයෙන් මුක්‌ත නොවූවම්හ. 15. ආචන්ද්‍ර තාරම වතාඡ්ජක දක්‌ෂ රාළි, 16. රෙෂා පරාර්ථ ධන සොරන න්‍යම්, 17. …………………………….. 18. සෙනහාර්ද්ද්‍රතා ……………..,

මෙම ගිවිසුමේ අනුවාදය මෙසේය.

“යහපතක්‌ම වේවා. මහා සම්මත පරම්පරාවෙන් අඛණ්‌ඩව පැවත එන්නා වූද, නිරන්තරයෙන් සත්‍යය රකින්නා වූද, ගජබා – පරාක්‍රමබාහු දෙමස්‌සිනෝ වෙමු.

අප දෙදෙනා ඇති කර ගත් සම්මුතියට දිවි තිබෙන තුරා හානියක්‌ නොකරමු. අප දෙදෙනා අතරින් පළමුව මිය පරලොව යන අයගේ රාජ්‍යය අනෙක්‌ තැනැත්තාට අයත්ය. මේ රාජ්‍යය විනාශ කිරීමට යම් සතුරු රජෙක්‌ නැගී සිටියහොත්, ඒ තැනැත්තා අප දෙදෙනාටම විරුද්ධව නැගී සිටින කෙනෙකුන් ලෙස සලකා ඔහුට විරුද්ධව කටයුතු කරමු. මේ සම්මුතියට හානි වන ලෙස කටයුතු කරන යම් කෙනෙක්‌ වෙත්ද, ඔව්හු තෙරුවන්ගේ ආඥව කඩ කළ අය වෙති. “එසේම ඔව්හු අපාගත වන්නා හ… අප දෙදෙනාම මෙම සම්මුතිය කඩ කිරීමට නොපෙළඹෙමු. අනුන්ගේ යහපතම ධනය කොට ඇති අප දෙදෙනගේ මේ ලියවිල්ල (ගිවිසුම) සඳ – හිරු පවත්නා තුරු ලොව (ලෝකයා) ආරක්‌ෂා කෙරේවා.”

කරුණු කිහිපයක්‌ නිසා මෙම සෙල්ලිපිය අනෙකුත් සෙල්ලිපිවලට වඩා වැදගත් ස්‌ථානයක්‌ හිමිකර ගනී.

Sangamuwa Rajamaha Viharaya
ගෝඪයිම්බර යෝධයා විසින් නිර්මාණය කළ බැව් කියන ගල්ලෙන

බොහෝ සෙල්ලිපි සීමාවී ඇත්තේ විහාරාරාම පූජා කිරීම සඳහාය. එහෙත් මෙම සෙල්ලිපිය රාජකීය සමගි සන්ධානයක්‌ පෙන්නුම් කරයි. මහා වංශගත වැදගත් කරුණු සනාථ කරන්නක්‌ වීම තවත් විශේෂත්වයකි. “සමගි සන්ධානය කඩ කළහොත් තුනුරුවන් අණ මැකුවම්හ. නරකයෙන් මුක්‌ත නොවූ වම්හ” යන්නෙන් එදා ආගම ධර්මය රජවරුන්ගේ ජීවිතවලට පවා කොතෙක්‌ දුරට සම්බන්ධව පැවතියේද යන්නට ප්‍රමාණවත් සාධක අන්තර්ගතවීමද තවත් කරුණකි.

සංගමුව විහාරස්‌ථානය එදා කල්ලක ලෙන, කල්ලක මහා විහාරය, කලු මහ වෙහෙර, කාලවේල විහාරය මණ්‌ඩලාරාම විහාරය, මණ්‌ඩලාරාමක විහාරය ආදී නම්වලින්ද හඳුන්වා ඇත.

මලියදේව මහ රහතන් වහන්සේ තුන්පිටකය හදාලේද, විද්‍යාන් වඩා රහත් වූයේද කල්ලක යාමයේ මණ්‌ඩලාරාම මහා විහාරයේ (සංගමුව විහාරය) බවට ඓතිහාසික සාධක ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය එම්. ඩබ්ලිව්. විමල් විඡේරත්න මහතා විසින් සම්පාදනය කර ඇති “මලියදේව මහ රහතන් වහන්සේ වැඩ විසූ මණ්‌ඩලාරාම විහාරය” නමැති ග්‍රන්ථයේ සඳහන් වේ.

මෙම ස්‌ථානය අතීතයේ බල කොටුවක්‌ ලෙස භාවිතා කොට ඇති බවද පැවසේ.

විහාරයේ ලෙන් කටාරම්වල ඇති බ්‍රාහ්මී අක්‌ෂර සහිත සෙල්ලිපිවලට අනුව මෙම විහාරස්‌ථානය ක්‍රි.පූ. තුන්වැනි සියවසට අයත් සේ සැළකේ.

ලෙන් විහාරය තුළ දක්‌නට ඇති චිත්‍ර මහනුවර යුගයට අයත් ඒවා බැව් හෙළිවී ඇත. මෙම ස්‌ථානයේ ඉතිහාසය අනුරාධපුර යුගයෙන් පටන්ගෙන පොළොන්නරු යුගය හරහා මහනුවර යුගය දක්‌වා දිවෙන බැව් එකී යුගවලට අයත් සෙල්ලිපි හා සිතුවම් පරිශීලනය කිරීමෙන් පැහැදිළි වේ.

සංගමු විහාරයේ සමහර ගල්ලෙන් ගෝඨයිබම්බර යෝධයා විසින් නිර්මාණය තර ඇති බවටත්, යෝධයාගේ බිරිඳ ගොකරැල්ල ප්‍රදේශයේ විසූ බවටත් ජනප්‍රවාද පවතී. අද පවා “යෝධගේ” නමැති වාසගම ගොකරැල්ල ප්‍රදේශයේ සමහර පවුල් සතුව පවතී.

මාතලේ අළු විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන අවස්‌ථාවේ මෙම විහාරස්‌ථානයේ සිට අළු විහාරය දක්‌වා මල් පෙරහැරක්‌ ගමන් කළ බැව්ද ජනප්‍රවාදයෙහි එයි. මෙම විහාර භූමියේ ලෙන් විහාරය තුළ ඇති බුද්ධ ප්‍රතිමාව මීට වසර දහයකට පමණ පෙර නිදන් හොරුන් විසින් හාරා අලාභහානි සිදුකර ඇති අතර, මේ දක්‌වා එම ප්‍රතිමාව පිළිසකර කිරීමට පුරා විද්‍යා බලධාරින් විසින් කිසිදු පියවරක්‌ ගෙන නොමැත.

එසේම ලෙන් විහාරයට ඇතුළුවන දොරටුවේ ඇති දුර්ලභ ගණයේ මකර තොරණද ඉරිතලා ගොස්‌ කඩා වැටෙන්නට ආසන්න තත්ත්වයක පවතී.

ගල්කණු, සඳකඩ පහන්, මුරගල් හා ඉපැරණි වැසිකිළි ගල් පුවරු, උපෝසථාගාරයක නටබුන්, ගල් ලෙන් සහ ලෙන් විහාරයේ බිතු සිතුවම්ද ආරක්‌ෂා කරගත යුතු පුරාවස්‌තු අතර වැදගත් තැනක්‌ ගනී.”

සිංහලයාගේ ප්‍රෙෘඪ ඉතිහාසය මේ යයි ලොවට හඬගා කියන මෙකී පුරාවස්‌තු අකාලයේ විනාශ වී යාමට ඉඩ නොදී ආරක්‌ෂා කිරීම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතු වගකීමකි.

වත්මන් විහාරාධිපති අලුත්ගම මංගල හිමියන් පවසන අන්දමට අක්‌කර 52 ක්‌ පුරා විසිරී පවතින මෙම විහාරස්‌ථාන භූමිය විධිමත් ගවේෂණයකට ලක්‌ කළ හොත් අපේ ප්‍රෙෘඪ ඉතිහාසයට සාක්‌ෂි දරන තවත් පුරාවස්‌තු රැසක්‌ මතුකර ගැනීමට හැකිවනු නොඅනුමානය.

සම්බන්ධ වෙනත් පිටු

සංගමුව රජමහා විහාරයේ සිතියම

ගූගල් සිතියම් පහලින් - ගූගල් සිතියම් පහලින් - ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

සංගමුව රජමහා විහාරයට ගමන් මඟ

කොළඹ සිට සංගමුව රජමහා විහාරය දක්වා මාර්ගය

කුරුණෑගල සිට සංගමුව රජමහා විහාරය දක්වා මාර්ගය

හරහා : කැලණිය – අඹේපුස්ස – කුරුණෑගල – ගොකරැල්ල දුර : කි.මී. 115
ගමන් කාලය: පැය 2.5.
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න
හරහා : ගොකරැල්ල
දුර : 22 km
ගමන් කාලය: විනාඩි 30 යි.
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

*